Print this Article


දෙවියන්ට වදාළ සම්බුදු බණ 03 නන්දන වනෝද්‍යානයේ දී වදාළ දෙසුම

දෙවියන්ට වදාළ සම්බුදු බණ 03

නන්දන වනෝද්‍යානයේ දී වදාළ දෙසුම

මේ ලෝකයේ සියලු දිව්‍ය ලෝක, සියලු බ්‍රහ්ම ලෝක මේ මිනිස් ලෝකය, සතර අපාය ආදී සියලු ලෝකයන්ගේම යථා ස්වභාවය අවබෝධ කොට වදාළේ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනුයි. සියලු ලෝකයන් ගැන අවබෝධ කරගෙන ඒ සියලු ලෝකවලින් ම නිදහස් වී වදාළ නිසා ඒ බුදුරජාණන් වහන්සේ අප ‘ලෝකවිදු’ යනුවෙන් හඳුන්වනු ලබනවා.

මේ ලෝකයේ කිසිවකුත් ඒ සම්බුදු නුවණට ආවරණය වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේට තිබුණේ කිසිවෙකුට ආවරණය නොවූ ‘අණාවරණ ප්‍රඥාවක්’. කිසිවකින් ආවරණය නොවූ අනාවරණ ඤාණයක්. කිසිවකට ආවරණය නොවූ අනාවරණ දැක්මක්. අතීතය, අනාගතය, වර්තමානය යන මේ තුන් කාලයේම ලෝකයේ ඕනෑම තැනක සිදුවෙන දෙයක් උන්වහන්සේට දැනගන්නට පුළුවන්.

අප ජීවත්වෙන මේ මනුෂ්‍ය ලෝකය ඇසුරු කරගෙන ම ජීවත්වෙන දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරුන්ට කියන්නේ ‘භූමස්ථ’ දෙවිවරු කියලයි. ඊට ඉහළින් තිබෙන්නේ සතරවරම් දෙවිවරුන් ප්‍රධාන දෙවිවරු වාසය කරන ‘චාතුම්මහාරාජික’ දිව්‍ය ලෝකය යි. චාතුම්මහාරාජික දෙව් ලොවට ඉහළින් තිබෙනවා ‘තව්තිසාව‘ කියන දිව්‍ය ලෝකය. මේ තව්තිසාවටත්, චාතුම්මහාරාජිකයටත් දෙකටම අධිපති කරන්නේ සක්‍ර දේවේන්ද්‍රයා විසිනුයි. ඒ නිසයි සක් දෙවිඳුන්ට දෙ-දෙව් ලෝකාධිපති කියා කියන්නේ.

මේ තව්තිසා දිව්‍ය ලෝකයේ තිබෙනවා නන්දන කියලා වනෝද්‍යානයක්. මේ වනෝද්‍යානයට පිවිසෙන සියලු දෙනා ආනන්දයට පත් කරන්නට තරම් එය මනමෝහනීය සුන්දරත්වයකින් යුක්තයි. ඒ නිසාමයි නන්දන උයන කියා හඳුන්වන්නේ. ප්‍රණීත වූ දිව්‍යමය කාමයන්ගෙන් පිරුණු මේ වනයට ඇතුල්වන දෙවිවරු ඒ දිව්‍යමය කාම සැපයට වසඟ වෙලා යනවා.

ඇතැම් අවස්ථාවල තව්තිසාවේ දෙවිවරුන්ගේ ආයුෂ ගෙවී යද්දී මරණ නිමිති පහළ වෙනවා. ඒ කියන්නේ චුතවීමට ආසන්න වෙනකොට ඒ දෙවියාගේ ශරීරයෙන් ඩහදිය ගලනවා. පැළඳගෙන ඉන්න මල්මාලා පරවෙනවා. දිව්‍ය වස්ත්‍ර කිලිටි වෙනවා. ඊළඟට ඒ දෙවියාට දිව්‍ය ලෝකය කාමයට හිත ඇලෙන්නේ නැතුව යනවා. ඒ වෙලාවට ඇතැම් දෙවිවරු බියට පත්වෙලා සක්දෙවිඳුව හොයාගෙන යනවා. සක්දෙවිදු ඒ දෙවියන් සංසිඳුවන්නට මෙහෙම කියනවා. ’පින්වත් දෙවිය, බිය වෙන්න එපා. ශෝක කරන්නට එපා. කිසි කලෙක සංස්කාරයෝ නිත්‍ය වෙන්නේ බැහැ නෙව‘ කියලා.

ඊටපස්සේ ඒ දෙවියා අනිත් දෙවිවරු අතින් අල්ලාගෙන මේ නන්දන වනයට එකතු කරගෙන එනවා. නන්දන වනයේ සුන්දරත්වය දකිනකොට ඒ දෙවියාට තමා චුතවීමට ආසන්න බව පවා අමතක වෙලා යනවා. ඒ තරම්ම සුන්දර උද්‍යානයක් තමා මේ නන්දන වනය කියා කියන්නේ. ඔය නන්දන වනයේදී සිදුවූ අපූරු සිදුවීමක් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට පෙන්වා දුන් දෙසුමක් තමා අද අප ඉගෙන ගන්නේ.

ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත්නුවර ජේතවනය නම් වු අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි, කියල භික්ෂු සංඝයා අමතා වදාළා. පින්වතුන් වහන්ස, කියා ඒ භික්ෂූන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

’පින්වත් මහණෙනි, ඉස්සර මෙහෙම දෙයක් සිදු වුණා. තව්තිසා දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක් හිටියා. එයා දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන හිටියා. දිව්‍යමය වූ පංචකාම ගුණයෙන් සතුටු වෙමින්, ඉඳුරන් පිනවන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ඒ දෙවියා මෙන්න මේ ගාථාව කිව්වා.

පිරිවර සම්පත් ඇති තව්තිසා දෙවියන්ගේ දිව්‍ය විමාන තිබෙන ලස්සන නන්දන වනෝද්‍යානය කෙනෙක් දකින්නේ නැතිනම්, ඇත්තෙන්ම ඔහු සැපය මොකක්ද කියලා දන්නේ නැහැ.

මේ අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා දෙන්නේ අතීතයේ දෙවියන්ගේ දෙව්ලොවක සිදුවුණ සිදුවීමක්. මේ දෙවියා ඕපපාතිකව තව්තිසා දෙවියන් අතර ඉපදිලා වැඩි කාලයක් නැහැ. ඔහුට ලැබුණු දිව්‍ය ශරීරය රන් රුවන් කඳක් වාගේ බබලනවා. ගව් තුනක් ඒ සිරුර විශාලයි. ඔහුට අලංකාර දිව්‍යමය වස්ත්‍රාභරණත් තිබෙනවා. දිව්‍යමය සඳුන් විලවුන් ඔහුගේ ගත තවරා ගත්තා. ඒ සියල්ල ප්‍රථම ලැබෙද්දී ඒ දිව්‍ය කාමයට ඔහු මුසපත් වුණා. තමන්ගේ පරිවාර අප්සරාවන් සමඟ චමත්කාරජනක වූ නන්දන වනෝද්‍යානයට පිවිසුණු ඔහුට ප්‍රථම වරට එය දකිද්දී ඇතිවූ සතුටටයි මහ හඩින් ගාථාවක් පැවසුවේ.

මෙබඳු සිදුවීමක් දෙවියන් අතර සිදුවුණ බවක් ඒ තුන්කල දක්නා අපගේ ශාස්තෘන් වහන්සේ හැර වෙන කවරෙකුනම් හෙළි කරන්නට සමත් වේවිද? ඒ සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොතරම් අසිරිමත් ද? ලෝකාවබෝධ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ ඒ ගැන මේ විදිහට පවසා වදාළා.

පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ බඹුන් සහිත වූ, ශ්‍රමණ, බ්‍රාහ්මණයන් සහිත වූ මේ ලෝකයා විසින් ද දෙවි මිනිස් ප්‍රජාව විසින්ද දක්නා ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලැබුවා වූ යමක් ඇද්ද, සිතින් දැනගන්නා ලද යමක් ඇද්ද, ලබාගත් යමක් ඇද්ද, සොයාගත් යමක් ඇද්ද, සිතින් විමසන ලද යමක් ඇද්ද ඒ සියල්ලම තථාගතයන් වහන්සේ විසින් යම් හෙයකින් අවබෝධ කරන ලද්දේ වෙයිද එම නිසා තථාගත යැයි කියනු ලබන්නේ ය.

ඒ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් තව්තිසා වැසි දෙවියන් අතර සිදුවූ මේ සිදුවීම තවදුරටත් භික්ෂූන්ට පහදා දී වදාළා. පින්වත් මහණෙනි, එතකොට වෙන දෙවි කෙනෙක් අර දෙවියාට ගාථාවෙන් මෙසේ පිළිතුරු දුන්නා.

න ත්වං බාලේ විජානාසි - යථා අරහතං චචෝ
අනිච්චා සබ්බේ සංඛාරා – උප්පාදවයධම්මිනෝ
උප්පඡ්ජිත්වා නිරුජිඣන්ති – තේසං වුපසමෝ සුඛෝති

අනේ, අනේ මෝඩයෝ ඔහේ රහතුන් වහන්සේලාගේ වචනය දන්නේ නැහැ නෙවද? හැම සංස්කාරයක්ම අනිත්‍යයි. ඇතිවෙලා නැතිවෙලා යන ස්වභාවයෙන් යුක්තයි. සංස්කාර ඇතිවෙනවා. නැතිවෙනවා. ඔය ස්වභාවය සංසිඳී යෑමයි සැබෑම සැපය. ඒ දෙවියන් අතරේත් ජීවිතය ගැන යථාර්ථය දකිමින් වාසය කළ දෙවිවරු වාසය කළා. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය දෙවි කෙනෙක් විතරමයි ජීවිතය ගැන සැබෑ තත්ත්වය ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්තේ බොහෝ දුරට මේ ලෝක සත්ත්වයෝ වාසය කරන්නේ විපරීත වූ දැක්මකින් යුතුවයි. අනිත්‍ය වෙලා යන අස්ථීර දේවල් නිත්‍ය හැටියටයි දකින්නේ. දුක උපදවන දේවල් සැප විදිහටයි දකින්නේ. තමාගේ වසඟයේ පවත්වා ගන්නට බැරි දේවල් තමන්ට ඕන ඕන විදිහට පවත්වන්නට පුළුවන් කියලයි දකින්නේ. ජීවිතාවබෝධය ඇති කරවන ධර්මය නො ඇසුනු දෙවිවරුන්, මිනිසුන් සියලුදෙනා ඔය විදියටයි ලෝකය දකින්නේ.

නමුත් මේ දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ, බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ කිසිවෙකුටවත් වෙනස්කළ නොහැකි සංස්කාරවල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කරනවා. ඒක හරියට කේශර සිංහරාජයෙක් පවත්වන අභීත සිංහනාදයක් වගෙයි.පින්වත් මහණෙනි, හටගත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මහණෙනි, හටගත් සියලු සංස්කාරයෝ අස්ථිරයි. පින්වත් මහණෙනි, හටගත් සියලු සංස්කාරයෝ ඇස්වැසිලි රහිතයි. ඒ නිසා එබඳු සංස්කාරයන් ගැන අවබෝධයෙන් ම කළකිරීමයි වටින්නේ. අවබෝධයෙන්ම නො ඇලී සිටීමයි වටින්නේ. නිදහස් වීමමයි වටින්නේ. යනුවෙන් සම්බුදු රජාණන් වහන්සේ හටගත් සියලු දේ යථාර්ථය දේශනා කරද්දී නුවණ මද දෙවි මිනිස් ලෝසතුන් කම්පාවට පත්වෙනවා. බියට පත්වෙනවා. තැති ගැනීමට පත්වෙනවා.නමුත් නුවණැති දෙවි මිනිසුන් හට මේ හටගත් සියලු සංස්කාරයන්ගේ යථා ස්වභාවය ගැන අසන්නට ලැබෙද්දී ඒ ගැන සිත පහදවා ගන්නවා.

ඒ ගැන විශ්වාසය ඇතිකර ගන්නවා. ඒ ධර්මය නුවණින් විමසන්නට කැමැති වෙනවා. එබඳු නුවණැති දෙවි මිනිසුන් හට ප්‍රඥාව උපදිනවා.

ඒ බුදුරජාණන් වහන්සේ වදාළා ශ්‍රී සද්ධර්මය තමයි ඒ නුවණැති දෙවියා රහතුන්ගේ වචනය කියලා කිව්වේ. මේ ලෝකයේ සියලු සංස්කාර ධර්මයෝ හට ගන්නවා. නැසී යන ඒ ස්වභාවය නො දන්න අඥාන උදවිය මේ අනිත්‍ය වූ දේ නිත්‍ය කර ගන්නට ගිහින් දුකට පත්වෙනවා.

මේ සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය අවබෝධ කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරපු උතුම් සෘෂිවර සැපයට පත්වෙනවා. හට ගැනීමක් නැති, නැසී යාමක් නැති ඒ අමා මහ නිවන තමා සංස්කාරයන්ගේ සංසිඳී යාම. මේ ලෝකයේ කිසිම සත්ත්වයෙකුට සියලු දුකින් නිදහස් වූ ඒ අමා මහ නිවන සාක්ෂාත් කිරීමට වඩා වෙනත් උතුම් සැපයක් නම් නැහැ.