Print this Article


ශ්‍රමණ සංස්කෘතිය සහ එහි විශේෂ ලක්ෂණ

ශ්‍රමණ සංස්කෘතිය සහ එහි විශේෂ ලක්ෂණ

බුදුසමය පහළ වූ ක්‍රිස්තු පූර්ව හයවන සියවසෙහි භාරතයේ සාමයික, සාමාජික තත්ත්වය අධ්‍යයනය කරන විට සංස්කෘතික ධාරා දෙකක් වෙත අපේ සිත් යොමු වෙයි. වෛදික යුගයේ පටන් වර්ණාශ්‍රම ධර්ම අනුසාරයෙන් සාමයික මෙන් ම සාමාජික හා දේශපාලන ව්‍යුහයෙහි ආධිපත්‍යය උරුම කරගෙන සිටි බ්‍රාහ්මණ සංස්කෘතිය ප්‍රධාන ධාරාව විය. බ්‍රාහ්මණයන්ගේ සාරධර්ම සහ ප්‍රතිපත්තිවලට අභියෝග කරමින් වර්ධනය වූ විකල්ප වශයෙන් ක්‍රියාත්මක වූ ශ්‍රමණ සංස්කෘතිය දෙවැන්න විය. බුදුසමය මන්ම ෂඩ්ශාස්තෘවරුන්ගේ ආගම් ද එයට අයත් වූයේ ය.

ශ්‍රමණ සංස්කෘතිය සැබවින් ම වෛදික යුගයටත් එහා යන ඉතිහාසයකට හිමිකම් කියන්නක් බව බොහෝ විචාරකයින්ගේ මතයයි. වෙනත් විදියකින් කිවහොත් ඔවුන් සංකල්පීය වශයෙන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ඇතැම් අංග සමඟ සබඳකම් දැක්වූ බව පෙනේ. නෛෂ්ක්‍රම්‍යය, භාවනාව, පුනර්ජන්ම විශ්වාසය සහ වෘක්ෂ වන්දනාව වැනි යම් යම් අංග ඉන්දු නිම්න සංස්කෘතියේ ආගම තුළින් ආර්යයන් වෙත කාන්දු වූ බව විශ්වාස කෙරේ. ආර්ය සමාජයේ ම ඇතැම් පිරිස් අතර ශ්‍රමණ ආගම් සහ සංස්කෘතිය වැඩී ගියේ ඒවා ද ග්‍රහණය කර ගනිමිනි. (බ්‍රාහ්මණයන් ද මාතෘ දෙවඟන සහ ශිව පශුපති නමින් පසුව හැඳින්වුණු ශෘංගී දේවතාවා අනුයෝජනය කර ගැනීම මෙන්ම භාවනාව වෙත යොමුවීම වැනි දෙයට හුරු වූයේ ප්‍රාග් වෛදික සංස්කෘතියේ ආභාසය නිසා බව විශ්වාස කෙරේ. වානප්‍රස්ථ සහ සන්‍යාස ආශ්‍රම අකැමැත්තෙන් වුව ද පිළිගන්නට සිදු වූයේ ද තරුණ බ්‍රාහ්මණයන් ශ්‍රමණ සංස්කෘතිය වෙත ඇදී යාමෙන් වළකනු පිණිස බව පෙනේ.)

බ්‍රාහ්මණ සංස්කෘතියට විකල්ප වශයෙන් වැඩී ආ ශ්‍රමණ සංස්කෘතිය ක්‍රි.පූ. හයවන සියවස වන විට සෑහෙන තරම් සවිමත් තත්ත්වයක පැවති බව ශ්‍රමණ ශාස්තෘන් හය දෙනකු බුදුරදුනට සමකාලීනව මගධ සහ කෝසල රාජ්‍යයන්හි ජනපි‍්‍රයව සිටීමෙන් පෙනේ. පාලි ත්‍රිපිටකයෙහි සමකාලීන සාමයික පරිසරය ගැන සඳහන් කෙරෙන හැම විට ම පාහේ සමණ - බ්‍රාහ්මණා යන සමාස පදය යොදනු ලැබ ඇත්තේ එහෙයිනි. ශ්‍රමණයන් සහ බ්‍රාහ්මණයන් අතර නයින් සහ මුගටියන් අතර වැනි සදාකාලික විරෝධයක් (යෙෂාං ශාස්වතො විරෝධඞ) පැවති බව පතංජලී සඳහන් කර ඇතත් එය අතිශයෝක්තියක් බව විචාරකයන්ගේ අදහසයි. ගිහියන්ගේ යුතුකම් ගැන සඳහන් කරන හැම විට ම පාහේ ශ්‍රමණ බ්‍රාහ්මණ දෙපක්ෂයටම සංග්‍රහ කරන්නැයි බුදුරදුන් පොදුවේ දක්වා ඇත්තේ එවන් සතුරු ආකල්පයක් නොවූ නිසා නොවේද? සදාචාරය අතින් පිරිහුණු බමුණන්ගේ දුර්ගුණ විවේචනයට ලක් කළ ද පැරණි දැහැමි බ්‍රාහ්මණයන් ගැන උන්වහන්සේ සඳහන් කරන්නේ ගෞරවාන්විත ලෙසය.

ශ්‍රමණ සංස්කෘතියේ ක්‍රම විකාශය ගවේෂණය කරන විද්වත්හු වෛදික යුගයේ වාසය කළ මුනි, යති සහ ව්‍රාත්‍ය නමින් හැඳින්වෙන සුළු ආගමික කණ්ඩායම් වෙත අවධානය යොමු කළහ. වෛදික සංස්කෘතියේ ආරම්භක අවදියේ ම විකල්ප පිළිවෙත් අනුගමනය කළ මේ පිරිස් භාවනාවට යොමු වූ තවුස් පිළිවෙත් පි‍්‍රය කළ අය වූහ. රොබට් පාක් සහ සිමල් නම් සමාජවිද්‍යාඥයන්ගේ ක්‍රමවේදය අනුව යමින් මේ පිරිස්වල සම්භවය අධ්‍යයනය කළ ගොයාල් ඔවුන් ආර්ය සමාජයේ “මායිම් මිනිසුන්” (marginal men)  ලෙස විග්‍රහ කළේ ය.

ආර්යයන්ගේ භාරත සංක්‍රමණය සිදු වූයේ තරංගාවලී රටාවකටය. මුලින් ම ඔවුහු වයඹදිග (කුභා සහ ගංගා අතරතුර) ඉන්දියාවේ ජනාවාස පිහිටවූහ. දෙවනුව බටහිර උත්තර ප්‍රාන්තයේ කුරු පංචාල ප්‍රදේශය ආර්ය බල කේන්ද්‍රය බවට පත් කර ගත්හ. අනතුරුව ඔවුහු සදානීරා (ගන්ඩක්) නදිය තරණය කොට කෝසලයට ද එයින් විදේහයට ද ව්‍යාප්ත වූහ. මෙසේ ජනපද (ස්ථාවර වාසභූමි) පිහිටුවා ගැනීමට පෙර ‘ජන’ (ජංගම කණ්ඩායම්) වශයෙන් නිරන්තර සංචාරයෙහි නිරත වූහ. එහෙයින් ඔවුන් තුළ විද්‍යාමාන වූයේ මායිම් සංස්කෘතියක ලක්ෂණය. අනාරක්ෂිතත්වය මැද ප්‍රබල ශුභවාදී චින්තනයෙන් සන්නද්ධව සාර්ථකත්වය අරබයා ආගම ගැන ද විශ්වාසය ඇතිව ඉදිරියට ගිය මේ ජන තරංග අතුරින් මායිම් ජනයා ලෙස හැඳින්විය හැකි පිරිසක් මතු වූ බව ගොයාල් විග්‍රහ කළේ ය.

ආගන්තුක ආර්යයන් විසින් ස්වකීය පාරම්පරික වාසභූමීන් වෙතින් නිරතුරුව නෙරපා හැරෙන ස්වදේශික ජනයා නව සංක්‍රමිකයන් සමඟ මිශ්‍රවන්නට බල කරනු ලැබූහ. මෙසේ නව ප්‍රජාවක් සමඟ සම්මිශි‍්‍රත වූ ඔවුනට එතුවක් තමන් හික්මවනු ලැබූ පාරම්පරික සංස්කෘතික සිරිත් විරිත් සහ විශ්වාසයන් වෙතින් ලිහිල් වීමක් දැනෙන්නට වීම ස්වභාවිකය. සංක්‍රාමිකයන්ගේ සාරධර්ම ප්‍රතිමාන ගණාචාර වැනි දෙය හා අභිමුඛ වීමෙන් ඒ වෙත ඇදී යන ඔවුන් තුළ ඇතිවන චමත්කාරී චකිතය නව පෞරුෂයකින් පිබිදෙන මිනිසකු පහළ කිරීමේ හේතු සාධකයක් බවට පත් වෙයි. සාම්ප්‍රදායික ‘විලංගු’ බිඳගෙන අලුත් නිදහසකින් පිබිදෙන ඔවුන්ගේ පෞරුෂය අභියෝගාත්මකව අලුත් දේ බිහි කරන්නකි. සංස්කෘතීන් දෙකකට මැදි වී අලුත් ම සංකලනයකින් බිහිවන මේ අතරමැදියා “මායිම් මිනිසා” ලෙස හැඳින්වෙයි. පාරම්පරික ස්වදේශිකයන් අතුරින් මෙන් ම සංක්‍රාමික ආර්යයන් අතුරින් ද මෙවන් මායිම් මිනිස්සු බිහි වූහ. දස්‍යු, යති සහ මුනි නම්වලින් හැඳින්වුණේ ස්වදේශීය සම්භවයකින් ආර්ය සංස්කෘතියට ආකර්ෂණය වී අතරමැදියන් බවට පත් වූ අය බවත් ව්‍රාත්‍ය නමින් හැඳින්වුණේ ආර්ය සම්භවයක් ඇතිව අනාර්ය සංස්කෘතිය වෙත ආකර්ෂණය වී අතරමැදියන් බවට පත් වූ අය බවත් ගොයාල් උපකල්පනය කරයි. ශ්‍රමණ සංස්කෘතිය ලෙස පසුව විකසිත වන්නේ මේ මායිම් මිනිසුන්ගේ චින්තාවන් බව පෙනේ.

ශ්‍රමණ සංස්කෘතියෙහි විශේෂ ලක්ෂණ -

1. ශ්‍රමණ සංස්කෘතිය අයිති කිසිවෙක් වේදයෙහි අධිකාරීණත්වය නොපිළිගත්හ. එය හුදෙක් පැරණි බ්‍රාහ්මණයන් විසින් රචිත ආගමික සාහිත්‍යයක් පමණක් බව දැක්වූ ඔවුහු එය අනිවාර්ය සත්‍ය නොවන බව පැවසූහ. ශ්‍රමණයන් අතර විසූ භෞතිකවාදීන් කියා සිටියේ ත්‍රීවේදය රචනා කළ කතුවරු දඩබ්බර පහත් චරිත ඇති නිශාචරයන් (භණ්ඩඞ, ධූර්තාඞ, නිශාචරාඞ) බවය.

2. සත්වයා සහ ලෝකය දෙවියන් විසින් නිර්මාණය කළ දෙයක් ලෙස ඔවුහු නොපිළිගත්හ. බෞද්ධ, ජෛන සහ ආජීවක මෙන් ම බොහෝ පරිබ්‍රාජකයෝ ද දෙවිවරුන් ගේ පැවැත්ම පිළිගත්හ. එහෙත් දෙවිවරුන් හුදෙක් සිය කුසල් හේතුවෙන් දෙව්ලොව ඉපිද සැප විඳින සත්වයන් මිස ලොව මවා පාලනය කරන්නන් ලෙස පිළිගැනීමක් නොකළහ.

3. වර්ණ භේදය ප්‍රතික්ෂේප කළ ශ්‍රමණයෝ මානව සමානත්වය අවධාරණය කළහ. බ්‍රාහ්මණයන්ගේ ප්‍රභූත්වය ඔවුහු නොපිළිගත්හ.

4. ආශ්‍රම ධර්මය ද ප්‍රතික්ෂේප කළ ඔවුහු කැමැති ඕනෑ ම අවස්ථාවක පැවිදිවීමට හැකි බව කියා සිටියහ. බොහෝ ශ්‍රමණ ශාස්තෘවරුන් පැවිදි වී ඇත්තේ තරුණ වයසේදීමය.

5. සියලුම ශ්‍රමණ ශාස්තෘවරු යාගය අනර්ථකාරී සහ ප්‍රතිඵල විරහිත දෙයක් ලෙස ප්‍රතික්ෂේප කළහ.

6. කාන්තාව පහත් කොට සැලකීමක් ශ්‍රමණ සංස්කෘතිය තුළ නොවීය. ජෛනයන් සහ පරිබ්‍රාජකයන් අතර පැවිදි වූ කාන්තාවෝ වූහ. එහෙත් විධිමත් ව්‍යවස්ථාවක් මත සංවිධානය වූ භික්ෂුණී ශාසනයක් ආරම්භ කරන ලද්දේ බුදුරදුන් විසිනි.

7. භෞතිකවාදීන්, සංශයවාදීන් සහ නාස්තිකවාදීන් හැරෙන්නට අනෙකුත් ශ්‍රමණ සම්ප්‍රදායයන්හි ආචාර්යවරු සදාචාරය සහ විමුක්තිය අවධාරණය කළහ. බෞද්ධයෝ මෙන්ම ජෛනයෝ ද කර්මය සහ නිර්වාණය පිළිබඳව විශ්වාස කළහ. සදාචාරාත්මක පැවතුම්වත් පිළිවෙත් සහ මානසික ශික්ෂණය අරමුණු කරගත් භාවනා ක්‍රම විමුක්ති මාර්ගය ලෙස එබඳු ශ්‍රමණ ආගම්වල ඉගැන්විණ.

8. භෞතිකවාදීන්, සංශයවාදීන් සහ නාස්තිකවාදීන් හැරෙන්නට අනෙකුත් ශ්‍රමණ සම්ප්‍රදායයන්හී පුනරුප්පත්තිය පිළිගැනිණි.

9. කර්මය සහ පුනරුත්පත්තිය පිළිගත් අය කාමාචාරය වෙනුවට නෛෂ්ක්‍රම්‍යය අගය කළහ. බ්‍රහ්මචර්ය වාසය සහ තවුස්දම් වර්ණනා කළහ.

10. ශ්‍රමණයන් අතර පූජකයෝ නොවූහ. එහෙත් පැවිද්දෝ වූහ. ඔවුහු මුදල් සඳහා පුද පූජා නොකළහ.

ශ්‍රමණ සංස්කෘතිය තුළ වේදය බඳු මිනිසුන්ගේ චින්තන නිදහස බැඳ තබන ශුද්ධ යැයි හඳුන්වන අධිකාරීණ සංහිතාවක් නොවීම ඉතා වැදගත් ය. දෙවියන් හෝ එබඳු අධිමානුෂිකත්වයක් වෙතින් ලද අපෞරුෂෙය (මිනිසා විසින් සමාරබ්ධ නොවූ) ඉගැන්වීම් නොවීය. තම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්නා දෙය තෘප්තිකර නොවේ නම් වෙනත් ගුරුවරයකු සොයා යාම ඔවුන්ගේ සිරිත විය. විවේචනය අපාගත වන පාපයකැයි විශ්වාස නොකළ ශ්‍රමණ පැවිද්දෝ සත්‍යය සෙවීම තම අරමුණ කර ගත්හ.බ්‍රහ්මචාරී පැවිදි කණ්ඩායම් වශයෙන් ජීවත් වූ ඔවුහු සන්ථාගාර ශාලා සහ ආවස්ථාගාරවල හමුවෙමින් දාර්ශනික වාද විවාදයන්හි නිරත වෙමින් සංචාරයේ ද නිරත වූහ. ඔවුන්ගේ ඉගැන්වීම්වල ස්වරූපය නොතකමින් කාටත් පොදුවේ ආමිසයෙන් සංග්‍රහ කිරීම ශ්‍රමණයන්ගේ දායකයන්ගේ සිරිත විය. ෂඩ්ශාස්තෘන් යටතේ සංවිධානය නොවී ස්වාධීනව ගුරුවරයාගෙන් ගුරුවරයා වෙත ගමන් කරමින් සත්‍ය ගවේෂණය කළ පරිබ්‍රාජකයෝ මෙන්ම ආජීවකයෝ ද ඔවුනතර වූහ. එහෙයින් භාරතීය ආගම් ඉතිහාසයෙහි විප්ලවීය සහ අභියෝගාත්මක සිතුවිලි ජනිත කළ පිරිසක් ලෙස ශ්‍රමණ ආචාර්යවරුන් හැඳින්විය හැකිය.