අටලෝ දහම
අඹේවෙල
පඤ්ඤාසාර මහා නා හිමි
ලොව පවතින ධර්ම (ස්වභාව) අටකි. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා,
සුව, දුක් නමින් ඒවා හැඳින්වෙති. මෙම අෂ්ටලෝක ධර්මයෙන් කිසිවෙක් මිදී
නැත. තථාගත බුදුරජාණන් වහන්සේට පවා මෙම අටලෝ දහමට මූණපෑමට සිදු විය.
එහෙත් උන්වහන්සේගේ සිත කිසි කලෙක එයින් කම්පා නොවීය. රහතුන් වහන්සේගේ
සිත ද එසේ ය.
පුහුදුන් ලෝවැසියන්ටත් මේ අටලෝ දහමට මූණ පෑමට සිදුවේ. එවිට බුද්ධාදී
උතුමන් මෙන් ඒවායින් නොසැලී සිටීමට උත්සාහ කිරීම මහත්මා ගතියකි. ලාභයක්
ලද විට ලොල් බවක් හෝ හානියක්, පාඩුවක්, පරාජයක් වූ විට දුක් වීමත්
නොදැක්වීමට උත්සාහ දැරිය යුතු ය.
ලාභයෙහි ලොල් බවක් ඇති වීමත් අලාභයෙහි කනස්සලු වීමත් ලෝක ස්වභාවයෙකි.
එහෙත් මැදහත් බව පුරුදු කිරීමෙන් ඒ ලෝක ස්වභාවය ඉක්මවා ලාභයෙහි ලොල්
නොවුවහොත් අලාභයෙහි දුක් නොවී සිටීමට ද හැකි වන්නේ ය.
දිවි ගමනේ දී රිය සක මෙන් කරකැවෙන ලාභ අලාභ දෙකම ලැබේ. ලාභය ළඟට අලාභයද
අලාභය ළඟට ලාභය ද වන්නේ ය. එබැවින් ඒ හැම අවස්ථාවකදීම කිසි වෙනසක් ඇති
නොකොට මැදහත් බවේම පිහිටා “විය යුක්ත වීය” යි සිතුවහොත් පහසුවෙන් ජීවන
යාත්‍රාව පැවැත්විය හැකිය. ලාභයෙහිදී වෙනස් වුවහොත් අලාභයෙහි ද වෙනස්
වීම නියතයි.
යස, අයස, නින්දා, පැසසුම්, සැප, දුක්, ජය, පරාජයවලදීද මහමෙර මෙන් කම්පා
නොවී සිත මැදහත් බවේ පිහිටුවා ගැනීම යහපත්ය. හැම කාලයෙහිම තමහට ඉර
එළියෙන් පී‍්‍රතිමත්ව විසීමට අවස්ථාව නොලැබේ. අඳුරේ විසීමටද සිදු වන්නේ
ය. අඳුර නිසාම සූර්යාලෝකයේ වටිනාකම ප්‍රකට වෙන බව සිතිය යුතු ය.
ජීවත්වෙන කාලයේ බුදු පසේ බුදු මහරහත් උතුමන් ඇතුළු සියලු දෙනාටම අටලෝ
දහමට මූණ පෑමට සිදුවීම පුදුමයක් නොවේ. එවන් අවස්ථාවන්හිදී නොසැලී
සිටීමට අපට පිහිට වන එකම දෙවියා නම් තමන් පුරුදු කළ මැදහත් බවයි.
එහෙයින් සැපදුක් මෙන්ම ජය පරාජය දෙක්හිද උපේක්ෂාව හෙවත් මැදහත් බව
ප්‍රයෝජනයට ගත යුතු ය. අපේ තථාගත බුදුරජාණන් වහන්සේ තරම් ලාභ, කීර්ති,
ප්‍රශංසා ජය ලැබූ උතුමෙකු තුන් ලොවෙහිම නැතැයි කිව යුතු ය. එමෙන්ම
උන්වහන්සේ තරම් දුක්, නින්දා, ගැරහුම් ආදියද ලැබූවෙකු මුළු ලෝකයේම
නැතැයි කිව යුතු ය. එහෙත් ඒ හැම අවස්ථාවකම අකම්පිතව සිටි සේක.
මාගන්දියාගේ බැනුම් ද චිංචි මානවිකාවගේ නින්දා ද නිවටුන්ගේ අභූත චෝදනාද
සමසිතින් ඉවසූ සේක. විභාගයකට පෙනී සිටින හැම දෙනාම එකසේ සමත්විය යුතු
නම් ඒ විභාගය අවශ්‍ය නොවේ. සමත් අසමත් භාවය ලැබෙන්නේ ඒ ඒ අයගේ බුද්ධි
මට්ටම අනුවය. එය අධෛර්ය වීමට පසුබෑමට හේතුවක් නොවිය යුතු ය. අසමත්
වූවන්ට නිගරු කිරීම, පහත් කොට සැළකීම වෙනුවට ඔවුන් දිරිමත් කළ යුතු ය.
තරගයට ඉදිරිපත් වෙන හැම දෙනාම දිනිය යුතු නම් ඒ තරගය අනවශ්‍ය වේ. ජය
පරාජය ලබා දෙන්නේ ප්‍රේක්ෂකයෝය. අප පරාජය වන්නේ යම් කිසි අඩුවක් නිසාය.
එය සකසා ගැනීමට තව තවත් බුද්ධිමත්ව දිරි දැරිය යුතු ය. පරාජිතයන්ට
හිංසා පීඩා කිරීම, පළි ගැනීම වැනි දේ ශිෂ්ට සමාජයට අයිති නැත.
පරාජිතයන්ට ගරු බුහුමන් දැක්විය යුතු ය. ස්වකීය ජයග්‍රහණයට උපස්ථම්බක
වූවෝ ඔවුහුය. අපේ වීරෝදාර නරශ්‍රේෂ්ඨයෙකු වූ දුටුගැමුණු රජතුමා පරාජිත
එළාර රජුට දැක්වූ ප්‍රතිචාරය අප අමතක නොකළ යුතු ය.
“දුබලයා රැක ගැනීම ප්‍රබලයාගේ යුතුකමය” යන පැරණි කියමන පිළිකෙව් කළ
යුත්තක් නොවේ. රටට නායකයෙකු තෝරා ගැනීමේ දී කෙතෙක් දෙනා ඉදිරිපත් වුවද
තේරී පත් වන්නේ එක් අයෙකි. ඒ රටේ හැම දෙනාගේම නායකයාය. එතුමා හැමදෙනාටම
පොදු නායකයාය. ඒ නායකයා හැම දෙනාම පිළිගත යුතු ය. තරගයෙන් පසු කවුරුත්
එකට එකතු වී එක්සත්ව එක්සිත්ව සමගියෙන් සමාදානයෙන් රටේ සංවර්ධනයත් ජනතා
සුබ සිද්ධියත් සඳහා ඇපකැපවීම කාගේත් පරම යුතුකම බව කාරුණිකව සිහිපත්
කරමි. හැම දෙනාටම තෙරුවන් සරණයි! |