Print this Article


දහම සහ සංස්කෘතිය

දහම සහ සංස්කෘතිය

ජන සමාජයකට “සංස්කෘතිය’ ඉතාමත්ම අවශ්‍ය දෙයකි. කිසියම් ජන සමාජයක් ජීවත් වන්නේ එම සංස්කෘතිය ආහාර කරගෙන හෙවත් ප්‍රාණය කරගෙනය. සංස්කෘතිය ප්‍රාණය කරගෙන ජීවත්වන ජනසමාජයක සංස්කෘතිය ආරක්ෂා වන තරම හා ආරක්ෂා වන වේගය,ආරක්ෂා වන කාල පරාසය අනුව එම ජාතිය ජීවමානව පවතී. ජාතිය අජීවීභාවයට පත්ව බොල්ව: හරසුන්ව නැතිවී යන්නේ සංස්කෘතිය එයින් වියැකී ගිය විටයි. අපේ රටේ ද්‍රවිඩ ජනතාවට අදාළ වන අනන්‍ය සංස්කෘතියක් තිබේ. සිංහල ජනතාවට අදාළ වෙනම සංස්කෘතියක් තිබේ. සිංහලයන්ගේ බෞද්ධ ජනකුලකයට අදාළ වන සංස්කෘතියක් වෙනම තිබේ. සිංහලයන්ගේ කිතුනු ජන කුලකයට අදාළ වෙනම ජන සංස්කෘතියක් තිබේ. ඊට අමතරව එක් එක් පවුල්වලට අදාළ වන සමහර විට ඒ පවුල්වලට පමණක් පොදු වූ සංස්කෘතික අවශ්‍යතා හෙවත් විශේෂතා තිබෙන්නත් පුළුවන්කම පවතී. එනිසා සංස්කෘතිය කියල කියන්නේ සම්මිශ්‍රණය වීමේ හැකියාවක් තිබෙන විශේෂ ජන කණ්ඩායම් වලට අයත් වූවක්.

නමුත් සංස්කෘතියත් සමඟ බැඳුණු සංස්කෘතික චින්තාවක් තිබේ. සංස්කෘතික චින්තනය හෙවත් සංස්කෘතිකව මිනිසුන් හිතන ආකාරය සිතිය යුතු ආකාරය නොවේ. එතනදී ළිඳක් කැපූ විට පළමුවෙන්ම ගන්නා ජලය පැන් ලෙස බෝධින් වහන්සේට පූජා කිරීම සංස්කෘතික සිතිවිල්ලකින් ඇතිවන ක්‍රියාකාරකමකි. මිනිස්සු එවැනි ලෙස සිතන ආකාරය සංස්කෘතික සිතිවිල්ලකි. එවැනි සංස්කෘතික සිතිවිලිවල ආකාරයට තමයි සදාචාර ධර්ම, සම්ප්‍රදාය ධර්ම නමින් කොටස් දෙකකට වෙන්කොට විග්‍රහ කළ හැකි ආචාර ධර්ම ටිකක් රටකට බිහිවන්නේ,

හේතුව තමයි ලංකාවේ කෑම බීමේ ඉඳල හැසිරීම් රටාවේ සිට සියල්ල නිර්මාණය වෙන්නේ ආගමික ඇවතුම් පැවතුම් හා සංස්කෘතික ඇවතුම් පැවතුම් අතර බොහෝ සමීප සම්බන්ධයක් තිබුණා වුනාට සියලුම සංස්කෘතික අංග ආගමික නොවෙයි.උදාහරණයක් වශයෙන් අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර තුළ ආගමික භාවය යම් ප්‍රමාණයක් තැවරී තිබුණත් ආගමික නොවන දේද තිබේ. ඒනිසා සංස්කෘතිය හා සංස්කෘතික අංග අත්‍යවශ්‍ය වන්නේත් ආරක්ෂා විය යුතු වන්නේ ජාතියක පැවැත්ම උදෙසායි. සිංහල ජාතිය ආගමක් වශයෙන් බහුතරය විසින් වැළඳගනු ලැබූ බුද්ධාගම එම සිංහල සංස්කෘතිය හා බෞද්ධ සංස්කෘතිය කියල කියන දෙකෙන්ම සමන්විතයි.

බෞද්ධභාවය වැළඳ නොගත් සිංහලයන්ට සිංහල සංස්කෘතිය තිබෙන්න ඕනෙ’. ඒ අය ගෙන් ඇතැමෙක් සිංහල සංස්කෘතිය වැළඳ නොගෙන ඉන්නවා නම්, ඒ අය සිංහල නොවන යුරෝපීය සංස්කෘතික මිනිසුන් බවට පත්වේ. නාමිකව සිංහලව යුරෝපීය සංස්කෘතික වු විට අතරමං වුණ ජනකණ්ඩායමක් බවට පත්වේ. බෞද්ධයා බෞද්ධ සංස්කෘතික හා සිංහල සංස්කෘතික කියන දෙකෙන්ම සමන්විත වේ. අලුත් අවුරුද්ද ලාංකේය මිස එය බෞද්ධ නොවේ. එය ජාතික සංස්කෘතියක්. මේ අයගේ ප්‍රධාන ගැටලුව වන්නේ යුරෝපීය සංස්කෘතික වෙනවද, පෙරදිග සංස්කෘතික වෙනවද කියන කරුණයි. ඇතැම් විට කිතුනුවා බහුල වශයෙන්ම හැම විටම ගරු කරනු ලබන්නේ යුරෝපීය සංස්කෘතියකටයි. ක්‍රිස්තියානු සංස්කෘතිය යුරෝපීය වූවාට කිතුනුවා සිංහලයෙක් වී නොමැති වීම එහි ගැටලුවයි. කිතුනුවා සිංහල වීම පිළිබඳව ලොකු මාතෘකාවක් තිබෙනවා. කිතුනුවා ඇඳුමක් හැටියට හෝ ආලේපනයක් හැටියට සිංහල වෙලා වැඩක් නැහැ. කිතුනුවා හැම වෙලාවෙම තමන්ගේ ගෙදරට නම තබන්නේ ඉංගී‍්‍රසියෙනි. තමන්ගේ දරුවන්ට නම් තබන්නේ ඉංගී‍්‍රසියෙන්. කතා කරන්නේ සුබ ප්‍රාර්ථනා කරන්නේ ඉංගී‍්‍රසියෙනි. යන්නේ ඉංගී‍්‍රසි පාසල්වලට. දරුවන් ට්පචඤඥ එක මිස ශ්‍රේණිය කතා කරන්නේ නැහැ. කිතුනු දරුවා හැසිරෙන්නේ යුරෝපීය වීරයෙක් එක්ක. ඒ දරුවාගේ මනැසේ රැඳී තිබෙන වීර චරිත සියල්ලම අඩුම වශයෙන් නෙල්සන් මැන්ඩෙලා වැනි ලාංකීය නොවන අය. එසේ බලාගෙන යද්දී සිතිවිල්ල හැම වෙලාවෙම සැරිසරන්නේ ඉතාලිය, රෝමය, එංගලන්තය, ඇමෙරිකාව, ලතින් ඇමරිකාව වැනි රටවල් ආශි‍්‍රතව එයින් එම තැනැත්තා යුරෝපීය වනවා මිස කිතුනු වීමක් වන්නේ නැහැ. සපත්තු, ඇඳුම් පැළදුම්, කොණ්ඩා මෝස්තර, බිත්තියේ එල්ලා තබන පින්තූර, එවැනි අ ාකාරයෙන්ම පවතියි. ලංකාවේ සිටිනව තවත් පිරිසක් ලාංකේය වශයෙන් ඔවුන් වැව පිළිබඳව, දාගැබ පිළිබඳව වීරපුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා පිළිබඳව, ඇහැළේපොළ පිළිබඳව කතාකරනවා. අහසට පොළොව වගේ වෙනස් සංස්කෘතීන් දෙකක ඉන්නවා. එතනදී ලංකාවේ ජාතික ධනය ක්‍රමානුකූලව බෙදිල බෙදිල ගිහිල්ලා යුරෝපීය නම්‍යතාවක් සහිත ප්‍රජාවක් ඉස්සරහ වැඩිකොටසක් රැදුනහම ආර්ථික බලය ඔවුන් සතුවූ ගමන්ම යුරෝපීය විසින් ලංකාව පාලනය කරනවාය යන චිත්‍රය හෙවත් දෘෂ්ටිකෝණය ඇඳෙනවා. ගමයි වෙලයි, මඩයි සමඟ එකට ජීවත්වුණ සිංහ කොඩිය සමඟ ගෞරවනීයව හැසුරුණු පන්සල සමඟ සමීප සම්බන්ධකම් තිබුණ සම්ප්‍රදායේ මිනිසුන් පරපීඩතයින් බවට පත්විය හැකියි. ඒක නිසා තමයි සංස්කෘතික භාවය ජාතික භාවයක් බවට පත්විය යුත්තේ. කිතුනුවාගේ කිතුනුකම් හෝ මුසෙල් මානුවාගේ ඉස්ලාම්කම හෝ බෞද්ධයාගේ බෞද්ධකම මල් තුනක් නම්, ජාතිකකම එක ඉත්තකි. ජාතිකකම රැඳුණු මුසෙල්මානුවා ඔහු ලාංකේය මුසෙල්මානුුවෙක්.ජාතිකභාවය රැඳුණොත් කිතුණුවා ලඟ ඔහු ලාංකේය කිතුනුවෙක්, ජාතිකභාවය රැඳුණොත් බෞද්ධයා ඔහු ලාංකීය බෞද්ධයෙක් .එම කාරණාවේදි බෞද්ධකම පිළිබදවත් ඒ ආකාරයෙන්මයි. යම්කිසි බෞද්ධයකු නිරන්තරයෙන්ම සැරිසරන්නේ යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්ම දත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි නම්, ඔහු නිරතුරුවම හැසිරෙන්නේ ලුම්බිණි සල්උයනේ, ඉසිපතනයේ මිගදායේ, කිඹුල්වත්පුර රජගහනුවර නම්, ඔහු ඉන්දියානු බෞද්ධයකු මිස ලාංකේය බෞද්ධයකු නොවේ’. වාසනාවට ලංකාවේ මිනිසුන් එලෙස වන්නේ නැහැ. ලංකාවේ මිනිසුන් ලාංකේය බෞද්ධයන්.ජාතක කතාකරුවා යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි ක්ෂත්‍රියයන්, බ්‍රාහ්මණයන්, පිළිබඳ කතන්දර වලින් ජාතක පොත නිර්මාණය කරද්දී, ධර්මසේන හාමුදුරුවෝ අනුරාධපුරයේ පොළොන්නරුවේ වැඩ සිට සිංහල රහතන් වහන්සේලා පිළිබඳව සද්ධර්මරත්නාවලියෙහි කතා කළා. සද්ධර්මරත්නාවලියෙහි යටගිය දවස බරණැස් නුවර පිළිබඳ කතා නොව අනුරාධපුරයේ පොළොන්නරුවේ වැඩ සිටි රහතන් වහන්සේලා පිළිබඳව පමණයි වර්ණනා තියෙන්නේ. ඉන්දියානු බිම පිළිබඳව නොව ලංකාවේ බිම පිළිබඳව වර්ණනායි. සමහර විට සංදේශ සාහිත්‍යයේත් ඉන්දියානු වර්ණනා එලෙසම අරගෙන බහාලමින් කළ මහා දැවැන්ත වර්ණනා තිබෙනවා. කාව්‍යශේඛරය, කවිසිළුමිණ තුළ එවැනි දේ අන්තර්ගත වෙනවා. ලංකාවට උරුම මේ බිමෙහි වර්ණනා තොරතුරු ඇතිව සද්ධර්මරත්නාවලිය ලියවෙනවා. ඒ කාලය තුළ තිබුණ දේශීය ඇගයීම හා විදේශීය ඇගයීම පිළිබඳව තිබුණ සාක්ෂියක්. එනිසාම ඉන්දියානු සාහිත්‍යයෙන් බුද්ධාගම ලාංකීය සාහිත්‍යයක් බවට පත්කරන්න එවකට හිටපු නිර්මාණකරුවන් දැවැන්ත වෑයමක් කළා. එම දැවැන්ත වෑයමේ ප්‍රතිඵලයක් ලෙස ලාංකේය බුද්ධාගමක් නිර්මාණය වුණා. ඒ ලංකාවේ බුද්ධාගමේ විශාල කරුණු තිබෙනවා. වචන වශයෙන් ගත්තත් “වහන්සේ’ කියන වචනය පාලියටවත්, සංස්කෘත ටවත් සිංහල ටවත් දෙමළටවත්, ඉංගී‍්‍රසියටවත් පරිවර්තනය කළ නොහැකියි. ඉංගී‍්‍රසියෙන් ‘ලෝඩ් බුද්ධ” “ලෝඩ් බුද්ධ” යනු වහන්සේ නොවෙයි. එහෙම නම් බෝධින් වහන්සේ ඉංගී‍්‍රසි විය යුතුයි. “වහන්සේ” යනු සංස්කෘතික වචනයත්, පාලියෙන් බුද්ධෝ වශයෙන් ගැනෙයි. කිසිඳු ගෞරවනීය බවක් නැහැ. “සක්කෝ” ශක්‍රයා “මනුස්සෝ” මනුෂ්‍යයා “ ‘නරෝ” මනුෂ්‍යයා , ‘රුක්ඛො” ගහ “බුද්ධෝ’ බුදුහාමුදුරුවෝ ගෞරවනීය වචනයක් නැහැ. සංස්කෘතයෙහි “බුද්ධඞ” බුදුහාමුදුුරුවන්’ වෘක්ෂඞ’ ගහ, බුදුහාමුදුරුවන්ට වචනවලින් පවා නියමිත ගෞරවයක් ලබාදෙන්නේ අපෙන්. පාලියෙන් යනවට “ගච්ඡති” වන අතර “වඩිනවා” කියන වචනයත් ලංකාවේ තියෙනවා. “ගච්ඡති” යනු කිසිදු ගෞරවනීය බවක් නැත. අප “බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා” යනුවෙන් භාවිත කරයි. ස්නානය කිරීමට, වැළඳීමට, වැඩම කරවන එකට, වචන නැහැ. ඒක තමයි රටක තියෙන විශාලම සංස්කෘතික භාවය. රටක තියෙන දැවැන්ත සංස්කෘතියක් එවැනි වචන සම්ප්‍රදායක් සමඟ මිනිසුන්ගේ හැඟීම් සම්ප්‍රදායක් තියෙනවා. යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජකෙනකුන් රාජ්‍ය කරන සමයෙහි ඉන්නාවූ බෞද්ධයා ලාංකේය බෞද්ධයකු නොවේ. රෝමයේ සහ ඉතාලියේ ජීවත් වන්නා වූ කිතුනුවා ද ලාංකිකයෙකු නොවේ’. සෞදි අරාබියේ හෝ පාකිස්ථානයේ ජීවත්වන්නාවූ මුසෙල්මානුවාද ලාංකිකයකු නොවේ. ලාංකිකයකු වීමට නම්, මේ තිදෙනාම ලංකාවේ ජීවත් විය යුතුයි. ලංකාවේ ආහාරපාන, ලංකාවේ සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම් ලංකාවේ ආකෘති යනු බෞද්ධ නොවෙන අතර එය ලාංකේය සංස්කෘතියයි. ලාංකිය බෞද්ධ, ලාංකේය කිතුනු, ලාංකේය මුස්ලිම් විය යුතුයි. මේක මහා දැවැන්ත සංස්කෘතික රටක්. සාමාන්‍යයෙන් රටවල් වශයෙන් ගත්විට කෘෂිකාර්මික රටවල්, ආර්ථික රටවල්, තිබෙනවා. මේ වර්ග කිලෝමීටර් හැටපන් දහස් හයසිය තිස් දෙකක මුහුදින් වටවූ සුන්දර දිවයින, සංස්කෘතික රටක්. එම සංස්කෘතියේ අංගෝපාංග උගන්වන එක නොවේ , පුරුදු කරන එක දෙමාපියන්ගේ වගකීමක්. පාසලක් යනු විෂය උගනවන ස්ථානයක්, නිවස යනු සංස්කෘතිය හුරුකරවන ස්ථානයක්, විෂයන් ඉගැන්වීමට ආචාර්යවරු, ඉන්නවා. සංස්කෘතිය හුරුකිරීමට දෙමාපියන් ඉන්නේ. විෂය දැනුමට පැය විසිහතරෙන් හයක් තිබෙනවා. සතියේ දවස් හතෙන් සම්පූර්ණ දවස් දෙකක්ද, සතියේ දවස් පහෙන් පැය විසිහතරෙන් දහඅටක් වන දවසේ පැය විසිහතරෙන් හතරෙන් තුනක්ද අම්මාට තාත්තාට වෙන්වෙන්නේ ගෙදර සිටින දරුවන් දෙතුන් දෙනාට සංස්කෘතිය හුරුකරවීමටයි.

ගුරුවරයකුට හමුවන්නේ සතියේ දවස් හතෙන් දවස් පහක පැය විසිහතරෙන් හතරෙන් එකක් වන පැය හයක කාලයක් පමණයි. ඔහුට හෝ ඇයට දරුවන් හතළිහක් පැය හයක් තුළ උගන්වන්න දෙන්නේ. තාත්තටයි අම්මටයි දරුවො තුන්දෙනෙක් දවසකට පැය දහ අටක් තුළ සංස්කෘතිය හුරුකරවිය හැකියි. ප්‍රගමනය රැඳිල තියෙන්නේ මෙම කාරණා දෙක පැහැදිලිව තේරුම් ගතහොත් පමණයි. එනිසා සංස්කෘතික ප්‍රදානය, සංස්කෘතික සංජානනය, සංස්කෘතික ශික්ෂණය දෙමව්පියන් විසින් දරුවන් උදෙසා කරන තරමට තමයි ලංකාවේ ජාතියේ අත්තිවාරම ශක්තිමත් වන්නේ.

එක් එක් මෝස්තර තුළින් ජාතිය ලස්සන විය හැකියි. දෙදරා කඩා නොවැටෙන තරමට සවිමත් වන්නේ එවැනි ආකාරයකින් වුවහොත් පමණයි. එය සංස්කෘතිකතාවයේ විශිෂ්ටතම ලක්ෂණයයි. එනිසා සංස්කෘතිය පිළිබඳව කතාකරන්න වෙන්නෙ ආගමයි සංස්කෘතියයි දෙකක් ලෙස තේරුම් අරගෙනයි. සංස්කෘතිය ශරීරය නම්,ආගම ඇඳුමක්. යම් යම් අර්බුද ගැටලු සහ ප්‍රශ්න නිර්මාණය වන්නේ මේ සංස්කෘතික ගැටුම තුළයි. අද වන විටත් රැකී රක්ෂා ගැනීමේදී තනතුරු ඉහළ යාමේදී අභ්‍යන්තර අර්බුද ආයතන ගත වීමේදී සංඝට්ටනය වන්නේ සංස්කෘතික විපර්යාසය . ඉංගී‍්‍රසියෙන් කතාකරන්නා වූ ද ටයිකෝටි අදින්නා වූද ඉංගී‍්‍රසියෙන් අත්සන් කරන්නා වූද ස්මාර්ට් යැයි බොහෝ දෙනා විසින් කියන්නා වූද බොහෝ දෙනාට රැකියා ශාක්‍යතාවය වැඩියි.

බුද්ධාගම ඉන්දියානු සංස්කෘතියේත් ජීවමාන වෙනවා. තායිලන්ත සංස්කෘතියේත් නිවැරැදිව, නිරවුල්ව බුද්ධාගම සංස්කෘතිකව ජීවමාන වෙනවා. ලංකාවේ තමයි සංස්කෘතික බුද්ධාගමක් සහිත රටක් ජීවමාන වන්නේ. ලෝකයේ වෙන කොහේවත් මෙවැනි සංස්කෘතික බුද්ධාගමක් නැහැ. බුරුමය ඉතාම ගැඹුරින් පාලිභාෂාව හදාරන රටක්. තායිලන්තය ,බොහොම පුද පුජා පවත්වන රටක්. තායිලන්තය 97% ක් බෞද්ධ. ආදායම් මාර්ග වෙනස්. එහෙම රටේ ආගම බුද්ධාගමයි.

බුරුමයේ බෞද්ධයා එකසිය අටවාරයක් බුදුන වැඳිම සහ පාලිභාෂාව ඉගෙන ගැනීම බුද්ධාගම හැටියට දකියි. බුද්ධාගම නමැති ජලය නිවැරැදිව රැඳෙන පොකුණ තමයි සිංහල සංස්කෘතික පොකුණ, සංස්කෘතිය විනාශ කිරීම යනු මල් නොකඩා අත්ත කැඩීමක් වෙයි. බුදුපියාණන් වහන්සේට අවශ්‍ය වූයේද මුනිසමාජයෙන් වියුක්ත සංඝ සමාජයත් වෙනම වෙන්කර ගැනීමත්, එම සංඝ සමාජය සංස්කෘතික සංඝ සමාජයක් කිරීම සඳහායි. මුනි සමාජයයි. සංඝ සමාජයයි ඉතා පැහැදිලි දෙකක්. මුනිවරුන්ගේ බලාපොරොත්තු වු දෙය සංඝ සමාජයෙන් බුදුපියාණන් වහන්සේ බලාපොරෙත්තු නොවෙයි. ධුතංගධාරිව කමටහන් අරගෙන භාවනාව සඳහා ගියේ මුනිසමාජයයි. මුනිවරුන්ට විනය නීති පැනවූයේ නැහැ. විනය නීති පැනවූයේ සංඝ සමාජයටයි. පාරේ යන පිළිවෙල, බලන්න අවශ්‍ය දුර ප්‍රමාණය, සිවුර ඇඳිය යුතු ක්‍රමය, සිවුර වන න ක්‍රමය, කොණ්ඩ කපන ආකාරය, පාවහන් පළදිනවාද? නැද්ද? යන වග, කෑම ගත යුතු වේලාව අතුගාන ආකාරය, දූවිලි ගසන ආකාරය, වතුර පාවිච්චි කරන ආකාරය, සියල්ලම සංඝ සමාජය සඳහා පනවන නීති, මුනිවරු ලෙස වනගතව බවුන් වැඩීම සඳහා ජීවිතය වෙන්කරන ලද මුනිවරුන්ට කමටහන් ලබා දුන්හ. හාමුදුරුවන්ටත් ගිහියන්ටත් පටලැවෙන තැන වශයෙන් මුනි සමාජයයි සංඝ සමාජයයි වෙන්කර ගැනීම දැක්විය හැකියි. මුනිවරුන්ට එකට වෘතයක් වශයෙන් මෝනෙයිය වත තිබුණා. මෝනොයිය වත යනු සිංහලයෙන් මුනිවතයි. මුනිවත යනු දෙබසින් තොර බවයි. මුනිවත සහිත මුනිවරු ලංකාව පුරාම හිටියේ නැහැ.

ලංකාවේ තිබුණේ භික්ෂු සංස්කෘතියකි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට රැගෙන ආවේ ග්‍රාමීය නායකත්වය ඇතිකර ගත හැකි භික්ෂු සංස්ථාවක් මිස මුනි සංස්ථාවක් නොවේ. මෝනෙයිය වත ආරම්භ වූයේ බුදුහාමුදුුරුවන්ට කලින් නාලක හාමුදුරුවන්. බුදුහාමුදුරුවන් උප්පත්තිය ලබන කාලයේ නාලක නම් වු යෞවනයා “මෙහෙම කෙනෙක් ඉපදුනා, එම පුද්ගලයා කවදා හරි දවසක බුදුවෙනවා. එම පුද්ගලයා වෙනුවෙන් මට මුනිවරයකු වීමට දැන්මම කමටහන් ලබන්න අවශ්‍ය බව ප්‍රකාශ කරමින් වනගත වුණා. බුදුපියාණන් වහන්සේ යෞවන වියේ බුදුබව ලබන විට නාලක වියපත්. ඒත් බුදුහාමුදුරුවන්ගෙන් කමටහන් අරගෙන මෝනෙයිය වත ආරම්භ කර මුනිවරයකු බවට පත් වුණා. අදටත් ලංකාවේ’ වනගතව බවුන් වඩන යෝගාවචරයන් යතිවරුන් සිටිනවා. බවුන් වඩනා භික්ෂු නොවන සම්ප්‍රදායකුත් ඉන්නවා. ශී‍්‍ර ලාංකීය යතිවර සම්ප්‍රදාය වෙනස් එකක්. එය වෙන සංස්කෘතියක්. ලාංකේය බෞද්ධයත් එවැනි කෙනෙක්.තුන්සිය හැටපස් දවසෙම පන්සිල් අරගෙන කඩන බෞද්ධයන් නැහැ. පන්සිල් ගනු ලබන්නේ සංස්කෘතියක් හැටියටයි. පන්සිල් ගැනීම ලංකාවේ සංස්කෘතිකාංගයක්. පන්සිල් ගත්තාට කවරදාකවත් බෞද්ධයකු බවට පත්වන්නේ නැහැ. පන්සිල් රැකීමෙන් හොඳ මනුෂ්‍යයකු බවට පත්විය හැකියි.