පණ්ඩිත ඇසුර
හොෂාන් නදුක බණ්ඩාර
ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙන,
විහාර පාර, මාතලේ
සමාජයේ ජීවත් වන මිනිසුන් බාල සහ පණ්ඩිත වශයෙන් කොටස් දෙකකට වෙන් කළ
හැකිය. මෙයින් බාලයන් යනු තමාගේ මෙන්ම අනුන්ගේ ද, මෙලොව හා පරලොව
දියුණුව නසන්නා වූ පාපී පුද්ගලයෝ ය. එම නිසාම බුදුරජාණන් වහන්සේ මහා
මංගල සූත්‍රයේ දී “අසේවනා ච බාලානං” යනුවෙන් බාලයන් සේවනය නොකිරීම මංගල
කාරණයක් වශයෙන් දේශනා කොට වදාළහ.
නමුත් පණ්ඩිතයන් වනාහි සිත, කය, වචනය යන තුන් දොර සංවර කොට ගත්,
අප්‍රමාදීව කුසල් දහම් හි නිරත වන, අන්‍යයන් ද කුසලයෙහි පිහිටුවන
සද්පුරුෂයෝ ය. එහෙයින් මංගල සූත්‍රයේ දී “පණ්ඩිතානං ච සේවනා” යනුවෙන්
පණ්ඩිතයන් සේවනය කිරීම මංගල කරුණක් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ
සේක.
නොයෙක් ශිල්ප ශාස්ත්‍ර දැන උගත් නමුදු කළ යුත්ත නොකළ යුත්ත නොදන්නා වූ
ද, පින් පව් නොදන්නා වූ ද, තමාගේ හා අනුන්ගේ දෙලොව පරිහානිය පිණිස
පිළිපදින්නා වූද පාපී පුද්ගලයෝ පණ්ඩිත සංඛ්‍යාවට නො ගැණෙති. ඔවුහු
හුදෙක් බාලයෝ විය හැකිය. බොහෝ ශිල්ප ශාස්ත්‍ර දත් පමණින් කෙනෙක්
පණ්ඩිතයකු නොවන්නේ ය. තමන් උගත් එම ශිල්ප ශාස්ත්‍රය තමාගේ හා අන් අයගේ
යහපත පිණිස යොදා ගන්න වූ පුද්ගලයාම පණ්ඩිතයකු නමින් හැඳින්වේ.
පෙර අප බෝසතාණන් වහන්සේ මහ වානරයෙක්ව උපන් එක් ආත්ම භාවයක වනයෙහි ගිය
පුරුෂයකු වළක වැටී ගොඩ ඒමට නො හැකිව සිටිනු දැක කරුණාවෙන් ගොඩ ගත් පසු,
ඒ දුෂ්ට පුරුෂයා සිය දිවි ගලවා දුන් ඒ වානරයා මරා මස් කෑමේ, අදහසින්
ගලකින් උගේ හිසට පහරක් දුන් බවද, එයින් හිස පැලී ලේ හැලි හැලී ගසකට නැඟ
දිවි රැක ගත් වානරයා ඉන්පසු ද තමන් මැරීමට තැත් කළ ඒ දුෂ්ට පුරුෂයාට
අනුකම්පා කොට කඳුළු පිරුණු දෙනෙතින් යුක්තව.
හිසින් ගලන ලේ පිස දමමින් ගසින් ගසට පැන මනුෂ්‍ය පථයට යෑමට මඟ පෙන්වූ
බවද මහා කපි ජාතකයෙහි සඳහන් වෙයි. මෙසේ පණ්ඩිත උත්තමයෝ තමන් නැසීමට
පැමිණි සතුරන්ට පවා යහපත සලසන බැවින් පණ්ඩිතයන් සේවනය කිරීම උතුම් වූ
මංගලයක් ම වන්නේ ය. පරහට වැඩ කැමැති සද්පුරුෂ තෙමේ තමන්ගේ විනාශ
කාලයෙහි පවා පරහට වෛර නොකෙරේ. සඳුන් ගස තමන් කපන කල්හි ද කෙටේරියෙහි
මුවහත සුවඳ වූවක් ම කරන්නාක් මෙනි.
මොහු මට වඩා කුලයෙන් පහළය.
මොහු මට වඩා ධනයෙන් පහළය. මොහු උගත්කමින් පහළය, මොහු මගේ ප්‍රමාණයට
නුසුදුසුය, මොහුගෙන් මට පලක් නැත යයි කිසි විටෙක අවතක්සේරු නොකළ යුතු
ය. පෙර අනේපිඬු මහ සිටාණන් හට ‘කාලකණ්ණි’ නම් වූ මිත්‍රයෙක් විය. ඔහු
පසු කලෙක දිළිඳුව අසරණව තම මිත්‍ර අනේපිඬු සිටුතුමාගේ පිහිට සොයා ආවේ
ය. සිටාණන් ඔහුට අනුකම්පා කොට ඔහු සිටු මාලිගයෙහි ම නතර කර ගත්තේ ය.
“කාලකණ්ණියා” යන නම නිතර ඇසෙන විට සෙසු අය සිටාණන් කරා ගොස් “සිටාණෙනි!
මොහුගේ නම අමිහිරිය. අපි‍්‍රයය.
එවැනි අභාග්‍ය සම්පන්න නමක් නිතර නිතර කීම මේ සිටු නිවසට අවමඟුලෙකි.
එමෙන්ම කොතෙකුත් කියන සිරිකත පමණක් නොව සියල්ල මේ නිවස හැර යනු ඇත.
එහෙයින් මොහු මෙහි නතර කර ගැන්ම සුදුසු නැත. මොහු වහාම මේ සිටු
මැදුරෙන් පිට කරනු මැනැව යි කීහ. නමුත් සිටුතුමා ඔවුන්ගේ බස්
නොපිළිගත්හ.
දිනක් සිටුතුමා යම්කිසි කටයුත්තක් නිසා සිය නිවසින් පිටත්ව අන් ගමකට
යන්නේ කාලකණ්ණියා සිටි මැදුරේ ආරක්ෂාවට තබා ගියේ ය. එදා රෑ සිටාණන්
මාලිගාවේ නැති බව දැන ගත් සොර මුලක් සිටු මාලිගය කොල්ලකෑමට පැමිණියෝ ය.
පණ්ඩිතයකු වූ කාලකණ්ණියා ඒ බව දැන සේවකයන් කීපදෙනකු කැඳවා නොයෙකුත්
තූර්ය වාදනය කරන ලෙස කීවේ ය. සේවකයෝ තූර්ය වාදනය කිරීමට පටන් ගත්හ.
සිටු නිවස ළඟ සැඟවී සිටි සොරු ඒ ශබ්දය අසා සිටු ගෙදර උත්සවයෙකැ යි සිතා
දඬු මුගුරු ආදිය ද දමා පලා ගියෝ ය. එදින මොහු නිසා සිටාණන්ගේ ධනය
ආරක්ෂා විය.
එම නිසා ජාත්‍යාදියෙන් හීන වුවද පණ්ඩිතයන් ඇසුරු කරන තැනැත්තාට කිසිම
දිනක පිරිහීමක් සිදු නොවේ. සෝවාන් ඵලයට පත්ව සිටි අනේපිඬු සිටුතුමාට
සොරුන්ගෙන් තම ධනය ආරක්ෂා කර ගැනීමට හැකි වූයේ, කාලකණ්ණියා වැනි
පණ්ඩිතයකු ඇසුරු කිරීම නිසා ය.
තවද පණ්ඩිතයන් ආශ්‍රය කිරීමෙන් පවට බිය හා ලජ්ජාව ද උපදියි. එහෙයින්
ඔහුගේ සිත යහපතට නැමෙයි. එවිට ඔහු ලෝකයාගේ මහත් ගෞරවාදරයට ද භාජනය
වෙයි. ධනයෙන් වැඩෙයි. බලයෙන් වැඩෙයි. ගුණයෙන් වැඩෙයි. ඤාණයෙන් වැඩෙයි.
සතුටින් කල් යවයි. ඔහුගේ යහපත් ගුණ කීර්තිය ද ලොව පුරා රැව් පිළිරැව්
දෙමින් පැතිරෙයි. පරලොව ද දිව්‍ය මනුෂ්‍යාදි සියලු සම්පත් ලැබෙයි
. තවද සියලු සසර දුකින් අතමිදී නිවන් සුවය ද ළඟා කර ගැනීමටද හැකි වෙයි.
මෙසේ උතුම් පණ්ඩිත සේවනය දෙලෝ දියුණුවට හා නිවන් අවබෝධයට අසහාය හේතුවක්
වන බැවින් උතුම් මංගල කාරණයකැයි වදාරන ලදී.
“නධීනංව පවත්තාරං - යං පස්සේ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මෙධාවීං - තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස - සෙය්යො හොති න පාපියෝ”
යමෙක් නිදානයක් දක්වන්නෙකු මෙන් කෙනෙකුගේ ඇති වරද දකියිද, එයට තරවටු
කොට අවවාද කරයිද, එබඳුවූ පණ්ඩිතයකු සේවනය කළ යුතු ය. එබඳු කෙනෙකු ඇසුරු
කරන්නාට වැඩක් මිස අවැඩක් සිදු නොවේ යනු එහි අදහසයි. එහෙයින් සියලු
දෙනාම පණ්ඩිතයන් ඇසුරු කරත්වා. |