Print this Article


වන අරණේ අසිරිය සිතට ගෙනා සැනසුම

වන අරණේ අසිරිය සිතට ගෙනා සැනසුම

තුරුලතාවන්ගෙන් ගැවසීගත් වනයේ සිහිල් හා සුන්දර පරිසරය සසල හිත නිසල කරන අතර වනයේ සිහිලස ගිනි ගත් හිත නිවාලයි. විසිතුරු දැයින් පෙළනු ලැබූ සිත ශාන්ත පරිසරයෙන් හෙබි වනයෙන් සන්සුන් කරයි. බුදුරජාණන් වහන්සේ කෙතෙක් පරිසරයේ සෞන්දර්යාත්මක බව අගය කළේ ද? යන්න කාළුදායි හිමියන් කිඹුල්වත ගැන කරන වර්ණනයෙන් පැහැදිලිය.

උන්වහන්සේ බුදුරදුන්ට කිඹුල්වතට වැඩම වීමට ආරාධනා කළා පමණක් නොව කිඹුලවත් පිළිබඳ බුදුරදුන්ගේ සිතේ ඇති කරන සෞන්දර්යාත්මක චිත්‍රනයද ඉතාමත් වැදගත්ය. “බුදුපියාණනි! කිඹුල්වත්පුර දැකුම්කලුය. වියළි පරඩැල් හැලී ගොස් ගස් නැවුම් දලු ලා ඇත. එම දලු ගිනිසිළු මෙන් දිදුලයි. බබලයි. සිනිඳු මඳ නල දසත පැතිරෙයි. මලින් විකසිත වූ ලපළු ගස්වැල් සිත් කලුය. විසිතුරුය. දසත විහිදී යන සුවඳ මද නල හදවත් පුබුදුවාලයි. ඵලබරින් අතු නැමි නැමී ඇත. සීත උණුසුම සමව පවතියි. වසන්ත සමය පැමිණ ඇත. ඔබගේ ශාක්‍යයන් කෝලිය වංශිකයන් සමඟ පැඳුම් දෙස ඇති රෝහිණී නදිය ඔබ වහන්සේ තරණය කරන අයුරු බැලීමට දෙනෙත් දල්වා බලා සිටිති” යැයි කාළුදායි තෙර සිය පුරවරය ගැන කරන වර්ණනය ඉතාමත් සිත් කලුය. බුදු හදවත විරාගික වු සෞන්දර්යාත්මක හැඟීම් ඉස්මතු කරලීමට සමත් බවක් මෙයින් පෙනේ. එසේම මෙහිදී ස්වභාවික පරිසරයේ නිර්මාණාත්මක රසය කෙරෙහි බුදුන් වහන්සේ කෙතරම් ඇලුම් කළාද? ඉන් රසයක් උන්වහන්සේ වින්දනය කළාද ?යන්න පැහැදිලිය.

එමෙන්ම උන්වහන්සේ තමන් වහන්සේ දක්නට පැමිණි බොහෝ දෙනා වෙත සිය ධර්ම දේශනා කිරීමේදි ඔවුන් ජීවත්වන පරිසරය ඇසුරෙන් කරුණු ගෙන හැර දක්වමින් කරුණු අවබෝධ කරවීමට දහම් දෙසු බව එම දේශනාවන් පරික්ෂා කරන විට පෙනීයන කරුණකි. වන පෙත, කඳු ශිකර, පර්වත, ගලායන නදිය, තුරු ලතාව, නිල්වන් කෙත, වැස්ස වැනි භෞතික වස්තු උන්වහන්සේ උපමාරූපක සේ ගනිමින් අසන්නාට කරුණු වඩාත් පහසුවෙන් අවබෝධ වන ලෙසින් දහම සමඟ ගළපා පෙන්වා දුන්හ. ධනීය ගෝපාලයන්ට දේශනා කළ සූත්‍රය මීට කදිම නිදසුනකි. වැස්ස වලාහකය පිළිබඳව ධනීය හා බුදුරජාණන් වහන්සේ අතර ඇති වන සංවාදය පරිසරයේ සුන්දරත්වය හා ලෝකෝත්තර තත්වයද ඊට බද්ධ කරමින් කරන සාකච්ඡාව ඉතාමත් චමත්කාරය. කසීභාරද්වාජ බ්‍රාහ්මණයා අමතා කාෂිකාර්මික කටයුතුවලදි යොදාගනු ලබන දෑ පදනම් කොට ගෙන ලෝකෝත්තර මාර්ගය උන්වහන්සේ ඔහුට පැහැදිලි කර දුන්හ. මලක් නොතලා රොන් ගන්නා බඹරකු සේ භික්ෂුව (යථාපි බමරො පුප්පං – වණ්ණගන්ධං අහෙඨයං ) දායක පක්ෂය නොපෙළා හැසිරිය යුතු බව කියයි, (ඵාලෙති රසමාදාය එවං ගාමෙ මුණී චරෙ) බුදුරජාණන් වහන්සේ වැඩ විසු දෙව්රම් ගැන වර්ණනයක් කරන ඛෙමා තෙරණිය දෙව්රමේ පාරිසරික සුන්දරත්වය මෙසේ දක්වයි.

”බුදුරදුන්ගේ ගඳ කිලිය පිහිටි රම්‍ය වූ වෙළුවනය යමෙකු විසින් නොදක්නේ නම් ඔහු නන්දන වනය නොදක්නා ලද බව අපි හඟින්නෙමු. (රම්මං වෙළුවනං යෙන - න දිට්ඨං සුගතාලයං නතෙන නන්දනං දිට්ඨං- ඉති මඤ්ඤමසෙ මයං)

එමෙන්ම උන්වහන්සේ භික්ෂූන්ට මල්කම්, ලියකම්, මුවරදත් පස්වනක් පැහැකිරීම්ද අනුදැන වදාරා තිබේ(අනුජානාමි භික්ඛවේ මාලාකම්මං ලතා කම්මං මකර දන්තං පඤ්චපටික්කන්ති යන තැනින් ගම්‍යවනුයේ භික්ෂූන්ගේ හෝ අරණට පැමිණෙන සැමගේ සතුට සඳහා පරිසරයේ සුන්දරත්වය අත්‍යවශ්‍ය බවය.

ස්වභාවික පරිසරය දෙස රාගයෙන් ඇලෙන්නා එහි නියම රසය නොදකියි. සුන්දරත්වය නිවැරදි ලෙසින් භුක්තිවිඳීමට ප්‍රයත්නයක් නොගනියි. පරිසරය ආත්මාර්ථකාමිත්වයෙන් තමා සතු කර ගැනීමට යාමෙන් විනාශ කර දමයි. එබඳු පුද්ගලයන් රාගයෙන් රත් වූ මනසින් ස්වභාවික සෞන්දර්ය ආත්මාර්ථය මත සියතට ගෙන තමා පාලනය කරන්නට උත්සාහ ගැනීම මත පරිසරයේ සුන්දරත්වය ඔහුට අහිමි වේ. වන අරණේ බවුන් වඩන උතුමන් පරිසරයේ ශබ්දය පවා තම සිත නිසල කරන නිවන හඬ ලෙස යොදාගනිමින් තම සිත පහන් කර ගන්නට පරිසරය උපයෝගී කොට ගෙන ඇත.

ගෝධික තෙරුන් වසින වැස්ස හා එහි ශබ්දය විරාගික සිතිවිල්ලකට පෙරළන්නේ මෙසේය. “සොඳුරු ගැයුමක් ලෙසින් වසින වැස්ස සිත් පිනයි. මා සිටින මේ කුටිය සෙවිලි කොට ඇත. වා කවුලු වසා ඇත. සිත ද මගේ වැසි ඇත. මහවැස්ස කැමැති නම් රිස් සේ වසිනු මැනවි” වැස්ස උපමා කොට උන්වහන්සේ තම සිත දෙස බලන අයුරක් මින් පෙන්වා දෙයි. වැස්ස වැස්සත් තමා නොතෙමෙයි. තමා නමැති වැස්සට විරාගික සිතක් ඇති තමා හසු නොවන අතර අරමුණු වන වා කවුලු තමා විසින් වසා ඇත. එබැවින් වැස්ස වසින්න මා ඉන් නොතෙමේ යන අරුතක් ස්වභාවිකත්වය පදනම් කොටගෙන මෙම තෙරුන් අපට කියා දෙයි.

විරාගිකත්වයට නැඹුරු වු පුද්ගලයකුට පරිසරය තුළින් ලබා දෙන සැනසිල්ල අපමණය. අවවාදය රිසි නොකළ කොසැබෑ නුවර භික්ෂුන් පිළිබඳ කලකිරුණ බුදුරජාණන් වහන්සේ සැනසිල්ල පතා තෝරාගනු ලැබුවේ නිසල පරිසයක පිහිටි පාරිලෙය්‍ය නම් වන පියසයි.ඇතෙකුගේ හා වඳුරකුගේ උවැටැන් ලබමින් රුක් ගොමු අතර කාලය ගෙවු බුදුරදුන් වඩාත් කලහකාරි පරසරයට වඩා වන ජීවින්ගෙන් සපිරි වනදිවිය සැප බව මින් ප්‍රායෝගිකව පෙන්වා දී ඇත. දිනක් ඇට්ටේරියා අතු මත සැතපුන බුදුරදුන් දකින අභයරාජ කුමරු උන්වහන්සේ ගෙන් මෙසේ විචාළේය. අනාචරණය වූ බිමෙහි මේ සීතල රාත්‍රිය කෙසේ ගත කළේද? යන්නයි. කුමරුවනි, මම සුවසේ රාත්‍රිය ගත කළෙමි යන්නෙන් කළ ප්‍රකාශනය තුළින් පරිසරය හා බද්ධ වෙමින් සිය ජීවිතය ගත කිරීමට උන්වහන්සේ කෙතරම් ඇල්මක් දැක්වීද යන්න ඉන් පැහැදිලි වේ.

වනය දිවිය පරමාදර්ශයක් පෙන්වන තෝතැන්නක් බව මිලිඳු රජුට නාගසේන හිමියන් කරන මෙබඳු ප්‍රකාශවලින් පැහැදිලි වේ. වනාන්තරය වූ කලි ස්වකීය පැවැත්ම සඳහා ඉල්ලීම් නොකරන්නා වූ ද ජීව ක්‍රියාවලියේදී සිය නිෂ්පාදන පරිත්‍යාග ලෙසින් ප්‍රදානය කරන්නාවූද අසීමිත දයානුකම්පාවකින් යුක්ත වූද අපුරු තැනකි. සකල ජීවින් හට රක්ෂාවරණය සලසන්නා වූ එය පොරෝ පහරකින් සිය විනාශය ඇති කරන්නාට පවා සෙවණ සලසා දෙයි. මෙයින් වනයක සුන්දර පැත්ත මෙන්ම පාරිසරික වශයෙන් එහි වැදගත්කම ද ඉස්මතු කොට තිබේ.

එමෙන්ම රාගයෙන් රත් ව මුසපත් වූ ලෝකයක විසූ ඇතැම් පුද්ගලයන් ඉන් මිදී විරාගික වරණයේ හැසිර ඉන් ලත් සුඛය වඩාත් අර්ථාන්විතව පෙන්වා දෙනුයේ පාරිසරිකත්වයද බද්ධකර ගනිමිනි. ථෙරගාථා - ථෙරි ගාථාවල උදාන වාක්‍ය ප්‍රකාශයට පත් කරන විරාගික උතුමන්ගේ හැඟීම මෙහිදී ඉතා වැදගත්ය. ථෙර ගාථාවේ සඳහන් චිත්තක තෙරුන් වන පරිසරයෙන් චිත්තප්‍රසාදයට පත් වූ අයුරු මෙසේ දක්වා ඇත. “වැසි සමය ළංවන විට කරංචිමහාවන උඩබලා මුව අයා දෑස් දල්වා සිටියි. සිලි සිලි හඬ නංවමින් මඳ සුළඟ හමා යයි. ඒ අතර මොණර කැල මොණර ලඳුනගේ මුකුළු හසරැලි ද නරඹමින් නිල්පාට පිල් කළඹ විදහා නටයි. කලි කලි හඬ නඟා ගයන ගීත ඇසෙයි. බවුන් වඩන මා සිත තව තවත් නිවනට තුරුලු කරන්නීය. මෙයින් පැහැදිලි වනුයේ රාගික සිතකට වඩා විරාගයේ ඇලුණු සිත තව තවත් විරාගය වෙත ඇදීයාමට ස්වභාවික පරිසරයේ සිත්කලු බව කෙසේ බලපානු ලැබූවේද යන්නයි. චිත්තක තෙර දුටු එම රමණීය සුන්දරත්වය උන්වහන්සේ විරාගික සිතින් බැලූ අයුරු කෙතරම් චමත්කාර ජනකද යන්න මෙම කියමන තුළින් පැහැදිලි වේ.

වනාන්තර ඇති කරන බීජ වර්ග හෝ කුඩා පැළ වර්ග විනාශ කිරීමද භික්ෂූන්ට වැරැද්දක් වන කරුණක් සේ පෙන්වා දෙන අතර වෘක්ෂලතාවන්හි අතු කැඩීම කැඩවීම ද නොකළ යුතු බව ද දක්වයි. ඉන් අදහස් වනුයේ ගිහි ජනතාවට ආදර්ශය සපයන භික්ෂු පරපුර තමා අවට ඇති පරිසරයට හා පරිසරය හා සබැඳි පරිසර වස්තුනට ආදරය කරන පිරිසක් වීමෙන් ඔවුන් අනුගමනය කරන පිරිස් එමඟම ගමන් කරන බැවිනි. මහණෙනි කෙලෙස් වනය සිඳ ලවු එනමුත් රුක් නොසිඳිව් (වනං ඡින්දථ මා රුක්ඛ වනතො ජායති භයං) කෙලෙස්ද වනයකි. එය සිඳින්න නමුත් ස්වභාවික සුන්දරත්වය ගෙන දෙන වන විනාශයේ නොයෙදෙන්න යනුවෙන් දෙන උපදේශය මිහිතලයේ වන සම්පත රැක ගැනීමට බෞද්ධ ජනතාවට ලබා දුන් මහඟු ආදර්ශයකි. පරිසරයට ආදරය කරන්නා පරිසරය විසින් ආරක්ෂා කරන අතර පරිසරය නසන්නා පරිසරයේම ගොදුරක් වනු ඇත. පරිසරය නිරතුරුව පුද්ගලයාගේ කායික මානසික සුඛ වින්දනයට දායකත්වය සපයන බැවින් එහි හිමිකරුවන් වන අප සැම පරිසරයට හිතකාමීව පරිසරය සුරකින ඊට ආදරය කරන පිරිසක් විය යුතු වන අතර පරිසරය අපගේ ස්වභාවික සම්පතක් ලෙසින් රැක ගත යුතුය.

බුදුරජාණන් වහන්සේ විරාගික දහමක් දේශනා කර ඇති මුත් විරාගය සඳහා නැමෙන සිත පරිසරය තුළින් මුදාගන්නා අයුරු පරිසරයම පදනම් කොට ඒ නොඇලි යන මඟක් අනාවරණය කොට ඇත. එමෙන්ම පරිසරය හා සත්වයා අතර ඇති වෙන් කළ නොහැකි අඛණ්ඩ සම්බන්ධය හඳුනා ගනිමින් ධර්ම දේශනා කර ඇති බව පැහැදිලිය.