Print this Article


දෙවියන්ට දෙසූ සම්බුදු බණ 01 නිවන් මඟ ගැන වදාළ දෙසුම

දෙවියන්ට දෙසූ සම්බුදු බණ 01

නිවන් මඟ ගැන වදාළ දෙසුම

අපගේ ධර්මස්වාමි වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකනාථ වන සේක. ප්‍රඥා ලෝකයෙන් ලොව එළිය කරන සේක. කිසිවෙකුත් නොදැන සිටි ඒ අමා නිවන් මඟ මැනැවින් හෙළිදරව් කළ සේක. නිවන් මඟෙයි අතිශයින්ම නිපුණ වන සේක. නන් අයුරින් ඒ නිවන් මඟ විදහා දක්වන්නට දක්ෂ වන සේක.

ඒ උතුම් නිවනම නොයෙක් අයුරින් විග්‍රහ කරමින් දේශනා කරන විට නුවණැති දෙවියනුත්, නුවණැති මිනිසුන් ඒ මහා වීර බුදුරජාණන් වහන්සේ සරණ යන්නට විය. දෙව් මිනිස් ප්‍රජාවට උන්වහන්සේ ශාස්තෘන් වහන්සේ වූ සේක. දෙවි මිනිසුන් හට අමා නිවනට යන මඟ පෙන්වා දෙන ආචාර්යවරයාණෝ වූ සේක. ඒ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ “සත්ථා දේව මනුස්සානං” වන සේක.

එනිසාම අපගේ ශාස්තෘන් වහන්සේ බැහැ දැකීම පිණිස මේ මනුලොව මිනිසුන් මෙන්ම නොයෙකුත් දිව්‍ය ලෝකවලින් දෙව් දේවතාවන්ද පැමිණෙන්නට වුණා. ජීවිතය ගැන ඒ දෙවිවරුන්ටත් තිබුණේ අප සියලුදෙනාටම පොදු වූ ගැටලුවම යි. වයසට යෑමෙන්, ලෙඩදුකට පත්වීමෙන්, මරණයට පත්වීමෙන් සෝකය, වැළපීම, දුක, දොම්නස, සුසුම හෙළීම් උරුම කරගෙන ඉපදෙමින්, මැරෙමින් යන මේ සංසාර ගැටළුවම යි. මේ සංසාර දුකට විසඳුම් සොයා ගත්තේ ඒ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ විසිනුයි. ඒ විසඳුම නොයෙක් අයුරින් පෙන්වාදීමට අපගේ ශාස්තෘන් වහන්සේ අතිශයින්ම දක්ෂවුණා.

නොයෙකුත් පරියායන්ගෙන් ඒ සියලු දුකින් අත්මිදෙන මඟ පෙන්වාදෙන විට, ඒ අමා නිවන් මඟේ ප්‍රතිඵල ලැබූ දෙව් මිනිස් ශ්‍රාවක පිරිසක් බිහිවුණා. මේ සියල්ලටම හේතුව තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ අශ්චර්යවත් මනුෂ්‍ය රත්නයේ පහළවීමයි.

ඒ පිළිබඳව අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී වදාළේ මේ ආකාරයට යි. “පින්වත් මහණෙනි, මේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ එකම එක පුද්ගලයාගේ පහළවීම වනාහී මහා ප්‍රඥා ඇසක පහළ වීමයි. මහා ආලෝකයක පහළවීමයි. මහා එළියක පහළවීමයි. සය වැදැරෑම් අනුත්තරීය ධර්මයන්ගේ පහළවීමයි. සිව් පිළිසිඹියා ධර්මයන්ගේ සාක්ෂාත් කිරීමයි. අනේක ධාතූව ගැන අවබෝධ කිරීමයි. නානා ධාතූන් ගැන අවබෝධ කිරීමයි. ත්‍රිවිද්‍යා විමුක්තිඵල සාක්ෂාත් කිරීමයි. සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීමයි. සකදාගාමීඵලය සාක්ෂාත් කිරීමයි. අනාගාමි ඵලය සාක්ෂාත් කිරීමයි. අරහත්ඵලය සාක්ෂාත් කිරීමයි.

ඉතින් ඒ මහාප්‍රාඥා වූ සම්බුදුරජාණන් වහන්සේ හමුවීම පිණිස බොහෝ දෙවිවරු පැමිණුනේ රැය පහන් වෙන වෙලාවේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ පනස් හතර කෝටියක ධන පරිත්‍යාගයෙන් අනේපිඬු සිටුතුමා විසින් ඉඳිකළ සැවැත්නුවර ජේතවනාරාමයේ. එදා රැය පහන්වෙද්දී එක්තරා දෙවි කෙනෙක් ඒ මුළුමහත් ජේතවාරාමය ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර පැතත්තකින් හිට ගත්තා. පැත්තකින් හිටගත් ඒ දෙවියා භාගවතුන් වහන්සේගෙන් මේ ආකාරයට විමසුවා.

පින්වත් නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේ මේ සත්ත්වයන්ගේ නිවන් මඟත්, ඒ අවබෝධයත්, ඒ අමා නිවනත් ගැන දන්නා සේක්ද?

භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට පිළිතුරු දී වදාළා. එසේය, පි‍්‍රය ආයුෂ්මත, සත්ත්වයන්ගේ නිවන් මඟත්, ඒ අවබෝධයත්, ඒ අමා නිවනත් ගැන මම දන්නවා.

එතකොට ඒ දෙවියා යළිත් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ විදිහට ප්‍රශ්න කළා. “පින්වත් නිදුකාණන් වහන්ස, සත්ත්වයන්ගේ නිවන් මඟත්, ඒ අවබෝධයත්, ඒ අමා නිවනත් ගැන ඔබ වහන්සේ දන්නේ කොයි විදිහටද?.”

මේ ලෝකයටම ඒ අමා මහ නිවන හඳුන්වා දුන්නේ ඒ බුදුරජාණන් වහන්සේ විසිනුයි. උන්වහන්සේ තමා නූපන් නිවන් මඟ ඉපද වූ පුද්ගලයා. කිසිවෙකුත් නො පැවසූ නිවන් මඟ පැවසූ උත්තමයා. එක නගරයක ඉඳලා තව නගරයකට යන මාර්ගය පෙන්වලා දෙනවා වගේ මේ නිවනට වන මාර්ගය බුදුරජාණන් වහන්සේ හරිම අපූරුවට පෙන්වා දී වදාළා.

ගණක මොග්ගල්ලාන කියා බ්‍රාහ්මණයෙක් දවසක් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඇසුවා. “ස්වාමිනි, භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයේ නිවනක් කියා දෙයක් ඇත්තටම තිබෙද්දී ඒ නිවන සාක්ෂාත් කරන මාර්ගයකුත් තිබෙද්දී ඒ මාර්ගයේ සමාදන් කරවන භවත් ගෞතමයන් වහන්සේත් වැඩ සිටිනවා. එනමුත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයින් හට භවත් ගෞතමයාණෝ ඔය විදිහට අවවාද අනුශාසනා කරද්දී ඇතැම් කෙනෙක් මේ මාර්ගයේ නිෂ්ඨාව වූ අමා නිවන සාක්ෂාත් කරන්නටත් ඇතැම් කෙනෙක් සාක්ෂාත් නො කරන්නටත් හේතුව කුමක්ද?

ධර්මස්වාමි වූ බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු සැපයූ ආකාරය හරිම අසිරිමත්. එසේ වී නම් බ්‍රාහ්මණය මම ඔබෙන්ම ඔය කාරණය විමසන්නම්. බ්‍රාහ්මණය, ඔබට රජගහනුවරට යන මාර්ගය මැනැවින් කියා දීමට දක්ෂකමක් තිබෙනවාද? එසේය, ගෞතමයාණෙනි, එසේනම් බ්‍රාහ්මණය, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? රජගහ නුවරට යාමට කැමැති කෙනෙක් ඔබ හමුවට පැමිණිලා මෙහෙම අහනවා. පින්වත, මා හට රජගහ නුවරට යන මාර්ගය පවසන්න පුළුවන්ද? එවිට ඔබ ඔහුට මාර්ගය කියා දෙනවා. ඔබ රජගහ නුවරට මේ මාර්ගයේ ගමන් කරන්න.

එවිට ඔබට අසවල් නම් ඇති ගම හමුවෙයි. එය පසුකොට තවත් ඉදිරියට යද්දී අසවල් නම් ඇති නියම්ගම හමුවේවි. එයිනුත් ටිකක් ඉදිරියට ගමන්කරන විට ඔබට රමණීය පොකුණු ඇති, රමණීය ආරාම ඇති, රමණීය වනය ඇති, රමණීය භූමියක් වූ රජගහනුවර දකින්නට ලැබේවි. බ්‍රාහ්මණය, ඒ පුරුෂයා ඔය විදිහට අවවාද කරද්දීම, අනුශාසනා කරද්දීම මාර්ගය වරද්දවාගෙන වෙන පැත්තකට යනවා.

තවත් පුරුෂයෙක් ඇවිත් ඔබෙන් රජගහනුවරට ගමන් කරන මාර්ගය විමසනවා. ඔබ ඔහුටත් පෙර පරිදිම මාර්ගය පැහැදිලිව කියා දෙනවා. ඒ පුරුෂයා ඔබ පැවසූ අයුරින්ම ගමන්කොට සුවසේ රජගහනුවර පැමිණෙනවා. ඉතින් බ්‍රාහ්මණය, රජගහනුවර තිබෙද්දීම රජගහනුවරට යාමට මාර්ගය තිබෙද්දීම මාර්ගය පෙනෙද්දීම රජගහනුවර වෙත යාම කෙනෙක් වරද්දා ගැනීමටත් හේතුව මොකක්ද? කාරණාව මොකක්ද?

ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා පිළිතුරු දෙමින් කියා සිටිනවා අනේ භවත් ගෞතමයන් වහන්ස, ඒ ගැන මම කුමක් කරන්නද? මම කළේ මාර්ගය කියා දෙන එක විතරයි. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට මේ ආකාරය වදාළ පින්වත් බ්‍රාහ්මණය, මෙයත් එවැනි දෙයක්ම යි.

ඒ අමා නිවන තිබෙනවා. ඒ අමා නිවන කරා යන මාර්ගයත් තිබෙනවා. ඒ නිවන් මඟ පෙන්වාදෙන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් ඉන්නවා. ඉතින් මාගේ අවවාදයට අනුශාසනාවට අනුව හික්මෙන ඇතැම් ශ්‍රාවකයෝ මේ මාර්ගයේ ගොස් ඒ අමා මහා නිවන ශාක්ෂාත් කරනවා. ඇතැම් කෙනෙක් ඒ නිවන් මඟ වරද්දා ගන්නවා. පින්වත් බ්‍රාහ්මණය, ඒ ගැන මම කුමක් කරන්න ද? තථාගතයන් වහන්සේ කරන්නේ මාර්ගය කියාදෙන එක පමණයි.

අපගේ ශාස්තෘන් වහන්සේ තමා මේ ලෝ සතුන් කෙරෙහි අනුකම්පාවෙන් ඒ අමා නිවන් මඟ වදාළේ. උන්වහන්සේ ‘මග්ගඤ්ඤු මාර්ගය’ ගැන හොඳින්ම දන්නවා. ‘මග්ගවිදු මාර්ගය’ පවසන්නට දක්ෂයි. ‘මග්ගකෝවිදු’ මේ නිවන් මඟ ගැන අතිශයින්ම දක්ෂයි. එකිනෙකාගේ ප්‍රඥාවට ගෝචර වන අයුරින් ඒ අමා නිවන් මඟ උන්වහන්සේ දේශනා කළ අයුරු හරිම අසිරිමත්.

භාග්‍යවතුන් වහන්සේ මේ දෙවියා විමසූ පැනයට පිළිතුරු ලෙස වදාළේ මිහිරි ගාථාවක්.

නන්දීභව පරික්ඛයා
සඤ්ඤාවිඤ්ඤාණසංඛයා
වේදනානං නිරෝධා උපසමා
ඒවං ච්වාහං ආවුසෝ ජානාමි
සත්තානං නිමොක්ඛං
පමෝක්ඛං විවේකත්ති

පි‍්‍රය ආයුෂ්මත, තෘෂ්ණාවෙන් යුක්ත භව පැවැත්ම ක්ෂය වෙලා යන්න ඕන. සඤ්ඤා විඤ්ඤාණයේ පැවැත්ම ගෙවිලා යන්න ඕන. විදීම් ගැන තිබෙන ඇල්ම නිරුද්ධවීමත්, විඳීම් සංසිඳෙන්නත් ඕන. මේ ආකාරයට සත්ත්වයන්ගේ නිවන් මඟත් අවබෝධයත් ඒ අමා නිවනත් ගැන දන්නවා.

අමෘත නිවන දෙව් මිනිස් ලොවට දායාද කළ ඒ දේවාතිදේව වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප ආදරයෙන් සරණ යමු.