දෙවිවරු ඇසූ ප්‍රශ්න ඇතුළත් දේවතා සංයුත්තය
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
අපගේ ස්වාමි වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් සත වෙත පතළ මහා
කරුණාවෙන් දේශනා කොට වදාළේ ශ්‍රී සද්ධර්ම යි. සම්බුද්ධ පරිනිර්වාණයෙන්
තෙමසකට පසු මහ රහතන් වහන්සේලා විසින් ලෝසතුන් ගේ යහපත පිණිස ධර්මය හා
විනය වශයෙන් එය සංගායනා කරන ලදී. එහිදී සම්බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මය
නිකාය වශයෙන් කොටස් කරන ලද්දේ ද ඒ රහතුන් විසින් ම ය. අපගේ බුදු
සමිඳුන් වදාළ දීර්ඝ දේශනා ඇතුළත් කොටස දීඝ නිකාය නම් විය. මධ්‍යම
ප්‍රමාණ දේශනා ඇතුළත් කොටස මජ්ක්‍ධිම නිකාය නම් විය. අංක වශයෙන්
පිළිවෙළින් ධර්ම කරුණු වැඩීගෙන යන දේශනා ඇතුළත් කොටස අංගුත්තර නිකාය
නම් විය. කුඩා දේශනා ඇතුළත් කොටස බුද්දක නිකාය නම් විය.
එයට ඇතුළත් නොවන සුවිශේෂි දේශනා සියල්ල එකතු වන සේ මහ රහතුන් විසින්
සකස් කොට වදාළ සංයුත්ත නිකාය නම් වේ. ප්‍රථම ධර්ම සංගායනාවේ
ප්‍රධානත්වය දැරෑ පරම පූජනීය මහ කස්සප මහ රහතන් වහන්සේ ගේ
ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට පැවරුණේ මෙම සංයුත්ත නිකාය ආරක්ෂා කර ගැනීමට
ය. සංයුත්ත නිකාය යනු සද්ධර්ම සාගරයේ මුතු මැණික් දියමන්ති පිර වූ
ස්වර්ණමය නෞකාවක් වැන්න. විදර්ශනා ප්‍රඥාව වහා ලබා දෙන ආශ්චර්යවත්
දෙසුම් වලින් සමන්විත ධර්ම භාණ්ඩාගාරයක් වැන්න.සංයුත්ත නිකාය ප්‍රධාන
වශයෙන් කොටස් පහකට බෙදේ. ඒවා හඳුන්වන්නේ ‘වර්ග‘ නමිනි. එනම් සගාථ
වර්ගය, නිදාන වර්ගය, බන්ධක වර්ගය, සළායතන වර්ගය, මහා වර්ගය වශයෙනි.
මෙහි සගාථ වර්ගයේ සූත්‍ර 271 ක් ඇතුළත්ය. නිිදාන වර්ගයේ සූත්‍ර 406 ක්
ඇතුළත් ය. එහි බොහෝ සූත්‍ර වල දැක්වෙන්නේ පටිච්ච සමුප්පාදය ගැන යි.
ඛන්ධක වර්ගයේ සූත්‍ර 716 ක් ඇතුළත් ය. එහි බොහෝ සූත්‍ර වල දැක්වෙන්නේ
පංච උපාදානස්කන්ධය ගැනයි. සළායතන වර්ගයේ සූත්‍ර 2286 ක් ඇතුළත් ය. එහි
බොහෝ සූත්‍ර වල දැක්වෙන්නේ ආයතන හය ගැනයි. මහා වර්ගයේ සත්තිස්
බෝධිපාක්ෂික ධර්ම ගැන ඇතුළත් සූත්‍ර දේශනා 3977 ක් ඇතුළත් ය. ඒ අනුව
සංයුත්ත නිකායේ සූත්‍ර දේශනා 7656 ක් ඇතුළත් ව තිබේ.සංයුත්ත නිකායේ
පළමු කොටස වන සගාථ වර්ගයේ ඉතා ගැඹුරු ධර්ම කරුණු සංක්සේපයෙන් සඳහන්
වෙනවා. එහෙත් නුවණින් විමසා තේරුම් ගැනීමේ හැකියාව ඇති කෙනෙකුට ඒ
තුළින් ගැඹුරු අවබෝධයක් ලබාගත හැකිය. සංයුත්ත නිකායේ මුල් කොටස වන සගාථ
වර්ගයේ සංයුත්ත නමින් කොටස් එකොළහක් ඇතුළත් වෙනවා. එනම්, දේවතා
සංයුත්තය, දේවපුත්ත සංයුත්තය, කෝසල සංයුත්තය, මාර සංයුත්තය, භික්ඛුනී
සංයුත්තය, බ්‍රහ්ම සංයුත්තය, බ්‍රාහ්මණ සංයුත්තය, මංගීස සංයුත්තය, වන
සංයුත්තය, යක්ඛ සංයුත්තය, සක්ක සංයුත්තය වශයෙනි.
දේවතා සංයුත්තයේ නොයෙක් අප්‍රකට දෙවිවරුන් ගැනත්, දෙව් පිරිසක් ගැනත්
සඳහන් වෙනවා. ඔවුන් බුදු සමිඳුන් ළඟට පැමිණ නොයෙක් ප්‍රශ්න අසන
අයුරුත්, ඒ ප්‍රශ්න වලට බුදුසමිඳුන් වදාරණ පිළිතුරුත් මෙහි සඳහන්
වෙනවා. ඇතැම් දෙවිවරුන් ගේ ගාථාවන් අපගේ බුදු සමිඳුන් විසින් අනුමත කරන
අවස්ථා ද දක්නට ලැබෙනවා. දෙවිවරුන්ගේත්, මිනිසුන්ගේත් අදහස් අතර ලොකු
වෙනසක් නැති බව මේ “දේවතා සංයුත්තය” කියවීමෙන් පැහැදිලි ව දක්නට
පුළුවන. දේවතා සංයුත්තයේ සූත්‍ර 81 ක් තිබෙනවා. ඊළඟට හමු වන්නේ
දේවපුත්ත සංයුත්තය යි. නොයෙක් නම් සඳහන් දිව්‍ය පුත්‍රයන් රාශියක ගේ
අදහස් හා ඔවුන්ට අපගේ ශාස්තෘන් වහන්සේ දුන් පිළිතුරුත් මෙම සංයුත්තයෙන්
දැනගත හැකියි. මෙහි සූත්‍ර 30 ක් දක්නට ලැබෙනවා.
අනතුරුව කෝසල සංයුත්තයෙහි කොසොල් රජතුමා මුල් කොට ගෙන අපගේ බුදු
සමිඳුන් වදාළ රමණීය දෙසුම් හමුවේ. මාර පරාජය කළ අපගේ ධර්ම ස්වාමි වූ
බුදුරජාණන් වහන්සේ විසින් තම ශ්‍රාවක ජනතාවට මාරයා මෙන්ම මාරයාට බැඳී
යන ආකාරයත්, මාරයාගෙන් නිදහස් වන ආකාරයත් මැනවින් පෙන්වා දෙන ලදී.
මාරයා ගැන වැදගත් තොරතුරු රැසක් මාර සංයුත්තය තුළින් අපට ඉගෙන ගත
හැකිය. අපගේ බුදු සමිඳුන් ගේ පැවිදි ශ්‍රාවිකාවන් වන භික්ෂුණීන්
වහන්සේලාගේ නුවණැස නැසීමට මාරයා පැමිණෙන අයුරුත්, එයට නිර්භීතව මුහුණ
දෙන භික්ෂූණීන් ගේ ප්‍රඥාවන්ත පිළිතුරුත්, භික්ඛුනී සංයුත්තයේ සඳහන්
වේ.
මිනිසුන්ට මෙන් ම දෙවි බඹුන් හට ද ශාස්තෘ වූ අපගේ බුදු සමිඳුන් බඹලොව
බඹුන් හා දහම් සංවාදයේ යෙදෙන අයුරු බ්‍රහ්ම සංයුත්තයේ සඳහන් වේ.
බ්‍රහ්මාරාධනාවෙන් පසු දහම දෙසන්නට පළමු බුදු ඇසින් ලොව බලා වදාරණ
අයුරුත් බ්‍රහ්ම සංයුත්තයෙන් දැනගත හැකිය.
ඊළඟට හමුවන්නේ බ්‍රාහ්මණ සංයුත්ත ය යි. නොයෙක් යාගහෝම පුදපූජා වල ඇලී
සිටින කුල මාන්නයෙන් ඉදිමී ගිය බ්‍රාහ්මණයින් බුදු සමිඳුන් ගේ කාරුණික
දහම් මගින් දමනය වෙනවා. ඒ මිසදිටු පිළිවෙත් අත්හැරලා බුදු සමිඳුන් ගේ
කීකරු ශ්‍රාවකයා බවට පත්වෙන ආකාරය මේ තුළින් දැන ගන්නට පුළුවන.
අතිවිශිෂ්ට කාව්‍ය නිර්මාණ ප්‍රතිභානයෙන් යුතු අපූරු රහතුන් වහන්සේ
නමක් පිළිබඳ තොරතුරු අපට ඊළඟ සංයුත්තයෙන් හමු වේ. එනම් වංගීස සංයුත්තය
යි. වංගීස මහ රහතන් වහන්සේ බලවත් උත්සාහයකින් යුක්ත ව ජීවිතය ජයගත්
ආකාරයත්, උන්වහන්සේ ගේ කාව්‍යමය ප්‍රතිහාරයන් ඉතා සුන්දර ලෙස දැන
ගනිමින් බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන බලවත් ශ්‍රද්ධාවක්
ඇති කරගත හැකිය. ඊළඟට හමු වන්නේ වන සංයුත්තය යි. වනයේ හුදකලාවේ වසන
භික්ෂූන් සමඟ කථාබස් කරන දෙවිවරුන් ඒ භික්ෂූන් වහන්සේලාව ධර්ම මාර්ගයේ
උනන්දු කරවන ආකාරය මෙහි දැක්ක හැකිය. අනතුරුව දැක්වෙන යක්ක සංයුත්තයේ
බලසම්පන්න අමනුෂ්‍යයන් ගැන සඳහන් වේ. ඇතැම් විට දෙවිවරුන් ගැන ප්‍රචණ්ඩ
ගති ඇති යක්ෂයින් ගැනත් තොරතුරු මෙහි ඇත. ඒ අමනුෂ්‍යයන් තිසරණයේ පිහිට
ලබන අයුරු මෙහි දී ඉගෙන ගත හැකිය. සගාථ වර්ගයේ අවසානයට හමුවන්නේ සක්ක
සංයුත්තය යි. ශක්‍ර දෙවියන් ගේ අප්‍රකට තොරතුරු රාශියක් මෙම
සංයුත්තයෙන් ඉගෙන ගත හැකිය.
ඉතින් ඔබට මෙතැන් සිට “දෙවියනට වදාළ සම්බුදු බණ” නමින් එම සංයුත්ත
නිකායෙහි දේවතා සංයුත්තයේ සහ දේවපුත්ත සංයුත්තයේ ඇතුළත් සූත්‍ර මූලික
කරගෙන ලියැවුණු ලිපි පෙළක් ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. උදා– ලෙස මෙම
ලිපියෙහි අවසානයේ දේවතා සංයුත්තයේ පළමු සූත්‍රය වන ‘සසර සැඩ පහර තරණය
කිරීම ගැන වදාළ දෙසුම’ (ඕඝතරණ සූත්‍රය) මේ අයුරින් සටහන් තබමු.ඒ දිනවල
භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඩු
සිටුතුමාගේ අසපුවේ. එදා රැය පහන් වෙද්දී එක්තරා දෙවි කෙනෙක් මුළුමහත්
ජේතවනය ම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ආවා. ඇවිදින්
භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර පැත්තකින් සිට ගත්තා. පැත්තකින් හිටගත්
ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසුවා. පින්වත් නිදුකාණන් වහන්ස,
ඔබ වහන්සේ මේ සසර සැඩ පහර තරණය කළේ කොහොමද?
(භාග්‍යවතුන් වහන්සේ) පි‍්‍රය ආයුෂ්මත, මම පිහිටල හිටියෙත් නැහැ. මම
උත්සාහ කළෙත් නැහැ. අන්න ඒ විදිහට යි සසර සැඬපහර තරණය කළේ.
(දෙවියා) පින්වත් නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේ පිහිටා සිටින්තේ නැතුව,
උත්සාහ කරන්නේත් නැතුව, සසර සැඬපහර තරණය කළේ කොහොමද?
(භාග්‍යවතුන වහන්සේ) පි‍්‍රය ආයුෂ්මත, යම් විටෙක මම පිහිටා සිටින්නට
හැදුවොත් එවිට මාව ගිලෙනවා. (මෙහි තේරුම කාමසුඛල්ලිකානු යෝගයේ පිහිටා
නොසිටිය යුතු බවයි) ඒ වගේ ම පි‍්‍රය ආයුෂ්මත, මම යම් වෙලාවක උත්සාහ
කරන්නට ගියොත් එවිට මාව උඩට මතුවෙනව විතරයි. (මෙහි තේරුම
අත්තකිලමථානුයෝගය අත්හල යුතු බවයි) ඔය ආකාරයට පි‍්‍රය ආයුෂ්මත මම
පිහිටන්නේත් නැතිව, උත්සාහ කරන්නේත් නැතුව සසර සැඬපහර තරණය කළා.
(දෙවියා) හා! පිහිටන්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව මේ ලෝකයේ
විසත්තිකා නම් වූ තෘෂ්ණාවෙන් එතෙර වුණ පිරිනිවුන ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය
රත්නයක් කලාතුරකින් මට දැකගන්නට ලැබුණේ.ඒ දෙවියා ඔය විදිහට කිව්වා.
ශාස්තෘන් වහන්සේ එය අනුමත කොට වදාළා. එවිට ඒ දෙවියා ශාස්තෘන් වහන්සේ
මාගේ අදහස අනුමත කොට වදාළ සේකැයි භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා.
පැදකුණු කළා. එතැනම නො පෙනී ගියා. බුදුදහම යනු මේ දුර්ලභ මිනිස්
ජීවිතයට ලැබුන මහා ප්‍රඥා නිධානය යි. ඒ නිසා ඔබත් ඒ උතුම් බුද්ධ දේශනා
ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉගෙන ගන්න. එම ධර්මය අවබෝධ කර ගැනීමට මහන්සි
ගන්න. මේ ගෞතම බුදු සසුන තුළදීම ඔබටත් තමන්ගේ ජීවිතය තුළ ප්‍රඥා ලෝකය
උදාකරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා
වේවා. |