පූජාච පූජනීයානං
ගලගම අත්ථදස්සි අනු නා හිමි
අස්ගිරිමහා විහාර පාර්ශ්වයේ අනුනායක ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද
අත්ථදස්සි නාහිමිපාණන් අනූතුන්වියට පත් වූහ.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත්, මහා විහාරස්ථානයත්, මහා විහාර පරම්පරාවේ
මහා සංඝරත්නයේ වෙහෙර විහාර පන්සල් මුල්කර ගෙන ගිහි පැවිදි සම්බන්ධතාවේ
දියුණුවත් අනාගතයත් වෙනුවෙන් ඇප කැපවී ශාසනික සේවාවක් ඉටු කරන ධර්මධර
විනයධර සුපේෂල ශික්ෂාකාමී මහ තෙරවරුන් අතර අත්ථදස්සි නාහිමිපාණන්ට
හිමිවන්නේ අද්විතිය ස්ථානයකි. ගලගම අත්ථදස්සි, අනුනායක හිමිපාණන්ගේ
උදාර ශාසනික ජීවිතයට අනුතුන්වසරක් (93) පිරීම ජනවාරි 11 වෙනිදාට යෙදී
තිබුණි. අනුනායක හිමිපාණන්ට දිඝාසිරි ප්‍රාර්ථනා කිරීමේ ආගමික
වැඩසටහනක් අලව්ව හුම්බුළුව විහාරයේ දී පැවැත්විණ.
මාතලේ උරුලෑවත්ත රජමහ විහාරය වයඹ පළාතේ අලව්ව හුම්බුළුව රජමහ විහාරය
මැටියගනේ රජමහා විහාරය අස්ගිරිය උරුලෑවත්ත විහාර පන්සල යන ස්ථානයන්හි
වත්මන් ශාසනික ප්‍රබෝධයටත්, විහාරස්ථ දහම් පාසැලේ අධ්‍යාපනයටත්
අස්ගිරිය මහා විහාරයේ වත්මත් ශාසනික මහා සංඝ පරපුරේ හා මහියංගන රජමහා
විහාරයේ දියුණුවටත්, ආගමික ප්‍රබෝධයටත් අතිපූජ්‍ය ගලගම අත්ථදස්සි
අනුනායක හිමිපාණන්ගෙන් සිදුවී තිබෙන සේවය ශ්‍රේෂ්ඨත්වයෙන් සැළකේ.
කුඩා අවධියේදීම සිය ගුරු දෙවිවරුන්ගෙන් ලබාගත් ධර්මඥාන අවබෝධයත්,
බහුශ්‍රැත දැනුමත් විවිධ අංශවලින් ප්‍රගුණ කරගත් අතිපූජ්‍ය ගලගම
අත්ථදස්සි අනුනායක හිමිපාණන්ගේ ධර්මඥාන කුසලතාවය නිසාම දිවයිනේ,
අග්‍රගණයේ විචිත්‍ර ධර්මකථික තෙරනමක් බවට පත්විය. ශිෂ්‍ය නමක් වශයෙන්
ධර්ම ශාස්ත්‍රය හැදෑරූ අත්ථදස්සි නාහිමියෝ, විද්‍යෝදය මහ පිරිවෙනින්
ත්‍රිපිටකාචාර්ය උපාධි සහ මධ්‍යම භාණක උපාධියද ලබා විචිත්‍ර භාණක ධර්ම
දේශකයාණන් වහන්සේ කෙනෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත්වූහ. යුගාසන ධර්මදේශනා
ක්‍රමයෙහි විශාරදභාවයක් ද නාහිමිපාණන්ගේ ආචාර්ය පරම්පරාවෙන් පවත්වාගෙන
ආ පාරම්පරික ආසන දෙකේ, ආසන පහේ, ආසන හතේ යන පැරැණි ධර්මදේශනා ක්‍රමවල
වත් පිළිවෙත් සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින් එම ධර්මදේශනාවන්
පැවැත්වීමෙන් ගිහි පැවිදි දෙපිරිස අතර මහත් ගෞරවයට පත්වී ඇත. හතළිහ,
පනහ, දශකවල ගුවන්විදුලි ධර්මදේශනාවල ප්‍රමුඛ පෙළේ දිවයිනේ ධර්මදේශකයෙකු
වූ අනුනායක හිමිපාණන් වහන්සේ වත්මන් යුගය දක්වා එම ධර්මානුශාසනා
පවත්වාගෙන යමින් වත්මන් ගිහි පැවිදි සමාජයේ ඉමහත් ගෞරවයට පත්ව සිටී.
මාතලේ, ධර්මරාජ, කවටයංමුන පිරිවෙන්හි ධර්මාචාර්ය වශයෙන් කලක් පිරිවෙන්
අධ්‍යාපනය වෙනුවෙන් ද ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳු තේවාව බාර
නාහිමි ලෙසද අවස්ථා කිහිපයකදී කටයුතු කර ඇති ගලගම අත්ථදස්සි අනුනායක
හිමියෝ, කඨින පූජෝත්සව, කඨිනානිශංස ධර්ම දේශනාවන්හි දක්වන
බහුශ්‍රැතතාවය නිසාම, දිවයිනේ විහාරස්ථවලට නාහිමිපාණන්ගේ ධර්ම දේශනාවලට
කන්දීමට විහාරස්ථදායක සභා දායකයින්ට මාර්ගය සලසා දෙන අවස්ථා එමටය.
අස්ගිරිය මහා විහාරය නියෝජනය කරමින් දිවයිනේ විහාරස්ථ ශාසනික මෙහෙවරක
යෙදෙන රාජ්‍ය හා පොදු ආගමික, ජාතික බොදු සංස්කෘතික සේවාවන්හි නිරත
වෙමින් මහා විහාර පාරම්පරාව, ගරුතර මහා සංඝයාවහන්සේලා සමඟ අනාගත
සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අප අනුනායක හිමිපාණන් වහන්සේ සිදුකරනු ලබන මෙම
උදාර ශාසනික මෙහෙවර තව තවත් රට දැය සමය වෙනුවෙන් ඉටු කිරීමට
නාහිමිපාණන් වහන්සේට ශ්‍රී දළදා සමිඳු ආශිර්වාදයෙන් නිරෝගී සම්පත්
ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
කේ. බණ්ඩාරනායක
වැහිහේනේ පඤ්ඤාකිත්ති නාහිමි
බෙන්තොට බෝධිමළුව රජ මහා විහාරාධිපති නැගෙනහිර බෙන්තර වලල්ලාවිට කෝරලයේ
ප්‍රධාන සංඝනායක සහ බෙන්තොට ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන
ලේඛකාධිකාරි ශාසන කීර්ති ශී‍්‍ර වැහිහේනේ පඤ්ඤාකිත්ති නාහිමියන්ගේ
ආදාහන පූජෝත්සවය බෙන්තොට බෝධිමළුව කනිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී
පසුගියදා පැවැත්විණි. මෙම නාහිමි ගුණ සමරු ලිපිය ඒ නිමිත්තෙනි.
ශ්‍රී ලාංකීය භික්ෂූ ශාසනය ශෝභමාන කළ මහා සඟරුවනක් වූ රුහුණූ පුරවරයෙහි
ප්‍රකට වැහිහේනේ පඤ්ඤාකිත්ති නාහිමියන්ගේ අපවත්වීම දකුණු ලක ජනතාවට
ශෝකය ගෙන දෙන දුක් මුසු පුවතකි.
මෙවැනි සුපේශල ශික්ෂාකාමී විනයගරුක සංඝ පීතෘවරුන් ලක්බිමට අවැසි යුගයක
අප නාහිමියන්ගේ නික්ම යාම සංඝ ශාසනයට යළි පිරිමසාලිය නොහැකි බලවත්
පාඩුවක් බව මගේ විශ්වාසයයි. එසේම මට පෞද්ගලිකව ගුරුහරුකම් දුන් සංඝ
නායක හිමිනමකගේ වියෝව බලවත් ශෝකය ගෙන දෙන කරුණකි.
නැගෙනහිර බෙන්තර වලල්ලාවිට කෝරලයේ වැහිහේන ග්‍රාමයේ එඩ්වින් කුලසේකර
උපාසක මහතාට හා ගලබඩගේ මැගිනෝනා උපාසිකා මාතාවට දාව 1959 සැප්තැම්බර්
මස 04 වැනිදා ජයතිස්ස කුලසේකර නම් පින්වත් කුල කුමරුවා උපත ලැබීය.
පාසල් අධ්‍යාපනයට පිවිස සුදුසු වයස එළැඹි කල්හි සංසාරගත පුරුද්ද අනුව
පැවිද්ද නම් වූ අතිශය දුර්ලභ සම්පත උදා කිරීමේ පරම චේතනාවෙන් බෙන්තොට
බෝධිමළුව රජ මහා විහාරාධිපති වලල්ලාවිට ඥානරතන ස්වාමින් වහන්සේගේ හමුවට
පැමිණියහ. පැවිද්දට අවශ්‍ය කරන බණ දහම් ප්‍රගුණ කොට 1976 ජනවාරි මස 27
වැනි දා පැවිදි දිවියට ඇතුළත් වු අප නාහිමියෝ කන්දේ විහාරයේ
ක්ෂේත්‍රාරාම පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය
සඳහා ගංගාඩවිල සුභද්‍රාරාම විශ්වවිද්‍යාල පිරිවෙනට ඇතුළත් වූහ. ඉගෙනුම්
කටයුතු කරන අතරතුර 1980 ජුනි මස 25 වැනිදා මල්වතු මහා විහාරයේදි අධිශීල
සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත් අප නාහිමියෝ අනතුරුව ශී‍්‍ර ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය ද දිනා ගැනීමට සමත්වූහ.
තමා ලත් දැනුම් පරාර්ථයෙහිම යොදවමින් හිපන්කන්ද විද්‍යා සමාධි මහ
පිරිවෙන් අචාර්යවරයෙකු මෙන්ම පරිවේනාධිපති වශයෙන් ද කටයුතු කළහ. ස්වකීය
ගුරුදේව වලල්ලාවිට ඥානරතන ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව බෙන්තොට
බෝධිමළුව රජ මහා විහාරාධිපති ධුරයට පත් ස්වකීය දායක කාරකාදින්ගේ හුදු
මහත් ආගමික කටයුතු ඉටුකරමින් කල්ගත කළහ.
මේ අතර තම විහාරස්ථානයේම පිරිවෙනක් ආරම්භ කිරීම අරමුණූ කොට ගනිමින්
ශ්‍රී ඥානරතන මූලික පිරිවෙන නමැති අධ්‍යාපන ආයතනය ආරම්භ කරමින් පැවිදි
සිසු පරපුරක් සංඝ ශාසනයට ලබාදෙන්නට කටයුතු කළහ.
මහත් සංවේදි හිමි නමක් වු උන්වහන්සේ කවර හෝ කරදරයක් විපතක් ඇත්නම් එයට
පිවිස කළ හැකි උදව්වක්,උපකාරයක් කිරීමට කිසිවිටකත් මැලි නොවූහ. කාරුණික
හදවතකින් යුත් අප නාහිමියෝ තමන් වහන්සේට කළ හැකි සෑම උදව් උපකාරයක්ම
නොපිරිහෙළා ඉටු කළහ.
පරාර්ථකාමි ගුණයෙන් හෙබි අප නාහිමියෝ භික්ෂූ ශාසනයට ඉමහත් මෙහෙවරක්
ඉටුකරමින් වෙහෙර විහාරස්ථාන ගොඩනැගීමට ද මූලික වූහ. බෙන්තොට විහාරස්ථාන
මායිමෙන් ගලායන බෙන්තර ගඟ විහාර බිම් කඩ අසල මත්ස්‍ය අභය භූමියක් බවට
පත් කරන්නට උන්වහන්සේ කටයුතු කළේ උන්වහන්සේ සතු ඉමහත් දයානුකම්පාව හා
කරුණාව නිසාය. මෙසේ ඉමහත් සමාජ සේවයක් සිදුකරමින් සිටි අප නාහිමියන් ලෝ
සතුරාගෙන් වූ බාධා හමුවේ වුවද තම මෙහෙවර අත් නොහළේය.
ලෝක ධර්මතාවය පසක් කරමින් අප අතරින් සමු ගන්නා ලද අපේ වැහිහේනේ
පඤ්ඤාකිත්ති නා හිමියන්ට නිවන් සුව අත් වේවායි ප්‍රාර්ථනා කරමි.
ජනමාධ්‍ය අමාත්‍ය
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ගයන්ත කරුණාතිලක
රද්දොළුවේ අමරවංශ නාහිමි
1933 ජනවාරි 19 වන දින උපත ලද රෝලන්ඩ් රොවෙල් නම් කුමරුවා මුලික
අධ්‍යාපනය ලබා ගත්තේ රද්දොළුව මෙතෝදිස්ත පාසලින්ය. පසුව රද්දොළුව ශ්‍රී
පඤ්ඤානන්ද ජාතික පාසලින් අධ්‍යාපනය ලබා වයස අවුරුදු 11 දී පමණ රද්දොළුව
ශ්‍රී සුබෝධාරාම මහා විහාරාධිපතිව වැඩ විසූ පණ්ඩිතාචාර්ය කොටුගොඩ ශ්‍රී
ධර්මානන්ද නා හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වශයෙන් රද්දොළුවේ
අමරවංශ නමින් සසුන් ගත විය. තම ගුරුදේවයන් වහන්සේගෙන් මූලික අධ්‍යාපනය
ලබා පසුව කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුලත්ව සිංහල පාලි
සංස්කෘත භාෂා දැනුම හා සූත්‍ර අභිධර්ම විනය යන පිටකත්‍රය පිළිබඳ දැනුම
ලබා විද්‍යෝදය අවසන් පරීක්ෂණයෙන්ද සමත් විය. 20 වන වියේදී අග්ග මහා
පණ්ඩිත මහෝපාධ්‍යාය බේරුවල සිරි නිවාස මහ නා හිමිපාණන් වහන්සේගේ
උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලබා ගත්තේය. මේ අතරවාරයේදි තම ගුරුදේවයන්
වහන්සේද තම පැවිදි සහෝදර රද්දොළුවේ අරියවංශ හිමිපාණන් වහන්සේද අපවත්වීම
නිසා සියලු අධ්‍යාපන කටයුතු නවතා සුබෝධාරාම මහා විහාරය හා අභිනවාරාමය
යන උභය විහාරාධිපති අරියවංශ හිමිපාණන් වහන්සේද අපවත්වීම නිසා සියලු
අධ්‍යාපන කටයුතු නවතා සුබෝධාරාම මහා විහාරය හා අභිනවාරාමය යන උභය
විහාරාධිපතිත්වයට පත්වී විශාල වගකීමක් දැරීමට සිදුවිය. ගම් ප්‍රදේශයේ
ආගමික සාසනික සාමාජික සියලු කටයුතු හා සියල්ල ඉටුකරමින් තම භික්ෂු
පරපුර රැක ගැනීම සඳහා දැන උගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද පැවිදි කරවන
ලදී. අමරපුර පාර්ශ්වයේ ශී‍්‍ර සුමංගල කාරක මහා සංඝ සභාව විසින් ගෞරවනාම
සම්මුතියක් සමඟ සම්මාන නායක පදවියක්ද පිරිනමන ලදී. රද්දොළුව ප්‍රාථමික
විද්‍යාලය සකස් කර ගැනීම සඳහා ඊට සුදුසු ඉඩම පරිත්‍යාග කිරීමද දහම්
පාසල් ළදරු පාසල් ආරම්භ කිරීමද ළදරු පාසල් ගොඩනැගිල්ල සඳහා ඉඩම් කොටසක්
ප්‍රාදේශීය සභාවට ලබා දීමේදී බෞද්ධ අබෞද්ධ සියලුදෙනා ගේම සිත් දිනාගෙන
කිතුණු දේවස්ථාන සමඟ සම්බන්ධතාවයද සීදුව පොලිස් වසම තුළ පොලිස් උපදේශක
කමිටුවේ අනුශාසක පදවියද ලබාගෙන කරනු ලබන සේවය අතිවිශාලය. සිව්වතාවක්
දඹදිවටද දෙවතාවක් ජර්මනියටද තායිලන්තය හා ප්‍රංශයටද වැඩම කොට ඇත.
ජනවාරි මස 19 වන දා ලොකු හාමුදුරුවන් වහන්සේට දිගාසිරි පතා රද්දොළුව
ගල්ලවත්ත 18 වන දින රාත්‍රි මහා පිරිත් දේශනාවක්ද 19 වනදා 82 නමකට
සපිරිකර සංඝගත දානයක් පිරි නැමීමටද කටයුතු යොදා තිබිණි.
පි‍්‍රයන්ත පෙරේරා
නිවුන්හැල්ලේ සේනානන්ද නා හිමි
දැරණියගල යටිවල ශ්‍රී සුදර්ශනාරාමය, ඌඩාපොළ ශ්‍රී ජයසුමනාරාමය යන උභය
විහාරාධිපති විශ්‍රාමලත් පරිවේණාධිපති ධර්මකීර්ති ශ්‍රී සංඝරතතාභිධාන,
ශාස්ත්‍රවේදී නිවුන්හැල්ලේ සේනානන්ද ස්වාමීන් වහන්සේ අටුළුගම පනාවල්
දෙකෝරළය සහිත පහත බුලත්ගම පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබීම
ජනවාරි 23 දිනදී සිදුවිනි. සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අති
පූජ්‍ය ගෞරවාර්හ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ සානුනායකවරු
ප්‍රමුඛ විංසද්වර්ගික කාරක සංඝ සභාව විසින් සමානච්ඡන්දයෙන් මෙම
ධර්මකීර්ති ශ්‍රී සංඝරතනාභිධාන යන ගෞරව නාමය සහිතව ප්‍රධාන සංඝනායක
පදවිය පිරිනමා ඇති අතර උක්ත තනතුර සඳහා සන්නස්පත්‍ර පිරිනැමීම ජනවාරි
23 දින සවස 3.00 ට මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී සිදු
කෙරිණි.
ඒ වෙනුවෙන් මහා සංඝ සභාව වෙත ප්‍රසාද පූජාවක් පවත්වනු ලැබූ අතර අභිනව
නායක හිමියන් පිළිගැනීමේ උත්සවය ජනවාරි 26 දින දැරණියගල යටිවල, ශ්‍රී
සුදර්ශනාරාම විහාරස්ථානයේ දී නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට
සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබිණි.මල්වතු මහා විහාරයේ අනුනායක
නියංගොඩ විජිතසිරි අනු නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය
පැවැත්වීමට නියමිතව තිබිණ.
|