Print this Article


නිවන් මඟ අනුපූර්ව ප්‍රතිපදාවකි

නිවන් මඟ අනුපූර්ව ප්‍රතිපදාවකි

මේ ලෝකයේ ජීවත් වන අප හැම දෙනාම මේ සසරෙහි ඇලී ගැලී ජීවත් වෙනවා. එහි රුචියක් දක්වනවා. මෙයට බලපාන්නේ අන් කිසිවක් නොව දස සංයෝජනයන්ය . ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ දස සංයෝජන එක්වරම අපෙන් දුරු කිරීම අපහසුයි. ඒ නිසයි අපට නිවන ඈත් වන්නේ, හැබැයි අප නිවන හැමවිටම ප්‍රාර්ථනා කරනවා.ඒ වුණත් අපි ඒකට අවශ්‍ය පිළිවෙත හඳුනාගෙන එයට උත්සාහවත් වීම ප්‍රමාද කරනවා. අප ඊට උනන්දු වෙන්නට ඕන.

මේ සංයෝජන දහයක් ගැන සඳහන් වෙනවා. ඕරම්භාගිය සංයෝජන ධර්ම පහක් හා උද්ධම්භාගිය සංයෝජන පහක් තිබෙනවා. සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කාමරාග හා ව්‍යාපාද යන මේ පහ ඒ ඕරම්භාගිය සංයෝජනයි. උද්ධම්භාගීය සංයෝජන කොටසට රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච හා අවිජ්ජා කියන මේ පහ එයට ඇතුළත් වෙනවා. මෙහි පළමු පියවර වන්නේ සෝවාන් මාර්ගය සපුරාලීමයි. ගිහිජීවිත ගත කරන අයෙකුට වුවද සෝවාන් වීමට පුළුවනි. එහි ගිහි පැවිදි වෙනසක් නැහැ. සෝවාන් වී ගිහිජීවිතය ගත කිරීමට බාධාවක් නැහැ. සක්කායදිට්ඨි යන මේ වචනයෙන් අදහස් කරන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ ඇති කරගන්නා මමය. මාගේය යන දැක්මයි. විචිකිච්ඡා යනුවෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝයා සහ පනවා ඇති ශික්ෂාපද මේ භවයට පෙර ඉපදීම, නැවත මතු ඉපදීම, පෙරත් මත්තෙහි නැවත ඉපදීම සසර හට ගැනීම පිළිබඳ පටිච්චසමුප්පාදයෙන් පැහැදිලි කරන දහම යන මේ අට කරුණ පිළිබඳ ඇති කර ගන්නා සැකයයි.මේ සැකය යම් අයෙකුගෙ සිතේ බලපවත්වනවා නම් ඒ අයට බුදුදහම සැකයි. ඔහු කිසිවිටෙක බුදුදහමෙහි කියැවෙන දහම් මගට බසින්නේ නැත. දන්දීම්, සිල්රැකීම්, බණ භාවනා කිරීම් ආදි කිසිවකට උනන්දුවක් නැහැ. මෙය අපට අප ජීවත් වෙන මේ සමාජයෙන්මත් පැහැදිලි කරගන්නට පුළුවනි. සීලබ්බතපරාමාස යන මේ වචනයෙන් පැහැදිලි කරන්නේ නොයෙක් මිත්‍යා ව්‍රත සමාදානයයි. මෙයට හේතුව මේ ව්‍රත සමාදන් වන තැනැත්තාට නිශ්චිත ගමනාන්තයක් පිළිබඳ වැටහීමක් නැහැ. එදා බුදුරජාණන් වහන්සේ වැඩවිසූ කාලයෙහි මේ ආකාරයෙන් සුනඛව්‍රත ,අජව්‍රත, ගෝව්‍රත සමාදන් වී සුනඛගති, එළුගති, ගවගති අනුගමනය කරපු අය සිටියා. තවත් කිරියවාදී, අකිරියවාදි වශයෙන් බෙදුණු ප්‍රධාන ශාස්තෘවරු හය දෙනෙක් ප්‍රකටව සිටියා. තවත් ගියවිට හැට දෙකක් වූ වැරැදි මත අනුව කෙලෙස් තවන්ට උත්සාහ කළ, දේශනා කළ පූජකවරු ජටිල, ආජීවක , ඒකසාටක, අචේලක හා පරිබ්‍රාජක ආදි විවිධ ක්‍රම අනුගමනය කරමින් එකදු අරමුණක් නැතිව මිථ්‍යා ජීවිත ගෙවු අය හිටියා. මෙන්න මේ සංයෝජන තුන ප්‍රහීණ වීමෙන් සෝවාන් මාර්ගයට පිවිසීමේ ශක්තිය ඇති ආර්ය පුද්ගලයෙකු බවට පත් වෙනවා.

දැන් ඉතින් කවරමදාවත් මේ සෝවාන් වූ අය අපායට වැටෙන්නේ නැහැ. සතර අපායට වැටෙන බරපතළ අකුසල කර්ම සිදු කරන්නේත් නැහැ. කවදාවත් කොතනකදීවත් තමන් මෙවැනි ආධ්‍යාත්මික සංවර්ධනයක් ලබා ඉන්නවා යන කීර්තියක්, ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ කැමැත්තක් දක්වන්නේ නැහැ. අල්පේච්ඡ ,නිහඬ, අවිහිංසක ජීවිතයකට යොමු වෙනවා. හැබැයි එවැනි අය පිළිබඳ දීර්ඝ කාලයක් ඇසුරු නිසුරු කරන බාහිර ලෝකයාට මේ පුද්ගලයා සෝවාන් වෙලා ඇතිය කියන හැඟීමක් ඇති වෙන්නට පුළුවනි. මොකද ඒ අය එපමණට යහපත් දුර්ලභ චරිත ලක්ෂණ පෙන්නුම් කරනවා.

මෙයට පසු ඇති මාර්ග ඵලය වන්නේ සකෘදාගාමි බවයි. ඒ තත්ත්වයට පත් වන පුද්ගලයා ඉතිරි ඕරම්භාගිය සංයෝජන දෙක හෙවත් කාමරාග, රූපරාග ප්‍රහීණ කළ යුතු වෙනවා. කාමරාග කියා කියන්නෙ පස්කම් සැපය පිළිබඳ ඇලීමයි. පංචකාම වස්තුන්ට එනම් රූප, ශබ්ද, ගන්ධ , රස යන ස්පර්ශයන්ට ගිජු වන්නේ මේ නිසයි. කාමරාගය හෙවත් තෘෂ්ණාව නිවනට බාධාවයි.

ව්‍යාපාද යනුවෙන් කියන්නේ ඊළඟ ඕරම්භාගිය සංයෝජනයයි. ව්‍යාපාදය යනු ක්‍රෝධය , තරහ, වෛරය, යන සිතිවිලියි. මෙය නරක සිතිවිල්ලක්, නිවනට බාධා කරනවා. මෙයට විරුද්ධ සිතිවිල්ල වන්නේ මෛත්‍රියයි.

ඉතින් මේ මුලින් කී සංයෝජන තුන ප්‍රහීණ කළ තැනැත්තා හෝ තැනැත්තිය ආර්ය මාර්ගයේ පළමු පියවර වූ සෝවාන් මාර්ගය සාක්ෂාත් කර ගෙන අවසානයි. ඒත් ගිහිව ජීවත් වීමට හෝ පැවිදිව ජීවත් වීමට පුළුවනි. එහෙත් ධර්මයේ විස්තර කරන විදියට අප තේරුම් ගත යුතු කරුණ තමා කවරම අවස්ථාවකවත් නැවත භවයේ උපරිම වශයෙන් උපදින්නේ හත්වතාවක් පමණයි. හත්වෙනි භවයේදී හෝ ඊට පෙර භවයක නිර්වාණය පසක් කර ගන්නවා. මේ නිසා සෝවාන් අය හැඳින්වීමට ධර්මයෙහි උගන්වන වචනයක් තමා “සත්තක්ඛත්තු පරම” යන්න. එයින් කියැවෙන්නේ උපරිම වශයෙන් උපදින මේ හත් වතාව පිළිබඳවයි. සෝවාන් මාර්ගයට පත්වූ අය පිළිබඳවත් කියැවෙනවා. විශාඛා මහ උපාසිකාව එවැනි චරිතයක්. මෙවැනි තවත් චරිතයක් ලෙස නන්ද මාතාව සඳහන් කරන්නට පුළුවනි. මෙම නන්ද මාතාව හා සැරියුත් තෙරුන් වහන්සේ පිළිබඳ කථා පුවතක් අංගුත්තර නිකායේ නන්දමාතා සූත්‍රයේ සඳහන් වෙනවා.

එක කාලයක සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනම සෙසු භික්ෂු මහා සංඝයා වහන්සේ පිරිවරා ගෙන දක්ෂිණාගිරියෙහි චාරිකාවක යෙදෙනවා. මෙන්න මේ කාලයෙහි වේළුකන්ටකි නම් නුවර නන්ද මාතා නම් උපාසිකාව නිවන්මග සිහිපත් කෙරෙන පාරායණ ධර්මය මිහිරි නාදයෙන් ශබ්ද නගා ප්‍රකාශ කරමින් සිටියා. මේ වෙලාවේ වෛශ්‍රවණ මහරජතුමා කිසියම් කරුණක් නිමිති කරගෙන උතුරු දිශාවෙහි සිට දකුණූ දිශාවට ගමන් කරමින් සිටියා. නන්දමාතාගේ මේ මිහිරි හඬින් කියන පාරායණ ධර්මයට සවන් දුන්නා. හිතේ ලොකු පැහැදීමක් ඇති වුණා. නිශ්ශබ්දව අසාගෙන සිටියා.මේ කියමන අවසන් වුණාට පස්සේ වෛශ්‍රවණ මහරජ සාධූකාරයක් දුන්නා. “නැඟණියනි, සාධු, නැගණියනි, සාධු” කියා ඒ කියමන් පිළිබඳ තම සතුට ප්‍රකාශ කළා. “

පින්වතාණෙනි, ඔබ කවුද ? කියා එක්වර ම නන්ද මාතාව මේ හඬ පැමිණි දිශාව දෙස බලා ප්‍රශ්න කළා. “නැගණියනි, මම ඔබේ සහෝදර වෙසමුණි නම් මහරජුයි” පිළිතුරක් එදෙසින් ලැබුණා. ඒ අවස්ථාවේදි මෙම නන්දමාතාව කියනවා වෙසමුණී මහරජුනි, ඔබ එපමණක් ඒ ධර්මය ගැන සතුටු වෙනවා. නම් එය මගෙන් ඔබට ලැබුණූ තෑග්ගක් කියා සිතා ගන්න යැයි ප්‍රකාශ කළා. ඒ වෙලාවෙහි වෛශ්‍රවණ මහරජු ප්‍රකාශ කරනවා. “මම එය ඉතා ශ්‍රේෂ්ඨ තෑග්ගක් ලෙස බාර ගන්නවා“ කියලා. ඒ අවස්ථාවේ වෛශ්‍රවණ මහරජු ප්‍රකාශ කරනවා. හෙට හීල් දානයට නොගෙන ම සැරියුත් හා මුගලන් යන මේ මහරහතන් වහන්සේ දෙනම භික්ෂූ මහා සංඝයා වහන්සේ පිරිවරා ගෙන වේළුකණ්ටකී නම් ඔබ ජීවත් වන මේ නගරයට වඩිනවා. ඒ වෙලාවේදි එම මහා සංඝරත්නයට උදේ හීල් දානය පිළිගන්වලා මට ඒ පින අනුමෝදන් කරනවා නම් එය මට ඔබෙන් ලැබුණූ තවත් මහත් තෑග්ගක් වෙනවා’ කියලා පිළිතුරු දුන්නා. මේ ගැන මහත් සතුටට පත්වුණූ නන්දමාතාව පසුවදා පාන්දර සිටම මේ දානය බොහොම වෙහෙස මහන්සි වී සතුටින් සූදානම් කළා. ටික වේලාවකින් වෛශ්‍රවණ මහරජු කියපු ආකාරයෙන්ම සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේ දෙනම සෙසු භික්ෂූන් වහන්සේ ද පිරිවරා ගෙන උදේ හීල් දානය නොවළඳාම වේළුකණ්ටකි නුවරට වැඩියා. ඒ අවස්ථාවෙහි නන්දමාතාව ඒ බව දැනගෙන එක් පුරුෂයෙකුට කථාකරලා කීවා වේළුකණ්ටකියට ගිහින් සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලා දෙනම හමු වි “නන්දමාතාවගේ නිවසෙහි හීල් දානය පිළියෙළ කරලා තියෙනවා. ඒ නිසා ඒ නිවසට වැඩමවන්න “කියා. එවිට ඔහු “හොඳයි මම ඒ කාරණය උන්වහන්සේලාට දන්වන්නම්” කියා පිටත් වෙලා ගොස් එම ආරාධනාව නන්ද මාතාව වෙනුවෙන් සිදු කළා.

ආරාධනාව පිළිගත් උන්වහන්සේ දෙනම ප්‍රධාන භික්ෂු මහාසංඝයා වහන්සේලා හැඳ පෙරව පාත්‍රා සිවුරු ගෙන නන්දමාතාවගේ නිවසට වැඩම කළා. ඇය විසින් සකස් කොට පනවා තිබුණූ අසුන්වල වැඩ සිටියා. දානය අතිශය ප්‍රණීත ලෙස පිළිගැන්වූවා. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රධාන භික්ෂුන් වහන්සේලා දානය වළඳා අවසාන වූ පසුව නන්ද මාතාව උන්වහන්සේලා දෙනම සමීපයට ගොස් පසෙකට වී වාඩි වූවා. එසේ වාඩි වී සිටි නන්ද මාතාව අමතා සැරියුත් මහරහතන් වහන්සේ ඇගෙන් ප්‍රශ්නයක් ඇසුවා. “නන්ද මාතාවෙනි, ඔබට භික්ෂූ මහාසංඝයා වහන්සේ මේ ආකාරයෙන් වේළුකණ්ටකියට වඩින බව කීවේ කවුරුද? කියා ඊට පිළිතුරු දෙන නන්දමාතාව කියා සිටියා. “ස්වාමීනි මේ බව මට තව කල්වෙලා ඇතිව දැනුම් දුන්නේ වෙන කිසිවෙකු නොව වෛශ්‍රවණ නම් මහරජුය. ඔහු මටය කියා සිටියා ඔබ වහන්සේලා මේ නුවරට අහවල් දවසේ හීල් දානය නොවළඳාම මේ වේළුකණ්ටකියට වඩිනවා. ඒ අවස්ථාවේ ඔබ වහන්සේලාට දානයක් පිරිනමා ඒ ලබා ගන්න පින මට අනුමෝදන් කරන්න.

එය මට බරපතළ තෑග්ගක් ගෙනාවේ කියා ඉතින් ඒ අනුවයි මම මේ දානය පිළිගැන්වුවේ” කියා ඇය පිළිතුරු දුන්නා. ඒ අවස්ථාවේදි සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා” පුදුමයි,ආශ්චර්යයක්, ඔබ එහෙම නම් මේ වාගේ මහත් ඍද්ධි ශක්තින් ඇති මහේශාඛ්‍ය වෙසවුණූ මහරජු සමඟ ඔබ කථාබස් කරනවාද” ඒ අවස්ථාවේදි ඊට පිළිතුරු දෙන නන්දමාතාව ප්‍රකාශ කරනවා” ස්වාමීනී එපමණක් නොවෙයි මා පිළිබඳව කිය යුතු ආශ්චර්ය අද්භූත සිදුවීම් තවත් තිබෙනවා” යනුවෙන් කියමින් එකින් එක ගෙනහැර දක්වන්නට වූවා. ස්වාමීනි මට නන්ද කියා එක පුතෙක් හිටියා. ඔහු මට හරිම ප්‍රියයි. මගේ සිත ඇද බැඳගෙන ජීවත් වුණා. රටේ රජතුමා දවසක් මොනවා හරි කරුණකට බලහත්කාරයෙන් ඔහුව පාගලා දැම්මා. ඒ මගේ දරුවා අල්ලා ගත් වේලාවෙහිවත්, හිරගෙට දාලා වධබන්ධන පමුණුවන අවස්ථාවේවත්, ජීවිතය විනාශ කරපු අවස්ථාවේවත්, ඒ විනාශ කරන වේලාවේවත්, මගේ සිතේ කිසිම විපර්සායක් වුණේ නැහැ” මෙය අසා සිටි සැරියුත් හාමුදුරුවෝ””එක්කත් මහා පුදුම ආශ්චර්යක් නේ නන්ද මාතාවෙනි”කියා කරුණු දැක්වූවා, ඊළඟට නන්ද මාතාව උත්තර දෙනවා“ ඒ පමණකුත් නොවෙයි. ස්වාමීනි, මගේ ස්වාමිපුරුෂයා කලුරිය කළේ දැනට කලකට පෙර දැන් ඔහු යක්ෂ ආත්ම භාවයක් ලබා ඉන්නවා. සමහරදාට ඔහු මා ඉදිරියේ ඉස්සර මා සමඟ ජීවත් වූ ආකාරයෙන් මට පේනවා. ඒ වුණත් මගේ සිතේ වෙනසක් ඒ නිසා වෙන්නේ නැහැ ස්වාමීනි” ඒ අවස්ථාවේත් සැරියුත් හාමුදුරුවෝ නන්ද මාතාව අමතා ඒකත් මහා පුදුම දෙයක්නේ යනුවෙන් උත්තර දුන්නා. නැවතත් නන්ද මාතාව තවත් එවැනි සිදුවීමක් සැරියුත් මහරහතන් වහන්සේට පැහැදිලි කළා.”මා ඉතා ළාබාල අවධියේ මේ සැමියා මා විවාහ කර ගත්තා ඒත් ස්වාමීනි, කිසිදු දවසක කිසිදු අවස්ථාවක ඒ මගේ සැමියාගෙන් තොරව වෙනත් පුරුෂයෙකු දිහා සිතින් වත් සිතා බැලුවේ නැහැ. ශරීරය පිළිබඳ කියන්ට ම දෙයක් නැහැනේ ස්වාමීනි, යනුවෙන් ඇය විසින් ප්‍රකාශ කරන කල්හි සැරියුත් හාමුදුරුවෝ එම කරුණෙහි ඇති අසිරිමත් පුදුම සහගත බව ප්‍රකාශ කළා, නැවතත් නන්ද මාතාව ප්‍රකාශ කළේ “ස්වාමීනි, තවත් කරුණක් කියන්නට තිබෙනවා. මම යම් දිනෙක යම් අවස්ථාවක උපාසිකාවක් බවට පත් වෙන බවට ප්‍රතිඥාවක් දුන්නාද? එදා සිට මේ වනතුරු කිසිදු ශික්ෂාපදයක් කැඩුවේ නැහැ’ යනුවෙන් ප්‍රකාශ කළා. තවත් අසිරිමත් පුදුම එළවන කරුණක් ඇති බව ප්‍රකාශ කරමින් තමන් මේ බුද්ධ ශාසනයෙහි කාමයන්ගෙන් වෙන්වී අකුසල කර්මයන්ගෙන් දුරු වී යම් පමණ කැමැති වේලාවක් සිවුවෙනි ධ්‍යානය දක්වා වූ ධ්‍යානවලට සමවැදි කාලය ගත කිරීමේ ශක්තිය ඇතිව ජීවත් වන බවද ඇය සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළාය.මේ සියල්ලටම හේතුවන සත්‍ය තත්වය කුමක්ද යන්නට කරුණූ දක්වන ඇය ප්‍රකාශ කරනවා “ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් බඳු වූ ඔරම්භාගිය සංයෝජන ධර්ම පහක්වේද, ඒ සියල්ල ම ස්වාමීනි කිසිවක් ඉතිරිව නොතබා මා විසින් දුරු කර ඇත” යනුවෙන් කරුණු ප්‍රකාශ කළා. මේ සියල්ල අසා සිටි සැරියුත් මහරහතන් වහන්සේ නන්ද මාතාව සමඟ මේ දැහැමි කථා සල්ලාපයෙහි යෙදී ඇය ප්‍රසාදයට පත් කර ආසනයෙන් නැගී සිට ආපසු වැඩියා.

ඇය විසින් සැරියුත් මහරහතන් වහන්සේ සමඟ අවසාන වශයෙන් කළ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඇය සෝවාන් ඵලයට පත් වු දැහැමි උපාසිකාවක් බවයි.

ආර්ය මාර්ගයේ පළමු පියවර වන්නේ සෝවාන්මාර්ගයට එළඹීමයි. “සෝත හා ආපන්න “ යන වචන දෙක එක්වු කල්හි සෝතාපන්න යන වචනය සකස් වේ. සෝත යනු ප්‍රවාහයයි. හෙවත් ගංගාවක ගලාගෙන ඉදිරියට යන ජල පහරයි.මේ ජලපහරට ලක් වූ අය ගමන් ගන්නා අවසානය වන්නේ මහා සාගරය නමැති නිර්වාණයට යි. එයින් කියැවෙන්නේ සෝතාපන්න හෙවත් සෝවාන් පුද්ගලයා ආර්ය මාර්ගයට වැටුණූ අයයි. ඒ ආර්ය ශ්‍රාවකයා නැවත වෙනත් තෙරකට හෙවත් අභව්‍ය ස්ථානයකට ගොඩ වන්නේ නැහැ. අවසාන කෙලවර වන්නේ නිවනට පැමිණ වීමෙන්ය. එක්වරම නිවනට පත්වීමක් ගැන සිතීම දුෂ්කරය. ඒ නිසා බුදුදහමේ උගන්වන්නේ අනුපූර්ව ප්‍රතිපදාවකි. එය ඒ අනුව අනුපූර්ව ශික්ෂාවෙන්, අනුපූර්ව ක්‍රියාවෙන් හා අනුපූර්ව ප්‍රතිපදාවෙන් අවසාන ඉලක්කය වන නිවනට ක්‍රමානුකූලව පියවර සහිතව ළඟා වෙනවා. ඊට අදාළ වන මාර්ගය ලෙස බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දුන්නා.

ඉතිරි කොටස ඉල් අව අටවක පෝදා (14) පත්‍රයේ පළවේ.