පව් කරන අනුවණයා තමාට සතුරෙකි
ඉපලෝගම – මච්චාගම
ඉසිපතන චිත්ත සමාධි යෝගාශ්‍රමාධිපති
මැල්ලවගෙදර සමණ ධම්ම හිමි
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
චරන්ති බාලා දුම්මේධා
අමිත්තේනේච අත්තනා
කරොන්තා පාපකං කම්මං
යංහෝති කටුකප්ඵලං
පින්වත්නි,
මෙම ගාථාරත්නය අයත්වන්නේ ධම්මපදය බෞද්ධ අත්පොතේ බාලවග්ගයටයි. මෙහි සරල
අදහස් වන්නේ ‘දෙලොව යහපත නොදන්නා අඥානයෝ කටුක විපාක ගෙන දෙන පව්කම්
කරමින් තමන්ටම තමන් සතුරෙක් කරගෙන ආත්ම භාවයේ හැසිරෙත්” යනුයි.
කර්ම විපාකය නිසා කුෂ්ඨ රෝගයෙන් පෙළුණ සුප්‍රබුද්ධ නම් අයෙක් රජගහනුවර
වාසය කළා. මොහු ඉතාම දිළිඳුයි. අනුන් දුන් යමකින් ජීවත්වුනා. කුෂ්ඨ
රෝගය නිසා මොහු සමාජයෙන් කොන් කළා.
දිනක් මෙම කුෂ්ඨ රෝගියා කැම ටිකක් සොයාගනු පිණිස මහමඟට බැස්සා. ටික
දුරක් යද්දී ඔහු දුටුවා ගසක් යට පිරිසක් රැස්වෙලා සිටිනවා. මෙතන කෑම
බෙදන තැනක් වෙන්න ඕන. “ යැයි ඔහු සිතුවා. ඔහු එතැනට කිට්ටුවී බැලුවා.
එම ස්ථානය කෑම බෙදන ස්ථානයක් නොවන බව ඔහු දුටුවා. සෙනඟ රැස්වී සිටින්නේ
කුමක් නිසාද?” ඔහු විපරම් කර බැලුවා. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වැඩ
සිටිනවා ඔහු දුටුවා.
“මෙතැන කුමක් හෝ වටිනාකමක් තියෙන්න ඕන. මෙම සෙනඟ රැස්වී සිටින්නේ එම
නිසයි. මෙම සෙනඟ රැස්වී සිටින හේතුව මම සොයන්න ඕන” මෙසේ සිතු
සුප්‍රබුද්ධ සෙනඟ අතර පසෙක වාඩිවුණා.
සුප්‍රබුද්ධ පෙර කරන ලද අකුසල කර්මය අනුව කුෂ්ඨ රෝගයෙන් පෙළුණත්, ඔහු
වාසනාවන්තයෙක්. පෙර කරන ලද කුසල්ද ඔහු ළඟ තිබුණා. බුදුරජාණන් වහන්සේගේ
බුදු නුවණට මොහු යොමුවුනා.
අද ධර්මය අවබෝධ කළ හැකි එකම පුද්ගලයා මෙම අය බව බුදුරජාණන් වහන්සේ
දුටුවා. බුදුරජාණන් වහන්සේ කුෂ්ඨ රෝගියා අරමුණු කර ධර්මය දේශනා කළා.
දන්දීමේ ආනිශංස, සිල්රැකීමේ ආනිශංස දේශනා කළා. කාමයන් පසුපස යාමේ
විපාකත්, කෙලෙස් නැති කිරීමෙන් ලැබෙන ආනිශංසයත් දේශනා කළා. සංසාරයේ ගෙන
ආ පුරුද්ද නිසා කුෂ්ඨ රෝගියාගේ සිත දහමට ඇදී ගියා. දහම කෙරෙහිම සිත
සමාධි ගත වුනා. බුදුරජාණන් වහන්සේ දුක කුමක්ද, යන්නත් දුක ඇතිවීමට
හේතුවත්, එනිසා දුක නැතිකිරීමටත්, ඒ සඳහා අවශ්‍ය මාර්ගයත් පහදා දුන්නා.
සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාට චතුරාර්ය සත්‍යය අවබෝධ වුනා. ඔහු සෝවාන්
ඵලයට පත්වුනා.
සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා හද පිරි සතුටින් පිනා ගියා. බුදුරජාණන්
වහන්සේගේ ශ්‍රී පතුල් ළඟ වැඳ වැටුනා. ‘ස්වාමීනි, මම අද පටන් පණ තියන
තුරු ඔබ වහන්සේ සරණ යනවා. ධර්මය සරණ යනවා.
ශ්‍රාවක සංඝයා සරණ යනවා. ස්වාමීනි, මා තෙරුවන් සරණ ගිය උපාසකයෙක්
වශයෙන් පිළිගන්නා සේක්වා” යනුවෙන් පැවසුවා.
ශක්‍ර දේවේන්ද්‍රයා මෙම සියල්ල බලා සිටියා. “මෙම කුෂ්ඨ රෝගියාට මුලදී
කවුරුත් සැලකුවේ නැහැ.
මොහු දැන් සෝතාපන්න කෙනෙක්. මෙම අය බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න
ශ්‍රාවකයෙක් බව සමාජයට පෙන්වන්න ඕන” මෙසේ සිතූ සක්දෙවිඳු කුෂ්ඨ රෝගියා
ඉදිරියේ අහසේ පෙනී සිටියා.
“සුප්‍රබුද්ධ ඔබ හරිම දුප්පත්, ඉන්න තැනක් නැහැ. කන්න දෙයක් නැහැ. ඔබ
අනන්ත දුක්විඳිනව. මා ඔබට අවශ්‍ය තරම් ධනය දෙන්නම්. ඔබට ගෙයක් හදාගෙන
කාලබීල ඉන්න පුළුවනි. හැබැයි ඔබ මම කියන අන්දමට කටයුතු කරන්න ඕන.
බුදුරදුන්ගෙන් මට ඵලයක් නැහැ. ධර්මයෙන්ද මට ඵලයක් නැහැ. සංඝයාගෙන්ද මට
ඵලයක් නැහැ. ඔය අන්දමට කියමින් නගරය පුරා යන්න එවිට ඔබට අවශ්‍ය තරම්
ධනය මම දෙනවා” යනුවෙන් ශක්‍රයා පැවසුවා. සුප්‍රබුද්ධ තිගැස්සී බලා
සිටියා. “මෙසේ කියන්නේ මාගේ බුදුහාමුදුරුවන්ට නොවේද ? ධර්ම රත්නයට
නොවේද? සංඝරත්නයට නොවේද? සුප්‍රබුද්ධට හරිම දුකක් කනගාටුවක් ඇතිවුනා.”
මට ඔය අන්දමට කියන්න ඔබ කවුද? සුප්‍රබුද්ධ ඇසුවා. “මම තමයි සක් දෙවිඳු”
ශක්‍රයා පිළිතුරු දුන්නා.
”මම ඔබගේ ධනයට රැවටෙන්නේ නැහැ. ඔබගේ ඔය ධනයට වඩා මහා ධනස්කන්ධයක් මා ළඟ
තිබෙනවා. මාගේ ළඟ තිබෙන මහාධනය තමයි අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
කෙරෙහි පවතින නොසෙල්වෙන ප්‍රසාදය. ඒවගේම තමා අමා මහ නිවන් සුවය ලබාදෙන
ශී‍්‍ර සද්ධර්මය කෙරෙහි මගේ හද තුළ ඇති නොසෙල්වෙන ප්‍රසාදය. ඒ වගේම මා
තුළ තිබෙනවා ආර්යය ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය මා ළඟ
තිබෙනවා.ආර්ය කාන්ත සීලය මේ මහා ධනස්කන්ධයට මා දැන් හිමිකරුවෙක් වෙලා
ඉන්නෙ. මෙම පරම දුර්ලභ උත්තරීතර ධනස්කන්ධය මට ලබාදුන්නේ මගේ ශාන්තිනායක
බුදුරජාණන් වහන්සේ, ශක්‍රය මම දිළින්දෙක් නොවෙයි. මේ ලෝකයේ කිසිම
කෙනෙකුට සොරකම් කරන්නත් බැරි ඒ මහා ධනස්කන්ධයේ හිමිකරු මමයි. එම ධනයට
හිමිකරුවු මා ඉතාම සුවසේ වාසය කරනවා” සුප්‍රබුද්ධ ප්‍රකාශ කළා. එම
ප්‍රකාශයත් සමඟ සක්දෙවිඳු නොපෙනී ගියා.
බුදුරජාණන් වහන්සේද මෙම සිද්ධිය දැනගත්තා. දම්සභා මණ්ඩපයේ දී මෙම කරුණ
බුදුරජාණන් වහන්සේ සැළකළා. සුප්‍රබුද්ධ කෙරෙහි සියලු දෙනාගේම ගෞරවය
ඇතිවුනා. ඔහුගේ නොසෙල්වෙන ශ්‍රද්ධාව ගැන ප්‍රශංසා කළා.
පෙර කරන ලද කර්මයක විපාක මතුවුනා. සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාට ගවදෙනක්
ඇන්නා. එයින් ඔහු මරණයට පත්වුනා. මිය ගිය සුප්‍රබුද්ධ තව්තිසා දෙව් ලොව
දිව්‍ය පුත්‍රයෙක්වී උපන්නා.
මෙවැනි පින්වතකුට කුෂ්ඨ සෑදීමට හේතුවූ කරුණු භික්ෂුන් වහන්සේලා දම්සභා
මණ්ඩපයේදි බුදුරජාණන් වහන්සේගෙන් විචාළා.
”මෙම සුප්‍රබුද්ධ එක් කලක රජගහනුවර ධනවත් සිටු පුත්‍රයෙක් වී සිටියා.
දිනක් මොහු අශ්වයා පිට උයන් කෙළියට යන විට තගරසිඛී පසේ බුදුන් වහන්සේ
හමුවුනා. මෙම කුෂ්ඨයා කුෂ්ඨ වසාගන්න සිවුරු පොරවා ගෙන යනවා” යනුවෙන්
පවසා සිනාසෙමින් යන්න ගියා. එම පාප කර්මය පසුපස ආවා. අවුරුදු ලක්ෂ
ගණනක් නිරයේ පැසුනා. රජගහනුවර අන්ත දිළිඳු වූ කුෂ්ඨ රෝගියෙක් වී
උපන්නා.
කරන ලද අකුසලය පල දුන්නා මෙන්ම සසර කරන ලද කුසල බලය නිසා සෝතාපන්න
භාවයට පත්වීමේ වාසනාව ලැබුණා” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
ගැල අදින ගොනා පසුපස ගැල්සක පැමිණෙනවා මෙන්ම කරන ලද පාපකර්මයත්,
සෙවනැල්ල මෙන් පුණ්‍ය කර්මයත් තමන් පසු පස පැමිණෙනවා. එය වළක්වන්න
කිසිවකුටත් බැහැ. අමූලිකා ශ්‍රද්ධාවෙන් බැහැර වී ආර්යකාන්ත සීලයෙහි
පිහිටා නොසෙල්වෙන ප්‍රසාදයක් ත්‍රිවිධරත්නය කෙරෙහි ඇතිකරගෙන මෙම භවය
තුළදීම සතර අපායෙන් අත්මිදීම සඳහා
අධිෂ්ඨාන කරගනිමු. |