Print this Article


පුරාණ දාගැබ් වරුණ

පුරාණ දාගැබ් වරුණ

“සිංහලෙන් දාගැබ යන නමින් හඳුන්වන ස්තූපය වූ කලී ලංකාවේ මෙන්ම බුරුමය, සියමය හා කාම්බෝජය යන දකුණූ ආසියානු අකෙªත් රටවලද පිහිටුවා ඇති සෑම බෞද්ධ විහාරයකම අත්‍යවශ්‍ය අංගයකි

ඉතිහාසයේ නැවත නැවත එක හා සමාන සිදුවීම් ඇති වන බව අප රටේ ඉතිහාසය මතු නොව ලෝක ඉතිහාසය ගැන වුවද විමසා බලන විට පෙනී යන කරුණකි. කාලයක් තිස්සේ විදේශීය පාලකයෙකුගේ ග්‍රහණයෙන් මේ ශ්‍රී ලංකා ධරණීතලය බේරාගත් දුටුගැමුණු මහ රජතුමා විසින් සිය විජයග්‍රහණය වෙනුවෙන් ඉදි කරන ලද දාගැබ මිරිසවැටිය දාගැබ බව වංසකතාවල ඉතාමත් පැහැදිලි ලෙස සඳහන් වන කරුණකි.

ඉන් අනතුරුව වසර දහස් ගණනකට පසු රුදුරු ත්‍රස්තවාදයෙන් ජනතාවගේත් පාලකයන්ගේත් ජීවිත රැසක්ම බිලිගත් අපේ සංවර්ධන කටයුතු වලින් සිදු කළ සියලුම අංශ විනාශ කළ ඒ රුදුරු ත්‍රස්තවාදියා 30 අවුරුදු යුද්ධයෙන් මේ රට සුන්නත්දුලි කළේය. ඒ මහා ත්‍රස්තවාදය විනාශ කරමින් තිස් අවුරුදු ත්‍රස්තවාදී මහ සටනට එරෙහිව විමුක්තිය ලබාගත් අප රටේ වීර ධීර රණවිරුවන්ට ඒ සඳහා නායකත්වය දුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බළකාය දිවි පුදා රැකගත් මේ මව් බිම වසර දහසකට ඉහත දී මුහුණ දුන් චෝල ත්‍රස්තවාදයේම කොටසක් ලෙසින් සැලකිය හැකිය.

මහ විජයබාහු රජතුමා – පුරාණ ජාතියේ පියා ජාතික විමුක්ති සටනේ පුරාණ හෙළ මහා රණවිරුවන් – සිරිසමන් විජේතුංග පිටු 50 (2014)

දුටුගැමුණු රජතුමා එදා විදේශීය ආධිපත්‍යයෙන් රට මුදා ගෙන එතුමාගේ ඒ විජයග්‍රහණය වෙනුවෙන් මිරිසවැටිය දාගැබ නිර්මාණය කළාක් මෙන් තිස් අවුරුදු ත්‍රස්තවාදය නිමා කිරීමෙන් ලද විජයග්‍රහණය නිමිති කරගෙන අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීම යටතේ සිදු කෙරෙන පළාත් නවයක දාගැබ් නිර්මාණයේ පළමු දාගැබ වූ “සඳහිරු දාගැබ” නිර්මාණයේදී එහි ධාතු නිධානෝත්සවය නොවැ. 23 වැනිදාට යෙදී අත. මේ පිළිබඳ විමසා බලන විට මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාට 1934 දී ආචාර්ය උපාධිය ප්‍රදානය කළ ලෙයිඩන් විශ්ව විද්‍යාලය ඒ සඳහා තෝරා ගන්නා ලද්දේ ඔහු විසින් ලියන ලද The Stopa in Ceylon (ද ස්තූප ඉන් සිලෝන්) යන නිබන්ධයේ මුල්පරිච්ඡේද හතරය. එම ග්‍රන්ථයේ අප රටේ ස්තූප නිර්මාණය ගැන මෙසේ සඳහන් කර ඇත.

“සිංහලෙන් දාගැබ යන නමින් හඳුන්වන ස්තූපය වූ කලී ලංකාවේ මෙන්ම බුරුමය, සියමය හා කාම්බෝජය යන දකුණූ ආසියානු අනෙකුත් රටවලද පිහිටුවා ඇති සෑම බෞද්ධ විහාරයකම අත්‍යවශ්‍ය අංගයකි. බොහෝ සෙයින් ස්තූපයක් පිහිටුවා ඇත්තේ පිටිසර බද වටපිටාව හොඳින් පෙනෙන කැලෑරොදින් ගහන වූ කඳු මුදුන් වැනි ස්වභාවික අලංකාරයෙන් යුත් ස්ථානවලය. (ලංකාවේ ස්තූපය මහාචාර්ය සෙනරත් පරණවිතාන සිංහල පරි.මහාචාර්ය ලීලානන්ද පේ‍්‍රමතිලක පි.1)

ජය ශී‍්‍ර මහබෝධින් වහන්සේ පෙනෙන මානයක මහමෙවුනා උයන නම්වූ පුරාණ රාජකීය පුණ්‍ය භූමියෙහි සඳහිරු සෑයේ වැඩකටයුතු මේ දිනවල ඉදිවෙමින් පවතින්නේ පැරණි ගැල්ගාල නම් වූ භූමියෙහිය. මෙහිදී විශේෂත්වය වන්නේ අපගේ රටේ රණවිරුවන්ගේම ශ්‍රමයෙන් මේ දාගැබ ඉදිවීමයි.

අනුරාධපුරයේ පමණක් නොව සමස්ත අප රටේම විශාලතම දාගැබ නිර්මාණය කළේ මහසෙන් රජතුමාගේ අනුග්‍රහයෙන් (ක්‍රිස්තු වර්ෂ 274- 301) රාජ්‍ය කාලයේ දීය. ඒ දාගැබ ජේතවනාරාම දාගැබය. අක්කර අටක භූමිභාගයක අඩි 400 පමණ උස්වූ අතර එවකට එය ලෝකයේ තුන්වැනි විශාලතම ස්මාරකය විය. එසේ වුවද ගඩොලින් කළ එම වර්ගයේ අවශේෂ ස්මාරක අතරේ ජේතවන දාගැබ ලෝකයේ දැනට නටබුන්ව පවතින (දැන් ප්‍රතිසංස්කරණය කර ඇත) උසම පූජනීය ගොඩනැගිල්ල වේ. (පුරාණ අනුරාධපුරය –මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 122 (1995) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි)

මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ජේතවනාරාම දාගැබ සංරක්ෂණය කිරීමේදී මෙම දාගැබේ මළුයෙහි කැණීමක් කරන ලදී. ඒ කැණීමේදී මෙම දාගැබ නිර්මාණය කර ඇත්තේ දැනට පිහිටි භූමියෙහි සිට අඩි 30 යටින් පිහිටා ඇති මාතෘ පාෂාණය මත බව පුරාවිද්‍යාඥයින්ට හඳුනා ගැනීමට ලැබීම ද සැබවින්ම වැදගත් වන්නේය. අනුරාධපුරයේ දාගැබ් ඒ වටා මහා වැව් පද්ධතියක්ද ඇතත් කිසි දිනක ගිලා බැසීමක් හෝ පිපිරීමක් සිදුවී නැත්තේ මේ නිසා බව මෙහිදී අවධාරණය කළ යුතුව ඇත.

ජේතවනාරාමය ගැන සඳහන් කරන විට තවත් විශේෂ කරුණු කීපයක් අවධාරණය කළ යුතුව ඇත.

ජේතවනාරාමය දාගැබ මිසරයේ ගීසා පිරමීඩ දෙකකට පමණක් උස අනුව දෙවැනිය. මේ දාගැබ සෑදීම සඳහා පිළිස්සූ ගඩොල් 93,330,000 යොදා ගෙන ඇත. පොළෝ මට්ටමේ සිට අඩි 28 යටට මෙහි පාදම සාදා ඇත. ක්‍රි.ව. 4 වන සියවස වන විට මේ රටේ වාස්තු විද්‍යාඥයින්ගේ හා ඉංජිනේරුවන්ගේ දක්ෂතාවය කෙබඳුද යන්නත් මෙයින් ප්‍රකාශ වේ.(ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය අංක 1 සිරිසමන් විජේතුංග පි. 352 (2013)

පුරාණ ලංකාවේ මහින්දාගමනය සිදුවීමට පෙර (ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට පෙර) දාගැබ් දෙකක් පිළිබඳව සඳහන් වේ. මේ ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන විද්වතා මෙසේ සඳහන් කරයි.

අනෙක් ලාංකික ස්තූප දෙකක් පිළිබඳ විස්තර වන පුරාවෘත්තයන්හි එම ස්තූප ථූපාරාමයටත් වඩා පැරණි බව කියැවේ. මින් එකක් මහවැලි නදිය කඳු අතරින් මතු වන ස්ථානයට නුදුරු ගං තෙර පිහිටි දැනට අලුත් නුවර නමින් හැඳින්වෙන මහියංගන දාගැබ වේ. මහාවංසයෙහි දැක්වෙන පුරාවෘත්ත අනුව මෙම ස්ථානයේ පළමුවෙන්ම ස්තූපය පිහිටුවන ලද්දේ සමන්තකූටය වාසභවනය කොටගත් සමන් දෙවිඳුන් විසිනි. බුදු බව ලබා අට මසක් ගෙවූ පසුව ශාස්තෘන්වහන්සේ ලක්දිවට වැඩම කළ පළමු ගමනේදී එම දෙවිඳුන් හට දෙන ලද කේශධාතුන් තැන්පත් කිරීම පිණිස එය කරවන ලදී. දහතුන් වන සියවසට අයත් සිංහල ග්‍රන්ථයක (පූජාවලිය) දැක්වෙන අනෙක් පුරාවෘත්තයක් අනුව ලක්දිව නැගනෙහිර වෙරළේ දැනට තිරියාය නමින් හැඳින්වෙන ස්ථානයෙහි පිහිටි ස්තූපය තපස්සු සහ භල්ලුක යන වෙළෙඳුන් දෙදෙනා විසින් නිමවන ලදී. ඔවුන් දෙදෙනා විසින් බුදුරජාණන් වහන්සේට දානය පුජා කළ අවස්ථාවේදී උන්වහන්සේගෙන් ලැබගත් කේශ ධාතුන් තැන්පත් කොට එහි මෙම ස්තූපය ඉදිකළ බව කියැවේ. තිරියායේ ගිරිහඩු සෑය අසළ තිබී සොයාගත් සත්වන සියවසට අයත් සංස්කෘත ශිලා ලේඛනයකින් (Epigraphia Zeylanica .vol.IV 154 පිටුව ) ද ඉහත කී පුරාවෘත්තය අනුමත වේ.

(ලංකාවේ ස්තූපය මහාචාර්ය සෙනරත් පරණවිතාන – සිංහල පරිවර්තනය මහාචාර්ය ලීලානන්ද පේ‍්‍රමතිලක පි.4 (1963)

ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් ලංකාවේ සාදන ලද ප්‍රථම දාගැබ ලෙසින් සැලකෙන්නේ අනුරාධපුරයේ මිහිඳු මහ රහතන් වහන්සේගේද සහාය ඇතිව දේවානම්පියතිස්ස රජතුමා විසින්, සාදවන ලද ථූපාරාමය දාගැබය. එම දාගැබ ඒ ප්‍රදේශයේ උසම ස්ථානයේ සාදන ලද බව අපට (මේ ලේඛකයාට) දැක ගන්නට ලැබුණේ උසම දාගැබ වූ ජේතවනාරාමය දාගැබට උඩට නැගීමට තිබූ සෝපානයේ ඉහළට ගිය අවස්ථාවේදීය. උත්තිය රාජ යුගයේදී මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන්පාන ලද්දේ අනුරාධපුරයේය. එම ආදාහනයෙන් ඉතිරි වූ ධාතුන් වහන්සේලා තැන්පත් කොට මිහින්තලේ දාගැබක් කරවූ බව ද වෙනත් පුදබිම් වලද එම මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට දාගැබ සාදන ලද බවද එහි සඳහන් වේ.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රිත්කයේ රජගල නම් පුදබිමෙහිද දාගැබක් සාදන ලද බව ඒ දාගැබ අසළ පර්වතයක බ්‍රාහ්මි අක්ෂරයෙන් ලියා ඇත. යෙ ඉමදීප පටමය ඉඩික තෙර මහිද තෙරහ තුබෙ” යනුවෙන් ඒ ගිරි ලිපියේ සඳහන් වන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ මෙන්ම ඒ සමඟ වැඩම කළ ඉට්ටිය තෙරුන්ගේ ධාතුන් වහන්සේලාද එහි තැන්පත් කළ බවය. එම ශිලා ලේඛනය මහාචාර්ය සෙනරත් පරණවිතාන විද්වතා විසින් කියවා අර්ථ දක්වා තිබේ. (Inscripions of Ceylon Prof Senarat Paranavitana vol.I chap 6 C-1 1970)වල්ලිපුරම් රන්සන්නස සහ හෙළ උරුමය සිරිසමන් විජේතුංග පි. 82 2013)

අනුරාධපුරයේ සාදනලද (ජේතවනාරාමයට පෙර) දාගැබ ලෙසින් (වළගම්බා රජ යුගයේදී) අභයගිරි දාගැබය. මෙම දාගැබ රුවන්වැලිසෑයට වඩා විශාල නමුදු ජේතවන දාගැබට වඩා කුඩාය.

අනුරාධපුර යුගයේදී දුටුගැමුණු රජු සාදවන ලද විශාලතම දාගැබ රුවන්වැලිසෑය (රත්නමාලි) දාගැබ නමින් හැඳින්වෙන මහාථූපය ලෙසින් මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සඳහන් කරයි. ඊට හේතුව ඒ වන විට දුටුගැමුණු රාජ යුගය වන විට ලංකාවේ තිබූ මහාථූපය නිසාය. මහාවංසයේද මහාථූපය නමින් රුවන්වැලිසෑය හඳුන්වා තිබේ. සිංහල රාජධානි සමයෙන් පසුව 19 වන සියවස වන විට අනුරාධපුරය මහ ඝන වනාන්තරයෙන් වැසී තිබුණි. මේ නිසාම ඒ කාලයේදී (19 සියවස) අනුරාධපුරයේ මහා දැගැබ් දෙක වූ අභයගිරිය සහ ජේතවනාරාමය යන නම් දෙක මාරුවීමෙන් භාවිතා කළ බව ඒ කාලයේ ලියන ලද පුරාවිද්‍යා පාලන වාර්තාවලින් පැහැදිළි වේ. පසුව මේ පිළිබඳ ශිලා ලේඛන හා වෙනත් සාක්ෂි (මහවංස සාක්ෂි) අනුව මෙම නාමයන් දෙක නැවත යථාපරිදි භාවිතයට පැමිණ ඇත.

දාගැබ් ගැන සඳහන් කරන විට තවත් දාගැබ් විශේෂයක් ඇති බවද මෙහිදී සඳහන් කළ යුතුව ඇත. දාගැබ යනු ස්මාරකයක් බව සැබවි.බෞද්ධ දාගැබ්වලට වැඳුම් පිදුම් කිරීමේ එම සිරිත මහින්දාගමනයට පෙර සිට තිබූ බව ඉහත සඳහන් මහියංගන හා ගිරිහඩුසෑය (තිරියාය) සටහන්වලින් පැහැදිලි වේ.

රජ කෙනෙකු උපන් ස්ථානයකද දාගැබක් චේතියක් සාදා ඇත. රජකෙනෙකු ආදාහනය කළ ස්ථානයකද දාගැබක් සාදා ඇත. රජ කෙනෙකුගේ (පොළොන්නරු යුගයේ) මව්තුමිය ආදාහනය කළ ස්ථානයේද දාගැබක් සාදා ඇත. පිළිවෙළින් සඳහන් කරතොත් මහා පරක්‍රමබාහු රජතුමා උපන් ස්ථානය තිඹිරි ගෙය මැදිකර (ඒ රජු විසින්ම පසුව) දැදිගම කොටවෙහෙර (සුතිසර චේතිය) සාදවා ඇත. දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්ථානය (අනුරාධපුර) ද දාගැබක් සාදා ඇත. එය දකුණූ දාගැබ ලෙසින් ප්‍රකටය. 19 වන සියවස වන විට එය එළාර සොහොන නමින් වැරදි ලෙස කළ භාවිතය යළි පැහැදිලි කළේ පුරාවිද්‍යා කැණීමකින් පසුව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසිනි. මහපැරකුම්බා රජුගේ මෑණියන් ගේ දේහය ආදාහනය කළ ස්ථානයෙහි යුදඟනාව දාගැබ ඒ රජු විසින්ම සාදවන ලදී.