Print this Article


කටුවස්ගොඩ සෝමින්ද හිමි

කටුවස්ගොඩ සෝමින්ද හිමි

දඩගමුව බදුල්ලගහලන්ද ග්‍රාමයේ විසූ දඩයක්කාර මුදියන්සේලාගේ ධර්මසේන සහ නුවර පක්ෂ හේවායාලලාගේ සීලවති දම්පතින්ට දාව 1973 .01.12 දින සුජන්ත ධර්මසේන යන නාමයෙන් පින්වත් කුමරෙකු ජන්ම ලාභය ලැබීය.

වේයන්ගොඩ දඩගමුව කනිෂ්ඨ විද්‍යාලයේ දී හල්ගම්පොළ ධම්මසිරි සහ මාවනැල්ලේ ධම්මාරාම යන ස්වාමින් වහන්සේලාගේ ඇසුර ලබමින් මූලික අධ්‍යාපනය ලබමින් සිට වේයන්ගොඩ ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරාධිපති මණ්ඩවල පඤ්ඤරතන හිමි දෙබරවැව පේමානන්ද හිමි යන හිමියන්ගේ ආචාර්යත්වයෙන් සහ උපාධ්‍යායත්වයෙන් වේයන්ගොඩ ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරයේ දී 1983.01.31 දින කටුවස්ගොඩ සෝමින්ද යන නාමයෙන් සසුන්ගත වූහ.එම සාමණේරයන් උඩහමුල්ල ශ්‍රී බෝධිරාම පිරිවෙනහි වත් පිළිවෙත් ශබ්ද ශාස්ත්‍රීය දැනුම ලබා කොළඹ මරදානේ සුගතවංශාරාමාධිපති හොරම්පැල්ලේ විනීත හිමියන්ගේ අනුශාසනා පරිදි 1989 දී යකහටුව ශ්‍රී විවේකාරාමයට වැඩම කරන ලදී. එහිදී එවකට එහි වැඩ සිටි විහාරාධීපති පොල්ගහවෙල අරියවංශ හිමිපාණන් හා එක්ව එතෙක් ජරාවාසව පැවැති විහාරස්ථානය පංච මහා විහාරයන්ගෙන් පරිපූර්ණ වූ පින්කෙතක් බවට පත් කරලීමට පියවර ගත්හ. සිරිනිවාස දහම් පාසල ආරම්භ කිරීමෙන් පසු මෙම පින්බිම ප්‍රදේශවාසීන්ගේ ආගමික මෙන්ම සාමාජික අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි ස්ථානයක් බවට පත් විය. මෙම ස්ථානයෙන් 2000 වසර වන තෙක් වැඩවිසීමෙන් අනතුරුව නැවත මෙම පින්කෙත උඩුපුස්සැල්ලාවේ විජිත හිමියන් වෙත භාරකර කොරසේ ශ්‍රී සුධර්මානන්ද විහාරයට වැඩම කළහ. මූලික බණ දහම් ඉගෙන ශාසනික හා නිකායික ප්‍රතිපත්ති පිළිවෙළ පිළිබඳ මනා අවබෝධයක් ලබාගත් උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැපවෙමින් කළුතර උදකුක්ඛේප සීමා මාලකයේ දී 1991 ජූලි 18 වන දින උපසම්පදාව ලබාගන්නේ දොඹහැර පේමානන්ද හිමි පොල්ගහවෙල අරියවංශ හිමි යන ස්වාමීන් වහන්සේලාගේ ආචාර්යවයෙන් හා උපාධ්‍යායත්වයෙනි.

2001 දල්හ කර්මය මඟින්ද අති පූජ්‍ය රාජකීය පණ්ඩිත මඩිත්තගම රතනවංශ හිමියන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලබාගත්හ. 2005.08.06 දින රතනවංශ හිමියන් අපවත් වූහ. ඉන් අනතුරුව කොරස ශ්‍රී සුධර්මානන්ද විහාරස්ථානයේ අධිපති ධුරයට පත්වූහ. එතැන් පටන් පැවිදි දිවියේ තම වගකීම් යුතුකම් මනාව ඉටුකරමින් පරාර්ථය හා ප්‍රතිපත්තියාචාර්යයෙන් ක්‍රියා කරමින් තම ගුරු දේවයන් වහන්සේ නවතාලු විහාර සංවර්ධන කාර්ය හිසේ දරමින් ඉතිරි සංවර්ධන ක්‍රියාවලිය කරගෙන යෑමට පියවර ගත්හ.

වෙහෙර වහන්සේ, බෝධි ප්‍රාකාරය, ධර්ම ශාලාව සහ විහාර මන්දිරය ඇතුළු සකල විහාරාංගයන්ගෙන් පරිපූර්ණ වූ අංග සම්පූර්ණ පින්බිමක් බවට පත්කරලීමට ක්‍රියා කළහ.

දායක පිරිසට යුතුකම් නොපිරිහෙලා ඉටුකර සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්මට කැපවූ ගුණයෙන් ඥානයෙන් පෝෂණය වූ ශිෂ්‍ය පිරිසක් සසුනට දායාද කරලීමට ද උන්වහන්සේ වගබලා ගත්හ. උන්වහන්සේගේ 43 වන ජන්ම දිනය ජනවාරි 12 වන දිනට යෙදීම නිමිත්තෙන් ජනවාරි 12 වන දින දහවල් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පවත්වා උන්වහන්සේට දිඝාසිරි පැතීමට ද කටයුතු සැලසුම් කර ඇත.