Print this Article


පින්කමක ප්‍රාර්ථනාව

පින්කමක ප්‍රාර්ථනාව

සුමනා කුමරිය පසේනදි කොසොල් රජතුමාගේ සහෝදරියකි.ඇය සත්හැවිරිදි වියේදීම ජේතවනාරාම පූජාවට සහභාගි වී සෝවාන් ඵලයට පත් වූ බුද්ධ ශ්‍රාවිකාවකි. දිනක ඇය සවස්යාමයක බුදුරදුන්, හමුවී මෙබඳු ප්‍රශ්නයක් ඇසුවාය. ‘භාග්‍යවතුන් වහන්ස, යම් බුද්ධ ශ්‍රාවකයන් දෙපළක් සම ශ්‍රද්ධාවෙන්ද සම සීලයෙන්ද යුතුව භාවනාවද පුරුදු කෙරෙති.

මේ දෙදෙනා වහන්සේලා අතර එක් භික්ෂුවක් තමන්ට හැකි පමණින් දන්දීම ද සිදු කරයි. අනෙක් භික්ෂුව සීල භාවනා පමණක් පුරුදු පුහුණුූ කරයි. භාග්‍යවතුන් වහන්ස මේ දෙදෙනා මරණින් පසු ස්වර්ගයේ උපත ලදොත් මේ දෙදෙනා අතර වෙනසක් තිබේද ? එසේම මේ දෙදෙනා මනු ලොව ඉපදුනොත් වෙනසක් තිබේද ? එසේම දෙදෙනා පැවිදිව රහත් ඵලයට පත්වු විට දෙදෙනාගේ වෙනසක් තිබේදැයි විමසුවාය. සුමනාවෙනි , එසේය. එබඳු දෙපළක් දෙව්ලොව උපන් විට දෙවියන් අතර ආයු, වර්ණ, සැප ,බලයෙන් දන් දුන් අය මහේශාක්‍ය වන්නේය. අනෙක් දේවිය අල්පේශාක්‍ය දෙවියකු වන්නේය. මිනිසුන් අතර උපන්නත් දෙදෙනා අතර මෙබඳුම වෙනසක් ඇතිව උපදිති. දන් දුන් තැනැත්තේ යස ඉසුරින් භවභෝගයෙන් සම්පූර්ණ කෙනෙක් වන්නේය. දන් නොදුන් තැනැත්තෝ අල්පභෝගි ආයු ,වර්ණ, සැප ආදියෙන් දුර්වල කෙනෙකු වන්නේය. භාග්‍යවතුන් වහන්ස, රහත්වුවත්, මේ වෙනස්කම දැකිය හැකිද? එසේය සුමනාවෙනි, මේ දෙදෙනා අතර සිව්පස ලැබීම දන් දුන් තැතැත්තාට බොහෝ පහසුවෙන් ලැබේ’. පෙර දන් නොදුන් තැනැත්තා මේ සියල්ල දුෂ්කරව ලැබිය යුතුය.

භාග්‍යවතුන් වහන්ස, මේ දෙදෙනා ලබන්නාවු රහත් භාවයේ වෙනස් කමක් තිබේද?. නැත සුමනාවෙනි ඔවුන් දෙදෙනා විසින් ලැබූ අතීතයෙහි වෙනසක් නැත්තේය. රහතුන් වහන්සේගේ ව්‍යවහාර ජීවිතය භෞතික සැප සම්පත්හි ලැබීමේ, සිවුපසය ලැබීමේ වෙනසක් මිස උන්වහන්සේලා ලැබූ නිවනෙහි රහත් බවෙහි වෙනසක් නැතිබව අප මෙයින් වටහාගත යුතුය. එසේනම් දෙවියන්ටත්, මිනිසුන්ටත්, පැවිද්දන්ටත් දානාදි පින්කම් උපකාරි වේ යන සුමනාගේත් බුදුරජාණන් වහන්සේගේත් ප්‍රකාශනය සමාන විය. දෙව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුස්සනි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. යනුවෙන් සුමනා කුමාරි සූත්‍රයෙහි මේ බව දැක්වේ.

සුමනා කුමරිය මෙබඳු ප්‍රශ්නයක් නැඟීමට හේතු වු අපූරු සිද්ධිය අංගුත්තර නිකාය අට්ඨකථාවෙහි විස්තර වේ. පෙර බුද්ධෝත්පාද කාලයක මිත්‍ර භික්ෂූන් දෙපළක් විසූහ. දෙදෙනාම සම ශ්‍රද්ධාවෙන් යුතුව මනාව ශීලය ආරක්ෂා කරගනිමින් භාවනා වඩමින් පැවිදිවත පිරූහ. මේ දෙදෙනාගෙන් එක් භික්ෂුවක් වේලාසනින් පිණ්ඩපාතය සඳහා ගෙපිළිවෙළින් වැඩමකොට තමාගේ පමණට වඩා පාත්‍රය පුරා පිණ්ඩපාතය පුරවාගෙන අවුත් අඩු පාඩු ඇති භික්ෂූන්ට එම ආහාර පූජා කළේය. උන්වහන්සේ ඉතිරිවූ පිණ්ඩපාත්‍රය වැළදූහ. දිනපතා මෙබඳු සිරිතක් අනුගමනය කරන තම මිතුරු භික්ෂුව අනෙක් භික්ෂුවට අවවාද කළේ දන්දීමට වඩා තමාගේ සසර කෙටිකර ගැනීමට නිතර භාවනාවටම සිත යොමු කරන ලෙසයි. දන්දීමෙන් ලෞකික පිනක් ලැබුණත් ඊට වඩා භාවනා වැඩීම ඍජුවම කෙලෙසුන් ප්‍රහීණ කිරීමට හේතුවන බව භාවනාවට යොමුවූ භික්ෂුවගේ උපදේශය විය. මෙසේ දෙදෙනාම දිගු කලක් සිල්වත්ව පැවිදි දම්පුරා මරණින් මතු ස්වර්ගයේ උපත ලදහ. දන් දුන් භික්ෂුව කර්මානු රූපව මහේශාක්‍ය දෙවියකු වු අතර සීල භාවනාව පමණක් පුරුදු කළ භික්ෂුව අල්පේශාක්‍ය දෙවියකු විය.

මෙසේ බුද්ධෝත්පාද කාලයක්ම ඔවුන් දෙදෙනා දිව්‍ය සැප විඳිමින් සිට අප බුදුරදුන් දවස දෙව්ලොවින් චුතව කොසොල් රාජ මාලිගාවේම එකම දිනයක උපත ලදහ. පෙර දන් දුන් පිනෙන් එක් අයෙක් රාජ කුමාරයකු ලෙසත් දන් නොදුන් දෙවැන්නා එකම මාලිගාවේ දාසියකගේ දරුවකු ලෙසත් උපන්නාහ. එකම දවසේ උපන් බැවින් මේ දෙදෙනා එකම යහන් ගබඩාවක නිදි කැරුණි. රජතුමා සුව පහසු යහනාවකත් දාසියගේ පුතා පැදුරකත් හොවනු ලැබුණි. මෙසේ දෙදෙනාම යහතින් වැඩෙද්දීි දිනක් රජකුමරාට අතීත අනුස්මරණ ඤාණය පහළ විය. තමන් පෙර දෙව්ලොව සිටි බවත් ඊටත් පෙර භවයේ පැවිදිව සිටි බවත් තමන් සමඟ එකම පැවිදි දම් පිරූ එකම දෙව්ලොව උපත ලැබු තමාගේ කල්‍යාණ මිත්‍රයකු සිටිබවත් දැන් ඒ මිතුරා දැන් කොහි වෙසෙත්දැයි නුවණින් විමසුවේය. රජකුමරා, මෙසේ සිහිකරද්දි එම මිතුරා තමා වෙසෙන යහන් ගබඩාවේ පැදුරක නිදන බව දර්ශනය විය. තමාට දුන් අවවාදයද සිහිවී සිනහවක් මුවඟට නැඟුනි. මේ අතර දාසියගේ පුතාටත් පෙර ජාතීන් සිහිකරන නුවණැස පහළවිය. තමාත් සමඟ එකට පැවිදි දම් පුරා එකට දෙව්ලොව බැස මිත්‍ර දම් පැවැත්වු තම මිතුරා දැන් කොතනකදැයි සිතා බැලූවිට ඔහු මේ කුටියේම රාජකීය යහනාවක සිටින බව දුටුවේය. රජ කුමරා දාසියගේ පුතා අමතමින් මෙසේ කීවේය.

අනේ ! අනේ !!! මිතුර මට සීල, භාවනා පමණක් පුරුදු කරන්නැයි උපදෙස් දුන් ඔබ පැදුරක් හොයා සිටිනවා නේදැයි සිනා සෙමින් විමසුවේය. එවිට දාසියගේ පුතා කුමරු අමතා රාජකුමාරයෙක් සම්පත් ගැන ඔතරම් සිතන්නට එපා! ආඩම්බර වෙන්න එපා! ඔබත් මමත් සතරමහා භූතයන්ගෙන් මයි සැදීි තිබෙන්නේ ඔය යහනාවත්, මේ පැදුරත් දෙකම ඒ සතරමහ භූතයන්ගෙන්ම සැදුණක් අප දෙදෙනා අතර අමුතු වෙනසක් නැහැ. භාවනාව බහුලව පුරුදු කළ බැවින් මේ කුමරා භෞතික සැප සම්පත් පිළිබඳව දුටුවේ ඒ ආකාරයටයි. රජකුමරුවෙකු ඉපදීම හෝ දාසියකගේ දරුවකුවීම අතර වෙනසක් මේ ප්‍රඥාවන්ත දරුවාට නොහැඟුනි. ඔවුන් දෙදෙනාගේ මේ අපුරු කථාබහ සුමනා කුමරිය හොඳින් අසා සිට ඒ ගැන කිසිවකුට නොකීවේ මෙබඳු සිදුවීමක් අනෙක් අය විශ්වාස නොකරාවියයි සිතූ නිසා විය හැක. ඇය බුදුරදුන් හමුවී එබඳු ප්‍රශ්නයක් විචාළේ මේ සිදුවීම මුල්කර ගනිමිනි. මෙම කථාවස්තුවෙන් හා සුත්‍ර දේශනාවෙන් අප වටහාගත යුතු කරුණුූ රැසක් වේ. අනන්ත වු සසරෙහි කෙළවරක් නැතිව භව ගමනක යෙදෙන සත්වයාට කවර භාවයක උපත ලදත් දාන ආදී පින්කම් අත්‍යවශ්‍යය. සත්වයාට ආයු, වර්ණ සැප, බල, ප්‍රඥා ලැබෙන්නේ දානමය පුණ්‍ය ක්‍රියාවන්හි ප්‍රතිඵල වශයෙනි. දානාදි පින්කම් සිදුකොට කරන ප්‍රාර්ථනාවන් පිළිබඳව අප පරිස්සම් විය යුතුය. එබඳු පින්කම්වලදි නොසුදුසු ප්‍රාර්ථනා නොකළ යුතුය. ස්වර්ණ තිලකා මල් පූජාකොට මිනිසුන් උමතුකරවන රූපශ්‍රීයක් තමාට ලැබේවායි ප්‍රාර්ථනා කළාය. ඒ ප්‍රාර්ථනාවේ ප්‍රතිඵලය වූයේ ඇය එබඳු රූප ස්වභාවයක් ලබා රාජ කුමාරවරු කිහිප දෙනෙකුටත් ගුරුවරයකුටත් මරණය ළඟා කිරීමකි.

මේ නිසා පින්කම් කොට තමාට හා අනුන්ට දුක්දෙන ප්‍රාර්ථනා නොකළ යුතුය. ඒ ගැන ප්‍රඥාවෙන් සිතිය යුතුය.පින්කම් කරන්නාට ඒවා නොපැතුවත් භවභෝග සම්පත් ලැබෙන නිසා අමුතු ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැත. එබඳු ලෞකික ප්‍රාර්ථනාවන්ගෙන් කෙලෙස් වැඩීම සිදුවේ. එයින් සසර දුක් වර්ධනය වේ. මා විසින් කරන ලද මේ පුණ්‍යකර්මයේ බලයෙන් මට සසර දුකෙන් නිවීමට හැකිවේවා. ඉධංමේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හොතු මෙබඳු ප්‍රාර්ථනාවක් සිදුකිරීම පුද්ගලයාගේ ප්‍රඥාව අනුව සිදුවන්නකි.

දැහැමින් උපයා සපයාගත් දහඩිය මහන්සියෙන් හරි හම්බ කළ දෙයින් කෙරෙන පින්කම් මහත් ආනිසංස ගෙන දෙන්නේය. එහෙත් අධර්මයෙන් වුවද ලැබු දෙයක් කෙනෙක් ප්‍රඥාවෙන් යුතුව දෙයිනම් එබඳු පුණ්‍ය ක්‍රියාවක නිවන් ලැබීමේ හැකියාවක් ඇති බව බෞද්ධ සාහිත්‍යයෙන් සනාථකොට දැක්විය හැක. කෙනෙක් අකුසලයට බරවන්නේ අවිද්‍යාව හෙවත් නොදැනුවත්කම නිසායි. නැතහොත් පරිසරයේ බලපෑම, හෝ ආශ්‍රය නිසයි. එබඳුමිච්ඡාජීවයෙන් දිවි ගෙවන අවාසනාවන්ත කෙනෙකුට වුවද තමාට ජීවත්වීමට මෙබඳු පව්කාර රැකියාවක් කරන්නට ලැබුණායයි සිතීමට ඉඩක් ඇත. එබඳු කෙනෙකුට දානයක් දීමෙදී තමා අධර්මයෙන් උපයාගත් දෙයින් පින්කමක් කළ හැකිය. එය පැහැදිලි කෙරෙන කථාවස්තුවකි “පුතිගත්ත තිස්ස හිමියන්ගේ කථාවපූතිගත්ත තිස්ස පෙර කුරුල්ලන් අල්ලා අලෙවිකරණ කුරුළු වැද්දෙකි. විකුණා ගැනීමට නොහැකි කුරුල්ලන් නිවාඩු දවස් එක දිගට පැමිණිවිට එම කරුල්ලන් ගේ පියාපත් කඩා දමා පසුදා මසට විකුණේය. තමා කරන්නේ පවක් බව දන්නා ඔහු දිනක් පසේ බුදුවරයකු පිණ්ඩපාතේ වැඩිය මොහොතක දානයක් පිළිගැන්වූයේ “ස්වාමීනි, මා විසින් දෙන මේ දානයේ බලයෙන් මට ඔබ වහන්සේ පසක්කරගත් සත්‍යය පසක්කර ගැනීමට ලැබේවා! යන ප්‍රාර්ථනාවෙනි, මොහු අනන්ත කාලයක් අහසේ හා තිරිසන් ගතීන්හි උපත ලබා දුක් විඳ අප බුදුරදුන් දවස මිනිස් බවක් ලබා පැවිදි විය. පැවිදි වු පසුද ශරීරය පුරා ගෙඩි දමා ඒවා පුපුරා මුළු ශරීරයම කුණුවී ඕජස් ගලන්නට විය. කිසිවකු ළංනොවු ඔහුට බුදුරජාණන් වහන්සේ ඇප උපස්ථාන කොට අවසාන මොහොතේ බුදුරදුන් පැහැදිලි කළ ධර්මය අසා රහත්භාවයට පත්විය. මේ නිසා පින්කමක ප්‍රාර්ථනාවද ඉතා වැදගත්වන බව සිතට ගත යුතුය.