පූජාච පූජනීයානං
වල්ගම සෝමසිරි නා හිමි
මාතර වෙලේගොඩ ශ්‍රී සුනන්දාරාමාධිපතිව වැඩ වාසය කරන වල්ගම සෝමසිරි
නාහිමියන් 2015 ජනවාරි පළමුවන දින 87 වන වියට පා තැබූහ. ඉකුත් දා
උන්වහන්සේ සිදුකළ ශාසනික සේවයට උපහාරයක් වශයෙන් ශ්‍රී ධම්මරක්ඛිත මහා
නිකායේ “උත්තර මණ්ඩලයේ සම්මාන නායක උපාධ්‍යාය” යන ගෞරව නාමයෙන් ද
පිදුම් ලැබූහ.
විචිත්‍ර ධර්ම කථික යතිවරයාණන් වහන්සේ නමක වශයෙන් සැමදෙනාගේ ගෞරවාදරයට
පාත්‍ර වූ නිසාම මුළුදිවයිනටම සාමවිනිසුරු පදවියෙන් උපහාර පුදා ඇත.
කුඩාකල සිටම බුදුසසුනට ඇලුම්කළ නිසාම දොළොස්වන විය සපුරත්ම දෙමාපිය
ආශීර්වාදයෙන් පැවිදි දිවියට ඇතුළත් විය. මාතර, වල්ගම සමරවීර කොරටුවේ
ගෙදර විසූ හේවා ගජමන්ගේ ජේමිස් සිල්වා සහ හමන්දූව ගමගේ සව්හාමි මාතාවගේ
තෙවැනි පුත් රුවන ලෙස උන්වහන්සේ මෙලොවට ජනිත වූහ.
කඹුරුගමුව සමුද්‍රතීර මහා විහාරය මෙන්ම වෙලේගොඩ ශ්‍රී සුනන්දාරාමය යන
උභය විහාරාධිපතිව වැඩ විසූ සිරි ශාසන වංශාලංකාර විනයාචාර්ය සිරි සුනන්ද
මහනාහිමියන්ගේ අනුමැතියෙන් මාතර වෙලේගොඩ සිරි සුනන්දාරාමාධිපතිව වැඩ
විසූ වෙලේගොඩ ධර්මසිරි නාහිමියන්ගේත්, කඹුරුගමුව දේවගිරි විහාරාධිපතිව
වැඩ විසූ ශ්‍රී ධර්මරක්ෂිත වංශ විනයාචාර්ය වේරගම්පිට රේවත
මාහිමියන්ගේත් උපාධ්‍යායත්වයෙන් අයෝනිස් සිල්වා කුමරුවා 1942 වසරේ ජූනි
16 වන දා වල්ගම සෝමසිරි නමින් පැවිදි දිවියට ඇතුළත්වූයේ වෙලේගොඩ සිරි
සුනන්දාරාමයේ දීය. අයෝනිස් සිල්වා කුමරුවන් මූලික අධ්‍යාපනය ලැබුවේ
වල්ගම මෙතෝදිස්න කනිෂ්ඨ විද්‍යාලය හෙවත් වර්තමාන මහානාම විද්‍යාලයෙනි.
පැවිදිවීමෙන් පසු මහාමන්තින්ද පිරිවෙනින් හා අහංගම විද්‍යාචන්ද්‍ර
පිරිවෙනින් අධ්‍යාපනය ලබා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත
කෝදාගොඩ ඥානාලෝක නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ පිරිවෙන් අවසාන විභාගය
උසස් ලෙස සමත් වූහ. 1949 ජූනි 28 වන දින වල්ගම විමලසිරි මැද්දවත්තේ
සුමනසාර සහ කඹුරුගමුවේ රතනජෝති යන නාහිමිවරුන්ගේ කර්මාචාර්යත්වයෙන්
පැළෑනේ සිරිවජිරඥාන මහානාහිමියන් ප්‍රමුඛ වැල්ලවත්තේ සිරි
විජයාරාමාධිපති රාජකීය පණ්ඩිත අහංගම ප්‍රඥාලෝකාභිධාන මහා
ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ උපාධ්‍යායත්වයෙන් කල්‍යානි නදී සීමා
මාලකයේ දී උපසම්පදාව ලැබූහ.
1954 මාලිගාකන්ද විද්‍යෝදය භික්ෂු නිවාසයෙන් සංවිධානය කළ ධර්මදූතයන්
පුහුණු කිරීමේ තුන් අවුරුදු පාඨමාලාව සාර්ථකව හැදෑරීම මේ සඳහා මහත්
පිටුවහලක් වී ඇත. උන්වහන්සේ විසින් සිදුකළ ශාසනික මෙහෙවර අතර නිතරම
සිහිපත් කරමින් සතුටුවන විශාලම පුණ්‍ය කර්මය සිදුවී ඇත්තේ
ඉන්දියාවේදීය. එකල ධර්මදූත සේවාවේ නියැළුණු අග්ගමහා පණ්ඩිත තුඩාවේ
අරියවංශ නාහිමියන් සමඟ එක්ව ඉන්දියාවේ ධර්මදූත සේවාවේ යෙදුණු ස්වාමීන්
වහන්සේ, පන්දහසකට අධික හින්දු බැතිමතුන් බෞද්ධාගමිකයන් බවට පත් කිරීමේ
ගෞරවය හිමිකර ගත්හ.
එදා උන්වහන්සේ කළ විශිෂ්ට ආගමික සහ සමාජ මෙහෙවරට කෘතගුණ දක්වමින්
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ සංඝසභාව මඟින් “ධර්මරක්ෂිත
වංශාලංකාර කාරක සභික” යන ගෞරව නාමය පුදා ඇත. පුරා වසර දෙකක් ඉන්දියාවේ
ධර්මදූත මෙහෙවරෙහි යෙදී සිටි නාහිමියෝ හදිසියේ රෝගාතුරවීමෙන් නැවත
ලංකාවට වැඩම කරවා සිරි සුනන්දාරාමයේ වැඩ විසූහ.
මේ අතරතුර සිර සුනන්දාරාමාධිපතිව වැඩ විසූ නායක ස්වාමීන් වහන්සේගේ
අපවත්වීමෙන් පසු 1976 දී වෙලේගොඩ සිරි සුනන්දාරාමාධිපති ධූරයට පත්වූහ.
ඉන් අනතුරුව ප්‍රදේශයේ ජාතික, ආගමික හා සාමාජීය ප්‍රගතිය උදෙසා මෙතෙක්
කළ සහ කරනු ලබන මෙහෙවර කෘතවේදීව අගය කළ යුතු ය. විහාරස්ථානයේ ප්‍රගතිය
උදෙසා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරන උන්වහන්සේට ප්‍රදේශවාසී
සැදැහැවතුන්ගෙන් ලැබෙන සහයෝගය නිසාම මේවනවිට වෙලේගොඩ සිරි සුනන්දාරාමය
අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් වී ඇත.
උන්වහන්සේ තම ජීවිතය කැපකර ඇත්තේ බුදුදහමේ උන්නතිය සඳහා පමණි. සැහැල්ලු
මනසින් සිනාපිරි මුහුණින් හැමදෙනාටම එකසේ සැලකීමේ ගුණය නිසා විහාරවාසී
ස්වාමීන් වහන්සේලාගේ මෙන්ම ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ ද ආදර ගෞරවයට
පාත්‍රවීම සංඝ පීතෘන්වහන්සේ නමක ලෙස ලද භාග්‍යයකි.
උන්වහන්සේට දිගාසිරි පතමින් ජන්ම දිනය නිමිතිකොට ගෙන ඉකුත් දෙසැම්බර්
31 වන දින සුනන්දාරාමාධිකාරී මුලටියන සුගුණ ස්වාමීන් වහන්සේගේ මඟ
පෙන්වීම මත ආගමික වැඩසටහන් රාශියක් සිදුකිරීමට කටයුතු යොදා තිබිණි.
ජනවාරි පළමුවැනිදා විහාරස්ථානයේ දී පැවැත්වෙන සපිරිකර සංඝගත
දක්ෂිණාවක්ද පැවැත්විණි.
ධම්මිකා වෙලේගොඩ
රඹුකේවෙල ඤාණසීහ හිමි
රඹුකේවෙල ඤාණසීහ ස්වාමීන් වහන්සේ 1964 නොවැම්බර් 11 වන දින හිඟුල්වල
පඤ්ඤාජෝති මාහිමියන්ගේ හා පණ්ඩිත අත්තරගම වජිරජෝති මාහිමියන්ගේ අචාර්ය
උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට ඇතුළත් වූහ. 1973 දී නුවරඑළියේ
විමලබුද්ධි මහානාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබූහ.
හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙනෙහි මූලික අධ්‍යාපනය ලැබූ ඤාණසීල හිමියෝ
1978 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව විෂයයෙන් ගෞරව
උපාධියක් දිනාගත් අතර 88 – 89 වර්ෂවල කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා
බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධි
ඩිප්ලෝමාවත්, 2005 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ
ආචාර්ය උපාධිය ද දිනා ගත්හ.
1979 සිට 1981 දක්වා නුගේගොඩ ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම පිරිවෙනෙහි
ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ උන්වහන්සේ 1981 - 1984 කාලයේ ශ්‍රී
සංඝානන්ද පිරිවෙන් විද්‍යායතනයෙහි ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළහ. 1984
සිට 1988 දක්වා සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයේ බෞද්ධ දර්ශනය හා භාවනා
පිළිබඳ ඉගැන්වීමේ කටයුතු වල යෙදී සිටි අතර 2008 දී
Buddhist College of Singapore හි බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කළහ.
උන්වහන්සේ අධ්‍යාපනික හා සමාජ සේවාවන් අන්තර්ජාතික මට්ටමෙන් සිදු
කිරීමේ අධිෂ්ඨානයෙන් 1984 දී සිංගප්පූරුවට වැඩියහ. ඒ වන විට
සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයේ වැඩ සිටි තම ආචාර්ය වූ පණ්ඩිත අත්තරගම
වජිරජෝති නාහිමිපාණන් සිය රටට වැඩමවීම නිසා ඇති වූ පුරප්පාඩුව පිරවීමක්
වශයෙන් එම රටට යාමේ අවස්ථාව උදා කර ගත් බව ද මෙහි ලා සඳහන් කළ යුතු ය.
සිංගප්පූරුවේ ලංකාරාමයේ නව විහාර මන්දිරය හා තෙමහල් සංඝාවාසය ඉදි
කිරීමෙහි ලා පුරෝගාමීව කටයුතු කළ ඤාණසීහ හිමියෝ 1984 සිට 1989 දක්වා
එහි ආගමික හා සමාජ සේවාවන් රැසක නිරත වූහ. මේ අතර 1988 දී සිංගප්පූරුවේ
සමාධි බෞද්ධ සමිතිය පිහිටු වූ උන්වහන්සේ තම ආගමික හා සමාජ සේවාවන්
තවදුරටත් පුළුල් කරමින් ජුචීයට් ප්‍රදේශයේ පිහිටුවාගත් සමාධි බෞද්ධ
සමිතියේ කටයුතු ආරම්භ කරන ලද අතර 2002 වසරේ දී ටැම්බලිං පාරේ තම විහාරය
සඳහා ඉතා වටිනා ගොඩනැගිල්ලක් මිලට ගෙන රමණීය විහාරයක් සකස් කිරීම
උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයට සාධකයකි.
උන්වහන්සේ මහනුවර වට්ටාරන්තැන්නෙහි ඉඩමක් මිලදී ගෙන ථේරවාද හා මහායාන
සංස්කෘතීන්ගෙ සංකලනයෙන් යුත් දර්ශනීය විහාර මන්දිරයක් සහිත ආරාමයක්
ඉදිකිරීමට සමත් වූහ. සමාධි සංස්කෘතික කේන්ද්‍රය හෙවත් චීන පන්සල නමින්
හැඳින්වෙන එම විහාර මන්දිරයේ විශේෂත්වය වන්නේ චීන විහාර නිර්මාණ
සම්ප්‍රදාය අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමුවන විහාර මන්දිරය
වීමයි.
ටොන් දෙකහමාරක් බරැති මාබල් බුද්ධ ප්‍රතිමාව, අවලෝකිතේශ්වර පිළිමය,
චීන, ඉංගී‍්‍රසි සහ පාලි භාෂාවෙන් ලියූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත
පුවරු මෙන්ම විවිධ රටවලින් ලබාගත් කලාත්මක නිර්මාණ සහිත කෞතුකාගාරය
කාගේත් පැසසුමට ලක්ව ඇත. මෙම ආකෘතියේම විශිෂ්ටතම විහාරස්ථානයක් ලෙස
ඉදිවූයේ අනුරාධපුර සමාධි මහා විහාරයයි.
අනුරාධපුර කලැත්තෑව ප්‍රධාන මාර්ගයට යාව ඉදිවූ එම සමාධි මහා විහාරයෙන්
සෑම ප්‍රදේශයකින්ම අනුරාධපුරය බලා එන දහස් ගණන් සැදැහවතුන්ගේ පහසුව
පිණිසත්, ප්‍රදේශයේ ජනතාවට ආගමික හා සාමාජික සේවාවන් සිදුකරගැනීම
පිණිසත් ඉටුකරන්නාවූ සේවාව ප්‍රසංශනීයය. දෙස් විදෙස් සංචාරකයන්ගේ නිතර
පැසසුමට ලක්ව ඇති මෙම විහාරස්ථානය දුර්ලභ වූ කලා නිර්මාණයන් ගෙන් පිරී
ඇති අතර විහාර මන්දිරයේ තැන්පත් කොට ඇති ටොන් හතහමාරක් පමණ බරැති
කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ ඇති විශාලතම මාබල් ප්‍රතිමාවන්
ගෙන් එකකි. දඹදිව ජේතවන විහාරයෙන් වැඩම වූ ආනන්ද බෝධින් වහන්සේගේ
ශාඛාවක් රෝපණය කර ඉදිකරන ලද බෝධි ඝරය ලක් වැසි සැමගේ ම පැසසුමට ලක්
වූවකි.
ආගමික හා සමාජ සේවා රාශියක් මධ්‍යයේ උන්වහන්සේ ශාස්ත්‍රීය අංශයට ද මහඟු
සේවාවක් ඉටු කර ඇත. මහාචාර්ය පීටර් දෙලා සන්තිනා මහතාගේ ප්‍රකට බෞද්ධ
ග්‍රන්ථයක් වන The Tree of Enlightenment යන කෘතිය සිංහල භාෂාවට නගා
මුද්‍රණය කර බෙදා හැරීමත්, “සිංහල ගී සහිත නාමාෂ්ට ශතකය හා ප්‍රත්‍ය
ශතකය” සාම්ප්‍රදායික ගායනයන් ද සහිතව මුද්‍රණය කොට බෙදාහැරීමත්
උන්වහන්සේගේ ශාස්ත්‍රීය කර්තව්‍යයන් අතර වැදගත් සේවාවන් කිහිපයකි.
විනය කර්ම සඳහා නිතර භාවිතයට ගන්නා භික්ෂු ප්‍රාතිමෝක්ෂය නම් ග්‍රන්ථය
නොමිලයේ බෙදාදීම සඳහා සකස්කිරීමත්, පාලි භාෂාවෙන් ලියා ඇති වන්දනා ගාථා
පොතට චීන අකුරු යොදා චීන භාෂාවෙන් මුද්‍රණය කර බෙදා හැරීම තුළින්
ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය ලෝකයේ වැඩිම ජනගහනය ජීවත්වන චීන ජනතාව අතරට
ගෙනයාමට ගන්නා මූලික උත්සාහයක් වූ අතර තම පැවිදි සහෝදර හිමිවරු දෙනමක්
චීන භාෂාවෙන් දර්ශන විශාරද උපාධිය සඳහා යොමු කිරීමෙන් පැහැදිලි වන්නේ
අනාගතයේ ධර්මදූත සේවයට යෝග්‍ය භික්ෂූන් වහන්සේ පෙළගැස්වීම සඳහා ගන්නා
පෙර හුරුවක් ලෙසින්ය. සිංගප්පූරුවේ වසර 30 කට වැඩි කාලයක් වැඩ සිටිමින්
ජාතික සහ ආගමික සහජීවනය සඳහාත් නිර්මල බුදු දහම පිළිබඳ පණිවිඩය ලොවට
හඳුන්වාදීමට ගන්නා උත්සාහය බෞද්ධ කාගේත් සතුටට හේතුවකි.
2014 වසරේ වෙසක් පුන් පොහෝදිනයේ දී සියලු බෞද්ධ සංකල්පයන් එකම පිටුවකට
ගෙන එළිදක්වන ලද බෞද්ධ දර්ශනයේ නිවන් මඟ හෙවත්
Essence of Buddhism නම් ලිපිය ලෝකයේ ජනපි‍්‍රය භාෂා ගණනාවකට පරිවර්තනය කර පිටපත් දහස්
ගණනක් දැනටමත් ලොව පුරා බෙදා හැරීමෙන් නිර්මල ථෙරවාද බුදු දහම ස්ථාපිත
කිරීමට උන්වහන්සේ විසින් ගනු ලබන ප්‍රයත්නය ප්‍රශංසනීයය. සිංහල,
ඉංගී‍්‍රසි, දෙමළ, හින්දි, චීන, කොරියන්, ජපන්, වියට්නාම්,
ඉන්දුනීසියන් සහ තායි යන භාෂා වලින් සකස්ව ඇති මෙහි පිටපත
www. Samadhi - Buddhist.Com යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ නිත්‍ය ක්‍රියාකාරී සාමාජිකත්වය දරමින් වසර
විසිපහකට වඩා වැඩි කාලයක් එහි අභිවෘද්ධිය සඳහා කටයුතු කරමින්
සම්මන්ත්‍රණ සහ ශාස්ත්‍රීය ලිපි මඟින් බෞද්ධ පුනරුදය වෙනුවෙන්
උන්වහන්සේගෙන් ඉටුවන කාර්යය ප්‍රශංසනීයය. ඤාණසීහ හිමියන්ගේ වසර පනහක
පැවිදි දිවිය සනිටුහන් කරමින් සංවිධානය කළ “සම්භාවනා ශාස්ත්‍රීය
සම්මන්ත්‍රණය” මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ දී ගිහි පැවිදි සම්භාවනීය
පිරිසකගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් මස 20 වැනි දා පැවැත්විණි.
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ විඥාපක ජ්‍යෙෂ්ඨ
මහාචාර්ය
සුමනපාල ගල්මංගොඩ
සාකච්ඡා කෙළේ ,
චිත්‍රාරත්න කළු ආරච්චි,
හිදෝගම සමූහ. |