Print this Article


තෙරුවන් ගුණ හඳුනා ගනිමු

තෙරුවන් ගුණ හඳුනා ගනිමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තස්මා හි පණ්ඩිතෝ පොසෝ
සම්පස්සං අත්ථමත්තනෝ
බුද්ධේ ධම්මේච සංඝේච
ධීරෝ සද්ධං නිවේසයේ
යෝ ධම්මචාරි කායේන
වාචාය උද චේතසා
ඉධේව නං පසංසන්ති
පෙච්ච සග්ගේ පමෝදතීති
සං. නි. පබ්බතුපම සුන්ත

පින්වත්නි,

සැවැත් නුවර දෙව්රම් විහාරයේ දී ඉහත දැක්වෙන ගාථා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොසොල් මහ රජතුමාට , මෙම ගාථාවල අදහස දිරිමත් නුවණැති පුද්ගලයා තමන්ගේ යහපත දැන තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන සිත, කය වචනයෙන් ධර්මයෙහි හැසිර මෙලොව ප්‍රශංසාව ලබා මෙලොවත්, සුගතියේත් සතුටු වෙන බවයි.

ත්‍රිවිධ රත්නය අතර පළමුවන රත්නය බුද්ධ රත්නයයි. චතුරාර්ය සත්‍යය තම නුවණින් අවබෝධ කර ගත් උතුමන් හඳුන්වනුයේ බුද්ධ නමින්. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණුවලින් ‘අරහං ‘ ආදි ගුණවලින් යුක්ත බව ‘ඉතිපි සෝ භගවා අරහං’ පාඨය තුළින් හඳුනා ගන්නවා. එයින් සිදු වන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගැනීමයි. “සද්දහති තථාගතස්ස බෝධිං’මෙසේ කරුණු මැනැවින් අධ්‍යයනය කර බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා ද? විශ්වාසය ඇතිකර ගන්නවාද? එය සද්ධාවයි. විමංසක සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ ගැන විමසා බලන ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවන කරුණ තථාගතයන් වහන්සේගේ ක්‍රියා පිළවෙල විමසා බලන ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවන කරුණ තථාගතයන් වහන්සේගේ ක්‍රියා පිළිවෙල විමසා බැලීම , දෙවැන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයත් තමන්ට අසන්නට ලැබෙන ධර්මයත් විමසා බැලීම

අසන්නට ලැබෙන වචන දකින්නට ලැබෙන ක්‍රියා කෙලෙස්වලින් යුක්ත ද කියා විමසීමේ දී උන්වහන්සේ ක්‍රියාවෙන් වගේම වචනයෙනුත් කිළිටි නැති බව වැටහේ නම් බුදුපියාණන් වහන්සේ පිළිගත යුතුයි. මේ අයුරින් “අරහං” ආදි බුදුගුණවලින් බුද්ධ රත්නයත්,” ස්වාක්ඛාත” ආදි දහම් ගුණ තුළින් ධර්ම රත්නයත් “සුපටිපන්න”ආදි සඟ ගුණවලින් සංඝරත්නයත් තමන්ට හඳුනාගන්න පුළුවන්. .තුණුරුවන් මෙලෙස හඳුනා ගැනීම ආකාරවතී ශ්‍රද්ධාවයි. ශාසන මාර්ගයේ ආරම්භය ශ්‍රද්ධාව නිසා සද්ධා බීජං යනුවෙන් එය හඳුන්වනවා. ශ්‍රද්ධාව පවතින පුද්ගලයා තුළින් ලක්ෂණ තුනක් ඉස්මතු වෙනවා.

“දස්සනකාමෝ සිලවතං
සද්ධම්මෝ සෝතුමිච්ඡති
වින්‍යෙය මච්ඡේර මලං
සවේ සද්ධෝති වුච්චති

සිල්වත් අය දකින්නත්, බණ අහන්නත්, ධර්මයට අනුගතව මසුරුකම් දුරැර පින් දහම්වල යෙදෙන්නටත් කැමැතියි. එවන් අය දස කුසල්වලත් නියැළෙනවා. පර පණ නැසීමෙන් වැළකී කාරුණික කෙනෙක් වෙන්න. සොරකම් කිරීමෙන් වැළකී අනුන්ගේ සම්පත් සුරකින්න, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සදාචාර සම්පන්න වෙන්න. බොරු කීමෙන් වැළකී ඇත්ත කථා කරන්න. කේළාම් කීමෙන් වැළකී අනුන් සමගි කරවන කථා කරන්න. රළු වචනවලින් වැළකී මිහිරි වචන කථා කරන්න. හිස් වචනවලින් වැළකී අර්ථවත් වචන කථා කරන්න. දැඩි ලෝභයෙන් වැළකී පරිත්‍යාගශීලි වන්න. ද්වේශයෙන් වැළකී මෛත්‍රියෙන් ක්‍රියා කරන්න. වැරදි දැකීම්වලින් මිදී චතුරාර්ය සත්‍යයට අනුව නිවැරදි දැක්ම ඇති කර ගන්න උත්සාහවත් වෙනවා. එවන් අය හඳුන්වන්නේ ධර්මචාරි පුද්ගලයන් හැටියට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සන්නිස්ශ්‍රීත සීලය තුළින් සිල්වත් වෙනවා. යම් කිසි පුද්ගලයෙක් ඉඳුරන් සංවර කර ගන්නවා නම් ඒ පුද්ගලයාට පුළුවන් තුන්දොර පිරිසුදු කර ගන්න.

“ඉන්දට්ඨෙන ඉන්ද්‍රියං – ඉන්දති පරමිස්සරියං කරෝතීති ඉන්ද්‍රියං “

ඉඳුරන් කියන්නේ රූප , ශබ්ද, ගන්ධ ,රස, ස්පර්ශ ධර්ම කියන අරමුණුවලට ප්‍රධානත්වය දරන නිසා ඇහ, කන, නාසය, දිව, ශරීරය ,මනස යන ඉඳුරන් යම් තැනක ඇළෙනවා නම් එය හඳුන්වන්නේ අරමුණු වශයෙනි. “චක්ඛාදිනි ආගන්ත්වා එත්ථ රමන්තීති ආරම්මණාති” ඇහැ කියන්නේ අපට පෙනෙන ඇහැ නොවේ. ඇහෙන් රූප බලන්නවත්, කනෙන් ශබ්ද අසන්නවත්, නාසයෙන් ගඳ සුවඳ ලබන්නවත්, දිවෙන් රස විඳින්නවත්, කයට ස්පර්ශ ලබන්නවත් බැහැ. එහෙම නම් පංච ඉන්ද්‍රියන්ට අරමුණු සම්බන්ධ වන්නේ කොහොමද? සිතින් තමයි රූප බලන්නේ, “සබ්බං රූපං මනෝ විඤ්ඤෙය්‍යං” සිතෙන් තමයි ස්පර්ශය ලබන්නේ “සබ්බං ඵස්සං මනෝ විඤ්ඤෙය්‍යං” මෙම ඉඳුරන් යහපත් අරමුණු වල තබා තිදොරින් සංවර වීම අවශ්‍යයි.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ වයස්ගත වූ බමුණන් පිරිසක් විවාහ ජීවිතය අත්හැරලා මහණ වුණා. ඒත් උන් වහන්සේලා ගෙපිළිවෙලින් පිඬු පිණිස වැඩම කළේ නැහැ. ගිහි කළ තමන් ඇසුරු කළ බිරින්දෑවරුන්ගේ නිවෙස්වලින් පමණයි දානය වැළඳුවේ. පසුව සියලු දෙනා වහන්සේ ම වැඩම කළේ ප්‍රධාන භික්ෂූන් වහන්සේගේ පෙර කල සිටි බිරිඳගේ නිවසට ඇයට, කටට රසට උයන්න පුළුවන්. ඒ නිසා එම කාන්තාව හැඳින් වූයේ “මධුරපාසිකා” නමින් හදිසියේ ම මෙම කාන්තාව මිය ගියා. ඇයගේ වියෝව විඳ දරා ගත නොහැකිව භික්ෂූන් වහන්සේලා ඇයගේ නිසල සිරුර ළඟ වැල පෙන්නට වුණා. එම සිද්ධිය මුල් කරගෙන එම භික්ෂූන් වහන්ේසලා කැඳවලා බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළා.

වනං ජින්දථ මා රුක්ඛං
වනතෝ ජායතී භයං
ඡෙත්වා වනං ච වනථං ච
නිබ්බාණා හෝථ භික්ඛවෝ

මහණෙනි, කැලෑව කපන්න. හැබැයි ගස් කපන්න එපා. කෙලෙස් වනයෙන් බිය උපදවනවා. වනයත්, වන පථයත් දෙක ම කපලා සියලු කෙලෙස් මැඩ නිවන් ලබා ගන්න කියා විශාල වශයෙන් තියෙන මහ කැලෑව තමයි මෙතැනදී තෘෂ්ණාවට උපමා කළේ. සුළු වශයෙන් තියෙන කැලෑවට උපමා කළේ අඩු තණ්හාව, ‘වනථ’ නමින් හැඳින් වූයේ එයයි. මෙම සියලු ම ආශාවන් දුරු කිරීම තමයි නිවන කියන්නේ “වාණං නික්ඛන්තන්තා නිබ්බාණං “ මේ කරුණ මැනවින් අවබෝධ කරගත් උන්වහන්සේලා රහත් වුණා. පසිඳුරන් නිසි ලෙසට භාවිත කළොත් සැප ලැබෙන සැටිත්, එසේ සිදු නොකළොත් දුකට පත්වන සැටිත් මේ කථාවෙන් තේරුම් ගන්න ඔබට පුළුවන්.

මණිං මිගෝ පස්සන්තෝපි
තිණං ඛාදංව ගච්ඡති
ලද්ධං කාලෝ දුප්පඤ්ඤෝ
කාමං භුඤ්ඡංච ගච්ඡති

තද වැස්ස නිසා කඳු මුදුනෙන් කඩා හැළෙන ජල ධාරාවට හසු වී පස් යට තියෙන මැණික් ගල් සාරවත් තණ කොළ මතට වැටී තිබුණත් තණ කොළ අනුභව කරන මුවාට උගේ නාසය,තොල, දත්, පා ,කොතැනක මැණික් ගල් ගැටුනත්, එහි වටිනාකමක් ඒ සතා දන්නේ නැහැ. අන්න ඒ වගේ තෙරුවන් කෙරෙහි කිසිම පැහැදීමක් නැති පස්කම්වලට හසුවී ක්‍රියා කරන අය .එබැවින් ඔබත් මේ ගැන සිහිපත් කර අනුවණ කමින් පසිඳුරන්ට ගොදුරු නොවී උතුම් මිනිස් ජීවිතය අර්ථසම්පන්න කර ගැනීමට ක්‍රියා කරන්න. එවිට ඔබට දෙව් මිනිස් නිවන් කියන තිවග සැප සම්පත් ලබා ගැනීමට හැකිවේවි.

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ
සුදනෙනි කිම වීරිය නොකරන්නේ

තෙරුවන් සරණයි!