යහපත් සිහි කල්පනාව නිරවුල් ජීවිතයකට මඟයි
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි ආචාර්ය
ගලගෙදර රතනවංශ හිමි
බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීමක් වන "සතිය" ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි
හත්වෙනි පියවර වශයෙන්ද දක්වා ඇත. එහිදී “සම්මා සති” යනුවෙන් යහපත් සිහි
කල්පනාව විදහා දක්වා ඇත.
“සතිය” නොහොත් සිහිය සාමාන්‍ය ජීවිතයේ පටන් බුද්ධත්වය දක්වාම විහිද යන
අයුරු හා ප්‍රගුණ කළ යුතු ආකාරය බුදු දහම තුළින් මනාව පැහැදිලි වේ.
බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීමක් සේම ගැඹුරු ඉගැන්වීමක් ලෙස “සති” යන වචනය
පැහැදිලි වේ. ලෞකික ජීවිතය සාර්ථක කරගැනීම උදෙසාත් ලෝකෝත්තර සුවය
ලබාගැනීම උදෙසාත් සතිය ඉවහල් වන අයුරු ඉතා පැහැදිලිය. "සති" යනුවෙන්
හඳුන්වන්නේ සිහියයි. එය විවිධ තැන්හි භාවිතා කොට ඇති අයුරු ඉතා
ප්‍රකටය. ඒ අනුව
සති පට්ඨාන, සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ඣංග , සම්මා සති යනාදී
තැන්වලින් "සතිය" පිළිබඳ විමර්ශනය කර ඇති අයුරු ඉතා පැහැදිලිය. සතිය
පිළිබඳ වැඩිදුරටත් විස්තර කිරීමේදී සිතෙහි යෙදෙන සම්ප්‍රයුක්ත ධර්මයන්
සිහිකරවන ස්වභාවය සතිය නම් වේ. එය කොටස් දෙකකින් යුක්ත වේ. එනම්
අපිලාපන හා උපග්ගණ්හන යනුවෙනි. පළමු කරුණින් සිහි කරවන ස්වභාවයත් දෙවන
කරුණින් කුසලා කුසල වෙන්කොට අකුසල් දුරුකොට කුසල් ලඟාකරන ස්වභාවයත්
පෙන්නුම් කරනු ඇත.
සතිය පිළිබඳ අප වෙනත් අයුරිනුත් වචන භාවිතය එදිනෙදා ජීවිතයේදී සිදු
කරනු ඇත. සිහියේ තබා ගැනීම, මතක තබා ගැනීම, සිහිය තියන බව, සිහිය විකල්
බව ආදි වශයෙන් විග්‍රහ වේ. සති යන වචනය කෙසේ භාවිතා කළද වැදගත් වන්නේ
එය කොතෙක් ජීවිතය හා සමගාමීව ගමන් කරනවාද යන්න පිළිබඳවයි. බුදුරජාණන්
වහන්සේ ගිහි පැවිදි දෙපක්ෂයටම සිහිය ඇතිව ජීවත් වන අයුරු මනාව උගන්වා
ඇත. ඒ අතර භික්ෂු ජීවිතය ගත් කල්හි භික්ෂූන්ගේ සතර ඉරියව් භාවිතය,
සිව්පස පරිහරණය . ශරීරයේ ස්වභාවය ආදි සැම තැනකදීම සිහිය භාවිතා කරගන්නා
ලෙස දේශනා කොට ඇත. එයට හේතුව සත්වයාගේ මනස ස්වභාවයෙන්ම කෙලෙස් භරිත
එකක් වන බැවින් වැරදීම්, අතපසු වීම්, කරදරවලට මුහුණ දීමේ ප්‍රවණතා ආදිය
ඉතා වැඩි බැවිනි. එය තරමක් හෝ දුරට අවම කරගැනීමට සිහිය තරම් අපට සමීප
දෙයක් තවත් නැති තරම්ය.
බුදුන් වහන්සේ බුද්ධත්වය උදෙසා වඩන ලද ආනාපාන සති භාවනාව මේ සම්බන්ධව
ඉතා වැදගත් වේ. ආශ්වාස ප්‍රශ්වාස අරමුණු කොට ගෙන කරන භාවනාව ආනාපාන සති
භාවනාවයි. එම භාවනාව පිළිබඳ දේශනා කිරීමේදී "සති" යන වචනය ඉතා වැදගත්
වේ. හුස්ම ගැනීම, හුස්ම හෙළීම ස්වභාවයෙන් සිදුවන්නකි. එයට හේතුව එය
සිහියෙන් කරන්නට තිබුණේ නම් හුස්ම ගැනීමට අමතක වූ තැනදී ජීවිත හානිය
පවා සිදුවන බැවිනි. නමුදු යම් කිසිවෙක් හුස්ම ගැනීම හෙළීම, සතියෙන්
නොහොත් සිහියෙන් කරන්නේ නම් එය භාවනාවක් වන බව කීමට පුළුවන.
ඕනෑම යහපත් ක්‍රියාවක් සිහියෙන් කිරීම තුළින් නිරවුල් භාවය ඇති කර
ගැනීමට පුළුවන. සතියෙන් වැඩ කරන ඕනෑම කෙනෙක් තුළ සංයමය, හික්මීම,
සීලාචාරකම ඇතිකර ගැනීමට පුළුවන. සිතේ සන්සුන් බව, ඉවසීම, ධාරණ ශක්තිය
වැඩීම ආදි එදිනෙදා ජීවිතයේ යහපතට හේතුවන උසස් ගුණ සමුදායක් වර්ධනය වෙනු
ඇත. සතියෙන් වැඩ කටයුතු කිරීමේදී කලබලයෙන් තොරව කිරීමටත් ක්‍රමවත්ව හා
සාර්ථක ප්‍රතිඵල ඇතිව නිමාවක දැකීමටත් ශක්තිය ලැබේ. භාවනාවට සතියත්
සම්බන්ධ වූ තැන මෙලොව වශයෙන් කායික, මානසික දෙඅංශයම සාර්ථක වේ. හදිසි
බලාපොරොත්තු කඩවීම්, ඥාති හිතවතුන්ගේ ඛේදජනක අවස්ථාවලදී කම්පනයෙන් තොරව
සංවේදීව මුහුණදීමේ හැකියාව සතියෙන් වැඩ කිරීමෙන් ජීවිතයට ලැබෙන
ප්‍රතිඵලයන්ය.
යහපත් සිහිය, හොඳ සිහිය නිවැරදි සිහිය එදිනෙදා ගත කරන ඕනෑම ජීවිතයකට
අත්‍යවශ්‍ය දෙයකි. සමාජ සංස්ථාව යහපත් වීමට නිරවුල් භාවය අවශ්‍යයය.
නිරවුල් භාවයට යහපත් සිහිය අවශ්‍යයය. සමාජ සංස්ථාව ගත් කල්හි,
මව්පිය – දූදරු
ගුරු – සිසු
ස්වාමි – භාර්යා
ස්වාමි – සේවක
ගිහි – පැවිදි
වශයෙන් ඒ ඒ සමාජ ස්ථරයන් ඔස්සේ විකාශනය වූ වැඩ කටයුතු කොටසක්ද පවරා ඇති
අයුරු සිඟාලෝවාද සූත්‍රය තුළින් මනාව පැහැදිලි කොට ඇත. ඒ අනුව ඒවා
යුතුකම් හා වගකීම් වශයෙන් දක්වා ඇත. උදාහරණයකට මව්පිය දූදරු යන මූලික
සමාජ සංස්ථාව ගත් කල්හි දෙමාපියන්ගෙන් දරුවන්ට, කරුණු පහකුත්
දරුවන්ගෙන් දෙමාපියන්ට, කරුණු පහකුත් අන්‍යෝන්‍ය වශයෙන් ඉටුවිය යුතුය.
රටක් ,ලෝකයක් ගොඩ නැඟීමේදී එහි මූලික පියවර වන්නේ පවුල් සංස්ථාවයි. එය
මව්පිය දූදරු යන අත්තිවාරම තුළින් ගොඩනැඟෙන විශාල සංස්ථාවකි. මුලු ලෝක
ධාතුව තුළින් එය ශක්තිමත්ව විකාශනය වීමට නම් නිරවුල් භාවය අත්‍යවශ්‍ය
වේ. ඒ සඳහා ප්‍රධාන හා පළමු අංකය වන්නේ සතියයි. එනම් සිහියයි.
දෙමාපියන් තුළ තමන් දෙමව්පියන් බවට හොඳ සිහි කල්පනාවක් තිබිය යුතුය. ඒ
අනුව බුදුරදුන් දෙමව්පියන්ට දුන් පූජනීය ස්ථානය පිළිබඳ සිහිය තිබිය
යුතුය. එම තත්ත්වය රැකගැනීමේ සිහිය තිබිය යුතුය. මේ ආදි වශයෙන්ම
දූදරුවන් තුළද හොඳ සිහියක් තිබිය යුතුය. ඒ අනුව මුළු සමාජ සංස්ථා
සියල්ලම පිළිබඳ හොඳ සිහි කල්පනාවෙන් ඒ ඒ ස්ථරයන් හා කටයුතු පිළිබඳ සිහි
කල්පනාව තිබීමෙන් නිරවුල් ජීවිතයක් සේම නිරවුල් සමාජයක් ගොඩනැඟීමට
හේතුවේ. උසස් මනසක් ලැබූ අප සියලු දෙනාම හොඳ සිහිකල්පනාවකින් කටයුතු
කොට නිරවුල් ජීවිතයක් ගත කරමින් සමාජ යුතුකම්, වගකීම් දැන හඳුනාගෙන
නිරවුල්ව පිළිවලට කටයුතු කරන පිරිසක් වීමට උත්සාහවත් විය යුතුය. එය රටක
සාමජයක පමණක් නොව මුළු ලෝකයටම සමඟිය, සහජීවනය, සදාචාරය කැඳවීමට
හේතුවනවාට කිසිදු සැකයක් නැත. |