ඇස්සැද්දුම ශාසනාලංකාර මහා විහාරයේ ශාසනික හා සමාජීය මෙහෙවර
කරුණාතිලක
හඳුන්පතිරණ
ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය ආරම්භවීමෙන් ඇති වූ ආගමික
සංස්කෘතික සමාජීය පිබිදුම, පුනර්ජීවනය හුදෙක් ඇස්සැද්දුමට හෝ
කුලියාපිටියට සීමා නොවීය. සත්කෝරළය පුරා විහිදගොස් ඉනුන් සීමා නොවී
උතුරින් යාපනයට ද සමීප විය. ඒ ඒ ප්‍රදේශවල විසූ ජනයාගේ ආගමික පුද
පූජාවන් පිළිවෙත් සඳහා අවශ්‍ය වූ පූජ්‍යස්ථානවල වූ අඩුවක් විය. එනිසා
එවන් ගම් බිම් සොයා හඳුනා ඒවායේ වෙහෙර විහාර කරවීමටත් ඒවා සඳහා සංඝයා
වහන්සේ පත් කිරීමටත් ඇස්සැද්දුම මහා විහාරය කටයුතු කරන්නට විය. ඒ අනුව,
පන්නල කොහොඹේපොල ශ්‍රී පූර්වාරාමය, බරිගොඩ ශ්‍රී මහින්දාරාමය,
වස්සාවුල්ලේ ශ්‍රී සුගතාරාමය, මල්වානේගෙදර ශ්‍රී මුනින්දාරාමය, අලලුව
ශ්‍රී කල්‍යාණවර්ධනාරමය, දීගල්ල සිරි සුභාරතී විහාරය, ඇන්නරුව ශ්‍රී
ධර්මයුක්තිකාරාමය, මරදන්කඩවල පහළ අඹතලේ ශ්‍රී ඉන්ද්‍රගුප්ත විහාරය,
කැකිරාව ලබුනෝරුව ශ්‍රී රාජ මත්තින්දාරාමය ආදී කොටගත් වෙහෙර විහාරස්ථාන
ආරම්භ කිරීම සඳහා ප්‍රථම විහාරාධිපති මහෝපාධ්‍යය කට්ටමුරිච්චාවේ සිරි
සුභාරතී මාහිමිපාණෝ පියවර ගත්හ. උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක වූ
ශාස්ත්‍රවේදී වීරඹුවේ විමලභාරතී හිමියන්ගේ විහාරාධිපතිත්වයෙන් යාපනයේ
සුභාරතී විහාරස්ථානය ආරම්භ කළහ. මෙය යාපනයේ වැසි සිංහල, දෙමළ, බෞද්ධ
ජනයා සඳහා මහත් සේවාවක් විය. අධ්‍යාපනික අංශයන් බලන කල ප්‍රදේශයේ
දැනටත් ඉතාමත් ජනපි‍්‍රය පාසලක් බවට පත්ව ඇති ඇස්සැද්දුම ශ්‍රී සුභාරතී
විද්‍යාලය ආරම්භ කිරීමේ පුරෝගාමී වූයේ ද සුභාරතී දහම් පාසල ආරම්භ
කිරීමට අඩිතාලම දැමුවේ ද සිරි සුභාරතී හිමිපාණෝ ය. උන්වහන්සේ ලෝ සසුනට
දායාද කළා වූ ප්‍රතිපත්ති ගරුක සිල්වත් ගුණවත් ශිෂ්‍ය භික්ෂූ පරපුර ද
අති මහත්ය. කුඩිරිප්පුවේ සද්ධානන්ද හිමි, මල්වානේගෙදර ඉන්දෝභාෂ හිමි,
පණ්ඩිත තලම්මැහැර විජය හිමි, ත්‍රිපටකාචාර්ය ශාස්ත්‍රවේදී පිදුමේ රතන
හිමි, ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රවේදී වීරඹුවේ විමලභාරතී හිමි, දීගල්ලේ
පඤ්ඤානන්ද හිමි, වලකන්දේ සුගතසේන හිමි සහ මහාචාර්ය කබලෑවේ පියභාරතී අනු
නා හිමි වැනි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සුභාරතී හිමියන් ඇරඹූ ශාසනික
සේවාව තව දුරටත් වර්ධනය කරමින් ඒ ඒ ප්‍රදේශවලට හා සසුනට අමරණීය සේවාවක්
ඉටු කරන්නට වන්හ.
1969 දී උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව විහාරාධිපති ධූරයට පත් කබලෑවේ
පියභාරතී හිමියෝ බුද්ධශ්‍රාවක ධර්මපීඨයේ මහාචාර්ය පදවියක් දරමින් ද
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවිය උසුලමින් ද කර ඇති ශාසනික
සේවාව ද ඊට නොදෙවැනිය. එහෙත් කබලෑවේ පියභාරතී හිමියන්ගේ සමාජයීය සේවාව
ඊටත් වඩා පුළුල් වූද ව්‍යාප්ත වූද එකක් බව සඳහන් නොකර බැරි ය.
මෙහිදී වැදගත්ම කර්තව්‍යයක් ලෙස හැඳින්විය හැකි දෙයක් නම් 1960 දී
උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් ඇරැඹි කුලියාපිටිය මූලික රෝහලේ අභිවෘද්ධිය
තකා කළ මැදිහත්වීමය. සතියකට වරක් රෝහලේ පිරිත් දේශනා කිරීම, රෝහලේ
බෞද්ධ සංගමයක් ආරම්භ කිරීම හා රෝහල තුළ නව බුදු මැදුරක් තනවා නිම කරවීම
පියභාරතී හිමියන්ගේ මඟ පෙන්වීම හා අනුශාසකත්වයෙන් සිදුවූ බව කෘතවේදීව
සිහිපත් කළ යුතු ය. ඊට අමතරව, කුලිපියාපිටිය නගරය හා අවට විසූ තරුණ
පරපුර ඒකරාශී කරමින් කුලියාපිටිය තරුණ බෞද්ධ සමිතිය ආරම්භ කිරීම, සිරි
සුභාරතී සුව සංවිධානය, සුභාරතී නාගරික යෞවන සමාජය, සුභාරතී සහන සේවා
පදනම, ඩී.ඒ. රත්නායක අනුස්මරණ සුවසෙවන වැඩිහිටි නිවාසය, ගායියාල කාන්තා
වැඩිහිටි නිවාසය සහ සුභාරතී අවමංගල්‍යාධාර සමිතිය ආදී සමාජසේවා සංවිධාන
රැසක් පිහිටුවා ගනිමින් පුළුල් මෙහෙවරක නියැළෙන්නට උන්වහන්සේ ක්‍රියා
කළහ. ඉළුක්හේන සිරි විජය සුන්දර පිරිවෙන ආරම්භ කිරීම නිසා ශිෂ්‍ය
භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය අධ්‍යාපනය හා ධර්ම ඥානය ලබා දීමට තැබූ පියවර
ද ඉතා වැදගත් ය.
1999 දී විහාරාධිපති ධූරයට පත් පියභාරතී හිමිපාණන්ගේ ශිෂ්‍ය භික්ෂුවර
පල්ලේකාගම රතනභාරතී හිමියෝ ද අවශ්‍ය අධ්‍යාපනය හා ධර්ම ඥානය ක්‍රමවත්ව
ලබාගනිමින් විහාරස්ථානයට නව ආලෝකයක් ලබාදීමට සමත් වී ඇත. එහි එක් දෙයක්
ලෙස “වාර්ෂික දුරුතු පෙරහර” සැලකිය හැකිය. දශක දෙකකට ඉහත ඉතා කුඩාවට
ආරම්භ වූ “සංඝමිත්තා” පෙරහර දුරුතු මහා පෙරහර බවට පත්වූයේ නව
විහාරාධිපති හිමියන්ගේ අතිමහත් කැපවීම නිසා බව අවිවාදිතය. අලි ඇතුන් 15
දෙනකු ද සහිතව උඩ, පහත, සබරගමු, නර්තනාංග 40 කට වැඩි ගණනක් සම්බන්ධ මහා
පෙරහරක් ලෙසය. නව විහාරාධිපති රතනභාරතී හිමියන්ගේ සමාජ සත්කාර වැඩ
පිළිවෙළක් වූ “භාරතී සමාජ සංවර්ධන වැඩපිළිවෙළ” විහාරස්ථානයේ කීර්ති
නාමය තව දුරට උසස් තලයකට රැගෙන යන්නට සමත්ව තිබේ. උන්වහන්සේගේ පැවිදි
උපසපන් දිනය සමරමින් වාර්ෂිකව මහත් ධනයක් වැය කොට දුෂ්කර ගම් ප්‍රදේශයක
දුගී දුප්පත් අසරණ දරුවන් සඳහා පොත්පත්, පාසල් නිල අඳුම්, පාසල් උපකරණ
ආදිය පරිත්‍යාග කිරීමට මේ පදනම ක්‍රියා කරයි.
සංස්කෘතික උරුමයට ජීවය ලබා දෙන
කුලියාපිටිය දුරුතු මහා පෙරහර
සම්බන්ධීකරණ ලේකම්
ඩබ්.වෝල්ටර් රොද්‍රිගො
දුරුතුමහ පෙරහර කමිටුව සභාපති
ගාමිණි කරුණාරත්න
පෙරහර බස්නායක නිළමේ
ලක්ෂ්මන් අධිකාරි
වයඹ සත්කෝරළයේ ‘මහා සංස්කෘතික හා කලා මංගල්‍යය” බවට පත්ව ඇති පුරාතන
බෞද්ධ සංස්කෘතික චාරිත්‍රවලට මුල්තැන දෙමින් වාර්ෂිකව පැවැත්වෙන
කුලියාපිටිය ඇස්සැද්දුම විහාරයේ දුරුතු මහා පෙරහර මගින් පළාතට ආගමික හා
සංස්කෘතික නව ප්‍රබෝධයක් උදා කිරීමට හැකිවීම සත්කෝරළ පුරවරයට මහත්
ගෞරවයකි.
කුලියාපිටිය නගරයට සමීපව පිහිටියා වූ ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා
විහාරය දුටුවන් මන බඳින, සිත නිවන රමණීය පින් බිමකි. මීට සියවසකට පමණ
පෙරාතුව බෝධිසත්ව ගුණෝපේත මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරති
මාහිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානය ආරම්භ කිරීමෙහිලා පුරෝගාමී
විය.අනතුරුව විවිධ සමිති සමාගම් පිහිටුවා ගනිමින් උන්වහන්සේගෙන ගිය
දූරදර්ශි ක්‍රියාමාර්ගය නිසා විහාරස්ථානයේ දියුණුවත් ප්‍රදේශයේ ආගමික
ප්‍රබෝධයත් බෞද්ධ පුනර්ජීවයත් ඇති විය.
1969 දී උන්වහන්සේ අපවත්වීමෙන් පසු විහාරාධිපතීත්වයට පත් ශ්‍රී ලංකා
රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය කබලෑවේ පියභාරතී මාහිමිපාණන්
වහන්සේ එම ශාසනික සේවාවන් තවදුරටත් වර්ධනය කරමින්, විධිමත් කරමින්
ඉදිරියට ගෙන යාමට සමත් විය. මෙහි දී කුලියාපිටිය ප්‍රදේශයට විධිමත්
බෞද්ධ හා සංස්කෘතික පෙරහරක් නොමැතිවීමේ අඩුව හොඳින් වටහාගත් අනුනායක
මාහිමිපාණන් වහන්සේ 1993 දී සංඝමිත්තා පෙරහර නමින් මුල්ම පෙරහර ආරම්භ
කිරීමට පුරෝගාමි විය. ඉන්පසු වර්ෂවලදී පවත්වාගෙන යාමේ පහසුව සඳහා
දුරුතු මාසයේ ‘කුලියාපිටිය දුරුතු මහා පෙරහර” නමින් පෙරහර සංවිධානය
කිරීමට කටයුතු යෙදිණ.
අනුනාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව 1999 වර්ෂයේ දී වත්මන් විහාරාධිපති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය පරියත්ති ලේඛකාධිකාරි
ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති හිමිපාණන් වහන්සේට විහාරාධිපති ධුරයත්
සමඟ වාර්ෂික දුරුතු මහා පෙරහර සංවිධානය කිරීම ඇතුළු වගකීම් රැසක්
භාරවිය. එම අභියෝගයට සාර්ථකව මුහුණදෙමින් උපතින්ම ලද පෞරුෂයත් සුවිශේෂ
හැකියාවත් පෙන්නුම් කරමින් විහාරස්ථානය හා ප්‍රදේශයේ අභිවෘද්ධියට
හේතුවන ශාසනික, ආගමික හා සමාජයීය කටයුතු රැසක නියමුවා බවට
පත්විය.ඇස්සැද්දුම විහාරය කේන්ද්‍ර කොටගෙන දියත් කෙරුණූ විවිධ සංවිධාන
හා ක්‍රියාදාමයන්ගේ වැදගත් කාර්යයක් වූ දුරුතු මහා පෙරහර පැවැත්වෙන
දුරුතු පුන් පොහොය මුල් කරගත් සතිය පුරා ධර්ම දේශනා ශීල සමාදාන ප්‍රජා
සත්කාරක සේවාවන් ඇතුළත් ප්‍රදේශයට, රටට දැයට සෙත්පතා කෙරෙන දුරුතු
පූජෝත්සව වැඩසටහන් මාලාවක් දියත් කර දුරුතු පුන් පොහෝ දින බෞද්ධ ජනතාවට
ඇති ඓතිහාසික වැදගත්කම මෙන්ම අප දුරුතු මහා පෙරහර නිර්මාතෘ අති පුජ්‍ය
අනුනායක මාහිමිපාණන් වහන්සේගේත් වත්මන් විහාරාධිපති පූජ්‍යපාද රතනභාරති
නාහිමිපාණන් වහන්සේගේත් උපන් දිනයන්ද දුරුතු මාසයට යෙදී තිබීම නිසා ඒ
සඳහාද උපහාරයක් ලෙස දුරුතු පූජෝත්සවය සංවිධානය වී දායක දායිකාවන්ගේ
උද්‍යෝගයට හේතු වී ඇත. ප්‍රදේශයේ බෞද්ධ, අබෞද්ධ, සියලු ජනතාව කිසිදු
භේදයකින් තොරව ලබාදෙන ලද සහයෝගය හා ප්‍රදේශයේ ව්‍යාපාරික හා
මූල්‍යායතන, රාජ්‍යායතන ලබාදෙන උසස් සහයෝගය නිසා මෙම පෙරහරට කෙටි කාල
වකවානුවක් තුළ මහ පෙරහරක් ලෙස වර්ධනය වීමට හැකි විය. මෙම පෙරහර ශ්‍රී
ලංකා රාමඤ්ඤ මහා නිකායේ විහාරස්ථානයක පැවැත්වෙන එකම ප්‍රධාන පෙරහර ද
වේ.
2015 ජනවාරි මස 30 වන දින රාත්‍රි පැවැත්වීමට නියමිත මෙවර පෙරහර සඳහා
අලි ඇතුන් 16 දෙනෙකු පමණද, උඩරට, පහතරට, සබරගමු නර්තන අංග ඇතුළත්
සංස්කෘතික අංගයන් 40 ක් පමණත් සහභාගිවීමට නියමිතය. පෙරහර දින රාත්‍රී
7.00 ට පමණ යෙදී ඇති ශ්‍රී සර්වඥ ධාතු කරඬුව තැන්පත් කිරීමේ උතුම්
අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක මකුළෑවේ විමල
මාහිමිපාණන් වහන්සේ ඇතුළු තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයත්, අධ්‍යාපන
අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමාත්, රාජ්‍ය පරිපාලන හා
බුද්ධ ශාසන අමාත්‍ය දේශබන්දු කරු ජයසූරිය මැතිතුමත්, ප්‍රදේශයේ
පාර්ලිමේන්තු , පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මැති ඇමතිතුමන්ලා
ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවීමට නියමිතය.
කුලියාපිටිය දුරුතු මහා පෙරහර සංස්කෘතික වශයෙන් වර්ණවත් කරන්නට
ප්‍රථමයෙන් කසකරුවන් ගමන් ගන්නා අතර, දෙවනුව දිවයිනේ ප්‍රමුඛ ගිනිබෝල
කණ්ඩායමක දර්ශනීයත්වය දැක බලා ගැනීමට හැකි වනු ඇත. මීළඟට ප්‍රවීණ
ශිල්පීන්ගෙන් සමන්විත හේවිසි කණ්ඩායමේ දක්ෂතා ද පහතරට, සබරගමු හා උඩරට
ප්‍රවීණ ශිල්පීන් ඇතුළත් කණ්ඩායම් හා සංස්කෘතික අංග 32 ක පමණ දක්ෂතා
දැක බලා ගැනීමට හැකි වනු ඇත. මේසා විශාල කර්තව්‍යයක් මැනවින් සාර්ථක
ලෙස හා මනා කළමනාකාරිත්වයකින් සංවිධානය කර ගැනීම සඳහා විහාරාධිපති හා
පෙරහර ප්‍රධාන අනුශාසක රතනභාරති නාහිමිපාණන් වහන්සේ ගන්නා පරිශ්‍රමය හා
කැපවීම අගය කරන අතරම, ඒ සඳහා දායකත්වය ලබාදෙන විහාරවාසී අධ්‍යාපනවේදී
මානන්කට්ටුවේ සෝරත හිමියන් ඇතුළු විහාරවාසි සියලු හිමිවරුන්ටත් දිවා
රැය නොබලා වෙහෙසී පෙරහර සංවිධානයෙහිලා කටයුතු කරන පෙරහර සංවිධායක
කමිටුවටත් විහාරස්ථ දායක සභාව, අනුලා කුලඟන සමිතිය, ශ්‍රී දීපාලංකාර
දහම් පාසල, භාරතී ප්‍රජා සංවර්ධන පදනම ඇතුළු විහාරස්ථ සියලු
සංවිධානවලටත් , පෙරහරට දායක වු සැම දෙනාටත් පුණ්‍යානුමෝදනා පූර්ව
ස්තුතිය පළ කරන අතර, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු.
සත්කෝරළයට ආශීර්වාදයක්
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක
ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති,
මකුලෑවේ විමල මා හිමි
කවුරුත් දන්නා සත්කෝරළයේ කුලියාපිටිය නගරාසන්නයේ පිහිටි ඇස්සැද්දුම
ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානය ප්‍රදේශයේ බෞද්ධ අබෞද්ධ කා අතරත්
ගෞරවයට පාත්‍ර වූ, සැමට මානසික සුවයක් ලබා දෙන ප්‍රධානතම ආගමික
සිද්ධස්ථානයකි. ප්‍රදේශයේ ජනතාව අතර ආගමික සහජීවනය ඇතිවන ආකාරයට ආමිස,
ප්‍රතිපත්ති පින්කම් සිදු කරන අතර විසි වසරක පමණ සිට මුළු මහත්
සත්කෝරළයට ම ආලෝකයක් වන අයුරින් මහා පෙරහරක් මේ විහාරස්ථානයේ
මූලිකත්වයෙන් සිදු කෙරේ. විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
නියෝජ්‍ය පරියත්ති ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී
හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා දුරුතු පෙරහර කමිටුව, විහාරස්ථ කුළඟන
සමිතිය, දායක සභාව, දහම් පාසල, මේ ආදී සමිති සංවිධාන රැසක් සහභාගී කර
ගනිමින් කරන මේ මහ කර්තව්‍යය පිළිබඳ සුබාශීර්වාද කිරීමට ලැබීම සතුටකි.
මේ සඳහා විවිධාකාරයෙන් සහාය දෙමින් ක්‍රියා කරන සැමට තෙරුවන් සතු අනන්ත
ගුණ බලයෙන් යහපතක් ම වේවායි ආශීර්වාද කරමි. වසරින් වසර මේ පෙරහර
දියුණුවෙන් දියුණුවට පත්වේවා!
කුලියාපිටිය දුරුතු පෙරහර
ප්‍රධාන අනුශාසක හා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
නියෝජ්‍ය
පරියත්ති ලේඛකාධිකාරී ශාස්ත්‍රපති
පල්ලේකාගම රතනභාරතී හිමි
බුදු දහමේ හා සංස්කෘතියේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කර තිබෙන
සත්කෝරළයේ බෞද්ධ මහා කලා මංගල්‍යය වූ ඇස්සැද්දුම දුරුතු මහා පෙරහර මෙවර
පැවැත්වෙන්නේ විසි වැනි වරටයි. සියවසකට ඉහත ආරම්භ වූ මෙම විහාරස්ථානයේ
ප්‍රථම විහාරාධිපති ධූරය හෙබවූයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී හිමිපාණෝය. අනතුරුව මෙහි
විහාරාධිපති ධූරය දැරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක
මහාචාර්ය කබලෑවේ පියභාරතී හිමිපාණෝය. ඇස්සැද්දුම දුරුතු මහා පෙරහර,
මුලදී සංඝමිත්තා පෙරහර නමින් ආරම්භ කළේ උන්වහන්සේගේ අනුශාසනා පරිදිය.
අද වන විට මේ පෙරහර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අංක
1658 දරන ගැසට් පත්‍රයේ වන්දනා ගමන් ආඥා පනත යටතේ ලියාපදිංචිය ලද වයඹ
පළාතේ, ප්‍රමුඛතම පෙරහර බටව පත්ව තිබේ. ඒ සඳහා ප්‍රදේශයේ ගරුතර මහා
සංඝරත්නය, මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා, ප්‍රදේශයේ දේශපාලන
නිලතල දරන පින්වතුන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙළෙඳ ආයතන ආදී විවිධ
සංවිධාන හා ප්‍රදේශවාසී දානපති ගිහි පින්වතුන් නිරතුරුව ලබාදෙන
අනුග්‍රහය පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමි. මෙවර පෙරහර 30 වැනි
දින පස්වරුවේ විහාරස්ථානයෙන් ආරම්භ වන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ ද බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය හා
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය
ගිහි පැවිදි පිරිසකගේ සහභාගිත්වයෙනි. මේ බෞද්ධ සංස්කෘතික කලා මංගල්‍ය
ත්‍රිවිධරත්නයේ ආශීර්වාදයෙන් ද සියලු දෙවියන්ගේ ද රැකවරණයෙන් ද සාර්ථක
වේවායි ආශීර්වාදාත්මකව ප්‍රාර්ථනා කරමි.
මහඟු සංස්කෘතිකාංගයක්
අධ්‍යාපන අමාත්‍ය
අකිල විරාජ් කාරියවසම්
කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානයේ විහාරාධිපති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය පරියත්ති ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්
වාර්ෂිකව පැවැත්වෙන ඇස්සැද්දුම දුරුතු මහා පෙරහර සම්බන්ධ මගේ ද
ශුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමි.
බුදු දහම හා සංස්කෘතිය සමඟ බැඳී වසර දහස් ගණනක් තිස්සේ පැවත එන බෞද්ධ
ජනතාවගේ විශිෂ්ටතම උරුමයක් ලෙස සැලකිය හැකි “බෞද්ධ පෙරහර” සංකල්පය බොදු
ජන බැතිය නංවන මහඟු සංස්කෘතිකාංගයකි. මහනුවර ශ්‍රී දළදා පෙරහර නැරඹීමට
ලොව නන්දෙසින් සංචාරකයන් පැමිණෙන්නේ එහි ඇති විශිෂ්ටත්වය හා වටිනාකම
නිසාමය.
ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය මඟින් පවත්වන දුරුතු පෙරහර ද
එවැනි පිළිගත් මහා පෙරහරක ඇතුළත් සම්ප්‍රදායික අංග බොහෝ දුරට ඇතුළත්
කරමින් අංග සම්පූර්ණ පෙරහරක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ගරු
විහාරාධිපතීන් වහන්සේ ප්‍රමුඛ දායක කාරක සැමටත්, පෙරහර සංවිධායක
කමිටුවටත් මගේ කෘතඥතව පළ කරමි. ඇස්සැද්දුම දුරුතු පෙරහර මෙවරත් සාර්ථකව
පැවැත්වීමට හැකිවේවායි! ප්‍රාර්ථනය කරමි.
වයඹට ආසිරිමත් අවස්ථාවක්
බුද්ධ ශාසන ඇමති.
කරු ජයසූරිය
වයඹ සත්කොරළේ මහා කලා මංගල්‍යයක් වශයෙන් හඳුන්වන කුලියාපිටිය
ඇස්සැද්දුම ශාසනාලංකාර මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන දුරුතු පෙරහර
නිමිත්තෙන් බුදුසරණ පුවත් පතට ශුභාශිංසනය නිකුත් කරනුයේ මහත් සතුටිනි.
වසර ගණනාවක් මුළුල්ලේ මෙම විහාරස්ථානය පිළිබඳ පෞද්ගලිකව දනිමි.
විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී නායක ස්වාමීන් වහන්සේගේ
ශාසනික හා ජාතික මෙහෙවර පිළිබඳව මට ඇත්තේ අති මහත් සතුටකි. තරුණ
භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් සැමට ආදර්ශමත්ව විහාරස්ථානයටත් පොදුවේ
ශාසනයටත් කරනු ලබන සේවාවන් අතර, වාර්ෂිකව පවත්වන මෙම දුරුතු පෙරහර
හඳුන්වා දෙමි. අපේ බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිහිපත් කරමින්
සැදැහැවතුන්ගේ වන්දනීය භාවය ඉස්මතු කරමින් අපේ පැරණි කලා සංස්කෘතිය
රකිමින් කරන මෙම උදාර ජාතික මෙහෙවර මම යළි යළිත් අගේ කරමි. මෙම උදාර
ශාසනික කාර්ය ට අත හිත දෙන සෑමදෙනාටම ස්තුති වන අතර ඉදිරියේ අපේ ආගමික
සබැඳියාව වර්ධනය කර ගැනීමට මෙය හේතු වේවායි පතනු කැමැත්තෙමි.
තෙරුවන් සරණයි! |