Print this Article


ගුණ දහම් වැඩිකර ගනිමු

ගුණ දහම් වැඩිකර ගනිමු

තම යුතුකම් ඉටුකළ විට පව් කම් නොකළ විට දීර්ඝායුෂ සැලසෙන්නා සේම දියුණුව යසස කීර්තියද, වැඩෙයි. තමා පමණක් සැප විඳින්නාගේ එලොව මෙලොව කිසිදු දියුණුවක් නොසැලසෙන අතර බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ දේශනා කර වදාළ පරිදි පිරිහීමට ලක්වේ.

ධනය පරිභෝග කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි අපට පැහැදිලිව දේශනා කර වදාළා. .තමන් උපයන ධනයෙන් එක් කොටසක් එදිනෙදා පරිහරණයටත් කොටස් දෙකක් ආයෝජනයටත් ඉතිරි කොටස හදිසි ආපදාවකට ආරක්ෂාව පිණිස තබා ගැනීම කළ යුතු බව උන්වහන්සේගේ දේශනාව වුණා. එසේම තමන් සරි කරගත් ධනය අන් අයගේද හිත සුව පිණිස යහපත පිණිස යෙදවිය යුතු බවද බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණා. එසේ නොකරන්නා පිරිහෙන බවද උන්වහන්සේ දේශනා කර වදාළා.

පරාභව සූත්‍රයේ මේ ගාථාවෙන් උන්වහන්සේ වදාළේ එයයි.

පහූත විත්තො පුරිසො
සහිරඤ්ඤො සභෝජනෝ
ඒකො භුඤ්ජති සාදුනි
තං පරාභවතො මුඛං

බොහෝ වස්තුව ඇති රන් කහවණු ඇති භෝජන ඇති පුරුෂයෙක් මිහිරි ආහාර තනිව හිඳ අනුභව කරයිද? එය පිරිහීමට හේතුවේ.

තමා පමණක් සැප විඳීම බුදු දහම කිසිසේත් අනුමත නොකරයි. තමන්ට හැකියාව ලැබුණු පසු කළ යුතු යුතුකම් වගකීම් මොනවාද? විශේෂයෙන්ම ධනයෙන් ආඪ්‍ය වූ අයකු භවභෝගවලින් පූර්ණ වූ අයකු කටයුතු කළ යුත්තේ කෙසේද ?

ඒ සියල්ල තමා පමණක් පරිභෝජනය කරයි නම් එය නොමනා පැවැත්මකි. වෙහෙස මහන්සි වී ධාර්මික ලෙසින් ධනය ඉපැයීම බුදුදහම අනුමත කර තිබෙනවා සේම එසේ සරි කරගත් ධනය අන් අයගේ හිත සුව පිණිස යෙදවීමද කළ යුතුම යැයි බුදු දහමේ දැක්වෙනවා. දුක් මහන්සි වී උපයා ගන්නා ධනය භවභෝග සම්පත් සමාජයේ අනෙක් අය හා මුසු වී පරිහරණ කළ යුතුවනවා.

මෙහිදී පළමුවෙන්ම මවුපියන්ට හා අඹුදරුවන්ට සංග්‍රහ කළ යුතුවනවා. එමෙන්ම ඥාති මිත්‍රාදීන්ට සංග්‍රහ කළ යුතුවනවා. මහණ බමුණන්ට සංග්‍රහය කළ යුතුවනවා. මේ අයුරින් සමාජය හා එක්වී ධනය පරිභෝජනය කළ යුතු බවයි බුදු දහමේ දැක්වෙන්නේ. සැදැහැවත් බෞද්ධයකු විසින් තමන් උපයන ලද ධනය සතර ආකාරයක යුතුකම් සඳහා යෙදවිය යුතු බවද බුදු දහමේ ඉගැන්වෙනවා. ඒ අනුව තම ධනය හා සම්පත් දෙමාපියන් පෝෂණය හා නඩත්තුව සඳහා යෙදවිය යුතුවනවා.

එමෙන්ම හදිසි ආපදා අවස්ථාවන්හි එම ආපදා මැඩ පවත්වා ගැනීම පිණිස ආරක්ෂා කර ගත යුතුවනවා.

එමෙන්ම පංච බලි ලෙස හැඳින්වෙන ඥාති බලි,අතිථි බලි, පුබ්බපේත බලි, රාජ බලි, දේවතා බලි සඳහාද ධනය යෙදවිය යුතුවනවා. ඊට අමතරව දාන මාන ආදී සියලු පින්කම් කෙරෙහිත් තම ධනය වියදම් කළ යුතු වෙනවා.

තම ධනය තමාට පමණක් වියදම් කරගෙන තමා පමණක් සඳහා විඳින්නාට සමාජයෙන් යුතුකම් ඉටු නොවේ.

ඔහු කෙතරම් බල සම්පත්තියෙන් වුවද රෝගි වූ විට අසරණය. හදිසි ආපදාවකදී අනතුරකදී සමාජයේ ඇතැමුන් ‘මිනිහගෙ මරණෙටවත් යන්න හොඳ නැහැ.’ අදින්න පුබ්බකයෙක් ‘ ලෝභකුණා ,’කුම්මැහියා’ මේ ආදී ප්‍රකාශ තුළින් ගම්‍ය කරන්නේ තමාවත් සමාජයත් තම ධනයෙන් පෝෂණ නොකරන්නන්ටය.

එසේම තම ධනය තමාම පමණක් පරිහරණය කරන්නාට එහි අගය නොතේරේ නොදැනේ. සමාජයේ විෂමතාව නොපෙනේ. අපට සමාජයෙන් වෙන්ව ජීවත් විය නොහැකිය. මේ නිසා සමාජයට ගිය විට එවන් පුද්ගලයන් නිතැතින්ම තනි වේ.

තම ධනය හා බලය නිසා යා හැක්කේ සීමිත දුරකි. තමා පමණක් සැප විඳින්නාට අන් අයගේ කුස ගින්න නොදැනේ. නොපෙනේ. ආගමික, වතාවත් දානාදී පින්කම් නොපෙනේ. නොතේරේ. මේ නිසා ඔහුගෙන් පසු පැවතෙන පරම්පරාව ගුණ හීනයන් බවට පත්වීම වැළැක්විය නොහැකිය. එමෙන්ම ලෞකික වශයෙන් ඔවුන් ලබන සැපය ලෝකෝත්තර ගමනට දැඩි බාධා පමුණුවයි. ඔවුන් ඇත්ත ඇති සැටියෙන් නොදකී. නිර්වාණ මාර්ගයක් ගැන ඔවුනට දැනුමක් නැත. අවසානයේ ලොවට කිසිදු සෙතක් නොකොට මියයාම දකින්න පුළුවන්.

ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් පැවසුවේ තමන් ලැබූ දිවි පෙවෙතින් මෙලොවට වැඩ නොකරන්නේ නම් ඒ දිවි පෙවෙත කිසිදු වැඩක් නොවන බවයි. විශේෂයෙන්ම උදාසීනව සිටි බෞද්ධයන් අවදි කළ උන්වහන්සේ පවා තමා පමණක් යන සංකල්පයේ සිටින්නා පිරිහෙන බව උන්වහන්සේගේ උදාන කාව්‍යයන් ගෙන බැලූවිට පෙනී යනවා.

නියම ධනවතා භක්තිවන්තයෙක් විය යුතුය. ඔහු ආදර්ශ සම්පන්න විය යුතුය. මනා ලෙස හික්මීම ඇත්තකු විය යුතුය. ධනයෙන් පමණක් ඔහු පෝෂණය වී පලක් නොවේ. එසේ වුවහොත් සියලු යස ඉසුරු තනිව භුක්ති විඳී. එය බලවත් අපරාධයක් වනු ඇත. එමෙන්ම එවන් පුද්ගලයන්ගේ පැවැත්ම පවා සමාජයට නින්දාවකි. බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජු උදෙසා මහා ධර්මපාල ජාතකය දේශනා කරමින් පැවසුවේ කුඩා කල දරුවන් මිය නොයන බවට පෙර ආත්ම භවයකදී පවා රජතුමා විශ්වාස කළ බවයි. ඊට හේතූන් ලෙසින් දේශනා කර වදාළේ එම සමාජය පස්පවින් වැළකී තම යුතුකම් මැනවින් ඉටු කිරීමයි.

ඒ අනුව තම යුතුකම් ඉටුකළ විට පව් කම් නොකළ විට දීර්ඝායුෂ සැලසෙන්නා සේම දියුණුව යසස කීර්තිද, වැඩෙයි.

තමා පමණක් සැප විඳින්නාගේ එලොව මෙලොව කිසිදු දියුණුවක් නොසැලසෙන අතර බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ දේශනා කර වදාළ පරිදි පිරිහීමට ලක්වේ. එවන් පුද්ගලයෙක් ඇසුර පවා පිරිහීමට ලක් වීමට හේතුවකි. සමාජයේ ඇතැම් අයෙක් තම නිවාස වටා ප්‍රාකාර බැඳ තාප්පයන් වට කරගෙන නිවස ඉදිරිපිට සුනඛයන් ගේට්ටුව අසල මුරකරුවන් යොදා තමා පමණක් සැප විඳින අයුරු පෙනේ. මෙය බොහෝ විට නාගරිකව දක්නට ලැබෙනවා. එහෙත් ග්‍රාමීය මට්ටමෙන් තවමත් අන්‍යයන්ගේ කුඹුරට, කමතට, හේනට අත් උදවු දෙන සමාජයක් දක්නට ඇත. මිනිසා වැඩි දියුණුව නිතර සලසා ගත යුත්තේ ධනය වැඩිකර ගැනීමට වඩා ගුණ දහම් වැඩි කර ගැනීමටයි. එවිට ඔහු කරා යසස කීර්තිය පැමිණෙන්නාක් මෙන්ම උත්සාහය වීර්යය මතින් ධාර්මික ධන උපයන මාර්ගද සැලසේ. එය දියුණුවට හේතු වන අතර එසේ නොකිරීම මතුපිටින් නොපෙනුනද පිරිහීමටම මඟ පාදයි.