Print this Article


උසස් පුද්ගලයෙකු බවට පත් වීමට නම්

උසස් පුද්ගලයෙකු බවට පත් වීමට නම්

අපගේ මනැස වැරැදි අයුරින් හසුරවයි නම් දිවි පැවැත්ම අස්වාභාවික බවට පත් වෙයි. එයින් සිය ජීවිතයටම විශාල බලපෑමක් ඇතිවිය හැකිය. වැරැදි දෙය ගැන මනැස යෙදවූ විට එයින් භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදුවෙයි. පාලනය නොකළ සිත ඇතැම් විට ඉතාමත් දරුණු බවට පත්වෙයි. එබැවින් අප සිතන සිතිවිලි යහපත් සිතිවිලිම විය යුතු ය. කෙනෙකු ශ්‍රේෂ්ඨත්වයට පත් වන්නේ මිල මුදල් ඉඩකඩම් වලින් නොවේ. කෙනෙකු ශ්‍රේෂ්ඨයකු බවට පත් වන්නේ ඔහුගේ මනැසෙහි ස්වභාවය අනුවමය. පෘතග්ජන පුද්ගලයාගේ මනැස නිතරම පවතින්නේ සැලෙන තත්ත්වයේ ය. මනැස නිතරම වෙනස්වන ස්වභාවයේ පවතියි. ඇතැම්විට ශාන්තව පවතින අතර, ඇතැම් විට අවුල් සහගත තත්ත්වයට පත් වෙයි. අපේ මනැස කිලිටි නොවෙන බව සිතුවද අපට හොරෙන් මනැස කිලිටු වන අවස්ථාවන් දැකිය හැකිය. මනැසෙහි ඇති චපල බව හෙවත් වෙනස් වන සුළු බව නිසාම සත්වයාට තව තවත් සසරෙහි ගමන් කිරීමට සිදු වෙයි.

මනැස රැක ගැනීම තරමක අපහසු කාර්යයකි. ඒ සඳහා මහා උත්සාහයක් අවශ්‍ය වෙයි. එලෙස මනැස රැක ගන්නේ නුවණ තිබෙන අයයි. නුවණ තිබෙන පුද්ගලයා යහපත් දෙය හඳුනා ගනියි. අයහපත් දෙය හඳුනා ගනියි. අයහපත් දෙය ඉවත් කර, යහපත් දෙය තව තවත් දියුණුකර ගැනීමට උත්සාහ කරයි. මනැස හෙවත් සිත එකඟ කර ගැනීම මඟින් අපගේ හදවත පවිත්‍ර කර ගැනීමට හැකියාව ලැබෙයි. එවිට ශක්තිමත් මනැසකින් යුතුව, සත්‍යය සහ යථාර්ථය වටහා ගැනීමට හැකියාව ලැබෙයි. නිරන්තරයෙන්ම අපගේ සිත නොයෙකුත් ආශාවන්, සහජ ගති, ප්‍රේමය, වෛරය, ආශාව වැනි සිතිවිලි රැසකින් පිරී පවතියි. නින්දේ දී වුවද අපේ සිත් කිසියම් ප්‍රමාණයකින් ක්‍රියාත්මකව පවතියි. නින්දේ දී ඇතිවන හැඟීම් සහ සිතිවිලි වලට උප විඥානය ක්‍රියාත්මක වීමය’යි කියනු ලැබේ. එම උප විඥානයේ ඇතිවන සිතිවිලි දහරාවක් වශයෙන් නිරන්තරයෙන්ම පවතියි. සිතට නැඟ එන අප්‍රමාණ සිතිවිලි අතරින් අපට ප්‍රයෝජනයක් නැති, අපට පීඩාවක් ගෙන දෙන සිතිවිලිවලින් මිඳීමට අවශ්‍යතාවයක් අති වෙයි. එවිට අප කරන්නේ කුමක්ද? ඒ සඳහා විවිධ පුද්ගලයන් තම තමන් කැමැති පරිදි එක් එක් ක්‍රියාමාර්ග අනුගමනය කරති. ඇතැමුන් කලා නිර්මාණවලට යොමු වෙති. ඇතැමුන් හුදු විනෝදාස්වාදයටම යොමු වෙති. තවත් අයෙක් මත් වතුර, මත් ද්‍රව්‍ය ලබා ගැනීමෙන් අසහනය තාවකාලිකව යටපත් කර ගැනීමට උත්සාහ දරති. ඇතැමුන් සිතෙහි ඇතිවන අසහනය දුරුකර ගනු වස් සිය දිවි හානි කර ගැනීමට පවා පෙළඹෙති.

ජීවිතයට අවශ්‍ය කරන සියලු භෞතික සැප සම්පත් කොතෙක් සම්පූර්ණවී තිබුණත් බොහෝ දෙනා මානසික වශයෙන් සහනයක් අත් නොවිඳිති. මනැසෙහි සැහැල්ලු බව සැනසීම නොමැතිව විඳවමින් සිටින බොහෝ දෙනකු සමාජයේ දැක ගත හැකිය. මානසික සැහැල්ලුව සමඟ සතුට බැඳී පවතියි. කුරුල්ලන් වැනි සතුන් අත් විඳින මානසික සතුට අපට ද ආදර්ශයට ගත හැකිය. හිමිදිරියේ අවදි වන කුරුල්ලන් මිහිරි ගීත ගායනා කරති. එහෙ මෙහෙ පියාඹමින් අත්තටු වලටත්, සිරුරටත් හොඳ ව්‍යායාමයක් ලබා දෙති. තුඩගින් අත්තටු පිරිමදිති. හිරු රැස් හොඳින් ස්නානය කරමින්, තම සහකරු හෝ සහකාරිය සමඟ ආදරය හුවමාරු කර ගනිති. අනතුරුව මිහිරි ගීතයක් ගයමින් ආහාර සොයා පියාඹති. එහෙත් මනුෂ්‍යයන්ට එවන් සැහැල්ලු බවක් තිබෙන බව නොපෙනෙයි. වැඩ කටයුතු කන්දරාවක් හිස මත තබාගෙන අප්‍රසන්න මුහුණෙන් නික්ම යන මිනිසුන් ආපසු නිවසට එන්නේද අප්‍රසන්න හැඟීමෙන්ය. වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ අප්‍රසන්න වූත්, කලකිරීමට පත්වූත් මුහුණුය. මනැස කොතෙක් අවුල් සහගත ද යත් තාවකාලික තෘප්තිය උදෙසා ඉහත සඳහන් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරති.

සිතෙහි ඇති වන අසහනය දුරු කර ගනු පිණිස ඉහත සඳහන් කිසියම් නිරර්ථක ක්‍රියා මාර්ගයකට යොමු විය යුතුද? කිසිසේත්ම නැත. ඔබ ඔබගේ මනැසෙහි ශක්තිය වටහා ගත යුතු ය. සියලු දෙයට ප්‍රධාන වන්නේ මනස බව වටහා ගත යුතු ය. එම කරුණ අපගේ බුදුරජාණන් වහන්සේද දේශනා කර ඇතිසේක. මනැස පැහැදිලි නම්, මනැස නිරවුල් නම් ඔබට දැනෙන සැහැල්ලුව, සහනය මෙතෙකැයි කිව නොහැක. ඔබ කරන කුමන කාර්යයක් වුවද මැනවින්, සාර්ථකව කිරීමට නම් මානසික ඒකාග්‍රතාවය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි. වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, ව්‍යාපාරිකයෙක්, ගොවියෙක් ,ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්, ක්‍රීඩකයෙක් වන්නට පිළිවන. කුමන තරාතිරමක අයකු වුවද කරන කාර්යය සාර්ථකව කර ගැනීමට නම් පළමු කොටම තිබිය යුත්තේ මානසික ඒකාග්‍රතාවයයි. එය නොමැති නම් කරන කාර්යය නිවැරදිව, නිරවුල්ව, ක්‍රමානුකූලව කිරීමෙහි හැකියාව නොමැති වෙයි. මෙයට පුංචි උදාහරණයක් ඉදිරිපත් කරමි. කළගෙඩියක වතුර පිරී ඇති අවස්ථාවක, එයට තව තවත් වතුර දැමීම නිෂ්ඵල ක්‍රියාවකි. එමෙන්ම මනැස නොයෙකුත් කුණු කන්දල් වලින් පිරී ඇත්නම් අවුල් ජාලයක් බවට පත්වී කරන කාර්යයන් නිෂ්ඵල වන්නට පිළිවන.

මානසික ඒකාග්‍රතාවය ඇති කරගෙන, මනැසට සහනයක් ලබා ගැනීමට කැමති වන්නෙහි නම් බෞද්ධ භාවනා ක්‍රමයන් හැර වෙනත් ක්‍රියා මාර්ගයකට යොමුවිය යුතු නැත. එමඟින් මානසික ශක්තියත්, සහජ කුශලතාත්, හඳුනාගැනීමට හැකියාව ලැබෙයි. මානසික පසුබෑමත්, හීනවූ උද්‍යෝගයත් ඇත්නම් භාවනා ක්‍රම මඟින් යථා තත්ත්වයට පත්වීමේ හැකියාව ලැබෙයි. එවිට මනසෙහි තිබෙන නොයෙකුත් අපවිත්‍රදෑ ඉවත්ව, එය පළිඟු මිණක් මෙන්, එසේ නැතහොත් පිරිසුදු ජලාශයක් මෙන්, එසේත් නැතහොත් ඔප දමන ලද කැඩපතක් මෙන් පැහැදිලි බවට පත් වෙයි. දුහුවිලි කුණු රොඩු පිරුණ කාමරයක් අතුගා පිරිසුදු කලාක් මෙන් තණ්හා, ආශා, වෛරය, ක්‍රෝධය වැනි නරක සිතිවිලි ඉවත්ව ගොස් මනැස පවිත්‍ර බවට පත් වෙයි. සිතෙහි බයක්, තැතිගැන්මක්, හීනමානයක් ඇත්නම් ඉවත් වෙයි.

ඇතැම් විට මනැස තුළ මිථ්‍යා අදහස්, විශ්වාස තැන්පත් කරගෙන සිටිනවා විය හැකිය. කෙනෙක් කී පලියට, ඇත්ත නැත්ත සොයා නොබලා ක්‍රියා කරන්නෙහිද? යමෙක් පැවසූ තරමින්, පොත්පත් වල තිබූ තරමින්, පරම්පරාවෙන් පැමිණි තරමින් විශ්වාස නොකළ යුතු බව බුදුරජාණන් වහන්සේද දේශනා කළහ. මානසික කුණු රොඩු අපේ මනැසට ඇතුල් වන්නේ අප අවට පරිසරයෙන්ම බව පෙනෙයි. අප ඇසුරු කරන සමාජයෙන්, ඇතැම් විට අපේම නිවසින්, පාසලෙන්, ආගමික ස්ථානයෙන් වුවද මිථ්‍යා අදහස් ඔබේ සිතට ඇතුල්වීමට පිළිවන. අන්දමන්ද කිරීමට හැකි අනාවැකිකරුවන්, ශාස්ත්‍රකරුවන් අප අවට සමාජයේ සුලබව සිටිති.මනැස නිදහස්ව නිරවුල්ව තබා ගන්න.

අපගේ මනැස තුළ විශාල ශක්තීන් සමූහයක් ක්‍රියාත්මක වෙමින් පවතියි. ආදරය, ආශාව, වෛරය, බලාපොරොත්තු, ආත්ම විශ්වාස, උත්සාහය, මේ සියල්ලක්ම එකී ශක්තීන් ගොන්නට අයත් වෙයි. උත්සාහය ද ඉතා ප්‍රබල ශක්තියකි. මට යම් කිසි දෙයක් කළ හැකියි. එම කාර්යය කෙසේ හෝ කරන්නෙමි’යි කියන බලවත් ආත්ම විශ්වාසය සහ උත්සාහය තිබෙන කිසිවකුට එම කාර්යය කෙසේ හෝ කුමන දුෂ්කරතා මධ්‍යයේ වුව ද කිරීමට හැකියාව ලැබෙයි. ඇතැම් ශිෂ්‍යයන් දුර්වල විෂයයන් උත්සාහයෙන් හැදෑරීමෙන් උසස් ප්‍රතිඵල ලබන අවස්ථා ඇත. භූමිකම්පා, න්‍යෂ්ටික ව්‍යසන වැනි ඛේදවාචක වලින් විනාශ වූ රටවල් ද උත්සාහයෙන් කටයුතු කර දියුණුවී ඇත. එබැවින් කළයුතු වන්නේ මනැස තව තවත් ශක්තිමත් කර ගැනීමයි.

සිදුහත් බෝධිසත්වයන් වහන්සේ බවුන් වඩද්දී දසවිධ මාර සේනාවන් පැමිණ බාධා කළ බව ප්‍රසිද්ධ කරුණකි. පංච කාම සම්පත් අත්හැර, ගිහි ගෙයින් නික්මෙන විට ද අතර මඟදී මාරයා පැමිණ ගමන වළක්වාලීමට උත්සාහ කළේ ය. බුදුබව ලබන දින භාවනා කරමින් සිටින අවස්ථාවේ මාර දූවරු පැමිණ උන්වහන්සේට බාධා කළහ. එම සියලු මාරයන් සහ මාර දූවරුන් පරාජය කර, ජයග්‍රහණය කිරීමට උන්වහන්සේට හැකියාව ලැබුණි. එම මාරයන් යනු බෝසතුනට ඇති වූ සිතිවිලි සමූහයකි. එම සිතිවිලිවලට ඉඩ දුන්නේ නම් උන්වහන්සේට බුදු බව ලැබීමට හැකියාව නොලැබීමට ඉඩ තිබුණි. එම සිතිවිලි මාරයන් වශයෙන් හඳුන්වන ලදී. අප සිත් තුළ ද එවැනි මාරයන් නොයෙකුත් වේෂයෙන් ක්‍රියාත්මක වෙති. එම මාරයන් පරාජය කරන ඇතැම් දෙනා තම ජීවිත ආලෝකමත් කර ගනිති. ඇතැම් අය එවැනි මාරයන්ගේ වසඟයට පත්වී ජීවිත අඳුරට පත් කර ගනිති. ඔබට එම මාරයන්ගෙන් මිදිය හැකි නම් ඒකාන්තයෙන්ම ජයග්‍රහණය ලැබිය හැකිය.

තරුණ තරුණියන් අතරින් ඇතැම් දෙනා මානසික ආතතියෙන් පීඩාවට පත්වෙති. ඇතැම් තරුණ තරුණියන් විශාදයෙන් පීඩාවට පත්ව සිටිති. මෙම හේතුව නිසා ඔවුනට තම අරමුණු කරා පහසුවෙන් ගමන් කිරීමට හැකියාව නොලැබෙයි. මෙම ගැටලුවට ප්‍රධානම හේතුව වශයෙන් දැක්විය හැකි වන්නේ මානසික සහනය නොමැතිවීමයි. එබැවින් සියල්ලටම පළමුව තම තමන්ගේ මානසික සැහැල්ලු භාවය ඇති කර ගැනීමට උත්සාහ කිරීම බෙහෙවින්ම වැදගත් වෙයි. ඒ සඳහා මානසික අසහනය දුරු කරන යහපත් පුරුදු ඇති කර ගැනීම බෙහෙවින් වැදගත් වෙයි. ඔබ තුළ වර්ධනය කර ගත යුතු යහපත් පුරුදු කීපයක් ඇත. මෙම පුරුදු ඇති කරගැනීම මඟින් අත්හදා බැලීමක් කළ හැකි ය.

අදහන ආගමෙහි ඉගැන්වීම් ජීවිතයට සමීප කර ගැනීම.

සිත සමාධිගත කර ගැනීමට (කිසියම් භාවනාවක් වැඩීමට) උත්සාහ කිරීම

දිනපතා ශාරීරික ව්‍යායාමයක් කිරීම.

සම්භාව්‍ය සෞම්‍ය සංගීතය පි‍්‍රය කිරීම.

සොබා සෞන්දර්යය අත් විඳීම.

පෝෂණ ගුණයෙන් උසස් සරළ පි‍්‍රය මනාප ආහාර පිළිවෙතක් ඇති කර ගැනීම.

අසීමිත ආශාවන්, බලාපොරොත්තු සීමා සහිත බවට පත් කර ගැනීම.

යහපත් මිතුරන් ඇසුරු කිරීම.

අසභ්‍ය ප්‍රකාශන, පොත්පත් වැනි දෙයින් දුරු වීම.

මෙවැනි යහපත් ක්‍රියාවන් අනුගමනය නොකර, තව තවත් ඒවාට ඇබ්බැහිවීම තුළින් අනිවාර්යයෙන් නරක ප්‍රතිඵල අත් විඳීමට සිදුවනු ඇත. ඒ අනුව,

මානසික අසහනයට පත් වනු ඇත.

මානසික ආතතියට පත්වනු ඇත.

කිසිදු සතුටක් නොලබන, කලකිරීමට සහ ඉච්ඡා භංගත්වයට පත් අයකු බවට පත්වනු ඇත.

තරුණ බව යටපත්ව, මහලු බව ඉක්මන් වනු ඇත.

විවිධ ශාරීරික රෝගාබාධ වලට ගොදුරු වෙයි.

යහපත් මිතුරන් ඉවත්වන අතර සමාජයේ හුදෙකලා තත්ත්වයට ඇද දමනු ඇත.

ජීවිතය පිළිබඳ කලකිරීමට පත් වෙයි.

මෙලොව පිරිහෙයි, පරලොව ද පිරිහීමට පත් වෙයි.

මෙවැනි අනිටු ප්‍රතිඵලවලට අනිවාර්යයෙන්ම ගොදුරු වනු ඇත. එබැවින් සරල වූත් සැහැල්ලුවූත් දිවි පැවැත්මකට හුරුවීම අතිශය වැදගත්වේ. ආධ්‍යාත්මික සැනසුම අත්කරගනු පිණිස තමන් අදහන ආගම අනුව දිනපතා වත් පිළිවෙත්වල යෙදීමත්, ආගමික ශාස්තෘවරුන් නැමදීම, ගාථා, පිරිත්, ගීතිකා, ස්තෝත්‍ර වැනි දෙය ගායනා කිරීම බෙහෙවින් වැදගත් වෙයි. බෞද්ධ ඔබට දිනපතා සවස් භාගයේ මල් පහන් පුදා තෙරුවන් නැමඳිය හැකිය. අඩු තරමින් සතියකට වරක් හෝ සිද්ධස්ථානයට ගොස් බෝධිපූජාවක් පවත්වා තෙරුවන් නැමඳීමට හැක. බෝධි පූජාවක් කිරීමට විශාල මුදලක් අවශ්‍ය නොවේ. බොහෝ දෙනා හිතන්නේ බෝධි පූජාවක් කිරීමට විශාල මුදලක් තිබිය යුතු බවයි. එහෙත් මල් ස්වල්පයක්, එක් පහනක්, සුවඳකූරක් තිබුණත් බෝධි පූජාවක් කළ හැකිය. මනස සන්සුන් කර ගනු පිණිස ආගම කුමක් වුවද භාවනාවක නිරතවීමට පිළිවන. එසේම බාහිර කටයුතු ද යහපත් විය යුතු ය. ඇඳුම් පැළඳුම් හැකිතාක් දුරට චාම්, පි‍්‍රය මනාප, සැහැල්ලු ඒවා විය යුතු ය. පරිහරණය කරන සියලු භාණ්ඩ උපකරණ නිදන කාමරය, මේසය ඇතුළු සියල්ල අනවශ්‍ය දේවලින් පුරවා ගැනීම මානසික ඒකාග්‍රතාවයට මෙන්ම මානසික සතුටට බාධාවකි. එබැවින් අනවශ්‍ය දෙය ඉවත් කර අත්‍යවශ්‍ය දේ පමණක් පිළිවෙළකට ක්‍රමානුකූලව තබා ගැනීම මඟින් මානසික සහනය උදා කර ගත හැකිය. ආහාර පාන වුව ද ශරීර සෞඛ්‍යයට ගැළපෙන, පෝෂ්‍යදායක ඒවා වීම වැගත් වෙයි. බොහෝ දෙනා අධික තෙල්, මිරිස් රස කාරක යෙදූ ආහාර වලට රුචිකමක් දක්වති. එහෙත් ඒවා මගින් සෞඛ්‍ය තත්ත්වය ඉක්මනින් පිරිහෙනු ඇත. එය මානසික සහනයට බාධාවකි. එසේම වත් වතුර, මත් ද්‍රව්‍ය, දුම්වැටි වැනි අහිතකර දේවලින් පූර්ණ වශයෙන් වැළකිය යුතු ය. මෙම කරුණු අනුගමනය කරන ඔබට මෙලොව වශයෙන් සැනසිල්ල උදාකරගත හැකිය.

අපේ සිත කිලිටි වුවහොත් එය පිරිසුදු කර ගැනීමට හැකියාව ඇත්තේ අපටම පමණි. වෙනත් කිසිවකුට එය කළ නොහැක. ‘අත්තාහි අත්තනෝ නාථෝ - කොහි නාථෝ පරෝසියා’ තමාට පිහිට තමාමය. අනෙකකුට එය කළ නොහැකිය යනුවෙන් බුදු හිමියෝ වදාළහ. අකුසල වලින් වැරදි වලින් මනැස මුදා ගත යුත්තේ තමාමය. එසේම මනැස කුසල්හි පිහිටුවා ගත යුතු වන්නේත් තමා විසින්මය. අනෙකකුට එය කළ නොහැකිය. අපිරිසුදු මනසක් ඇති කරගෙන, අපිරිසුදු මනැසින් අකශල කර්ම සිදු කර ගත හොත් එහි විපාක අත් විඳිය යුත්තේ ද අපමය. අප වැරදි දේවල් එසේ නැතහොත් අකුශල කර්ම සිදුකර ගෙන එහි විපාක අත් විඳින විට කිසිවකුටත් අපව බේරා ගැනීමට හැකියාවක් නැත. මනැස සුරක්ෂිත කර ගතහොත්, මනැස ධර්මය තුළ පිහිටුවා ගතහොත් අපගේ සිත, කය, වචන යන තිදොරින් සිදුවන අකුසල් වළක්වා, කුසල් සිදුකරගැනීමට හැකියාව ලැබෙයි. එයින් මෙලොව ජීවිතය වාසනාවන්ත කර ගැනීමේ හැකියාව ලැබෙයි. මරණින් පසු සුගතියෙහි ඉපදීමට හැකියාව ලැබෙයි. එබැවින් මෙලොව පරලොව දෙලොව සුබ සිද්ධිය සඳහා පළමුවෙන්ම කළ යුත්තේ මනස සංවර කර ගැනීමයි.