කෙලෙස් මර පැරදවිය යුතුය
මහා විහාරවංශික
ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ
සීනාදී සිව් කෝරළයේ
ප්‍රධාන සංඝනායක
අත්තනගල්ල රාජ මහා විහාරාධිපති
ශ්‍රී පතිරාජ පරිවේනාධ්යක්ෂ
මහෝපාධ්‍යාය
ආචාර්ය
පන්නිල
ආනන්ද නා හිමි
අපගේ මේ කය මැටි බඳුනක් ලෙස කල්පනා කර, අපගේ සිත සුරක්ෂිත නගරයක් සේ
සිතා ඤාණය නමැති අවියෙන් මාරයා පරදවන්නට උත්සාහ කළ යුතුය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
කුම්භූපමං කායමිමං විදිත්වා
නගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යොධෙථ මාරං පඤ්ඤාවුධෙන
ජිතංච රක්ඛේ අනිවෙසනො සියා
කාරුණික පින්වත්නි,
අපගේ මේ කය මැටි බඳුනක් ලෙස කල්පනා කර, අපගේ සිත සුරක්ෂිත නගරයක් සේ
සිතා ඤාණය නමැති අවියෙන් මාරයා පරදවන්නට උත්සාහ කළ යුතුය.
සැවැත්නුවර පන්සියයක් පමණ වූ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවට
පැමිණ භාවනා වඩන පිළිවෙත් ඉගෙන විදර්ශනා වැඩීමට සුදුසු වූ ප්‍රදේශ සොයා
යොදුන් සියයක් පමණ ඉතා දිගු මගක් ගෙවා එක් ගමකට වැඩම කළය. එම ගමෙහි
වැසියෝ බොහෝ පින් කැමැත්තෝය.
ඒ මහා සංඝරත්නය දුටු ඒ ගම්වැසියෝ ශ්‍රද්ධාවෙන් ප්‍රසාදයට පත්වූහ.එමෙන්ම
මහා සංඝරත්නයට සිව්පසයෙන් පුදන්නට ඉදිරිපත් වූහ.උන්වහන්සේලාට සේනාසන
පිළියෙල කළහ. ඒ මහා සංඝරත්නය භාවනා වැඩීමට එහි වැඩම කළ බව දැන ඒ ගම
නුදුරුව පිහිටි වන දෙටු රුක් සෙවණින් සෑදුණු මනස්කාන්ත වන ළැහැබක
සෙනසුන් පිළියෙල කොට පූජා කළෝය.
ඒ වනයෙහි වෙසෙන දෙවිවරු සිල් රැසින් බබළන සංඝරත්නය එහි විසීම ගැන රිසි
නොවූහ. සිල්වතුන් වහන්සේලා බිම සෙනසුන්හි වැඩ වසති. එසේ හෙයින් අපගේ
වාසය නොමැනවයි සිතූහ.
ඒ සඟරුවන අන් තැනකට වහා පිටත් කළ යුතුයැයි කල්පනා කළහ. ඊට උපා යොදමින්
ඒ ඒ සෙනසුන්වල වෙන් වෙන්ව විදසුන් වඩන මහා සංඝරත්නයට මිනි හිස් කබලද
හිස් නැති සිරුරුද මවා දක්වති. යක්ෂා, රාක්ෂ ආදී නොමිනිසුන් ගේ
බියරකුසු හඬ ද නංවති. මෙසේ භික්ෂූන් වහන්සේ තැති ගැන්වීමට උත්සාහ කළහ.
එසේ කරදර වැඩිවීමෙන් උන්වහන්සේ ඒ ගැන කලකිරීමට පත්වූහ. සිල්වත් වුවද
භීක්ෂූන් වහන්සේ පුහුදුන් හෙයින් එහිදී පැවැති තත්ත්වය නොතේරිණි, එම
භික්ෂූන් වහන්සේලා පිරිස යළි බුදුපියාණන් වහන්සේ වෙත ගොස් අදාළ කරුණු
බුදුපියාණන් වහන්සේට සැළ කළ වේලෙහි හිරු දුටු අඳුර සේ උවදුරු බාධක
ඉවතලන කරණීය මෙත්ත සූත්‍රය වදාළසේක.
සූත්‍ර දේශනාව බිය උවදුරු සන්සිඳුවන මහා ඔසුවක් බඳුය. ඒ සූත්‍රය හදාරා
නැවත භික්ෂූන් වහන්සේ වඩින විට මෙත් සිතින් තෙමී නිවී ගිය සිත් පහළ වූ
දෙවිවරු ඉදිරියට පැමිණ පුදන්නට වූහ. සියලු බාහිර උවුදුරු දුරු වූයේ
එතැන් සිටය. උන්වහන්සේලා දෙවියන්ගේද සතුට දිනාගනිමින් විදසුන් වැඩීමෙහි
සිත යොමු කළහ. ඒ දුටු බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි වැඩ සිටි සේ ආලෝකය
පතුරුවා භික්ෂූන් වහන්සේ සිතු සිතිවිල්ල අනුව සිත දැඩිව හසුරුවා කෙලෙස්
මරු පැරදවූ යැයි වදාරා රහත් ඵලයෙහි පිහිටු වූ සේක. අපගේ සිරුර පිළිකුල්
සහගත බව බෞද්ධයා දැනුම්වත්ව සිටී. කෙස්, ලොම්, නිය දත් ආදි පිළිකුල් දෑ
හට ගැනෙන හෙයින් මෙන්ම ඒ එහි සමූහ වශයෙන් පවත්නා නිසාද නව දොරකින් දුඟද
වැගිරෙන නිසාද සිරු කය ලෙස සලකනු ලැබේ’.
මිනිසත් භවයක් ලැබීම දුර්ලභය. එවන් දුර්ලභ මිනිස් භවයක් ලබා ඇති අපි
සියලු දෙනාම වාසනාවන්තයෝ වන්නෙමු. මිනිස් ජීවිතයක් ලැබීම වාසනාවක්
මෙන්ම එහි යථාර්ථය වටහා ගැනීමට උත්සාහ කිරීමෙන් ජීවිතය තව තවත්
වාසනාවන්ත කර ගත හැකි වේ.
ලෞකික ජීවිතය ගත කරන මනුෂ්‍යයා ලෞකික සැප සම්පත් මගින් සතුටුවන අතරම
ආධ්‍යාත්මික වශයෙන්ද ජීවිතයට වටිනා යමක් ඒකරාශි කරගැනීමට බුද්ධිමත්ව
සිතිය යුතුය.
අනන්ත කාලයක් පුරා සසර ගමනේ සැරිසරන සත්වයාට ඒ භව ගමනේදී සුගතිගාමී විය
හැකි අයුරෙන් ජීවිත ගත කිරීමට උත්සාහ කළ යුතු වේ. ආධ්‍යාත්මික ජීවිතයක්
ගත කිරීමෙන් ලබන සැනසිල්ල උදාකර ගැනීමට හැකි වන්නේ නම් එය ජීවිතයේ ලද
හැකි මහඟු වාසනාවකි.
සියලු දෙනාටම යහපත උදාවේවා
තෙරුවන් සරණයි. |