නිවන සොයා වැඩි මඟ. . .
පිටිගල ගුණරතන හිමි
සංසාර ගමන නිමාකර ගන්නට අපට නොහැකි වුණේ තථාගත සද්ධර්මය හරියට තෝරාබේරා
ගන්නට නොහැකි වූ නිසයි. ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ, පසේ බුදුරජාණන්
වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, අසූමහ ශ්‍රාවකයන් වහන්සේලා, ආර්ය
උතුමන් වහන්සේලා මේ සසර ගමනේ අපට බොහෝ වාරවල මුණ ගැහෙන්නට ඇති. එහෙත්
උන්වහන්සේ බොහෝ කරුණාවෙන් දේශනාකළ දෙය අපට අවබෝධ කරගන්න, තේරුම් කරගන්න
බැරි වූ නිසයි අදත් අප මේ සසර සැරි සරන්නේ. ඒ ආ සසර ගමන උතුම්ම
වාසනාවන්ත මිනිස් ආත්ම භාවය යි අප කවුරුත් ලබාගෙන තිබෙන්නේ.
බුදු උපතක් ඇති කාලයක සද්ධර්ම ලාභය ලබන්නට පුළුවන් ඇති අවධියක ඒ දුර්ලභ
වූ ක්ෂණ සම්පත්තිය සහිතව ඒ ලබාගත් මිනිස් ජීවිතය බොහෝම වටිනවා. ඒ වටිනා
ජීවිතය තව තවත් අර්ථවත් කරන්නයි ලොව්තුරු බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ
වෙන්නේ. අපට දායාද කොට දුන් ඒ සද්ධර්මය දේශනාවන් අතරේ බෞද්ධ
පින්වතුන්ගේ ඉතාමත්ම ගෞරවාදරයට ලක් වූ දේශනාව ලෙසයි සතිපට්ඨාන දේශනාව
අප පිළිගන්නේ. සතිපට්ඨාන දේශනාව තුළ අප දැනගත යුතු වැදගත් කාරණාවක්
අන්තර්ගතවෙලා තිබෙනවා. තථාගතයන් වහන්සේ වදාළා මහණෙනි, මම ඔබලාට
සතිපට්ඨානයත්, සතිපට්ඨාන භාවනාවත්, සතිපට්ඨාන භාවනාගාමිණි ප්‍රතිපදාවත්
දේශනා කරන්නෙමි කියා.
සතිපට්ඨාන භාවනාවෙන් තවත් පුද්ගලයෙක් නිර්මාණය වෙන්න බැහැ. පුද්ගලභාවය,
පුද්ගල සංකල්පය බිඳගෙන ලෝකෝත්තර මඟට පිවිසෙන උතුමන් තමා ඒ වැඩපිළිවෙල
තුළ නිර්මාණය වෙන්නේ. හරි දේ හරි විදිහට භාවිතා නොකළොත් තථාගත සද්ධර්මය
සර්පයෙකුට උපමා කළ අයුරු ඔබට මතකයි. තථාගත ධර්මයත් වැරැදියට අල්ලා
ගත්තොත් අපට වැරැදි උත්තරයක් ලැබෙන්නේ. ඒ නිසා සර්පයකුටත් වඩා භයානකයි
ඒ ධර්මය වරද්දවා ගැනීම. සර්පයෙකු දෂ්ඨ කළොත් එක ජිවිතයයි අහිමි වෙන්නේ.
ලැබුණ අවස්ථාවේ සද්ධර්මය වරද්දවා ගත්තොත් නැවත නැවතත් මේ සසරේ ජරා
මරණයට මුහුණ දෙමින් ප්‍රමාද වෙන්න වේවි. ඒ නිසා අප හැමෝටම ඒ සද්ධර්මය
නිවැරැදිව දැන හඳුනා ගන්න වෙනවා.
ලොව්තුරු දහම තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පර්ෂේණ දෙකක්. ආර්ය
පර්යේෂණය හා අනාර්ය පර්යේෂණය. පර්යේෂණයන් කුමක්දැයි හඳුනාගෙන ආර්ය
පර්යේෂණයට පිවිසීමයි සතිපට්ඨාන භාවනාවෙන් සිදුවෙන්නේ.
එදා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ රජ මැදුරේ සිටියදීම සසර පෙරනිමිති
දැක ප්‍රකම්පිතව වූ සිත් ඇතිව ජන්න ඇමැතිගෙන් ඇසූ විට ජන්න ධර්මයක්
කියා දුන්නා. ස්වාමිනි, මේ තමා ජීවිතයේ ස්වභාවය. උපන් හැම කෙනෙකුටම
උරුමවන ධර්මතාවය මෙය. සිද්ධාර්ථ කුමරු විමසනවා ජන්න, මේ දෙතිස් මහ
පුරුෂ ලක්ෂණයෙන්, අසූවක් කුඩා ලකුණෙන් යුක්ත මටත් මේ වගේ දණ්ඩක
ආධාරයෙන් වෙව්ල වෙව්ලා යන්න වෙනවාද? මේ වගේ මළ මුත්‍ර ගොඩේ වැටුන අසරණ
රෝගියෙක් බවට පත්වෙනවා ද? නොබෝ දිනක මරණයට පත්වෙලා ඉදිමි නිල්වෙලා ඕජස්
ගලන පණුවෝ වාහන මළ මිනියක් බවට පත්වෙනවාද? ස්වාමිනි, ඔබ වහන්සේගේ සිරුර
දෙතිස් මහ පුරුෂ ලකුණින් යුක්ත වූවත් මේ ස්වභාවයට පත් වෙනවාම යි. එදා
සිදුකළ සාකච්ඡාව ඉතාමත් තදින් ගැඹුරින් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ හද
ගැබේ තැන්පත් වුණා. ගෞතමයන් වහන්සේ කල්පනා කළා මම මේ මොකක්ද කරන්නේ? මම
ඉපදීම ස්වභාවය ඇති කෙනෙක්. ජරාව, ව්‍යාධිය, මරණය ස්වභාවය ඇති කෙනෙක්.
ජාති, ජරා, ව්‍යාධි මරණය ස්වභාවය ඇතිව ඉඳගෙන මම හොයලා තිබෙන්නේ ජාති
දුක විඳිමින් ජාති දුකම ඇති කරන දේ. ජරා දුක විඳිමින් ජරා දුක ඇතිකරන
දේ. ව්‍යාධි දුක විඳිමින් ලෙඩවෙන දේ. මරණ දුක විඳිමින් මැරෙන දේ.
උන්වහන්සේට වැටහුනා ඒ පර්යේෂණය අනාර්යයි කියා. ඉපදීම ලෙඩවීම, දිරීම,
මැරීම ස්වභාවය ඇති කොට ගෙන ඉඳගෙනම තව තවත් සොයා තිබෙන්නේ එබඳු දේවල්ම
යි. ඒ නිසා මම ජාති දුක, ව්‍යාධි දුක, මරණ දුක ස්වභාවය කොට එයම නො
සෙවිය යුතුයි. ඒ නිසා මම ජාතියත්, ජරාවත්, ව්‍යාධියත්, මරණයත් නැති ඒ
අජරමාර නිවන සොයන්නේ නම් යහපතක්ම යි. එහි ප්‍රතිඵලය තමා රජ මැදුර, රජ
සැප අත්හැර තව සති දෙකකින් ලැබෙන්න තිබුණ චක්‍රවර්ති රාජ්‍යය පවා
අත්හැර හිස් අතින් වනයට වැඩම කළේ. ඒ දුෂ්කර ක්‍රියා අවදිය තුළ ඒ ආර්ය
පර්යේෂණය උදෙසා කළ දුෂ්කර උත්සාහය පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ ආර්ය
පර්යේෂණ සූත්‍රයේ මනාව පැහැදිලි වෙනවා. උන්වහන්සේ අප වෙනුවෙන් ඒ
පර්යේෂණය ඉතාමත් දුකසේ මේ ලොව මනුස්සයෙකුට අත්දකින්න බැරි තරමේ දුක්
ගැහැට විඳිමින් ඒ ආර්ය පර්යේෂණය කළා. ඉන් නො නැවති උන්වහන්සේ බුදු
පදවියත් සමඟ ඒ අජරාමර නිවන අවබෝධ කරගෙන අපට ඒ අජරාමර නිවන ලබන මංපෙත
වදාළා. ඒනිසා අපට තිබෙන්නේ අමාරුවෙන් දුෂ්කරතා මැද යමක් සොයන්න නොවේ.
එදා උන්වහන්සේ මම ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය ස්වභාව කොට ඇතිව ඉඳගෙන ඒ
ස්වභාවය ඇති දේම රැස්කරන බව සොයන බව තේරුම් ගත්තා. ආර්ය පර්යේෂණ
සූත්‍රයේදී උන්වහන්සේ වදාළා ඒ තමා අඹුදරුවන්, නෑ හිතවතුන්, දැසි
දස්සන්, කම්කරුවන්, රන්, රිදී, මුතු, මැණික්, කහවනු, ඇත්, අස්, රිය,
කුකුලු ආදි සියල්ල උන්වහන්සේ ජාතිය ජරාව, ව්‍යාධිය මරණය ස්වභාවය කොට
ඇති දේ ලෙසයි දැක්කේ. එහි සඳහන් වන ආකාරයට සජීවිි අජීවි සියල්ල ජරා
මරණය ස්වභාවය කොට ඇති දේ බව නො සෙවිය යුතු දේ ලෙසයි උන්වහන්සේ දැක්කේ.
ජරා මරණයට පත්නොවන යමක් ලෝකයේ ඇත්නම් එය සොයා ගෙනයි මහ මඟට පිවිසුනේ. ඒ
නිසා ඔබටත් මටත් සතිපට්ඨාන දේශනාවන් සමඟ ඒ ආර්ය පර්යේෂණයයි කරන්න
වෙන්නේ. ඒ ආර්ය පර්යේෂණයේදී ජාති, ජරාව, ව්‍යාධිය, මරණය ස්වභාවය කොට
ඇති දේ අත්හැර අජරාමර වූ නිවන දිසාවටයි ඒ වැඩපිළිවෙල යොමු වෙන්න ඕන.
එබඳු දිසාවකට යොමු වන විදිහේ මේ වැඩ පිළිවෙල ආරම්භ විය යුතුයි. ඒ සඳහා
අපි බොහෝ දේ දැන උගත යුත්‍රයි. ඒ ලෝකෝත්තර මඟ උපදවා ගැනීම පිණිස
ආසන්නතම කාරණාව ධම්මානුධම්ම ප්‍රතිපදාව පූර්ව ප්‍රතිපදාවක් ලෙස අප ඔබට
කියා දුන්නා. මේ සතිපට්ඨානය කියන්නේ ලෝකෝත්තර මාර්ගය වැඩීමක් නොවේ.
ලෝකෝත්තර මාර්ගය අප තුළ උපදවා ගත යුත්තක්. ඒ ලෝකෝත්තර මාර්ගය උපදින
විදිහට සතිපට්ඨානය භාවිතා කළ යුත්තේ.
එවිට ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදින ආකාරයට සතිපට්ඨානය වඩන්න ඕන කියා
කියන කොට අපට ප්‍රශ්නයක් එනවා එහෙනම් කොහොමද ඒ සතිපට්ඨානය වඩන්නේ? ඒ
දහම් පිළිවෙළහි ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන්නේ. ඒ ධම්මානුධම්ම
ප්‍රතිපදාවේ යෙදෙන්න බැහැ අපට තනිවම. ලෝකයේ එය තනිව අවබෝධ කර ගත්තේ
තථාගතයන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ පමණයි. අස්සජි මහරහතන්
වහන්සේගෙන් එය අහන්න ලැබුණේ නැත්නම් මහ ප්‍රඥාවෙන් අග තැන්පත් සැරියුත්
හිමියන්ට බැහැ ඒ තැනට එන්න. මහ ශ්‍රැතවත් ධර්මධර ආනන්ද හිමියන්ට ඒ තැනට
එන්න ලැබුණේ මත්තානිපුත්ත පුණ්න හිමියන්ගෙන්. මෙම කරුණු අසා දැනගත්තේ
නැතිනම් බුදු, පසේබුදුවරයන් වහන්සේලා හැරුණු කොට අන් හැම කෙනෙක්ම ඒ
ආර්ය භාවයට පිවිසෙන්නේ කාගෙන් හෝ අසා ගෙනයි. ඒ නිසා උන්වහන්සේලා
ශ්‍රැතබුද්ධ කියා හඳුන්වනවා.
අප ජීවිතයේදී කෙතරම් බණ අසා ඇද්ද? ඒ ඇසූ ධර්මය තුළට ඔබට සතිපට්ඨානය
පිණිස සතිපට්ඨාන භාවනාව පිණිස මනස මෙහෙයවන්න ඕන කොහොමද කියා ලැබුණ
අත්දැකීම දැනුම කොතෙක්ද කියා විමසා බැලූවොත් සද්ධර්මය දුර්ලභ බවයි අපට
වැටහෙන්නේ. අපට තවමත් හරියට ඒ තැනට පිවිසෙන්න අවශ්‍ය කරන දැනුම අවබෝධය
ලැබිලා තිබෙන්නේ ඉතාමත් අල්පවයි. සද්ධර්මය අපට ලැබුණානම් එය ශ්‍රවණය
කරන්න ලැබුණානම් ඒ අඩුව තිබෙන්න විදිහක් නැහැ.
එදා මහකාශ්‍යප මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළා කාශ්‍යප මේ
ලෝකයේ රත්තරං තිබෙනතුරු කවුරුත් මුලාවෙන්නේ නැහැ. නමුත් මේ ලෝකයේ යම්
දිනක රත්තරං වගේ දිලිසෙන දේවල් ලෝකයට නිර්මාණය වූ දාට දිලිසෙන වර්ග
දෙකක් බිහිවෙනවා. ලෝකයාට රත්තරං හඳුනා ගන්න බැරිව යනවා. එදාට දෙවියන්
සහිත ලෝකයේ අය මුලාවෙනවා.
ඒ වගේ සද්ධර්මය ලෝකයේ තිබෙනතුරු කවුරුත් රැවටෙන්නේ නැහැ. හැබැයි
අනාගතයේ සද්ධර්මය වැනි දේ දේශනා පාඨම යොදා ගනිමින් සද්ධර්මය වැනි
නිර්මාණයන් ලෝකයේ බිහි වෙනවා. එදාට එකම වගේ දෙකක් ලෝකයේ නිර්මාණය
වෙනවා. එදාට දෙවියන් සහිත ලෝකයට සද්ධර්මය හඳුනාගන්න බැරිව යනවා.
මංමුලාවෙන්න පටන් ගන්නවා. එදා කාශ්‍යප මහරහතන් වහන්සේ කළ දේශනාව අද මේ
ලෝකය තුළ විද්‍යාමානයි. අද අපට රත්තරං හා ඒ ලෙසම දිලිසෙන රත්තරං නොවන
දේ ලැබිලා තිබෙනවා. අපට ධර්මය ඇහිලා ඒ ධර්මය තුළින් ලැබෙන්න ඕන අවබෝධය
නුවණ මෙහෙයවන හැටි කොහොමද කියන අත්දැකීම අපට නොලැබුණා නම් සද්ධර්මය අපට
ලැබුණාද කියන පැනය මතුවෙනවා.
ඒ නිසා අප සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕන මොනවා හරි දෙයක් ඇහුවා කියන්න
නොවේ. ‘සද්ධර්මය’ කියන්නේ නිවන නමැති අමා පුරයට යන මාවත යි.
නයනා නිල්මිණි |