Print this Article


පූජාච පූජනීයානං

යටිගල පඤ්ඤාසාර නා හිමි

කොළඹ 06, වැල්ලවත්ත ශ්‍රී වේළුවනාරාමාධිපති, සල්පිටි හේවාගම් දෙකෝරළයේ උපප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති යටිගල පඤ්ඤාසාර නාහිමි 29 වසරක ගුරු සේවයෙන් විශ්‍රාම ලබයි. ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමක් ලෙස පඤ්ඤාසාර නාහිමියන් හඳුන්වා දිය හැකි ය.

හම්බන්තොට බෙලිඅත්ත යටිගල ග්‍රාමයේ විසූ ජී.ඒ. පීදරහාමි මහෝපාසිකා මාතාවගේ හා ඒ. ඒ. අන්තෝනිස් මහෝපාසක මහතාගේ පුත්‍රයෙකු ලෙස 1954 අගෝස්තු 04 වැනිදා පඤ්ඤාසාර නාහිමි ජන්මලාභය ලැබී ය. තාරපේරියේ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර 1968 සැප්තැම්බර් 06 වැනි දා ප්‍රව්‍රජ්‍යා භාවයට පත් විය.

එහි දී උන්වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා වූයේ ඌරුගමුවේ රන්නාවල ශ්‍රී තපෝධනාරාමාධිපති කුඩාහීල්ලේ පඤ්ඤාරංසි, දික්වැල්ලේ වජිරවංස යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ය.

මාතර කොටුවේගොඩ ජයසුමන, පැපිලියාන සුනේත්‍රාදේවි, නුගේගොඩ සුභද්‍රාරාම හා හුණුපිටියේ ශ්‍රී ගංගාරාමස්ථ ඥානේශ්වර යන පරිවේණස්ථානයන් වෙතින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කළ පඤ්ඤාසාර නාහිමි 1976 ජූනි 08 වැනි දා වැලිතර මහා කප්පින්න වලව්ව අසල මාදු නදියේ උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ලැබී ය.

එහි දී උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ වූයේ අතිපූජ්‍ය කොස්ගොඩ ධම්මවංසාභිධාන අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානාහිමියන්ය.

යටිගල පඤ්ඤාසාර නාහිමියෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව “ගෞරව ශාස්ත්‍රවේදී” උපාධිය ද, පසුව කැලණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් “ශාස්ත්‍රපති” උපාධියද, කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් “පුරාවිද්‍යා ඩිප්ලෝමාව“ ද ලබා ගත්හ. 1985 දී ගාල්ල බද්දේගම ශ්‍රී රතනසාර පිරිවෙනේ පරිවේණාචාර්යවරයෙකු ලෙස ගුරුසේවය ඇරඹූ පඤ්ඤාසාර නාහිමියෝ පසුව පාසල් ගුරු සේවාවට එක්ව නුවරඑළිය සෙනරත් මහා විද්‍යාලය කොළඹ 06, වැල්ලවත්ත ඇරතියුසා විද්‍යාලය, ලුම්බිණි මහා විද්‍යාලය, වැල්ලවත්ත වෛශාඛ බාලිකා විද්‍යාලය හා නැවත ද වැල්ලවත්ත ඇරතියුසා යන විද්‍යාලයන්හි ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස අධ්‍යාපනික සේවාවන් රැසක් ම සිදු කළහ.

ස්වකීය ආචාර්යපාදයන් වහන්සේ නමක් වූ කුඩාහීල්ලේ පඤ්ඤාතිලක නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු 2007 සිට වැල්ලවත්ත වේළුවනාරාමාධිපති ලෙස ද තත් විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් සුවිශාල ආගමික, ජාතික, සාමාජික හා සංස්කෘතික සේවාවන් රැසකට සෘජු නායකත්වය දෙන පඤ්ඤාසාර නාහිමියෝ විවිධ සංවිධාන රැසක අනුශාසකත්වය ද දරති.

ඒ අතර ෆෙයා ටැක්සි සහ සෝනිට් පෞද්ගලික ආයතනයන් හි අනුශාසක හා වැල්ලවත්ත සිවිල් ආරක්ෂ කමිටුවේ අනුශාසක ලෙස ක්‍රියා කරමින් සිදු කරන සේවය පිළිබඳ ද මෙහි දී වෙසෙසින් සඳහන් කළ යුතු ය.

තායිලන්තය හා ඉතාලිය යන රටවල ආගමික උත්සව සඳහා ද සහභාගි වී තිබෙන පඤ්ඤාසාර නාහිමියෝ ඒ තුළින් ද අත්දැකීම් රැසක් ලබා ගත්හ.

කුඩාහීල්ලේ පඤ්ඤාසේඛර නාහිමියන්ගේ ආශිර්වාදයත්, ශාස්ත්‍රවේදී හක්මන නන්දාලෝක, තිස්සමහාරාමයේ පඤ්ඤාසෝම යන ශිෂ්‍ය හිමිවරුන්ගේ මෙන් ම ශ්‍රී වේළුවනාරාමස්ථ දායකකාරකාදී සාධු ජනයා ගේ පූර්ණ සහයෝගයත්, පඤ්ඤාසාර නාහිමියන්ගේ සෑම කාර්යයක්ම සපලවීම කෙරෙහි මනා පිටිවහලක් වී තිබෙන බව ද මෙහි දී සඳහන් කළ යුතුම ය.


මහෝපාධ්‍ය අමුණුපුර පියරතන නා හිමි

මහනුවර අස්ගිරිය මහා විහාරයීය සංඝ සභාවේ මහෝපාධ්‍ය අස්ගිරිය ශ්‍රී විජයසුන්දරාරාමයේ ශ්‍රී සද්ධර්මවර්ධන දහම් පාසලේ ප්‍රධානාචාර්ය සමාජසේවා ශිරෝමණී ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත සමස්ථ ලංකා සාමවිනිසුරු අමුණුපුර පියරතන නාහිමිපාණන්ගේ 75 වෙනි ජන්මෝත්සවය නිමිත්තෙන් දෙසැම්බර් මස 06 වෙනිදාට යෙදෙන උඳුවප් පුර පෝයදින සහ 7 වෙනි දිනවල ආගමික වැඩසටහන් මාලාවක්, අස්ගිරිය විහාරයේ දී පැවැත්වේ.

6 වෙනිදින රාත්‍රී 07.00 ට සෙත් පිරිත් දේශනාවකි. මහිංගන රජමහ විහාරාධිපති ගලගම ශ්‍රී අත්ථදස්සී අනු නා හිමියන් ප්‍රධාන මහාසංඝරත්නය විසිනමක් විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.

බෞද්ධ පුවත්පත් රැසක, දශක පහකට අධික කාලයක් බෞද්ධ ලිපි, ධර්මදේශනා, විශේෂාංග සපයන ධර්මධර, ලේඛක පඬිවරුනක් ලෙස කටයුතු කරන පණ්ඩිත පියරතන නාහිමිපාණන් වසර හතළිහක් ශ්‍රී සද්ධර්මවර්ධන දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන්ද කටයුතු කරයි. දළදා පෙරහර විශේෂාංග අතිරේක සඳහා වාර්ෂිකව ශාස්ත්‍රීය ලිපි සම්පාදනය කිරීමෙන් පියරතන නා හිමියන් විශේෂ ධර්මශාස්ත්‍රීය සේවාවක් ඉටු කරනු ලබන්නේ ය.

අස්ගිරිය මහා විහාරයීය මහෝපාධ්‍ය මහතෙරනමක් වශයෙන් උපසම්පදා විනය කර්ම කටයුතුවලදීත් ශාසනා

රක්ෂක මණ්ඩල හා නාගරික දහම් පාසල් උපදේශක වශයෙන් ද විවිධ බෞද්ධ සමිතිවල අනුශාසකවරයෙකු වශයෙන් ද ආගමික හා ශාසනික සේවාවන් ඉටුකරන අමුණුපුර පියරතන හිමියෝ “ප්‍රථම උදානය” , “ගිරිමානන්ද සූත්‍රය”, “ධර්මදේශනා” මැයින් ග්‍රන්ථ සංස්කරණය කර ඇත. බුදුසරණ පුවත් පතෙහි පියරතන හිමි විසින් පළකරන ලද ධර්මදේශනා එකතුකර “ධර්මදේශනා” නමැති ග්‍රන්ථය ලියා ඇති අතර “දහම්” නැමැති සඟරාවට 1962 දී ලිපි සපයා මුලින්ම බෞද්ධ ලිපි සම්පාදනය කිරීම ආරම්භ කර ඇත. දළදා පෙරහර මහියංගනය,

මුතියංගනය, මුල්කරගෙන ලිපි, විශේෂාංග සිය ගණනක් සකස්කර ඇති අමුණුපුර හිමි දශක තුනක පිරිවෙන් ධර්මාචාර්යවරයෙකු ලෙස ද සේවය කර ඇත.

පණ්ඩිත අමුණුපුර පියරතන නාහිමිපාණන්ට තව තවත් ශාසනික ආගමික සේවාවන් හි නිරතවීමට තිසරණ සරණින් නිරෝගීභාවය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමු.


කොබවක සීවලි හිමි

හොරණ රජමහා විහාර භාරකාර හා හොරණ ධම්මරතන මූලික පිරිවෙනේ පරිවෙණාධිපති ප්‍රවීණාචාර්ය කොබවක සීවලී ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත්වී අගෝස්තු 28වැනි දිනට පුරා තෙමසක් සැපිරිණි. කළුගංතොට පස්යොදුන් කෝරළයේ කොබවක ග්‍රාමයේ පිරිසුදු හා කීර්තිමත් “ගමගේ” පෙළපතට එළිය දුන් ගමගේ දොන් පුංචිසිංඤෝ හා අතුකෝරළගේ දෝන ඇඩානෝනා දම්පතීන්ට දාව 1956 ජනවාරි 11 දින පින්වත් පුත් රුවනක් මෙළොව එළිය දුටහ. හෙතෙම නමින් ගමගේ දොන් ජෝතිපාල නම් විය.

කුඩා අවධියේ සිට ම මෙම කුමරු අසීමිත ශ්‍රද්ධාවකින් යුක්තව තම ජීවිතය හැඩගස්වමින් බෞද්ධ පරිසරයට ම කැප වී කටයුතු කිරීමේ ලක්ෂණ පහළවීම හේතු කොටගෙන කොබවක සිල්මාතාව විසින් මෙම කුමරු කවදා හෝ ගිහි ජීවිතය අත්හැර මහණදම් පුරණ බවට පූර්ව නිගමනයකට බැස ඒ බව මව්පිය දෙපළට අඟවා එම දෙපළගේ පූර්ණ ආශිර්වාදය මැද හොරණ රජමහා විහාරස්ථ හොරණ ජිනාලංකාර හිමිපාණන් වහන්සේට භාර කරන ලදී.

කෙටි කාලයක් තමන් භාරයේ සිටි ජොතිපාල කුමරුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර බැලූ නායක හිමිපාණන් වහන්සේ, මෙම අය උසස් තනතුරු දැරීමෙහි හා විශේෂයෙන් ශ්‍රමණභාවයෙහි ඵලදායක වූ ජීවිතයකට හිමිකම් ඇත්තෙකු බව වටහාගෙන යථෝක්ත මහා ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1972 අගෝස්තු 11 දින රජමහා විහාරස්ථ ආචාර්ය සම්ප්‍රදාය අනුව “කොබවක සිවලි නමින් ප්‍රවෘජ්‍යා භූමියට පත්කර ලදී. අනතුරුව සීවලී හාමුදුරුවෝ විද්‍යාරත්න පිරිවෙන්හි ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහාදිය යොමු විණි.

විසි වයස් පිරිපුන් වීමත් සමඟ මුන්වහන්සේ 1979 ජූනි 01 දින ශ්‍රී ජයවර්ධනපුර පුවර පුෂ්පාරාම උපෝෂථාගාරයේ දී අධිසිල් ලැබූහ.

උසස් අධ්‍යාපනය පරිසමාප්ත කළ මුන්වහන්සේ 1987 වර්ෂයේ දී රත්මලාන ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව ගුරු පුහුණු පාඨමාලාව හදාරා උසස් ම සාමාර්ථයක් හිමිකරගනු ලැබීය. අනතුරුව මුන්වහන්සේ තමන් විසින් ශිල්ප හැදෑරූ විද්‍යාරත්න පිරිවෙනේ ම 1984 වර්ෂයේ දී ආචාර්ය පදවියට පත්ව සුවහසක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ආගමික, ශාසනික ජීවිත පොහොසත් කිරීමට උර දුන්හ. 2000 වර්ෂයේ ඔක්තෝබර් 16වන දින හොරණ ධම්මරතන පිරිවෙනෙහි පරිවෙණාධිපති ධුරයට පත්වීම සුවිශේෂ අවස්ථාවකි. එසේම 1994 දී හොරණ රජ මහා විහාරස්ථ භාරකාර ධුරයට ද පත්වීම මුන් වහන්සේගේ ආයතන කලමනාකරණ දක්ෂතාවය මතම සිදුවූවක් වේ.

ගැඹුරු දහම් අරුත් සරල බසින් පහදා ලීමෙහි අපූර්ව ප්‍රතිභා ශක්තියකින් හෙබි මුන්වහන්සේ, ජන කාන්ත දේශකයාණන් නමක් වූහ. දහම් දෙසීමේ දී නොපැකිලව ගලා ආ වාග් ධාරාව උන්වහන්සේගේ වාග් විලාශයෙන් මොනවට පැහැදිලි වෙයි.

හොරණ සදර්ථ සාධක රිවිදින දහම් පාසල ප්‍රදේශයේ කීර්තිමත් ආයතනයක් බවට පත්කළ මුන්වහන්සේ බොදු දරු දැරියන්ගේ ධර්ම ඤාණය හා සුචරිත වර්ධනය කිරීම සඳහා ඉමහත් සේවයක් කර ඇත.

වාර්ෂික නවම් පින්කම, සත්බුදු පූජා පින්කම, බෝධි පූජා පින්කම් සංවිධානය කිරීමේ දී මුන් වහන්සේ එහි වගකීම දරමින් ජනතාවගේ චිත්ත ප්‍රසාදයට සරිලන පරිදි එම කටයුතු මැනවින් ඉටු කළ අයකු වේ.

මුන්වහන්සේ තුළ විහාර කර්මාන්තය පිළිබඳව තිබුණේ හසළ දැනුමකි. නන්දෙසින් වැඩම කරවන ශාස්ත්‍රලාභී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ-ලාට සෙවණ දීම පිණිස ඉදිකරවන ලද අභිනව සංඝාවාස ගොඩනැගිල්ල එයට කදිම සාධකයක් වේ. එසේම විහාරස්ථානයේ විහාරාංග නවීකරණය කර සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට ඉඩකඩ සලසාදීම මුන්වහන්සේගේ ශාසනික සේවාවන් අතර ප්‍රධාන වේ.