Print this Article


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 12

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 12

ඉල් පුර අටවක පෝදා මෙන්ම අදත් අපි බරණැස පින්බිම වන්දනා කරමු බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ආකාරය පිළිබිඹු වන අයුරින් නිර්මිත දර්ශනීය බුදුපිළිමය සාරානාත් කෞතුකාගාරයේ බෞද්ධ කොටසේ ඉතාම ගෞරවනීය ලෙස ප්‍රදර්ශනයට තබා ඇත. එම පිළිම වහන්සේ ලොව ඇති අසමසම බුද්ධ ප්‍රතිමාවලින් එකකි. ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම නිරූපණය කරන බුද්ධගයාවේ ඇති පිළිම වහන්සේ සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ මහමෙව්නා උයනේ සමාධි ප්‍රතිමා වහන්සේ අසම සම ගණයට ගැනෙන අනෙකුත් පිළිම වහන්සේලා වෙති. ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා ජීවතුන් අතර සිටියදී නිරතුරුවම එම පිළිම වහන්සේලා වෙත ගොස් වැඳුම් පිදුම් කර ඇත.

ඉන්දීය රජය විසින් සාරානාත් කෞතුකාගාරයේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යොදා ඇත. එය සිකුරාදා හැර අනෙක් දි නවල පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව පවතී. බරණැස අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් ඇති ජීවමාන පැරැණි නගරයකි. බරණැස පැරැණි හින්දු සංස්කෘතිය ගංගා නම් ගඟ ආශ්‍රතව අදටත් දැකගත හැකිය. සෑම දි නකම අලුයම ඉර සේවය නැරඹීමටත් ආගමික කටයුතුවල යෙදීම සඳහාත් විශාල වශයෙන් බැතිමතුන් පැමිණෙන අතර, එය මනස්කාන්ත දර්ශනයකි.

බෝට්ටුවකින් ගඟේ එහා මෙහා ගමන් කිරීමෙන් ගඟ ඉවුරේ සිදුවන විවිධ ක්‍රියාකාරකම් දැක ගත හැකි ය. විශාල හින්දු දේවස්ථාන, රජමාලිගා, සිටුමාලිගා, විශ්‍රාමශාලා මෙන්ම ආදාහන ස්ථානද දැක ගත හැකිය. බොහෝ ධනවත් පවුල්වල මරණය අපේක්ෂාවෙන් සිටින වැඩිහිටියන් ස්වකීය දරුවන්ගේ අනුග්‍රහය ඇතිව බරණැසට පැමිණ අවසන් සමය ගතකරනු දැකිය හැකි ය. ගං ඉවුරේ මේ සඳහා නේවාසික ස්ථාන ඇත. බරණැසදී මිය යාමෙන් විමුක්තිය ලබන බව හින්දුන්ගේ විශ්වාසය වේ.

තවද රාජවංශිකයන් සේම කුල හීනයන්ද පොදුවේ ගංඟා නම් ගඟේ සුද්ධ ජලය ස්නානය කරන අතර ආගමික වතාවත්වලට ද සහභාගී වෙති. යුරෝපීය සංචාරකයින් මෙම ඉපැරැණි හින්දු සංස්කෘතිය නිරීක්ෂණය කිරීම සඳහා විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් අද බරණැස තරු පන්තියේ හෝටල් ඇති සංචාරක පුරවරයක් වශයෙන්ද දියුණු වී ඇත. බරණැස හින්දු විශ්වවිද්‍යාලය ඇතුළුව ප්‍රධාන විශ්වවිද්‍යාල පහක් ඇති අතර, එය අධ්‍යාපන ක්ෂේත්‍රයේද පුරවරය ලෙස සැලකේ.

බරණැස නටබුන්

ඉසිපතනයේ අශෝක ස්ථම්භය

නවීන විෂයයන් මෙන්ම  නක්ෂත්‍රය, තාරකා විද්‍යාව වැනි ඉපැරැණි විෂයන්ද හැදෑරීමේ පහසුකම් එම විශ්වවිද්‍යාලවල ඇත. ශිව දෙවියන් සඳහා වෙන්වූ සුප්‍රකට කෘෂිවිශ්වනාත් දේවාලයද බරණැස නගරය මධ්‍යයේ ඇත. දඹදිව බෞද්ධ පුනරුදය නව මූලගන්ධකුටි විහාරය සහ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ආක්‍රමණවලින් සියවස් නවයකට පසු දඹදිව ඇතිවූ බෞද්ධ පුනරුදය සංකේතවත් වන දැවැන්ත නිර්මාණය සාරානාත්හි නව මූලගන්ධකුටිය විහාරය බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත.

ක්‍රි.ව. 1922 මුල්ගල තබා ක්‍රි.ව. 1931 නොවැම්බර් 11 දින විවෘත කරනු ලැබූ එම විහාරය ඉදි කිරීමේ ගෞරවය ඉන්දීය මහාබෝධි සමාගමේ නිර්මාතෘ ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාලතුමන්ට හිමිවේ. නව මූලගන්ධකුටි විහාරය ඉදිකර ඇත්තේ සාරානාත් පුරාවිද්‍යා පූජා භූමියට යාබදවය. එම විහාරය පැරැණි මූලගන්ධකුටි විහාර භූමියේ සිට බලන විට ධම්මික ස්ථූපයට මැනවින් දිස්වේ. ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ තක්ෂිලාවෙන් මතුවූ සර්වඥධාතූන් වහන්සේලා ඉන්දීය මහබෝධි සමාගමට භාරදීමට නම් ඒ සඳහා සුදුසු විහාර තිබිය යුතු බව ඉන්දීය බ්‍රිතාන්‍ය පාලකයින්ගේ ස්ථාවරය විය.

එම අභියෝගය ජය ගනිමින් ප්‍රථමයෙන් කල්කටාවේ ධර්මරාජික විහාරයද ඉන් අනතුරුව සාරානාත් හි මූලගන්ධකුටි විහාරයද තනා නිම කිරීමට අනගාරික ධර්මාපලතුමා සමත්විය. ඒ සඳහා වැඩිවශයෙන් මුදල් ආධාර ලබාදී ඇත්තේ ඇමෙරිකන් ජාතික මේරි ෆොස්ටර් මැතිනිය විසිනි. එම නව මූලගන්ධකුටි විහාරයේ වන්දනා මාන කටයුතු සඳහා තැන්පත් කර ඇත්තේ සප්‍රකට සාරානාත් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවකි. බුදුපිළිම වහන්සේ යට සර්වඥ ධාතු තැන්පත් කර ඇති ධාතු ගර්භය ඇත.

සෑම දිනකම සවස් භාගයේ හිරු අවරට ගිය පසු (ප.ව. 6 – 7) එම විහාරස්ථානයේ ආගමික වතාවන් පවත්වන අතර, ඉන් විශේෂිත වන්නේ ඉන්දීය මහාබෝධි සමාගමේ සාරානාත් විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සියලු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ධම්මචක්කපවත්තන සූත්‍රය සජ්ඣායනා කිරීමය. මූලගන්ධකුටි විහාරය දකුණු පැත්තේ ධර්මපාලතුමා විසින් ක්‍රි.ව. 1921 දී ශ්‍රී ලංකාවේ අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධි වෘක්ෂයෙන් ලබාගත් ශාඛාවක් රෝපණය කර ඇත.

සාරානාත්හි සිරි දේවමිත්ත ධර්මපාල හිමියන් වැඩ සිටි ස්ථානය අද ධර්මපාල කෞතුකාගාරය ලෙස සකස් කර ඇත. එම පරිශ්‍රය ඉන්දීය මහාබෝධි සමාගමේ සාරානාත් විහාරාධිපති කාර්යාලය සහ සම්මන්ත්‍රණ ශාලාව වශයෙන් යොදාගෙන ඇත. ඉහළ කොටසේ විහාර මන්දිරය ඇත. මාර්ගයේ අනෙක් පැත්තේ ඉන්දීය මහාබෝධී සමාගමේ පාලනය යටතේ ඇති විශාල ගොඩනැගිලි සංකීර්ණයකි. පුස්තකාලය, විශ්‍රාමශාලා, සහ පාසල් මෙ‍ෙහණි ස්ථාපිත කර ඇත.


පැරැනි මූලගන්ධකුටි විහාරය

අනගාරික ධර්මපාලතුමා ස්වකීය ජීවිතයේ අවසාන කාලයේ දී ශ්‍රී දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි බිමට පත්විය. උන්වහන්සේ අපවත් වූයේ සාරානාත්හිදීය. උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත්කර ඇති ධර්මපාල සමාධිය මූලගන්ධකුටි විහාරය පිටුපස ඇත. එම සමාධියද ගෞරවාදරයට පාත්‍ර වන අතර, එම භූමියද උද්‍යානයක් ලෙස සකස් කර ඇත. සමස්ත සාරානාත් පූජා භූමිය අද පවතින තත්ත්වයට පත්වූයේ අනගාරික ධර්මපාලතුමාගේ දැඩි කැපවීම හා අධිෂ්ඨානය නිසාය. සාරානාත් නව නගරයක් බවට පත් වූ අතර සාරානාත්වාසීන්ට නව ජීවනෝපාය මාර්ගද උදා විය. මේ නිසා සාරානාත්වාසීන් තුළ ධර්මපාලතුමා කෙරෙහි ඇත්තේ දැඩි ගෞරවයකි. සාරානාත් පුදබිමට මුහුණලා ඇති මාර්ගය ඉන්දීය රජය විසින් ධර්මපාල මාවත ලෙස නම් කර ඇත. බුදුන් වහන්සේ ප්‍රථමයෙන් වස් විසූ ස්ථානය බැවින් සෑම වර්ෂයකම නොවැම්බර් මාසයේ දී සියලු බෞද්ධ රටවල සහභාගීත්වයෙන් කඨින උත්සවය සාරානාත්හිදී පැවැත්වීමට ඉන්දීය මහාබෝධි සමාගම කටයුතු කරනු ලැබේ. මෙම උත්සව සමයේ දී මූලගන්ධකුටි විහාරයේ තැන්පත් කර ඇති සර්වඥධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමටද බැතිමතුන්ට අවකාශ සැලසේ. ඉන්දීය මධ්‍යම රජයෙන් සහ උත්තර ප්‍රදේශ ප්‍රාන්ත රජයෙන් මේ සඳහා පූර්ණ අනුග්‍රහය ලැබේ. බොහෝ බෞද්ධ රටවලින් එම කඨින උත්සවය සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නියෝජනයක් සිදුවන අතර, සමහර වසරවල රාජ්‍ය නායකයන්ම එම උත්සවවලට සහභාගී වී ඇත. බරණැස පැරැණි රජ මාලිගයෙන් සැපයෙන අලි ඇතුන් නිසාද මහාබෝධි පාසල් සිසුන්ගේ ක්‍රියාකාරී දායකත්වයද කඨින පෙරහර උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මහත්සේ ඉවහල් වී ඇත. ‍ අතීතයේ සිටම කසී රට සළුපිළිවලට ප්‍රසිද්ධියක් දැරූ අතර අදත් “වාරාණාසී සිල්ක්” ඉන්දීය රෙදිපිළි අතර විශේෂ තැනක් උසුලයි. බරණැස ප්‍රධාන දුම්රිය ස්ථානය සහ යාබද මුගලසරායි දුම්රිය ස්ථානය මඟින් ඉන්දියාවේ සෑම ප්‍රධාන නගරයක්ම සම්බන්ධ වී ඇත.

බරණැස ඉසිපතනය වන්දනා කරන ගථාව.

සංකප්පයං දසසහස්සිය ලෝක ධාතුං
දේසේසි යත්ථා භගවා වර ධම්මචක්කං ‍
බාරණසී පුරසමීප වනෙ මිගානං තං
ධම්ම චේතියමහං සිරසා නමාමි

තවත් කොටසක් ඉල් අව අටවක පොහෝදා නොවැම්බර් 14 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 11 සදහම් සිසිල ලොවට බෙදා දුන් බරණැස ඉසිපතන මිගදාය