Print this Article


කැලණි පුදබිම

කැලණි පුදබිම

බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කළ බව අපේ වංසකතාවල සඳහන් වේ. මහියංගණය, නාගදීප, හා තෙවනවර කැලණියට බුදුරජාණන් වහන්සේ වැඩම කළ සේක. මහාවංසයේ පළමු වැනි පරිච්ඡේදයෙහි මේ කරුණ ඉතා දීර්ඝ ලෙසින් සඳහන් කර ඇත.

කැලණි ගංගාවේ මුවදොර මනිඅක්ඛිත නා රජු සහ පිරිවරින් විසු බව දීප වංසයෙහි සඳහන් වේ. පසොළොස්වැනි සියවසේ ලියන ලද සද්ධර්ම රත්නාකරය නම් වූ ග්‍රන්ථයෙහි සඳහන්වන අන්දමට නාගදීපය, වඩුන්නාගල හා කැලණිය නාගයන් විසූ තැන් ය.

නාගදීපයෙහි මොවුන් අතර සිදුවීමට ගිය සටන වැළකුණේ බුදුපියාණන් වහන්සේ එහි වැඩම කළ හෙයිනි. එම සටන සඳහා නාගදීපයට මනිඅක්ඛිත රජු ගියේ කැලණියේ සිටය. නාගදීපයේ දී මනිඅක්ඛිත නා රජුට හමුවූ බුදුරජාණන් වහන්සේට ඔහු විසින් ඉදිරි කාලයේ දී කැලණියට වඩින ලෙස ආරාධනා කළේ ය. කැලණිය පිළිබඳ මහාවංසයේ සඳහන්වන පැරණිම සිදුවීම එය වන්නේ ය. රුහුණෙහි පුරාණ ඉතිහාසය ලියැවී ඇති ග්‍රන්ථයක් වන ධාතු වංසයෙහි ද එය සඳහන් වී ඇත.

මේ අනුව කැලණිය පිළිබඳ පුරාණ කාලයේ සිදු වූ වැදගත්ම සිදුවීම බුදුරජාණන් වහන්සේ එහි වැඩම කරවීම ලෙසින් සැළකේ. ඒ ගමනය සිදු වූයේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ වෙසක් පුනු පොහෝදා ය. කැලණියේ මනිඅක්ඛිත නා රජුගෙන් පෙර නාගදීපයේ දී ලැබුණු ආරාධනය නිසා බුදුරජාණන් වහන්සේ රහතුන් වහන්සේලා පන්සියයක් සමඟ එහි වැඩම කළ සේක. මෙම ගමනේ දී බුදුරජාණන් වහන්සේ කැලණිය දාගැබ පිහිටි ස්ථානයෙහි භික්ෂූන් වහන්සේලා සමඟ නිරෝධ සමාපත්තියට සමවැදී මොහොතක් වැඩ සිටියහ. සමහරවිට අනුරාධපුර රජවරුන්ගේ බලය පිරිහෙමින් පැවති කාලයේ කිසියම් ධෛර්යමත් කුමාරයෙකු මායා රට ස්වාධීන රාජ්‍යයක් කරගෙන රජකමට පත් වන්නට ඇත. තිස්ස රජු පැමිණෙන විට කැලණිය වැදගත් බෞද්ධ මධ්‍යස්ථානයක්ව පැවතියේ ය. පසු කලෙක විහාර මහාදේවි යන නමින් ප්‍රකට වූ දේවී නම් වූ දියණිය තොමෝ නොයෙක් විසිතුරු අත්දැකීම්වලට මුහුණ පෑමෙන් පසුව මුහුදින් මාගමට පැමිණ කාවන්තිස්ස රජුගේ බිසව බවට පත් වූවා ය. ( පැරැණි ලක්දිව බෞද්ධ ඉතිහාසය ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්, පි.147 (1969)

කැලණියේ දාගැබ සෑදීම පිළිබඳ පාලි වංසකතාවල සඳහන් වී නැත. එය ලියැවී ඇත්තේ සිංහල වංසකතාවල යටාලතිස්ස රජු කැලණී වෙහෙර කරවා එහි රජ කළ බව පූජාවලිය සඳහන් කරයි. එහෙත් ඔහු කැලණියේ රජ වූ බවක් සඳහන් නොවේ ගෝඨාභය රජුගේ පුත් කාවන්තිස්ස රජු කැලණියේ දාගැබ කරවූ බව පූජාවලියෙහි පසුව සඳහන් වේ.

බුදුදහම මෙරට පැතිරීගිය මුල් අවදියේ දී කැලණිය පිළිබඳ යම් විස්තර එකල රචිත හෙළ අටුවාවල ඇතුළත් කර තිබී පාලියට ගෙන තිබේ. (සිංහල දේශික විශ්ව කෝෂය, ආචාර්ය සෝමපාල ජයවර්ධන පි. 36 (1996)

ඉන් පසු එහිදී බුදුරජාණන් වහන්සේ බණ දෙසූහ. සමනල පර්වතයෙහි සිරිපා සටහන තැබීම පිණිස බුදුරජාණන් වහන්සේ පිටත් වූයේද කැලණියේ සිටය. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් සමන්තකූට වර්ණනාව නම් පැරණි ග්‍රන්ථයෙහි සඳහන් වේ.

මීට පසුව කැලණිය පිළිබඳ සඳහන් වන්නේ කැලණිතිස්ස රජුගේ රාජ්‍ය කාලයේදීය. රහතුන් වහන්සේ නමක් සැක කර උණු තෙල් කටාරමක දැමීම නිසා කෝපයට පත් දෙවියන් මුහුද ගොඩගැලීමට සැලැස්වු බවද එයින් කැලණිය ප්‍රදේශය මෙන්ම ඒ ආශි‍්‍රත බොහෝ ප්‍රදේශ මුහුද දළ රළ නිසා විනාශ වූ බවද සඳහන් වේ. මෙය මීට වසර දෙදහසකට පමණ ඉහත දී සිදු වූ සුනාමියක් ලෙසින්ද සමහරු සලකති. කැලණිය පිළිබඳ මහාචාර්ය වල්පොල රාහුල හිමියෝ මෙසේ සඳහන් කරති.

කල්‍යාණියෙහි (මෙකල කැලණි) තවත් ජනපදයක් විය. දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය සමයෙන් ශතවර්ෂයකට පමණ පසුව එනම් ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී කැලණියෙහි රාජධානියක් පැවතුණි.දුටුගැමුණු රජුගේ මව වූ එනම් ඉතා ප්‍රකට කැලණිතිස්ස රජුගේ දියණිය විහාරමහාදේවියගේ ජන්ම භූමිය මේ මාණ්ඩලික රාජ්‍යයයි. අනුරාධපුරයෙන් පලා ගිය මහානාම යුව රජුගේ (මොහු දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරාය) පුත්‍ර යටාලතිස්ස කැලණියෙහි රාජ්‍ය කළ බවත් චෛත්‍යයන් සතරක් කරවූ බවත් රාජාවලියෙහි සඳහන් වෙයි. මේ මාණ්ඩලික රාජධානිය (කැලණිය) ලංකාවේ ආදිම ජනපදවලින් එකක්යැයි සැලකීම යුක්ති සහිතයි. (ලංකාවේ බුදුසමයෙහි ඉතිහාසය – මහාචාර්ය වල්පොල රාහුල හිමි (පි.21 1962 )

කැලණියෙහි ඒ කාලයේ තිස්ස නම් රජකෙනෙකු රාජ්‍යය කළේ ය. කැලණිය වෙනම රාජධානියක් වූයේ කෙසේදැයි මහාවංසය හෝ වෙනත් ඓතිහාසික ලේඛන හෝ කිසිවක සඳහන් නොවෙයි.

කෝට්ටේ යුගයේ දී ලියැවුණු සන්දේශ සාහිත්‍යයෙහි කැලණිය පුදබිම ගැන සඳහන් වේ. විශේෂයෙන්ම සැලළිහිණි සන්දේශය ලියූ තොටගමුවේ රාහුල හිමියෝ කැලණිපුර වර්ණනාවෙන් පසුව කැලණි විහාරයට පිවිසී වැඳ පුදා ගන්නා ලෙස සැලළිහිණියාට කියති.

එහි විහාරයෙහි පැවැති ලංකාතිලක මහා පිළිමය, සෙල් පිළිමය, වටදාගෙයි දාගැබ වැදහොත් පිළිමය, මහ දාගැබ, නාපිළිමය, සමාධි පිළිමය, සිවුරු දාගැබ, බෝධින්වහන්සේ ආදී ස්ථාන වෙන වෙනම වර්ණනා කරමින් දූතයා ලවා (සැලළිහිණියා) වන්දනා කරවනුයේ ඉමහත් ශ්‍රද්ධා භක්තියෙනි. මෙහි විභීෂණ දේවාලය ගැන ද සඳහන් වේ. (සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වංශය – ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ පිටු 278 – (2014 )

මෙම කැලණි විහාරයේ (අලුත්) නූතන විහාරයෙහි සොයිලියස් මැන්දිස් මහතා විසින් අඳින ලද චිත්‍ර ලංකාවේ පමණක් නොව ලොව පුරා ද ප්‍රසිද්ධියට පත්ව ඇත. මේ සිතුවම් අතර විජය කුමරුන් හත්සියයක් පිරිස සමඟ ලංකාවට ගොඩබැසීම, මහමෙවුනා සීමා බැඳීම, සිරිමහබෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව වැඩම කරවීම, දළදා වහන්සේ වැඩම කරවීම (හේමමාලා සහ දන්ත කුමරුන්) අලුත් විහාරය කරවන ලද්දේ හෙලේනා විජයවර්ධන මහත්මිය විසිනි.

මෙකල අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් ද විහාරමහා දේවියගේ පිළිමයක් ද නිර්මාණය කර ඇත. මෙකල මෙහි දියුණුව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් හා භාරකාර මණ්ඩලය මෙන්ම දායක සභාවද මෙහිදී සඳහන් කළ යුතු ය.