Print this Article


බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස... දුක් ගැහැට හමුවේ ජීවිතය දුටු වාසෙට්ඨි

බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස...

දුක් ගැහැට හමුවේ ජීවිතය දුටු වාසෙට්ඨි

ඇතැම් කාන්තාවන්ගේ විවාහ ජීවිත පවා දෙදරා ගොස්, ස්වාමියා සහ බිරිඳ එකිනෙකාගෙන් වෙන් වී යන තරමට නැන්දම්මා සහ ලේලිය අතර ඇතිවන ආරවුල් දුර දිග යන අවස්ථා දැක ගත හැකිය. සදාතනික වූ මෙම අරගලයට ඇත්තේ එක් විසඳුමක් පමණි. සෑම විවාහක යුවළක්ම පළමුව කළ යුත්තේ තම බිරිඳගේ හෝ සැමියාගේ මවුපියන් නැන්දම්මා , මාමණ්ඩි යන මානසිකත්වයෙන් මිදීමය.

බිරිඳක් නම් තම ස්වාමියාගේ මවුපියන්ට, දෙමව්පියන් සේ සිතා සැලකීමත්, ඔවුන්ට ලේලියක් නොවී ‘දියණියක් වෙමියි අධිෂ්ඨාන කර ගැනීමත්, ස්වාමියා විසින් තම බිරිඳගේ මවුපියන් නැන්දා ,මාමා වශයෙන් නොව තම මවුපියන් ලෙස සිතා සැලකීමත් ඔවුන්ට “බෑණා” කෙනෙකු නොවී පුතෙකු වන්නට අදිටන් කර ගැනීමත් කළ යුතුය. තමාට වඩා වයසින් වැඩිහිටි නැන්දම්මා කෙරෙහි මව් සෙනෙහසින් බලන්නට ලේලියක් හුරු පුරුදු වන්නේ නම්, ඇය විසින් කරනු ලබන සියලු අග හිඟකම් විඳදරා ගැනීමට හැකි වනු ඇත. හැම විටම ස්වාමියාට මුල් තැනදී කටයුතු කරන්නා සේ ඔහු බිහි කළ මවටද සියලු තැන්හි නායකත්වය දෙන්නටත්,ඇයගේ වචන නිහඬව අසා සිටින්නටත් හුරු පුරුදු වීමෙන් මේ සදාතනික අරගලය මඳකට හෝ සංසිදෙනු ඇත. නැන්දනියගේ වහලය යටදි ඇයගේ නායකත්වය උදුරා ගන්නට යෑම කිසි විටකත් නො කළ යුතුය. ඇයට පළමු තැන දී ලේලියට දෙවැනි තැන ගන්නට තරම් නිහතමානී වුවහොත් පවුල අවුලක් නොවනු ඇත. ස්වාමියාගේ නිවසේදී ඔබට හමුවන අභියෝග අතර නැන්දම්මා පළමු තැන සිටින්නාසේම ස්වාමියාගේ සොහොයුරියන් ද ඇතැම් විට අභියෝගයක් වනු ඇත. ඔවුන් කෙරෙහිද පිළිපැදිය යුත්තේ තම එක කුස උපන් සොහොයුරියන් කෙරෙහි දක්වන්නා වු සහෝදරාත්මක ආකල්පයන්ගෙන් යුත් පිළිවෙතකි. එවිට නිරායාසයෙන්ම විවාහ දිවිය නීරස එකක් නොවී මිහිරි මතකයන්ගෙන් පිරී ගිය සුන්දර එකක් වනු ඇත. නැන්දම්මා සහ ලේලිය මවක් සහ දියණියක ලෙස ජීවත්වන පවුල්ද සමාජයේ වෙසෙන බව අමතක කළ යුතු නොවේ.

විවාහ දිවියට පත් වූ පසු පිය නැගූ ස්වාමියාගේ නිවහන ගිනි ගොඩක් බවට පත් වු වනිතාවෝ වර්තමාන සමාජය තුළ බහුලව දැකගත හැකිය. තමා කෙතරම් යහපත් ගති පැවතුම්වලින් යුත් කාන්තාවක් වුවත්, ස්වාමියාගෙන් නැන්දා මාමාගෙන්, නෑනලාගෙන්, පමණක් නොව ස්වාමියාගේ හත්මුතු පරම්පරාවෙන්ම නින්දා ගැරහුම් ලබන කාන්තාවෝද අද සමාජය තුළ ඇතැම් විට දැකගත හැකිය. පවුල් ජීවිතය තුළ එවැනි දුක් ගැහැට විඳි කාන්තාවක් අතීතයේ ද ජීවත් විය , බුද්ධ කාලයේ විසූ වාසෙට්ඨිද එවැනි අසරණ කාන්තාවක්. එහෙත් ඇය කිසි විටක තම කුරිරු ඉරණමටවත් තමා අසරණ කළ මිනිසුන්ටවත් ශාප කළේ නැත. මේ ඇගේ ජීවිත කතාවයි.

ගෞතම බුදුන්වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර උපන් වාසෙට්ඨි තුරුණූු වියට පත්වීමෙන් පසු ඇගේ මවුපියන් විසින් ඇයව සුදුසු තරුණයෙකු සොයා විවාහ කොට දුන්නාය. එහෙත් අවාසනාවකට මෙන් වාසෙට්ඨියගේ පවුල් ජිවිතය එතරම් සාර්ථක වූවක් නොවීය. ස්වාමියාගේ ඥාතීන් ඇය කෙරෙහි දැක්වූයේ අපි‍්‍රයතාවයකි. වසරක ඇවෑමෙන් ඇය සුරතල් දරුවෙකුගේ මවක් වූවාය. දරුවා නිසා ස්වාමියාගේ මවුපියන් ඇතුළු ඥාති සමූහය, වාසෙට්ඨි කෙරෙහි කරුණාවක් දැක්වීය. තම අප්‍රසන්න දිවියට සතුට රැගෙන ආ දරු පැටියා වාසෙට්ඨි විසින් අදරින් රැක බලා ගත්තාය. මේ කාලයේදී ඇගේ මවුපියන්ද රෝගාතුර ව මිය ගියේය. කාත් කවුරුත් නැතුව මෙලොව දී තනි වූ වාසෙට්ඨියගේ පිහිටට සිටියේ ඇගේ සුරතල් දරුවාත් ස්වාමියා සහ ඔහුගේ ඥාති සමූහයාත් පමණි. එහෙත් එක් දිනක වාසෙට්ඨි නොසිතූ විරූ ලෙස ඇය අතින් සිදු වු ප්‍රමාද දෝෂයකින් දරුවා වැටී තුවාල වූවාය. ස්වාමියාගේ මවුපියෝ ඇයගේ නොසැලකිල්ල පිළිබඳව උරණ වී ඇයට දෝෂාරෝපණය කොට දරුවාට වෛද්‍යාධාර දී සුවපත් කිරිමට මහන්සි වූහ. එහෙත් දරුවා වෛද්‍යාධාර දෙන අතරතුර මිය ගියේය. දරුවාගේ මිය යෑමෙන් ස්වාමියා ඇතුළු පවුලේ ඥාතීහු වාසෙට්ඨිය පිළිබඳ තවදුරටත් කලකිරීමට පත් විය. දරු සුරතල් බැලීමටවත් වාසනාවක් නැති කාලකණ්ණි ස්ත්‍රියක් යැයි පවසමින් අක්‍රෝශ පරිභව කළේය. සැමියාගෙන්ද ඇයට ලැබුණේ අනුකම්පා විරහිත රැවුම් ගෙරවුම්ය.අවසානයේ ස්වාමියා ඇතුළු පවුලේ සැම එකට එක්ව වාසෙට්ඨිය එම නිවසින් නෙරපීය. මවුපියන්ද මිය ගොස් සිටි බැවින් ඇයට සරණ පතා යන්නට ස්ථීර තැනක් නොවීය. දුකට පත් ඇය දරුවාත්, මවුපියනුත් අවසන් ගමන් ගිය සුසානය වෙත පිය නැගුවාය. අමු සොහොනෙහි ඇති සිත කීරි ගැසී යන භයංකරත්වය දුටු වාසෙට්ඨිය ගේ සිත තුළ භීතියක් හටගත්තත් කුරිරු මිනිසුන්ගේ ඇසුරට වඩා අමනුෂ්‍යයන් පිරි අමු සොහොනේ වාසය යහපතැයි සිතා එහි වූ අබලන් ශාලාවෙහි රාත්‍රිය ගත කළාය. පසු දිනයේ කුසගින්න හා පිපාසය ඇතිවු බැවින් අසල වු ගම්මානවලට ගොස් යාචක ස්ත්‍රියක් ලෙස ආහාරපාන සෙවුවාය. ජීවිතයේ කිසිම දිනක මෙවන් අවස්ථාවකට මුහුණ නොදුන් වාසෙට්ඨියට මහත් වූ වේදනා සහගත හැඟීමක් ඇති විය. තම ඉරණම පිළිබඳ සිතමින් ශෝක වන අතර, පුත්‍ර ස්නේහය ද විටින් විට ඉස්මතු වූ බැවින් හදෙහි වු වේදනා තව තවත් වැඩි දියුණූ විය. අඩ සිහියෙන් යුතුව අවාසනාවන්ත සිඟන ජීවිතය තෙවසරක් ගත කළ වාසෙට්ඨි ඒ කාලය තුළ අන්ත අසරණ දුඞඛිත ජීවිතයක් ගත කළාය. දිනක අමු සොහොනෙහි රාත්‍රිය ගත කරන ඈ තවත් දිනක කසල ගොඩක රාත්‍රිය ගත කළාය. වැස්සට තෙමෙමින් , අව්වට වේලුණාය. තිබූ එකම වැරහැලි ඇඳුමද ඇඟටම ඇලී තිබුණි. දිනක් බුදුන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදී, අලුයම ලොව බලනසේක්, මෙසේ අනන්ත වූ දුක් ගැහැට විඳින, නමුත් මේ ආත්මයේදීම බුදුන් වහන්සේගෙන්, දහම් අසා භික්ෂුණී පැවිද්ද ලබා අරහත්ඵල අවබෝධ කොට ගැනීමට තරම් පින් ඇති වාසෙට්ඨිය දුටු සේක. “ඇයට පිහිට වන්නෙමි”යි සිතු උන් වහන්සේ වාසෙට්ඨි සිඟමන් යදිමින්. එන මිථිලා නුවර වීථීයෙහි ඇය ඉදිරියට වැඩිසේක. බුදුන් වහන්සේගේ ශාන්ත බුදුරුව දැක ‘පෙර ආත්මභවවලදී කරන ලද්දා වු කුසල් බලයෙන් පියවි සිහිය ලැබුවාය. වහා අවුල්ව ගිය කෙස් වැටිය එක්රැස් කොට තදට බැඳ, ඇඳුමද සකස් කොට ගෙන ඇය බුදුන් වහන්සේ හට නමස්කාර කළාය.

‘නැගණිය ඔබ සුවපත් වේවා. අහරක් ගෙන කුසගිනි නිවා විහාරස්ථානයේ ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණෙව“යි ඇයට අවවාද කොට බුදුන්වහන්සේ ඉදිරියටම වැඩි සේක. බුදුන්වහන්සේ කළ ප්‍රකාශය ඒ අසල සිටි කාන්තාවකට ද ශ්‍රවණය විය. බුදුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරන ලද තැනැත්තිය සිඟන්නියක් වුවත් මහ පිනැත්තියක් විය යුතුය. එබැවින් ඇයට කුස පිරෙන්නට අහරක්, ශරීරය වසා ගැනීමට අලුත් වස්ත්‍රත් දිය යුතු යැයි සිතා, වාසෙට්ඨිය තම නිවසයට කැඳවාගෙන ගියාය. වාසෙට්ඨියද දිය නා පිරිසුදු වි ස්ත්‍රිය දුන් වස්ත්‍රද හැඳ ලැබු අහරින් කුසද පුරවා ගත්තාය. වාසෙට්ඨියගේ ජීවිත කථාව පිළිබඳ අසා දැනගත් එම උපාසිකාව එදිනම වාසෙට්ඨියද කැටුව ධර්ම ශ්‍රවණය කිරීම පිණිස විහාරස්ථානයට ගියාය. එදින භාග්‍යවතුන් වහන්සේ ඇයටම සුදුසු වු ධර්ම දේශනාවක් සිදු කළහ. මනුෂ්‍යයෝ තමන් පෙර කරන ලද කුසල අකුසල කර්මවලට අනුරූපව මේ ආත්ම භවයේදි පි‍්‍රයයන්ගෙන් වෙන්වි මහත් දුකට පත්වන ආකාරය බුදුන් වහන්සේ සිය ධර්ම දේශනයෙන් අවධාරණය කළහ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ධර්මාවබෝධය ලැබු වාසෙට්ඨි, භික්ෂුණී ආරාමය වෙත ගොස් පැවිදි විය. නිතර නිතර ධර්ම ශ්‍රවණය කිරීම නිසා මනා වු ධර්ම ඥානයක් ලැබූ වාසෙට්ඨි භික්ෂුණිය සිත එකඟ කොට භාවනා කර රහත් ඵලය ද අවබෝධ කොට ගත්හ.

ජීවිතයේ එක් එක් කාලවලදී විවිධ වු දුක් කරදර අප කරා පැමිණේ. විවිධ වේශයන්ගෙන් අප සොයා පැමිණෙන ඒ දුක් ගැහැට එළඹි සිහියෙන් යුතුව විඳදරා ගැනීමට නම් ශක්තිමත් සිතක් අප සතුව තිබිය යුතුය. කරදර හිරිහැර උරුම වන්නේ අපට පමණක් නොවන බව සිතා, ඒ සියල්ල මැදහත් සිතින් විඳදරා ගැනීමට හැකිනම් ජීවිතය කිසි විටක කටුක වූවක් වන්නේද නැත.