ධර්මය මත පදනම් විය යුතුය
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
සමාජය යනු පුද්ගලයන්ගේ එකතුවකි. පුද්ගලයාගෙන් තොරව සමාජයටත් සමාජයෙන්
තොරව පුද්ගලයාටත් පැවතිය නොහැකිය. මේ හේතුව නිසා බුදුදහම පුද්ගලයා
මෙන්ම සමාජය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමුකර තිබේ. සසුන ආරම්භයේ සිටම
බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ මෙන්ම සමාජ සංවර්ධනය පිණිස හේතුවන ආචාර්
ධර්ම පද්ධතියක් හඳුන්වා දුන්හ. මේනිසා බුදුරදුන් වදාළ ධර්මය සදාචාරමය
ජීවන ප්‍රතිපදාවක් ලෙස නම් කළ හැකිය.
එහි ඉගැන්වෙන සදාචාරමය ශික්ෂණයට ප්‍රායෝගික මෙන්ම අර්ථවත් පදනමකින්
යුක්ත වේ. යම් ක්‍රියාවක් සදාචාර වශයෙන් නිවැරදිව හඳුනා ගැනීමට අවශ්‍ය
නිර්ණායක මෙන්ම එම ක්‍රියා අනුගමනය කිරීමෙන් ලැබෙන ප්‍රායෝගික
වටිනාකම්ද බෞද්ධ සදාචාර දර්ශනය යටතේ ඉදිරිපත් කර තිබේ. බුදුරජාණන්
වහන්සේගේ සදාචාර දර්ශනය අනුව පුද්ගලයා මූලික වශයෙන් කායික හා වාචසික
වැරදි ක්‍රියාවලින් වළක්වා ඒ වෙනුවට ඔහුට යහපත් කායික හා වාචසික
ක්‍රියා නිර්දේශකර ඇත. මෙම ක්‍රියා ශීලය යටතේ ඉදිරිපත් කර තිබේ. ශීලය
හෙවත් ශික්ෂණය නැතහොත් කායික වාචසික සංවරය සෑම පුද්ගලයෙක් තුළම වර්ධනය
කරගත යුතු මූලික සදාචාරය වේ. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ
පුද්ගල සදාචාරයෙන් තොරව සමාජ සදාචාරයක් ගැන සාකච්ඡා නොකරයි.
බෞද්ධ සමාජ දර්ශනය පිළිබඳ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික ඉගැන්වීම්
ඇතුළත් සිඟාලෝවාද සූත්‍රයෙහි මුල් කොටසින් අවධාරණය කෙරෙන්නේ පුද්ගල
සදාචාරයේ වැදගත් කමයි. ඒ යටතේ පුද්ගලයා පළමුව සදාචාර සම්පන්න වීමේ
වැදගත්කම පැහැදිලි වේ.
ඉහතින් දැක්වූ සතර කර්ම ක්ලේශවලට අයත් ක්‍රියා පුද්ගලයාගේ බාහිර චර්යාව
පමණක් නොව අභ්‍යන්තරයද අපිරිසුදු බවට පත් කරයි. එම ක්‍රියා හතරටම
මුල්වන මානසික සාධක ලෝභ, දෝස, මෝහ යන අකුශල මූලයන්ය. . එම ක්‍රියා
පුද්ගලයා කිලිටි කරන හෙයින් කර්ම ක්ලේශ ලෙස දක්වා තිබේ. ඡන්ද, දෝස, භය,
මෝහ යන අගතීන්ගෙන් යුක්ත පුද්ගලයාගෙන් සාධාරණත්වයක් අපේක්ෂා කළ
නොහැකිය. අපාය මුඛ හය යනුවෙන් දැක්වෙන චර්යාවන්ද පුද්ගලයා මෙන්ම සමාජයේ
යහපැවැත්මට බාධාකාරි වේ. එක් අතකින් පුද්ගල බද්ධ ආර්ථිකය කෙරෙහි මෙන්ම
සමාජ සංවර්ධනයට මෙම කරුණු හය බාධකයක් බව ඉතා පැහැදිලිය. කර්මක්ලේශ, සතර
අගති, අපායමුඛ භය යන මේ අංගවලට අයත් දුර්වලතා පවතින පුද්ගලයෙකුට සමාජ
වගකීම් දැරීමට මෙන්ම හිතකර සමාජ සම්බන්ධතා ගොඩනඟා ගැනීමටද නොහැකි වේ.
එවැනි චරිතයකට හිමිකම් කියන පුද්ගලයා නියෝජනය කරන සමාජ ආයතන ආයතන මෙන්ම
සංවිධාන විනය හා සදාචාරය පිරිහුණු පුද්ගලයන්ගේ නායකත්වයට නතුවීම
හේතුවෙන් විනාශයට පත්වී ඇති අයුරු පැහැදිලිය. මේ හේතුව නිසයි බුදුදහමේ
පුද්ගල සදාචාරය මෙතරම් වැදගත්කොට සැලකෙන්නේ. සමාජ සංස්ථාගත සංවර්ධනයක්
මෙන්ම අන්තර් පුද්ගල සමාජ සම්බන්ධතාවල යහපැවැත්ම කෙරෙහි පුද්ගල සදාචාරය
ඍජුවම බලපායි. බෞද්ධ සමාජ දර්ශනය අනුව පවුල, පාසල හා ආගමික ආයතනය වෙත
පැවැරෙන සමාජ වගකීම විශාලය. පුද්ගලයාට සුදුසු පෞරුෂයක් මෙන්ම නිවැරදි
ආකාරයට ඔහු සමාජානුයෝජනය කරන්නේ මෙකී ආයතන විසින්ය. එම ආයතන සතු වගකීම
මැනවින් ඉටු නොවුණු තැන බිහිවන්නේ අපරාධකරුවන්ය.
මෙම තත්ත්වය වළක්වා ගැනීම පිණිස බුදුරදුන් දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ
මෙන්ම ආගමික නායකයන්ගේද පළමු යුතුකම හා වගකීම ලෙස දක්වන්නේ තම දරුවා,
ශිෂ්‍යයා හා දායකයා පවින් වැළැක්වීම (පාපා නිවාරෙන්ති) යහපතෙහි යෙදවීම
(කළ්‍යාණේ නිවෙසෙන්ති) හා මැනවින් හික්මවීමයි. (සුවිනීතං විනෙන්ති) මෙය
වෙනත් ආකාරයකට පවසන්නේ නම් දෙමාපියන්ගේ මෙන්ම පාසලෙන් හා දහම් පාසලෙන්
දරුවාට පළමුව සදාචාරාත්මක අධ්‍යාපනය ලැබිය යුතු බවයි.
සමාජයක අනාගත පුරවැසියන් මෙන්ම සමාජයේ නායකයන් හා වගකිව යුත්තන් බවට
පත්වීමට සිටින දරුවන් තුළ විනයගරුක බව හා මනා හැදියාවකින් යුක්ත
පෞරුෂයක් ගොඩනැඟීමට මෙම ආයතන තුනට ලැබෙන වගකීම සුළුපටු නොවන බව
සිඟාලෝවාද සූත්‍රයෙන් පැහැදිලි වේ. ඇතැම් පාසල් දරුවන් මෙන්ම තරුණ
පිරිස් අතරින් සදාචාර විරෝධි හැසිරීම් මෙන්ම විනය විරෝධි ක්‍රියා දක්නට
ලැබෙන්නේ උක්ත ආයතනවලින් ලැබිය යුතු සදාචාරාත්මක මඟපෙන්වීම ඔවුන්ට
නොලැබෙන නිසා බව පැහැදිලිය. වර්තමාන අධ්‍යාපනය තුළ සෑම අයෙක්ම උනන්දු
වන්නේ ඉහළ මට්ටමේ රැකියා අරමුණු කරගත් විභාග සඳහා දරුවන් සූදානම්
කිරීමටය. ඔවුන් කොතරම් ගුණවත් හා හැදියාවෙන් යුක්ත අය විය යුතුද? යන්න
කෙරෙහි දක්වන්නේ අඩු උනන්දුවකි.
ඇතැම් විට දරුවා දහම් අධ්‍යාපනයට යොමු කිරීමට වඩා වෙනත් විෂයන් කෙරෙහි
යොමු කිරීමට උන්නදු වෙති. දරුවා තුළ සදාචාරය වර්ධනය කිරීම පළමු වගකීම
කරගත් දහම් පාසලද වර්තමානයේ පාසල මෙන්ම තරගයට යොමුවී තිබේ. ආගමික
අධ්‍යාපනය තුළින් ලබාදෙන ශික්ෂණය මෙරට සියලු ආගමික ආයතන මෙන්ම ආගමික
බැතිමතුන් තවමත් නිසිපරිදි වටහාගෙන නැති බව පෙනේ.
දරුවාට ලබාදෙන අධ්‍යාපනයේ මූලික පදනම සදාචාර අධ්‍යාපනය බව සිඟාලෝවාද
සූත්‍රයේ දැක්වෙන කරුණුවලින් සනාථ වේ. දැනුමින් පමණක් පෝෂණය වු යහපත්
ආකල්ප හා හැසිරීම්වලින් තොර වෘත්තිකයන් පමණක් අපට දක්නට ලැබෙන්නේ
සදාචාර අධ්‍යාපනය නොලැබීමේ හේතුවෙනි. සමාජයට සදාචාරාත්මක මඟ පෙන්වීමක්
ලබාදෙන උක්ත ආයතනවල ප්‍රධානීන් ලෙස සැලකෙන දෙමාපියන්, ගුරුවරුන් හා
පැවිදි උතුමන් තුළ සියල්ලට පෙර විනය ගරුක බව හැදියාව හා ශික්ෂණය පැවතිය
යුතුයි. බුදුදහමෙහි අවධාරණය කරන්නේ අවවාදයට වඩා ආදර්ශය උතුම් බවයි.
පළමුව තමා නිවැරදි පිළිවෙතෙහි පිහිටා අන් අයට අනුශාසනා කළ යුතුවේ.
තමා සදාචාර සම්පන්න නොවී අන් අයට මඟපෙන්වීම වනාහි තමා මඩෙහි එරී
සිටියදී තවත් අයෙක් මඩෙන් ගොඩගැනීමට දරන ප්‍රයත්නයක් ලෙස බුදුරදුන්
දේශනාකළ අයුරු ද්වේධා විතක්ක සූත්‍රයේ අන්තර්ගත වේ. මෙම ඉගැන්වීම්
මඟින් තවදුරටත් තහවුරු වන්නේ පුද්ගල සදාචාරයේ වැදගත්කමයි.
නීතිගරුක වීම මෙන්ම විනයගරුක වීම සෑම පුරවැසියෙකුගේම යුතුකම ලෙස
බුදුසමයේ දැක්වේ. සියල්ල ධර්මය මත පදනම් විය යුතුය යන්න බෞද්ධ
සදාචාරයෙන් ඉදිරිපත් කෙරෙන දර්ශනයයි.
ධර්මය නොමැති වූ විට මිනිසා වල්මත් වූවෙකු සේ ක්‍රියාකරයිධර්මාණුකුල
වීම යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයා නීතියට යුක්තියට හා සදාචාරයට අනුව
කටයුතු කරන්නෙකු වීමය.
දැහැමි මිනිසුන්ගෙන් යුක්ත සමාජයට නීතිය හා යුක්තිය රැකීමට බාහිර
ආයතනයක් හෝ දඬුවමක් අවශ්‍ය නොවේ. නීතිය හා දඬුවම් මෙන්ම අධිකරණ පද්ධති
නිර්මාණය වන්නේ සදාචාරයෙන් මිනිසා පිරිහෙන විටය.
මෙය අග්ගඤ්ඤ සූත්‍රයෙන් ඉදිරිපත් කෙරෙන දර්ශනයයි. පුද්ගලයා සදාචාර
සම්පන්න විනයගරුක , යුක්තිගරුක, සාධාරණ අයෙක් වන්නේ නම් එය සමාජ
සදාචාරය පිණිස හේතුවේ. ඒ අනුව පුද්ගල සදාචාරයෙන් තොරව සමාජ සදාචාරයක්
අපේක්ෂා කළ නොහැකිය. |