Print this Article


ගුණවත්කමට මුල් තැන දිය යුතු විවාහය

ගුණවත්කමට මුල් තැන දිය යුතු විවාහය

වර්තමාන සමාජය තුළ පවතිනු ලබන්නේ ආවාහ විවාහ ක්‍රමයක් මිස පවුල් ජීවිතයක් නොවේ. ආවාහ යනු රැගෙන ඒමත් විවාහ යනු පිටමං කර යැවීමත් වෙයි. බෞද්ධ සම්ප්‍රදාය තුළ අඹුසැමි ජීවිතය යනු පවුලක් ගොඩ නඟාගැනීම මිස මෙම ක්‍රම දෙකම නොවේ. “පවුල” යන්නෙහි අර්ථයම සමූහයක එකතුවකි. මිනිස් සමාජය සමාජයේ යහපැවැත්මට අවශ්‍ය ප්‍රධානම සාධකය මිනිසුන් අතර තිබෙන අන්තර් පුද්ගල සමාජ සම්බන්ධතායි. සමාජ සම්බන්ධතා නොමැති නම්, එතන සමාජයක් නොමැති බව සාමාන්‍ය අදහසයි. සමාජයක සංකල්පය ගොඩනැගෙන්නෙම පුද්ගල සම්බන්ධතා මත. ඒ අයුරින් සළකා බැලීමේදී විවාහය සමාජ සම්මත වූයේ සමාජයක් ගොඩනැගීමේ ප්‍රධානම කාර්යය පවුල තුළින් ගොඩනැංවෙයි. පවුලක් ගොඩනැගීමේදී පවුල වශයෙන් හඳුන්වනුයේ පවුල් දෙකක් මත ගොඩනැගෙන සම්බන්ධය වන පුරුෂයාගේ පාර්ශ්වයේ ඥාතිමිත්‍රාදීන් හා කාන්තාවගේ පාර්ශ්වයේ ඥාතිමිත්‍රාදීන් විශාල පිරිසක් එක්කාසු වීමකිනි. රටක් සමාජයක් එක්කාසු කරන සංස්කෘතිකාංගයක් ලෙස විවාහය හැඳින්විය හැකියි. බටහිර සංස්කෘතිය තුළ පවුල් ජීවිතයක් නොමැති වන්නාසේම එහි විනෝදාශ්වාසය පමණක් අන්තර්ගතව ඇත. ඒ හේතුව නිසාම බටහිර පුද්ගලයන් හතර පස් වතාවක් විවාහ වනවා ඇත. මාසයක් දෙකක් තුළ විනෝදාශ්වාදයට මුල්තැන දෙමින් කෙරෙන එම විවාහ ක්‍රමය තුළ සමාජයක් නිර්මාණය වන්නේ නැත. ඒ නිසාම බටහිර සමාජ ක්‍රමය තුළ පුද්ගලිකත්වයට මුල්තැන ලබාදෙන අතර අප සමාජය තුළ සාමූහිකත්වයට මූලිකත්වය ලබාදෙනු ඇත.

විවාහය තුළ අන්තර්ගතව ඇති නිවැරැදි අර්ථය නිවැරැදිව වටහාගෙන විවාහ වූ විට විවාහය අතරමං වීමක් සිදුනොවෙයි. පවුල් ජීවිතයේ පදනම වන අරමුණූ පරමාර්ථයන් හඳුනාගෙන ප්‍රවේශවීමට තමයි සංස්කෘතිකාංග නිර්මාණය වෙලා තිබෙන්නේ. විවාහයක් සිදුවීමේදී දෙපාර්ශ්වයේම මූලිකත්වයට හිමිවිය යුත්තේ දෙපාර්ශ්වයේම දෙමවුපියන් වෙත මිස පිරිමි ළමයා හෝ ගැහැනු ළමයා වෙත නොවේ’. වැඩිහිටියන් වශයෙන් පවුල් පසුබිම සළකා බැලීමේදී තම තමන්ගේ පවුල් සම්බන්ධතාවලට බාධාවන් තිබෙනවාද? යන්න ඔවුන් විසින් සෙයා බලනු ලබයි. පාරම්පරික තත්වය රැකියාව ඇතුළු සියලුම කරුණු කාරණා සොයාබලමින් සම්බන්ධතාවලට හානියක් නොවන ආකාරයේ පසුබිමක් තුළ වැඩිහිටියන් වශයෙන් අපේ දියණියට, අපේ පුතණුවන්ට ඔහු හෝ ඇය වඩාත් ගැලපෙන බවට වැඩිහිටියන් වශයෙන් තීරණය කරනු ලබයි. තරුණයෙකුට හෝ තරුණියකට විවාහ ජීවිතයක ඇති අත්දැකීම් පිළිබඳව කිසිසේත්ම අවබෝධයක් නොමැති නිසාම තමාට මෙයා ගැලපෙනවාය යන්න තෝරාගැනීම කිසිසේත්ම සුදුසු නැත. විවාහය යනු මාසයකට දෙකකට සිදුවන සබඳතාවක් නොවන අතරම එය ජීවිත කාලය පුරාවටම බලපවත්වන අවියෝජනීය සම්බන්ධතාවකි. තරුණ යුගය යනු අත් මන්දා කිත්තාච වන්නාච යනුයි. මන්දා යනු අවුරුදු 10 වන තෙක් වන නොතේරුන කාල පරාසයයි. දෙවන කාල පරාසය ක්‍රීඩා අවධියයි. වන්නාච යන අවධිය විවාහ වන කාල පරාසයයි. වන්නාච යනු ලස්සන සොයන කාලයයි. එනිසාම තරුණ තරුණියන්ට හිතුමනාපයට විවාහ වීමට අවසරය ලබා නොදිය යුතුය.

ලස්සන යනු තාවකාලික දෙයක් බව වටහාගත යුතුයි. ක්‍රමානුකූලව ලස්සන වෙනස්වෙමින් යන විට සියල්ල වෙනස්වන්නට ඇති අවස්ථාව වැඩි බැවිනි. විවාහයකදී බැලිය යුත්තේ ලස්සන නොවේ. එහිදී ලස්සනට ප්‍රධාන තැනක් හිමිනොවේ’. සමහර පවුල් පසුබිම තුළ යම් යම් සමහර කරුණු කාරණා බාහිරට පෙනෙන්නට තිබෙන අතර ඇතැම් කරුණු කාරණා බාහිරට නොපෙනෙයි. එයට ක්‍රමෝපායක් වශයෙන් අතීතයේදී මංගල කටයතු සඳහා දැන උගත්කමක් ඇති කපු මහත්මයකුගේ මැදිහත් වීමක් තිබූ අතරම ඔහුට එම ප්‍රදේශයේ පවුල් තුළ පවුල් පසුබිම පිළිබදව නිවැරැදි අවබෝධයක්ද තිබිණි. එම පවුල් තුළ ඉහතදී කෙරුණූ විවාහ චාරිත්‍රවල නොගැලපීමක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳව ද ඔහුට අවබෝධයක් තිබිණි. විවාහයකදී කේන්දරයට මූලිකත්වය දීමක් පෙර සිටම පැවතුණි. කේන්දරය තුළින් සිදුකරනු ලබන්නේ පුද්ගලයකුගේ ග්‍රහ ශක්තිය අනුව ඔහුගේ ජීවිතය ඔහුගේ ස්වභාවය, ඔහුගේ අනාගතය කොහොමද? විවාහයක ප්‍රධාන අරමුණ වන දරුඵල කෙසේද ඔවුන්ගේ ගැලපීම නොගැලපීම කවර අයුරින්ද? යන්න පිළිබඳව තීරණය කිරීමකි. එම පොරොන්දම් විස්ස තුළින් ආයුෂ පොරොන්දම අනෙකුත් වැදගත්වන ප්‍රධාන පොරොන්දම් අතර සුවිශේෂි පොරොන්දමක් වෙයි. එහිදී ආයුෂ පොරොන්දම තුළින් පුරුෂයාට වඩා වැඩියෙන් ස්ත්‍රියට ආයුෂ තිබිය යුතුය. යම් අවස්ථාවකදී ස්වාමිපුරුෂයාට පෙර භාර්යාව අභාවයට පත්වුවහොත් දරුවන් අතරමං වී අසහනයට පත්වෙයි. එනිසා කේන්දර බැලීම විවාහකයකදී අත්‍යවශ්‍ය කාරණාවක් වෙයි. පොරොන්දම් විස්ස තුළින් අවම වශයෙන් පොරොන්දම් දහයක්වත් ගැලපෙනවාද යන්න ඔවුන් සොයා බලනු ඇත. මේ දෙන්නාගේ ජීවිතයේ සතුට රඳා පවතිනවාද? දරුවන් ලබනවාද? දීර්ඝායුෂ තිබෙනවාද? දෙදෙනා ගේ ලිංගික ගැලපීමක් තියෙනවාද? යන කාරණා දෙදෙනෙක් හමුවී දවසෙන් දෙකෙන් හඳුනාගත නොහැකිය. බුදුපියාණන් වහන්සේ පවා වදාරා ඇත්තේ පුද්ගලයකු හදුනාගැනීමට දීර්ඝ කාලයක් ගත වන බවයි.

පරම්පරාගතව ද යම් යම් වෙනස්කම් දක්නට ලැබෙයි.අපේ පරම්පරාවේ කිසිදු පුද්ගලයකු සත්වයන් හදන්නේ නැතිවාක් මෙන්ම මස් මාංශද අනුභව නොකරයි. නම්, වෙනත් පරම්පරාවකට අයිති, මස් මාංශ අනුභව කරන, සතුන් ඇතිකරන තැනැත්තකු හෝ තැනැත්තියක විවාහයට නොගැලපෙයි. ආගම වශයෙන් ගත්තත් දෙදෙනා ආගම් දෙකක වුවහොත් මුල්කාලීනව ගැටලු ඇති නොවුනද පසුකාලීනව හෝ අර්බුද ගොඩනැගෙනු ඇත. ආගම, ජාතිය, සංස්කෘතිය, ප්‍රදේශය, යන කරුණු කාරණා පිළිබදව වැඩිහිටියන් විසින් සොයා බලනු ලබයි.

වර්තමාන සමාජය තුළ ඇතැම් අවස්ථාවලදී දක්නට ලැබෙන්නේ දෙදෙනා හමුවී දින දෙකකින් තුනකින් විවාහ වන අවස්ථාවන්ය. එවැනි අවස්ථාවලදී විවාහ වී සිටින අය, දරුමල්ලන් ලබා සිටින අයද, මෙවැනි වගකීමෙන් තොර විවාහ තුළ හිඳිනු ඇත. බෞද්ධ පසුබිමක ජීවත්වන බුද්ධිමත් මිනිසුන් පිරිසක් වෙලත් තෝරාගැනීමට යාමේදී හරය තිබෙන්නේ ලස්සන තුළ නොවන බව තේරුම් ගත යුතුයි. ඒ නිසා ඉස්සර සම්ප්‍රදාය තුළ විවාහ කටයුතු සඳහා දෙමවුපියන් මුල්වෙලා දෙමවුපියන් අනෙකුත් ඥාතීන් සමඟ සාකච්ඡා කර තීන්දු තීරණ ගන්නා තුරු අවම වශයෙන් ඒ වන විටත් තරුණ මනමාලයා සහ මනමාලිය එක ළඟින් වාඩිවි සිටවත් නැත. අතීත විවාහ තුළ විවාහ වන තරුණයා සහ තරුණිය පේ‍්‍රම කරන්න ආරම්භ කරන්නේ විවාහ වූ දිනයේ සිටයි. වර්තමාන සමාජය අවුරුදු පහක් පෙම් කර විවාහ වන තරුණයකුට සහ තරුණියකට විවාහවීමේදී අතීත විවාහ වන තරුණයකු සහ තරුණියක තුළ තිබෙන කුතුහලය, ආකර්ෂණය, ආශ්වාදය බැහැරට ගොස් ඇල්මැරුණු ස්වභාවයකින් ජීවිතය ආරම්භ කරනු ලබයි. ඔවුන්ට විවාහ වූවාට පසුව නැවුම් බැඳීමක් නැත. අලුත් ජීවිතය තුළ ලැජ්ජාව භය තිබිය යුතුය. දරුවන් ලබන්න අවුරුදු පහක් පමණ ගත වන විට දෙදෙනාට දෙදෙනා තේරුම් ගෙන සෙනෙහස ආදරය නැවුම් ආකාරයෙන් වැළඳගෙන ජීවිතයේ කෙදිනක දීවත් වෙන් නොවන අවබෝධයකින් බැඳීමකින් ශක්තිමත්ව ජීවිතය ගෙනයනු ලබයි. බටහිර සංස්කෘතිය වැළඳගැනීමට යාමෙන් සහ ලස්සනට මුල්තැන දීමෙන් බොහෝ විවාහ ජීවිත අතරමඟ කඩාකප්පල්වීමට භාජනය වෙයි. විවාහය ආරම්භ වීමේදී සංස්කෘතික පදනමකින්, ආගමික පදනමකින්, දෙමාපිය ඥාතිමිත්‍රාදීන්ගේ පදනමකින්, ඡ්‍යොතිෂ පදනමකින් කෙරෙන විවාහ සංස්ථා තුළ සුන්දර සංස්කෘතික පදනමක් නිර්මාණය වනු ඇත. තරුණයා හා තරුණිය විවාහ දිවියට එළඹෙන්නේම සංස්කෘතික පදනමක් මත බැවින් එම විවාහය හරිම පූජනීයයි. අභිමානනීයයි. ස්වාමියා භාර්යාවගේ අතඅල්ලන විට දහදිය දමන්න තරම් නැවුම් බවක් දෙදෙනා තුළ තිබිය යුතුය.ලජ්ජාව, බිය නැවුම්බව වර්තමාන සමාජය තුළ විවාහය ට වසර ගණනාවකට පෙරසිටම දෙදෙනා තුළින් ගිළිහී යාම විවාහයේ අර්බුද වැඩිවීමටත් හේතු වෙයි. මෙම කරුණු නොමැතිකම නිසාම විවාහ ජීවිතය තුළ ආලෝකයක් නැතිව, නැවුම්බවක් නැතිව වැදගත්කමක් නැතිව දරුවකු පිළිබඳ හැඟීමක් නැතිව දරුවන් ලැබීම කල්දමමින් කාලය ගෙවනු ලබයි. අතීතයේදී විවාහ වී වැඩි කාලයක් ගතවීමට පෙර දරුවකු බලාපොරෙත්තු වෙන් සිටියි. දරුවකු ලැබෙන්න සිටින කාලය තුළ තමන්ගේ දෙමවුපියන් ලඟට යන සිරිතක් ඒ කාලය තුළ පැවතුණි. මහාමායා දේවිය කිඹුල්වත් පුරයට යන අතරමඟ ලුම්බිණි සල්උයනේදී සිද්ධාර්ථ කුමාරෝප්්පත්තිය සිදුවුණා. කිඹුල්වත්පුර සිටින තම දෙමවුපියන්ගේ රැකවරණයට යන ගමනේදී මහාමායාදේවියට කිලෝමීටර් 70 වක දුරක් ගෙවා යාමට සිදුවුණත් ඒ ගමන ගියා. ඒ කාලය තුළ සියලුම අවස්ථාවලදී දෙමවුපිය වැඩිහිටි සම්බන්ධතාවය පැවතුණා. දරුවකු ලැබීමට සිටින අවධියේ තම මෑණියන්ගේ රැකවරණය ලැබිය යුතු වන්නේ තම දරු උපතකට සූදානම් වන විට දැනෙන බිය තම මෑණියන් සමීපයේ සිටීමෙන් මඳක් හෝ අඩුවීමක් සිදුවන්නක් මෙන්ම තැති ගැනීමෙන් සිටින අවස්ථාවක නුහුරු නුපුරුදු පරිසරයක කාලය ගත කිරීම එතරම් සුදුසුනොවන බැවිනි. එම අලුත් පරිසරය තුළ මවට යම් පීඩාවක් ඇතිවුවහොත් අලුත ඉපදුන දරුවාට එය අනිවාර්යෙන් බලපාන බැවින් එය දරුවාගේ මානසික තත්වයට අයහපත් වන බැවිනි. අතීතයේදී දරුවන් දහයක් දොළොහක් බිහිකරන මව්වරු ගෙදර සියලුම කාර්යයන් ඉටුකරමින් දරුවන් බිහිකරනු ලැබුවේ හොඳ ශරීර ශක්තියකින් යුක්තව සිටින නිසායි. වර්තමාන ඇතැම් මව්වරු කිසිදු වැඩක් පලක් නොකර ශරීරය වෙහෙසෙවා වැඩ නොකර නිකන් කාලය ගත කිරීමෙන් ශරීර ශක්තිය අඩුවේ. විවාහයකදී ගුණවන්තකමට ප්‍රධාන තැනක් හිමිය විය යුතුය. එය විවාහයට පෙර සිටම විමසා බැලිය යුතුය. ඊළඟට බුද්ධිය හා තුන්වන ස්ථානය ලෙස ධනය හැඳින්විය හැකිය. රූපයට හිමිවන්නේ හතරවන ස්ථානයයි. වර්තමාන සමාජය තුළ විවාහයකදී රූපයට මුල්තැන දීමට කටයුතු කිරිමෙන් බොහෝ පිරිස් තම ජීවිතය වරදවා ගනී. යම් ආකර්ශනීය බවක් තිබිය යුතු වුවද සදාකාලික එකට ජීවත්වන ගමනේදී මූලිකත්වය හිමිවිය යුත්තේ ප්‍රධාන වශයෙන්ම ගුණවන්ත කමටය. ගුණවත්කමක් නොමැති බාහිර ලස්සනකින් කිසිදු වැඩක් නැත.