Print this Article


වස් සමය හා භික්ෂූන් වහන්සේ කඨින චීවරයෙහි සුවිශේෂීත්වය

වස් සමය හා භික්ෂූන් වහන්සේ කඨින චීවරයෙහි සුවිශේෂීත්වය

මෙම ලිපියේ මුල් කොටස ඔක්තෝබර් 31 වනදා ඉල් පුර අටවක පෝදා පත්‍රයේ පළවිය.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහාසිටාණන්ගේ ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන කල්හි කොසොල් රට බටහිර දිශාවෙහි පාඨෙය්‍ය රට කොසොල් රජුගේ එක පියාට දාව උපන් බාල සහෝදර වූ කුමාරවරු තිහක් වූහ. රුවින් හා සිතින් යහපත් වූයෙන් භද්‍ර විය. එක් ව වසන හෙයින් වර්ගී නම් විය. ඒ අනුව සමූහාර්ථවාචී භද්‍ර වර්ගිය කුමාරවරු තිස් දෙන පාඨ්‍යෙය නුවර කපුවනයේ දී බුදුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කර පැවිදි වූහ. මේ තෙරවරු තිස් දෙනම මෙබඳු ලක්ෂණ ඇත්තේය.

1. ආරණ්‍යගත වෙසෙන හෙයින් ආරාණ්‍යකයෝ ය.

2. පිඬු සිඟායාමෙන් ලද අහරින් යැපෙමින් ශ්‍රවණ ධර්ම පුරණ හෙයින් පිණ්ඩපාතිකයෝ ය.

3. තැනින් තැන දමා ගිය රෙදි කැබලි ගෙන සකස් කළ වස්ත්‍රයෙන් උපන් චීවර දරන හෙයින් පාංශුකුලික විය.

4. සඟළ සිවුර, තනිපට සිවුර හා අඳනා සිවුර යන සිවුරු දරන හෙයින් තෙචීවරක වූහ.

මෙයින් පැහැදිලි වන්නේ එකල භික්ෂූන් වහන්සේලාගේ චීවර පරිභෝග කිරීම පිළිබඳ වැදගත් කරුණු දෙකකි. පාංශුකූලික සිවුරු දැරීම හා තුන් සිවුරු දැරීමට පමණක් සීමා වූ භික්ෂූන් වහන්සේ අතිරේක සිවුරක් පරිභෝග නොකළ බවයි. එසේම එම පරිභෝගයට සීමා වූ බවයි.

මේ පිරිස බුදුන්වහන්සේ දක්නට පාඨ්‍යෙය නුවරින් නික්ම සැවැත් නුවර බලා යන්නේ සාකේත නුවරට පැමිණියහ. එහිදී ඇසළ අව පෑළවිය දිනය වූයෙන් අතරමඟදී වස් එළඹියහ. සාකේත නුවර සිට සැවැත් නුවර යොදුන් සයකි. එහෙත් උන්වහන්සේ දක්නට නොලැබුණු නිසා කලකිරීමෙන් වස් කාලය ගෙවූ අතර වස් තෙමස ඇවෑමෙන් පවාරණය කර වැසි වසිද්දී දිය ගැල්මෙන් පිරුණු කල්හි ගොහොරු මඩෙහි තෙමුණු සිවුරු ඇතිව කලාන්තව ජේතවනාරාමයට පිවිස බුදුරජාණන් වහන්සේ හමු වූහ. එහිදී උන්වහන්සේ එම භික්ෂූන්ගේ සැප සනීප විමසූහ. අනතුරුව තමන් මුහුණ දුන් අභියෝග පැහැදිලි කළ එම භික්ෂූන් වහන්සේලා තමන් පැමිණි ස්වභාවය ද කීහ. වැසි වසිද්දී සිය ගැල්මෙන් ගොහොරු වූ මඩෙහි දියෙන් පිරුණු සිවුරුවලින් යුතුව කලාන්තව දිගු මඟට බැස පැමිණීම විස්තර කළහ. බුදුරජාණන් වහන්සේ මෙම කාරණය සළකා බලා මෙසේ විනය නීතියක් පැනවූහ.

“අනුජානාමි භික්ඛවේ, වස්සං වුත්ථානං භික්ඛුනං අත්ථරිතුං, අත්ථත කඨිනානං වෝ භික්ඛවේ. පඤ්ච කප්පිස්සන්ති. අනාමන්තචාරො අසමාදනචාරො, ගණභොජනං, යාවදත්ථචීවරං, යො ච නත්ථ චීවරුප්පාදො. සො නෙසං භවිස්සහි අත්ථත කඨිනානං වෝ භික්ඛවේ ඉමානි පඤ්ච කප්පිස්සන්ති.”

යනුවෙන් මහණෙනි වස් වැස නිම කළ භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි.මහණෙනි ඇතිරූ කඨිනය ඇති භික්ෂූන්ට පහත ආනිසංස කැප වන බව වදාළහ.

1. අනාමන්තචාරය - නො විචාරා ගම් පිවිසීම
2. අසමාදානචාරය – තුන් සිවුර නොගෙන යාම.
3. ගණභෝජනය - සමූහ භෝජනය
4. යාවදත්ථචීවරය – කැමැති පමණ සිවුරු පිළිගැනීම
5. චීවරුප්පාද – එහි කඨිනය ඇතිරු විහාරයෙහි යම්තාක් සිවුරු ලැබීමක් වේද එය ද ඔවුන්ට අයත් වන්නේ ය.

කඨිනවිනිච්ඡයට අනුව කඨිනය ලබන්නා හෝ නො ලබන්නා කවරෙක්දැයි මෙසේ දැක්වේ. පශ්චිමාන්තයෙන් ප්‍රතිග්‍රාහකයා සමඟ පංචවර්ග සංඝයා එය ලබන බව මිපෙය්‍යක්ඡනඛකයෙහි දැක්වේ.

“තත්‍රවෙ භික්ඛවේ යායං චතුවග්ගෝ භික්ඛුසංඝා ඨපෙත්වා තීනි කම්මානි උපසම්පදං පවාරණං අඛභානන්ති”

මේ අනුව වස්සඡේදනය නො කොට පළමු පවාරණයෙන් පැවැරූ ප්‍රතිග්‍රාහකයා ඇතුළුව පස් නමකට කඨින වස්ත්‍රය ගැනීම සුදුසු බව කියවේ. එසේම කිසි අනතුරකින් නොපැවැරු සංඝයා ද කඨින ඇතිරීම කටයුතු නොවන්නේ ය. එහෙයින්ම වස් ජේදනය වූ භික්ෂුව හෝ පශ්චිම පැමිණියහු කඨින වස්ත්‍රය පිළිගැනීම සුදුසු නොවන බව මෙසේ කියවේ.

“ජින්නවස්සා වා පච්ජිමිකාය උපගතා වා නලභන්ති”

එසේම නොයෙක් සීමාවල වස් විසූ භික්ෂූන් ද අන් විහාරවල වස් විසූ භික්ෂූන් ද මේ විහාරයෙහි කඨිනතථාරය නොලබන්නේ ය. තවද පෙර වස් විසුවේ නම් පිරිපුන් වයස් ඇති සාමණේර භික්ෂුව ද ගණපූරණය සඳහා උපසම්පදා කර කඨිනය ගත්කල ඒ සියල්ලන්ටම ව කඨිනය ඇතිරීමෙන් ලැබෙන ආනිසංස හිමි වන බව මෙයින් කියවේ.

“පරිපුණ්ණවස්සො සාමණේරා සචේ පචඡිමකාය”
උපසම්පජ්ජති ගණපූරකොචේ’ච හොති ආනිසංසඤ්ච ලභති”

උපසම්පදා භික්ෂූන් සමඟ සාමණේරවරු ගණ පූරණයට අදාළ වන්නේ මෙසේ ය. උපසම්පදා තුන් නමක් ද සාමණේර දෙනමක් ද, සාමණේර තුන්නමක් හා උපසම්පදා දෙනමක් ද, උපසම්පදා එක් නමක් හා සාමණේර සතර නමක් ද පෙර වස් විසුවේ නම් කඨිනය ගත් කල්හි ඒ සියල්ලෝම එම වස්ත්‍ර ඇතිරීමෙන් අනුසස් ලබන්නෝ වෙති. එසේම අන් උපචාරවලින් ගණ පූරණය පිණිස වැඩි සංඝයා මේ විහාරයෙහි කඨිනය ඇතිරීමෙන් ලබන අනුසස් ලබන්මෝ නොවන බව කියවේ.

කඨිනය ඇතිරීම යනු සංඝයාගේ පැවැරුම් ලබන සුදුසු භික්ෂුව කඨින වස්ත්‍රය ගෙන එම වස්ත්‍රය සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියා සම්පූර්ණයෙන් නිමා කර සිවුර මසා පඬු පොවා කප්බිඳු තබා තමාගේ පැරැණි සඟල සිවුර පච්චුද්ධරණ කර නව සිවුර අධිෂ්ටාන කළ යුතු ය. අනතුරුව සිවුර නමා තමා අතට ගෙන පහත වාක්‍ය තුන් වරක් කියා පිරිමැදීමෙන් කඨින ස්ථාරණය කළේ වෙයි. මෙසේ කඨින වස්ත්‍රය සඳහා කළයුතු විනය කර්ම කිරීම කඨිනය ඇතිරීමයි.

මෙසේ කඨින චීවර ඇතිරීමෙන් එම භූමිය තුළ ඇතිවන බලය සංඝයා එකතුව “කඨිනුද්ධාර” විනය කර්මය කිරීමෙන් ඉවත් කළ හැකිය. එසේම සිවුර සම්බන්ධ ප්‍රඥප්තීන් ඉක්මවා යාමෙන් ද කඨින බලය විනාශ වෙයි. එබඳු බලය විනාශවන ක්‍රියාවක් සිදු නොවුනහොත් එම විහාරසීමාවෙහි මාස පහක් ඉක්මවනතුරු කඨින බලය පැවැත්වේ. එම බලය පැතිරීම “කඨිනත්ථාරණ” නම් වේ.

කඨිනය පිළිබඳ මූලික විස්තර කිරීමක් කඨිනවිනිච්ඡයහි දැක්වේ.

“කඨිනං නාම කිං කෙන
නිදාගෙන මහෙසිනො
අනුඤ්ඤාතං කිමත්ථාය
කස්මා කඨිනත්ති වුච්චති
කේහි කස්සච තං කේන
දාතබ්බං කත්ථවා කදා
ඉචෙචවමාදි ඤාතිබ්බං
කඨිනස්ස්‍ය විසේසතෝ

එයින් කඨිනය සම්බන්ධ මූලික ප්‍රශ්න නවයක් කියවේ. එනම්,

1. කඨිනය යනු කුමක්ද?

2. කඨිනය කවර නිදානයකින් පනවන ලද්දේ ද?

3. කුමක් පිණිසද ?

4. එයට කවර හෙයින් කඨිනය යැයි කියනු ලැබේද?

5. කඨිනය කවුරුන් විසින් දිය යුතු ද?

6. කා හට දිය යුතු ද?

7. කුමකින් දිය යුතු ද?

8. කවර කලෙක දිය යුතු ද?

9. කොතැන්හිදී දිය යුතු ද?

යනුවෙනි. එම කරුණු මෙසේ එකිනෙක විමසා බලමු.

1.කඨිනය යනු කුමක්ද?

පහත දැක්වෙන වස්ත්‍රවලින් කවර එකකින් වුවද සිවුරක් කිරීම කඨිනයයි. එම වස්ත්‍රවර්ග මෙසේ මහාවග්ග පාලියේ දැක්වේ.

1. අලුත් වස්ත්‍රය (අහනේන)

2. අලුත් වස්ත්‍රයට සමාන රෙදි කඩක් (අහන කප්පේන)

3. රෙදි කැබලිවලින් කළ සිවුර (පිලෝනිකාය)

4. පංසුකුල වස්ත්‍රය (පංසුකූලේන)

5. වෙළෙඳ සැල් දොරටුවෙහි අත්හැර දැමූ අහුලාගත් වස්ත්‍රය (පාපණිකේන)

6. කලින් ඇඟවීමක් නැතිව ලැබුණු වස්ත්‍රය (අනිමිත්තකේන)

7. කලින් අනුසස් නොකීමෙන් ලද වස්ත්‍රය – (අපරිකථාකථෙන)

8. තාවකාලික නොවූ වස්ත්‍රය (අකුක්කුහෙන)

9. කලින් තැන්පත් කොට නොතැබූ වස්ත්‍රය (අසන්නිධිකේන)

10. නිසඟි නොවූ වස්ත්‍රය (අනිස්සග්ගියෙන)

11. කප් බිංදු තැබූ වස්ත්‍රයෙන් (කප්පකථෙන)

12. තනිපට සිවුරෙන් (උත්තරාසංඝේන)

13. සඟල සිවුරෙන (සංඝාටියකේන)

14. අඳනයෙන් (අන්තරවාසකේන)

15. එදිනට කඩකපන ලද අතු පහක් හෝ ඊට වැඩි ගණනක් ඇති වස්ත්‍රයෙන් (පඤ්ඤකේනවා අතිරේක පඤ්චකේන)

6. පුද්ගලයෙකුට අයිතිවීම් වශයෙන් ඇතිරීමෙන් (පුග්ගලස්ස්‍ය අත්ථාරක)

17. මැනවින් අතුරන ලද එම සීමාවෙහි භික්ෂූන් විසින් අනුමෝදන් වන ලද කඨිනය මනාකොට අතුරන ලද කඨිනය වේ.

ඒ අනුව කඨින වනුයේ උක්ත වස්ත්‍රවලින් එකක් ඇසුරෙන් මනාව අතුරන ලද වස්ත්‍රයයි.

2. කවර නිදානයකින් පනවන ලද්දේ ද?

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී භද්‍රවර්ගීය භික්ෂූන් වහන්සේලා තිස් නම වස් විසීමෙන් පසු තෙමීගත් සිවුරුවලින් යුතුව බුදුන් වහන්සේ දක්නට පැමිණීම කඨින චීවරයෙහි නිදානයයි.

3. කුමක් පිණිස ද?

වස් වැසූ භික්ෂූන්ට පහසු විහරණය පිණිස අනුමත තුන් සිවුරට අමතරව කඨින සිවුර පිළිගැනීම අනුමත කර ඇත.

4. එයට කවර හෙයින් කඨිනය යැයි කියනු ලැබේද?

කඨිනයෙහි ආනිසංස නොසෙල්වෙන නොබිඳිය හැකි කම්පා නොවන ස්ථිර හෙයින් එයට කඨිනය යැයි කියනු ලැබේ.

5. කඨිනය කවුරුන් විසින් දිය යුතුද?

උපසම්පන්න භික්ෂූන්ට වස්විසීමට ආරාධනා කළ ගිහි සැදැහැවතා විසින් වස්විසීම අවසන් කළ භික්ෂුවට දිය යුතු යි.

6. කාහට දිය යුතු ද?

පෙර වස් වසා අවසන් කළ භික්ෂුවට පමණක් පිළිගත හැකි ය. සංඝයාට පූජා කළ විට එම පිරිස සුදුසු භික්ෂුවට පවරා දෙනු ලැබේ.

7. කුමකින් දිය යුතු ද?

මුලින් සඳහන් කළ වස්ත්‍රවලින් එකක් සිවුරක් මැසීමට සුදුසු පරිදි පූජා කළ යුතුයි. එයින් තුන් සිවුරෙන් එකක් මසා නිමකර පරිභෝග කළ හැකි ය.

8. කවර කලෙක දිය යුතු ද?

වස් වසා පවාරණය කළ භික්ෂූන්ට චීවර මාසයේ දී දිය යුතු ය. එම චීවර මාසයට වප්මස අවපෑළවිය සිට ඉල්මස පුර පසළොස්වක දින දක්වා කාලය අයත් වේ.

9. කොතැන්හිදී දිය යුතුද?

වස් විසූ විහාර සීමාව තුළ දී පූජා කළ හැකි ය.

මෙසේ මේ පරිද්දෙන් කඨින චීවර පිළිබඳව පිළිවෙත් අනුගමනය කළ යුතුයි.

මෙම කරුණුවලට අනුව පංසුකූල හා ගහපති ආදී චීවර භාවිතා කළ භික්ෂූන් වහන්සේලාගේ පහසු විහරණය සඳහා කඨිනය අනුදැන ඇති අතර එය කුමන අර්ථයකින් භාවිතා වූයේ ද යන්නත් එහි භික්ෂු ජීවිතයේ මූලික ප්‍රතිපත්ති හා අරමුණට අනුකූල වන ආකාරයෙන් භාවිතා කළ යුතු ආකාරය මනාව පැහැදිලි වේ.