Print this Article


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 14

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 14

බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමා ඇතුළු පිරිසට දාන කථාදිය පිළිවෙලින් දම් දෙසූ සේක. ඒ ඇසීමෙන් රජු සහිත මහා පිරිසක් සෝවාන් වූහ. තවත් පිරිසක් උපාසක වූහ.

රජගහනුවරට වැඩම කිරීම

ඉක්බිති බිම්බිසාර රජතුමා තමා රජවීමත්, ඉන්පසුව තමාගේ රටට බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමත් උන්වහන්සේ ඇසුරු කිරීමටත්, බණ ඇසීමටත්, ධර්මාවබෝධය කිරීමත් ආදී බලාපොරොත්තු පහක් තිබුණු බවත් එය දැන් මුදුන් පත්ව ඇති බවත් කියා දැන් තිසරණ සරණ ගිය උපාසකයෙකු බව ඒ තුළින් තමන් සතුටු වන බවත් පවසා පසුදා දානයට වඩින ලෙස ආරාධනා කර වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

රජගෙදර දානය සහ ප්‍රථම ආරාම පූජාව

බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා ද පසු දා පිරිවරාගෙන තුන් ගව්වක් දුර ගෙවා ගෙන රජ මාලිගාවට යන්නට පිටත් විය. භාග්‍යවතුන් වහන්සේ බැලීමට අලුයම සිට බලා සිටි පිරිසෙන් මුළු නුවර ම ඇලළී ගියේය. මේ වේලාවෙහි රූපාලංකාරයෙන් යුත් තරුණයෙක් බුදු ගුණ ගී කිය කියා භාග්‍යවතුන් වහන්සේට පෙරටුව මඟ අවසර ඇති කරමින් ගියේ ය. බිම්බිසාර රජුගේ ගෘහයට ප්‍රවේශයේ දී භාග්‍යවතුන් වහන්සේ දැක බොහෝ ජනයෝ පැහැදී ගියහ. චිත්‍රා සිටුදූ බිම්බිසාර රජුගේ පුරෝහිතයාගේ දූ සෝමා, ශුක්ලා හා ශුභා යන බොහෝ ස්ත්‍රීහු ද භාග්‍යවතුන් වහන්සේගේ දර්ශන මාත්‍රයෙන් පැහැද උපාසිකාවන් වූවාය. (පසුකලක මොවුන් පැවිදි වූවාය.) මිහිරියට බුදුගුණ ගායනා කරන ලද තරුණයා බොහෝ ජනතාව අතර සිට බුදුරජාණන් වහන්සේට මාර්ගය විවර කරන ලදී. රජු ඇතුළු පිරිස ආහාර පානයෙන් සංග්‍රහ කළේ ය. දන් වළඳා අවසන් වූ පසුව රජතුමා පසෙක හිඳ ගනිමින් ස්වාමිනි, මට දැන් බුදුන් දහම් සංඝයාගෙන් තොරව ඉඳීමට නොහැකිය. එමනිසා වේලාවෙහීත් අවේලාවේහීත් එන්නෙමි. ලට්ටිය වනය රජගෙදරට බොහෝ දුරින් පිහිටා ඇත. එම නිසා වේළුවන උයන ඉතා ළඟින් පිහිටා ඇත. එම නිසා මම එම උයන ඔබ වහන්සේට පූජා කරමි. එම පූජාව පිළිගනු මැනවි. මෙසේ කියා රන් කෙන්ඩියෙන් බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර හස්තයෙහි දිය වත් කොට ආරාමය පරිත්‍යාග කළේ ය. බුදුරජාණන් වහන්සේ විහාර දීමේ අනුහස වදාරා භික්ෂු සංඝයා සහිතව වේළුවනයට වැඩි සේක. ඉන් පසුව අනුජානාමි භික්ඛවෙ ආරාමං මහණෙනි ආරාම පිළිගැනීමට මම අවසර දෙමියි වදාළ සේක.


රජගහනුවරට පිවිසෙන දොරටුව

 

බිම්බිසාර රජු හා පිරිස උපාසකයන් වීම

වේළුවනාරාම පූජාව සිදු කළ දා රාත්‍රියේ නින්දට ගිය රජතුමා ඉදිරියේ මහා හඬින් හඬා වැළැපෙන ප්‍රේත සමූහයක් රජතුමාට දර්ශනය විය. රජතුමා පසු දා උදෑසන ම ගොස් ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. රජතුමනි ඒ ඔබේ බොහෝ කලකට පෙර නෑ සමූහයා එම පිරිස සංඝයාට වෙන්කළ දන් සොරාකෑම නිසා ඔවුන් නිරයේ ඉප දී දුක් විඳිති. ඔවුන් ප්‍රේත යෝනියේ ඉපිද බුද්ධාන්තර ගණනක් දුක්විඳ දැන් ඔවුන් ඔබතුමා හමුවට පැමිණ පින්පෙත් ඉල්ලා සිටී. එමනිසා එම ප්‍රේතයන් නමින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහා දන් පූජා කරමින් වස්ත්‍ර පූජාවක් සිදු කරන ලදී. ඉන්පසු ඒ ප්‍රේත සමූහයාට දිව යස ඉසුරු ලබාගන්නට හැකිවිය. දන් වළඳා අවසානයේ භාග්‍යවතුන් වහන්සේ රජු හට අනුමෝදනා බණ වශයෙන් තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කරන ලදී. එදා පටන් මිය ගිය උදවියට පින් දීමේ කටයුත්ත ආරම්භ විය.

මගධ ජනපදය

මගධ රට බුද්ධ කාලයේ දී බෙහෙවින් බුදුදහම පැතිර ගිය සුන්දර ජනපදයකි. මගධ රට උතුරෙන් ගංගා නදිය ද නැගෙනහිරින් චම්පා නදිය ද නිරිතෙන් වින්ධ්‍යා කඳුවැටිය ද බටහිරින් සෝනා නදිය ද යන මේවා මගධ ජනපදයේ සීමාවෝයි.

රජගහනුවර මගධ රට අගනුවරයි. එම ජනපදය ගංගා නදියට දකුණෙන් යොදුන් පහක් පමණ ඈතින් පිහිටා ඇත. එම ජනපදය අතීතයේ වසුමතී යන නාමයෙන් ද හඳුනාගෙන ඇත. වසු නම් රජෙකු විසින් මෙය ඉදිකරන ලදැයි පෙනේ. මෙය නගරයක් හැටියට විශාල ලෙස නිම කළේ මහා ගෝවින්ද පඬිතුමාය. මගධ පුර, ගිරිව්‍රත පුර යන තවත් නම් දෙකකින් ද, මේ ජනපදය හඳුන්වා ඇත. ගාලක් වටේ බැඳි වැටක් මෙන් නුවර හාත්පස වේභාර, වේපුල්ල, ගිජ්ජකූට, ඉසගිලී, පාණ්ඩව යන පර්වත පහ පිහිටියේ ය. මේ පර්වත පහ හින්දු ග්‍රන්ථයන්හි අද සඳහන් වෙන්නේ වයිභාර, විපුල, රත්න, සෝණ, උයද යන නම්වලින් හඳුනාගෙන ඇත. රාජගෘහ – රජගහ වී යැයි සඳහන්ය.


පිප්ඵලී ගුහාව

කුසතණ බෙහෙවින් වැඩුණු නිසා කුශාගාර පුර යනුවෙන් හැඳින්විණි. ගිජුකුළු පව්වෙහි හැර රජගහනුවර වටා පිහිටි සෙසු පර්වතවල භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් ගණනාවක් වැඩවාසය කරන ලදී. එසේ වැඩ වාසය කරන ලද ස්ථාන මෙසේ ය. වෝරපාතය, ඉසිගිළි පර්වතය, කාළසිලාව, වේහාර පර්වතය, සත්තපර්ණි ගුහාව, පබ්හාරය, ගෝතම කන්දරය, තින්දුක ගුහාව තපෝදා කන්දරය ආදී ස්ථානවල වැඩ වාසය කරන ලදී. තපෝදාරාමය යනු දිය උල්පත් නමයකින් පොළොවෙන් උණු දිය ගලායන නිසා හැදූ නමකි. බුදුරජාණන් වහන්සේ ද සීතල සමයෙහි පැන් පහසුවීම සඳහා මේ ස්ථානයට වැඩම කර ඇත. එහි ඇති ඉන්සාල ගුහායේදී භාග්‍යවතුන් වහන්සේ සක්කපඤ්හ සූත්‍රය භික්ෂූන් වහන්සේලාට දේශනා කර ඇත.

දෙවෙනි තෙවෙනි හා සිව්වන සතළොස්වන හා විසිවන වස් කාලයන්හි බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ වාසය කර ඇත.

රජගහ නුවර අද හඳුන්වන්නේ රාජ්ගිර් (අචණඨඪප) යනුවෙනි.

රජගහනුවර ඇති රමණීයත්වය බුදුරජාණන් වහන්සේ (දීඝ නිකාය 2 කාණ්ඩය තුළ ) එහි සුන්දරත්වය දේශනා කර ඇත.

රජගහනුවර සුන්දරත්වයෙන් අනූනය. මනරම්ය. ගිජ්ජකූට පර්වතය හා සප්තපර්ණී ගුහාව කොතරම් දර්ශනීය දසුනක් ද? ලෙහෙනුන්ට හා මොණරුන්ට කෑම දුන් වේළුවනයේ තුරු සෙවණ සිත සුවපත් කරයි. ජීවක අඹ වනය සුන්දරය.නගරය වටා පිහිටි ඉසිගිලි, වේහාර වේපුල්ල පාණ්ඩය ආදී කඳු පෙළ නෙතට හරිත රසඳුනකි. රජගහනුවර සිතට සැනසීම දෙන සුන්දරත්වය පිරුණු නගරයක් වෙයි. රජගහ නුවර බෞද්ධ ඔබට දැක ගත හැකි ස්ථාන රාශියක් අත. අපි බුද්ධ භූමි වන්දනා තුළින් ඔබට ඒ ඓතිහාසික විස්තරද අසමින් මෙතැන් සිට රජගහනුවර අසිරිය විඳ ගනිමු.

රජගහනුවර ඇති ගමන් මාර්ග

බුද්ධගයාවේ සිට කිලෝමීටර් 80 පැටිනා (පාඨලීපුත්‍ර පැළලුප් නුවර) සිටි කිලෝමීටර 102 රජගහනුවර සිට නාලන්දාවට කිලෝමීටර් 11 කි. ළඟ ම ඇති දුම්රිය ස්ථානය දිල්ලි හවුරා ප්‍රධාන දුම්රිය මාර්ගයේ භක්ත්‍යර්පුර් දුම්රිය ස්ථානයි. රජගහ නුවර සිට කිලෝමීටර් 54 කි. නව රජගහ නුවර ද නමින් දුම්රිය ස්ථානයක් ඇත. රජගහනුවර සිට කිලෝමීටර් 100ක් දුරින් ගුවන් තොටුපලක් ද පිහිටා ඇත. එය පැටිනා ගුවන් තොටුපලයි.බුද්ධගයාවේ සිට රජගහනුවරට නිතර බස් සේවාවක් ඇත.

තවත් කොටසක් උඳුවප් පුර අටවක පොහෝදා

නොවැම්බර් 29 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 13