තථාගතයන් වහන්සේ වදාළ
වෙනස් නොවන
ධර්මතා
පිටිගල ගුණරතන හිමි
අප හැම දෙනාම උත්සාහ කරන්නේ මේ දුක් ඇති සසර ගමන නිමා කරන සොඳුරු ධර්ම
ඥානය පහළ කරගෙන ඒ තුළින් මේ ජීවිතය තුළදීම මේ ගෞතම බුදු සසුනේදීම සසර
මඟ නිමාකර ගන්නට ලැබේවා කියලයි.
අප කථාකළා සතිපට්ඨාන භාවනා ක්‍රමය මඟින් දුක පිළිසිඳ දැන ගැනීමයි
සිදුවෙන්නේ. දුක කියන විට ඒ හා බැඳුන තවත් වචනයක් තිබෙනවා. පංච
උපාධානස්්ඛන්ධය කියා. පංච උපාධානස්ඛන්ධය යම් තැනකද එතැන තමා දුක. දුක
කියන්නේ යම් තැනකද? එතැන පංච උපාධානස්ඛන්ධය යි. ඒ නිසා අප පංච
උපාධානස්ඛන්ධය පිළිසිඳ දන්නවා. දුක පිළිසිඳ දකිනවා කියා වචන දෙකක්
භාවිතා කළත් අර්ථ වශයෙන් එකක්ම යි. ඒ නිසා දුක පිළිසිඳ දකිනවා කියන විට
අප දැනගත යුතු ගැඹුරු අර්ථයක් තිබෙනවා.
දුක කියනවිට මේ ලෝකයේ අප කවුරුත් දන්න දුකක් තිබෙනවා. කායිකව, මානසිකව
දැනෙන අප අකැමැති ස්වභාවයෙන් එන දුක තමා මේ ලෝකයේ කවුරුත් දුක ලෙස
දකින්නේ. මේ ලෝකයා දන්න, අපට වැටහෙන, තේරෙන, හඳුනන, මේ දුකෙන් මිදෙන
ආකාරයට දුක පිළිසිඳ දකින්න තිබෙනවා. අප නොදන්න යමක් දුක කියන අර්ථයේ
තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ අර්ථය දැනගන්න විට, ඒ අර්ථය
දැකගන්න විට මේ දුකින් මිදීමයි මිදීම. මේ ශාසනයේ තිබෙනවා සෝපදිශේෂ,
අනුපාදිශ්ෂ කියා පරිනිර්වාණ අවස්ථා දෙකක්. සෝපදිශේෂ පරිනිබ්බාන කියනවා
රහත් ඵලයට පිවිසීමට. ඒ අරහත් ඵලයට පිවිසෙන විට මෙලොවදීම ජාති දුකෙන්,
ජරා දුකෙන්, ව්‍යාධි දුකින්, මරණයෙන් මිදෙනවා. නමුත් ජාති, ජරා,
ව්‍යාධි, මරණ, දුකෙන් මිදුනට එතැන ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය තවම
තිබෙනවා. මේ සියල්ලෙන් මිදෙන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණයේදී. නිර්වාණය
දෙකොටසකට දක්වා දැක්වූයේ පළමුව ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකින්
මිදෙනවා. දෙවනුව ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් මිදෙනවා. බුදුසිරිත,
මහරහතන් වහන්සේගේ චරිත දෙස බැලුවොත් දිරීම, ලෙඩවීම, මරණය වැනි
ධර්මතාවයන් ඒ උතුම් ජීවිත සමඟ සමීපව පැවැති බව අප දන්නවා. නමුත්
උන්වහන්සේලා ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන් මිදිලයි වැඩ සිටියේ. ජාතිය
එකක් ජාති දුක තව එකක්. ජරාව එකක්, ජරා, දුක තව එකක්. ව්‍යාධිය එකක්,
ව්‍යාධි දුක තව එකක්, මරණය එකක්, මරණ දුක තව එකක්, අපට ජාති, ජරා,
ව්‍යාධි, මරණයයි, ජාති , ජරා, ව්‍යාධි, මරණ දුකේ වෙනස එතරම් පෙනෙන්නේ
නැහැ. ඒ ධර්මතාව දෙකක් හැටියට වෙන්කර ගන්න වැඩපිළිවෙල සතිපට්ඨානයේ
සඳහන් වෙනවා. ඒ පිළිබඳව මනැස මෙහෙයවා අල්ප හෝ අවබෝධයක් ලබාගන්න ඕන.
සතිපට්ඨානය කියන්නේ මනැස නුවණ මෙහෙවයන වැඩපිළිවෙලක්. ඒ නුවණ කෙසේද
මෙහෙයවන්නේ කියා අපට සන්නද්ධ වෙන්න පුළුවන් වෙන්නේ මේ කියන කාරණය
තුළින්. ශ්‍රැතවත්වීම මූලික වෙනවා. මේ ලෝකයේ තිබෙනවා වෙනස් නොවන ධර්මතා
පහක්. ඒ ජාති ධර්මය, ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය, කය, ධර්මය,
වය ධර්මය. මේක ධර්මතාවයක්. ධර්මතාවයක් කියන විට පුද්ගලයකුට හෝ කෙනෙකුට
හෝ අයිති වූවක් නොවේ. එය ස්වභාව ධර්මතාවයක්. දිරීම ලෝකයේ ස්වභාවය.
ලෙඩවීම, මරණය, ක්ෂය වීම, වෙනස්වීම, වැනසීම ලෝකයේ ස්වභාවය. නමුත් මේ
ස්වභාව ධර්මතාවය නොවේ අපේ ජීවිතවලට සමීපවෙලා තිබෙන්නේ. දිරීම මම හෝ මගේ
වෙලා. ලෙඩවීම, මරණය මම හෝ මට අයිති දෙයක් වෙලා. ක්ෂයවීම වෙනස්වීම මම හෝ
මගේ වෙලා. ඒ නිසයි අප මේ ලෝකය තුළ ඔය කථාකරන, දන්න, හඳුනන, තේරෙන දුක
අපට ලැබිලා තිබෙන්නේ. ඒ දුක ලෝකයේ පවතින ධර්මතාවයක් නොවේ. ඒ දුක අප
හදාගෙන විඳින එකක්. අප උපදවාගෙන විඳින එකක්. එහෙනම් තේරුම්ගන්න ඕන
ලෝකයේ ධර්මතාවයක් ලෙස යමක් තිබෙනවා. ධර්මතාවයක් නොවන අප විසින් හදාගෙන
විඳින දුකක් තිබෙනවා. මේ දෙපැත්ත වෙන් වෙන්ව හඳුනාගන්න වෙනවා. අපට මේ
ලෝකයේ ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ක්ෂයවීම වෙනස්වීම නිසා ඇතිවන ශෝක
පරිදේව දුක්ඛදෝමනස්සඋපායාසා ආපු විදියක්, ක්‍රමයක් තිබෙනවා. ඒ විදිහ
අපට හොයාගන්න වෙනවා. දුකට හේතුව ලෙස කථා කරන විට ඔබ දන්නවා ධර්මතා
තුනක්. තෘෂ්ණා, දෘෂ්ඨී, මාන. තෘෂ්ණාව කියනවිට මගේ. මාන කියන විට මම.
දෘෂ්ඨි කියනවිට මගේ ආත්මය. මේ වචන තුනෙන් කියවෙන්නේ මම, මගේ, මගේ ආත්මය
යි. මේ ධර්මතා තුනෙන් මුලින්ම නිදහස් වෙන්න ඕන මගේ ආත්මය කියන
දෘෂ්ඨියෙන්. දෘෂ්ඨියෙන් මිඳුන කෙනෙකුට විතරයි සියලු දුකෙන් නිදහස් වීම
දක්වා ඉදිරියට යන්න පුළුවන්කම තිබෙන්නේ.
මේ කරුණ ගැන අප හොඳින් විමසා බැලුවොත් සියලුම දුක අද අප අත් විඳිනවා.
යම් දුකක් ඇත්නම් ඒ සියල්ල ඉපදිලා තිබෙන්නේ සත්ව, පුද්ගල, ආත්ම, යමක්,
කෙනෙක්, දෙයක්, තැනක් කියන සංකල්පයට සාපේක්ෂව යි. ඒ තුළ තමයි අර
සංකල්පය වන දිරීමේ, ලෙඩවීමේ, මරණයේ, ක්ෂයවීමේ වෙනස්වීමේ, ඉපදීමේ ශෝක
–පරිදේවයේ, දුක්ඛදෝමනස්සඋපායාසයන් ලැබිලා තිබෙන්නේ. ඒ ගැන අප තේරෙන
විදියෙන් විමසා බලමු.
අප මේ ලෝකයේ කවුරුත් දුකට අකැමැතියි. අප කවුරුත් සැපට කැමැතියි. එය ලෝක
ධර්මතාවයක්. දුකට කැමැති කෙනෙක් සැපට අකැමැති කෙනෙක් නැහැ. හැබැයි
ආර්යයන් වහන්සේලා හැරුණු කොට ලෝකයේ වෙන කවුරුවත් දුක,සැප හරියට
හඳුනන්නේ නැහැ. දුක, සැප පිළිබඳව නො දන්නාකමක් තිබෙනවා. සාමාන්‍ය
ලෝකයෙහි සැප කියන්නෙත් දුකටමයි කියා දන්නේ නැහැ. අප මේ ලෝකයේ සැප කියා
යමක් දන්නවානම්, දකිනවානම් එයද දුකමයි. අප තේරෙන ආකාරයට දුකට අකැමැති
වෙනවා. සැප කැමැති දෙයක්. අප කැමැති දේ බොහෝම යි. අප තෝරාබේරා විමසා
බැලුවොත් අප කැමැති සැප මෙනවා ද? අපට මේ ලෝකයේ අම්මා, තාත්තා කියන්නේ
සොඳුරුතම වස්තුන්. ස්වාමියාට බිරිඳ, බිරිඳට ස්වාමියා සොඳුරු වස්තුවක්.
ප්‍රියමනාප වස්තුවක්. ඒ වගේ දුවල පුතාලා සොඳුරු වස්තු. සැප ගෙන දෙනවා.
සහෝදර, සහෝදරිය, ඥාති, හිතවතුන් හැටියට ඒ වගේම අලි, ඇතුන්, ගවයන්,
ගේදොර, වතුපිටි, යාන වාහන, රන්, රිදී, මුතු, මැණික් ආදි සියලු දේ අපට
පි‍්‍රයමනාප සොඳුරු වස්තු. සැප ගෙන දෙන වස්තු ලෙසයි අප මේ දේවල්
තෝරාගෙන තිබෙන්නේ. සැප පිණිස තමයි මේ හැම දෙයක්ම ළං කරගෙන සමීප කරගෙන
තිබෙන්නේ. දැන් අප මේ සොඳුරු දේවල් වලින් බලාපොරොත්තු වන්නේ සැප මිස
දුකනම් නොවේ. හැබැයි අප නුවණින් කල්පනා කළොත් හඬා වැළපෙන වෙලාවන්
සිහිකර බැලුවොත් කොහෙන්ද අප සැපයි කියා ගත් දෙයින්මයි දුක අපට ඇවිත්
තිබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා සොඳුරු යැයි පි‍්‍රය යැයි
ගන්නා වස්තු දහයක් ඔබට දුක උපදින හේතු දහයක් වෙනවා. ඔබ සොඳුරු යැයි,
මනාපයැයි සැප ගෙනදෙන්නේ යැයි ගන්නා වස්තු සියයක් ඔබට දුක් උපදින හේතු
සියයක් ඇති වෙනවා. ඔබට සොඳුරු මනාප වස්තුන් දහයක්ද ඔබට දුක උපදින හේතු
දහක්ද ඒ සමඟ ඇතිවන බව දැනගත යුතු යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොළ
වදාළා.
එසේනම් අපට ලෝකයේ දුක, සැප කියන දෙකම කාසියක දෙපැත්ත වගේ. උන්වහන්සේ
වදාළා අප දිරන ස්වභාවයක් ඇති ධර්මයන් මම හෝ මගේ කියා අරගෙන ප්‍රාර්ථනා
කරනවා නො දිරාවා කියා. දිරන දෙයකට මම, මගේ, මගේ ආත්මය කියා දැනගෙන ඒ
ධර්මතාවය වෙනස් වේවා. නො දිරාවා කියා ප්‍රාර්ථනාවක් කරනවා. ලෙඩ වන
ධර්මතාවට මම, මගේ, මගේ ආත්ම කියා වරදවාගෙන වැරැදි ප්‍රාර්ථනාවන් කරනවා.
වැරැදි ධර්මයකට මම මගේ ආත්මය කියාගෙන නො මැරීමක්. මරණ ධර්යට
ප්‍රාර්ථනාවක් කරනවා නොමැරේවා කියා. එහෙනම් ධර්මතාවය කියන්නේ වෙනස්
කිරීමට පුළුවන් දෙයක් නොවේ. අප ලෝක ධර්මතාවය වෙනස් කරන්නයි මේ
ප්‍රාර්ථනාව.
ඉතිරි කොටස ජනවාරි 20 වැනිදා
දුරුතු අමාවක පත්‍රයේ |