Print this Article


බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස...සම්මා දිට්ඨියෙන් ජීවිතය දුටු චුල්ල සුභද්‍රා

බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස...

සම්මා දිට්ඨියෙන් ජීවිතය දුටු චුල්ල සුභද්‍රා

යහපත් පවුල් සංස්ථාවක් ගොඩනඟා ගැනීමේදී කාන්තාව සතු වගකීම අති විශාලය. දායාදය ලෙස යාන, වාහන, ගේ දොර, ඉඩකඩම් ද සමඟ සිවු සැට භරණින් දියණිය සරසා , දිනක ඇයම සොයාගත් පෙම්වතාට අත පැන් වත්කොට භාර දුන්නද, කුල ගෙට ගොස් තම කුලගෙය රැක ගන්නට අවැසි ඥානය දියණියට ලබා දෙන්නට දෙමවුපියන් වශයෙන් ඔබට අමතක වූවානම්? එහි ප්‍රතිවිපාකය භුක්ති විඳින්නේ ඔබ අසළ රැදී සිටි, ඔබ ආදරය කළ ඔබේ සුරතල් දියණියමයි. ගැහැණු දරුවෙකු සිය ජීවිත කාලයෙන් හතරෙන් එකක් වැනි ඉතා කෙටි කාල සීමාවක් පමණයි. තම දෙමවුපියන් සෙවණේ රැඳෙන්නේ ඇයගේ ජීවිතයේ ඉතිරි හතරෙන් තුනක කාලය ගෙවී යන්නේ පිටස්තර ලෝකය තුළය. තම නිවසින් පිටත වූ ලෝකය ඇයට සුන්දර හෝ අසුන්දර වන්නේ ඇය නිවසේ සිටින කාලය තුළදී තම ජීවිතයට එක්කරගත් හොඳ හෝ නරක ගුණාංගයන් මතය.

බුද්ධ කාලයේ සිටි ආදර්ශවත් මවුපිය දෙපළකගේ සෙවණේ හැඳී වැඩි යහපත් ගුණාංගවලින් තම චරිතය පෝෂණය කරගෙන කුලගෙට ගිය පසුව තම පති කුලයද පහන් කරගත් ආදර්ශවත් බෞද්ධ කාන්තාවකි. චුල්ල සුභද්‍රා , ඇය බුද්ධ ශාසනයේ අග්‍රදායක තනතුරින් බුහුමන් ලද කොසොල් රට සැවැත්නුවර වාසය කළ අනාථ පිණ්ඩික සිටුතුමාගේ දියණියයි.

කොසොල් රට වැසි අනාථ පිණ්ඩික සිටු පවුලත් අංග රට උග්ග පුරයේ උග්ගහ සිටු පවුලත්, ඉතා සමීපව ඇසුර කළ හිත මිත්‍ර සිටු පවුල් දෙකක් විය. ඉතා දුර බැහැර ප්‍රදේශවල විසුවත්,අවශ්‍ය අවස්ථාවලදි ඔවුනොවුන් හමුවීමට මේ සිටුපවුල් දෙක කිසි විටෙකත් අමතක කළේ නැත. එක් දිනක උග්ගහ සිටුතුමා සිය හිත මිත්‍ර අනාථ පිණ්ඩික සිටුතුමා හමුවීම පිණිස කොසොල් රට පිහිටි අනාථ පිණ්ඩික සිටු මැදුරට පැමිණියේය. එහිදී අනාථ පිණ්ඩික සිටුතුමාගේ දියණියක වන මනා ඇවතුම් පැවතුම්වලින් යුක්ත වූ රූමත් චුල්ල සුභද්‍රාව දකින උග්ගහ සිටුතුමා ඇය කෙරෙහි පැහැදී ස්වකීය පුත්‍රයාට ඇයව ආවාහ කර දීමට ඇත්නම් මැනවැයි සිතා ඒ පිළිබඳව අනාථ පිණ්ඩික සිටුතුමාගෙන් අදහස් විමසීය. මේ සිටු පවුල් දෙක අතර ඥාති සම්බන්ධයක් ඇති කර ගැනීමට කිසිදු බාධාවක් නොතිබුණේය. තිබුණා නම් තිබුණේ එක් බාධාවක් පමණි. ඒ උග්ගහ සිටු පවුල අචේලක සාධුන්ගේ ජෛන ආගම ඇදහීමත්, අනේපිඬු සිටු පවුල බුදුදහම ඇදහීමත් යන ඔවුනොවුන්ගේ ආගම අතර වෙනස පමණි. එක පුංචි වෙනස්කමක් වුවත් මිනිසුන්ගේ ජීවිත තුළ විශාල වෙනසක් ඇති කරන බව ඔබ දන්නවාද? ජාතිය, ආගම, කුලය, දුප්පත් පොහොසත්, බව, පෙම්වතුන්ට ගැටලුවක් නොවූවත් විවාහයකදී මේ දේවල් ඉතා තදින්ම බලපානු ලබනවා. වෙන් වෙන් වශයෙන් දිවි ගෙවූ දෙදෙනෙක් එක් වහලක් යට ජීවිතාන්තය දක්වා එකට ජීවත්වන්නට සූදානම් වන විට ඒ දෙදෙනා සමඟම පවුල් දෙකක සම්බන්ධතාවයක්ද නිතැතින්ම ගොඩ නැගෙනවා. මරණයකදී මඟුලකදී, පින්කමකදී. නිතරම එක් රැස් වන මේ පිරිස් අතර ජාති, ආගම් , කුල මල පක්ෂ භේද, පමණක් නොව දුප්පත්, පොහොසත් උගත්, නූගත් ආදී නොයෙක් වූ නොගැළපීම් අතරින් එකක් හෝ තිබුණහොත්, ඔවුනොවුන් අතර විශාල ගැටලු රාශියක් පැන නැගීමට මෙය හේතුවක් බවට පත්වෙනවා.

බුද්ධ ශාසනයේ අග්‍ර දායකයා වුණ අනාථ පිණ්ඩික සිටුතුමා සිය මිත්‍රයාගේ යෝජනාවට එකවරම කැමැත්ත ප්‍රකාශ කළේ නැත. තම දියණියගේ අනාගත සැපත සතුට ගැන සිතු යහපත් පියෙකු වශයෙන් සිටුතුමා තම මිතුරාගේ යෝජනාව පිළිබඳ දෙවරක් සිතා බැලුවා. උග්ගහ සිටුතුමා සතුව පැවැති ධනය පිළිබඳවත්, බොහෝ කාලයක් පුරා සිටු පවුල් දෙක අතර පැවැති හිතවත්කම පිළිබඳවත් සලකා බලා මෙහිදී තීරණයක් නොගත යුතු බව සිතූ අනාථ පිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේගෙන් මේ පිළිබඳ අසා දැන තීරණයක් ගත යුතු යැයි කල්පනා කළා. තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධා භක්තියෙන් යුතු තම දියණිය ජෛන ආගම අදහන පිරිසක් වෙසෙන පරිසරයක් තුළ ජීවිත කාලයම කෙසේ නම් දිවි ගෙවයිද? යන්න සිටුතුමාගේ සිතට නැගුන ගැටලුවයි. චුල්ල සුභද්‍රා යනු ශ්‍රද්ධාවෙන් යුක්ත කාන්තාවක් වූවා පමණක් නොව, ඇය ප්‍රඥාවෙන්ද යුක්ත කාන්තාවක විය, “ගැහැණිය යනු දෑඟුල් ප්‍රඥාවක ඤාණ මහිමය උපතින්ම රැගෙන ආ පිරිසකැයි” පුරුෂාධිපත්‍යය රජ කළ බ්‍රාහ්මණ සමාජය තුළ රැව් පිළිරුව් දී තිබූ යුගයක, එය එසේ නොවන බවත්, කාන්තාව යනු ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වූ මුළු මහත් සමාජයම තම ගුණ නුවණින් සුවඳවත් කළ හැකි පිරිසක් බව සනාථ කොට පෙන් වූ විශාඛා ,කෝසල මල්ලිකා, බන්දුල මල්ලිකා, සාමාවතී ආදී වූ කාන්තා පිරිස අතර චුල්ල සුභද්‍රා ද වූවාය. අනාථ පිණ්ඩික සිටුතුමා බුදුන් වහන්සේ වෙත තම ගැටලුව ඉදිරිපත් කළ අවස්ථාවේ සැදැහැවත් උවැසියක වූ චුල්ල සුභද්‍රාගේ ප්‍රඥාවන්තභාවය නිසා උග්ගහ සිටුතුමා ඇතුළු පවුලේ සියලු දෙනාහට සිදුවන්නා වූ යහපත දුටු බුදුන්වහන්සේ සිටුතුමාගේ ගැටලුව හමුවේ නිහඬව ඉවසා වැඩහුන් සේක. මෙම විවාහ මංගල්‍ය උදෙසා බුදුන් වහන්සේගේද අනුමැති ලැබූ සිටුතුමා නොබෝ කලකින් තම දියණිය උග්ගහ සිටු පවුලේ පුත් කුමාරයාට ආවාහ කොට දුන්නේය.

චුල්ල සුභද්‍රාව උග්ගහ සිටු මැදුරට කැන්දන් ගිය දිනයේ සිටු මැදුර තුළ පැවැත් වූ උත්සව අවස්ථාවට සිටුතුමා විසින් සිය ආගමේ පූජකයන්ටද එයට සහභාගි වන ලෙසට ආරාධනා කොට තිබුණි. සිටු ගෙදරට පැමිණි අචේලක (නිරුවත්) සාධුවරුන් ගෞරවයෙන් පිළිගත් උග්ගහ සිටුතුමා ඔවුන්ට වැඳ නමස්කාර කොට ගෞරවයෙන් යුතුව පිළිගත්තේය. ඉක්බිති තම ලේලිය වූ චුල්ල සුභද්‍රාව ලවාද වැන්ඳවීම සඳහා ඇය කැඳවාගෙන එන්නැයි නිවැසියන්ට දැන්වුවද, ඇය විසින් අචේලක සාධුන්ගේ ස්වරූපය දැක ලජ්ජාවෙන් මිරිකී ඔවුන් වෙත පැමිණීම තබා එදෙස බැලීමත් පිළිකුල් කළාය. සිත,කය, වචනය යන තිදොරින්ම සංවර වූ, අභ්‍යන්තර , බාහිර, දෙපසම සත්මුතු සේ නිර්මල වූ පවිත්‍ර ගුණයෙන් පිරිපුන් වූ ලාභ,අලාභ ,යස,අයස, නින්දා, ප්‍රසංසා , දුක, සැප, යන අටලෝ දහම ඉදිරියේ කම්පිත නොවූ සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා කෙරෙහි පැහැදී සිටි චුල්ල සුභද්‍රා කිසි විටකත් මෙම අචේලක සාධුවරුන් සරණ නොයන්නෙමියි අදිටන් කර ගත්තාය.

නැදි මයිලන් කෙරෙහි, ස්වාමියා කෙරෙහි ඔවුන්ගේ ඥාති පරපුර කෙරෙහි තම සිත තුළ පවතින්නා වූ කැමැත්ත නිසාවත් (ඡන්දය) ඔවුන් කෙරෙහි වෛරී සිතකින්වත් (ද්වේශය) ඔවුන් නිසා හටගත් කිසියම් වූ බියක් නිසාවත් (භය) තම සිත තුළ පහළ වන්නා වූ මෝහ සිතිවිලි නිසාවත් (මෝහය) කිසිදු විටක තීරණ නොගත යුතුය. සිය පවුලේ ඥාතීන් නිවැරැදි දෙයක් පෙන්වා දෙන්නේ නම් එයද නොපිළිගෙන දැඩි සේ වැරැදි මතවලම එල්බ සිටින්න යැයි මම මෙහිදී ඔබට නොකියමි. චුල්ල සුභද්‍රා සතු වූ මෙම ආදර්ශවත් ගුණය තුළින් මා ඔබට පෙන්වා දෙන්නට උත්සාහ ගන්නේ සෑම විටම නිවැරැදි දේ නිවැරැදි ලෙසත් වැරැදි දෙය වැරැදි ලෙසත් දකින්නට උගත යුතු බවය. නිවැරැදි නොවූ යුක්ති සහගත නොවූ අසාධාරණ වූ යමක් පිළිගන්නා ලෙස හෝ පිළිපදින ලෙස කවුරුන් කෙසේ කියා සිටියත්, ඒ දෙය පිළිබඳ නිවැරැදි දෘෂ්ටියකින් බලා සතර අගතියට පත් නොවී තීරණයක් ගැනීමට කාන්තාවකට හැකි විය යුතුය. චුල්ල සුභද්‍රා යනු එවැනි නැණවත් කාන්තාවකි. එමෙන්ම තම නිවැරැදි තීරණය ඉදිරියේ ලෝකයේ කිසිදු බලවේගයකට යටත් නොවූ එඩිතර ගැහැනියකි. චුල්ල සුභද්‍රාවගේ දැඩි තීරණය පිළිබඳ මාමණ්ඩිය ඇතුළු පවුලේ අනෙකුත් ඥාතීන් අමනාප වුවද , ප්‍රඥාවන්ත චුල්ල සුභද්‍රාට ඔවුන්ගේ මිථ්‍යා දෘෂ්ටිය නැතිකොට නිවැරැදි දහම් මාර්ගය මේ යැයි අවබෝධ කොට දෙන්නට හැකි විය. තුණුරුවන් ගුණ මැනවින් දැන සිටි සැදැහැවත් බෞද්ධ උපාසිකාවක වූ චුල්ල සුභද්‍රා නැදි මයිලන් සතුටු කිරීමට සිය ආගම වෙනස් කළ යුතු යැයි නොසිතුවාය. ඒ වෙනුවට ඇය බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයේ ගුණ වර්ණනා කොට උග්ගහ සිටුතුමා ඇතුළු ඥාති පිරිස බුදුදහම කෙරෙහි පහදවා ගත්තාය.

අවිද්‍යාව (නොදැනීම) නමැති අන්ධකාරයේ ගිලී මෝහයෙන් යුක්තව ජීවත්වන සමාජයටද චුල්ල සුභද්‍රා වැනි නැණැති කතුන්ගේ අවශ්‍යතාවය තදින් දැනේ. තම පේ‍්‍රමය විවාහය, ජයගනු රිසියෙන් නම්, ගම් කුල ගෝත්‍ර ආගම ධර්මය පවා වෙනස් කරන ගැහැණුන් සහ මිනිසුන් වෙසෙන සමාජයක චුල්ල ,සුභද්‍රා යනු ආදර්ශවත් චරිතයකි. මනුෂ්‍යයන් ලෙස අප විසින් කළ යුත්තේ නිසරු වූ නාම මාත්‍රයන් වෙනස් කිරිම නොව තම වැරැදි දෘෂ්ටීන් තුළින් මිදී නිවැරැදි දෘෂ්ටියකින් ලෝකය දෙස බලන්නට හුරු වීමයි.