Print this Article


ධම්ම පදට්ඨ කථාවෙන් 24 මරණ සතිය නිබඳව වැඩූ පේෂකාර සිටු දියණිය

ධම්ම පදට්ඨ කථාවෙන් 24

මරණ සතිය නිබඳව වැඩූ පේෂකාර සිටු දියණිය

පිනැති මිනිසුන් සොය සොයා සසරින් එතෙර කරවීමට ගමින් ගම වැඩි බුදුහිමියෝ එක් දිනක් අලව් නුවරටද වැඩියහ. වැසියෝ දන් පිදූහ. දන් වැළඳූ බුදුහිමියෝ අනුමෙවැනි දම් දෙසුම කරමින් දිවියේ අස්ථිර ස්වභාවයට හා මරණයේ ස්ථිර ස්වභාවය පිළිබඳ රැස් වූ පිරිසට අවබෝධ කරවූහ.

අප සියලු දෙනා අවශ්‍යයෙන්ම මරණයට පත් විය යුතු බවත්, ජීවිතය මරණයෙන්, කෙළවර වන බවත් ජීවිතය නියත නොවන බවත්, මරණයම නියත බවත් මෙහිදී බුදුහිමියෝ විවරණය කළහ. එබැවින් ජීවිතයේ හැම විටෙකම මරණ සතිය වඩන්නැයි ද එය ජීවිතයේ බොහෝ දේ පහසු කරනු ඇතැයිද පමා නොවී කුසල් සම්පාදනය කර ගත හැකි බවද ශ්‍රාවකයා හට බුදුහිමියෝ පහදා දුන්හ.

අනිත්‍ය , දුක්ඛ, අනාත්ම කේන්ද්‍ර කරගත් මේ දෙසුම තුළ බොහෝ දෙනෙක් මරණ සතිය වඩන්නට පුරුදු වූහ. මරණ සතිය නොවඩන්නා ආශිර්විශයෙකු හෙවත් සර්පයෙකු දුටු විට බිය වන කෙනෙකු මෙන් මරණය හමුවේ බියට පත්වන බැව් භීතියෙන් කලුරිය කොට දුගතිගාමී විය හැකි බවත් බුදු හිමියෝ එවේලෙහි වදාළහ. එමෙන්ම මරණ සතිය පුරුදු කළ තැනැත්තා සර්පයෙකු දුටු විට දණ්ඩකින් ගෙන ඈතට විසි කරන්නකු ලෙස මරණය දුටු විට ජීවිතය පහසුවෙන් අත් හරින බවද එයින් මිය ගොස් සුගතියක ඉපදිය හැකි බවද බුදුහිමියෝ වදාළහ.

මෙම ධර්ම දේශනාවෙන් පසු එක් සොළොස් වියැති පේෂකාර දියණියක් බුදුරදුන්ගේ දෙසුමෙහි හරය හොඳින්ම වටහා ගෙන අහෝ කෙතරම් ආශ්චර්යයක්දැ’යි සිතා එතැන් සිට කවර කටයුත්තේ යෙදුණද මරණ සතිය වැඩුවාය. සියලු කටයුතු අතපසු නොකොට ඉටු කළාය. සියලු දේ නිසි වේලාවෙහි සැපිරුවාය. එක් දිනෙක බුදුරජාණන් වහන්සේ මහා කුළුණු සමවතින් ලොව බලන්නේ මෙම පේෂකාර සිටු දියණිය දෙස බලා ඇයගේ මෙම විශිෂ්ට ජීවිතය මග ඵලලාභිනියක් වීමට තරම් සමත් බව අවබෝධ කොට ඇය සිටි ගම්මානයට මහ සඟ පෙරහරකින් වැඩම කළහ. මෙම ගම්වැසියෝ බුදුරදුන් වැඩම කළ බව අසා බොහෝ දෙනා විහාරයට රැස්වූහ. පේෂකර දියණියද බොහෝ සතුටු සිත් ඇත්තේ බුදුහිමියන් දකින්නට හා දහම් අසන්නට යාමට ලහි ලහියේ සූදානම් වූවාය. මේ අතර මරණ සතිය නොවැඩි ඇගේ පියා බුදුහිමියන්ගේ පැමිණීම අගය නොකරමින් තමා විසින් වියමින් සිටි සළුවක් එදිනට අවසන් කළ යුතු බවත් එයට අවශ්‍ය නූල් සකසා ගෙන එන්නැයි ඇයට නියම කොට පියා පේෂකාර ශාලාවට පිටත්ව ගියේය.

එයින් බලවත් අපහසුතාවට පත් පේෂකාර දියණිය බණ ඇසීමට යම්දෝ නූල් කටිම්දෝ”යි මහත් සේ දෙගිඩියාවෙන් අතරමංව කල්පනා කරන්නට වූවාය. නූල් පන්දුව සකසා නොදුනහොත් පියා වෙතින් දඬුවම් ලබන්නට සිදු වෙතියි සිතා ඇය නූල් සකසා පියාට දී පසුව දහම් අසන්නට යන්නෙමි”යි අධිෂ්ඨාන කළාය.එසේ කොට ඇය නූල සැකසීම ඇරඹුවාය.

විහාරයට පැමිණි පිරිස්ද බුදුපාමොක් මහ සඟනට දන් පුදා අනුමෝදනා දෙසුම ඇසුමට සූදානම්ව වාඩිවී බලා සිටියහ. එහෙත් පේෂකාර දියණිය ඔවුන් අතර නොමැති බව දුටු බුදුහිමියන් කල්පනා කළේ තමන් වහන්සේ තිස් යොදුන් මඟ ගෙවා ඇය සොයා පැමිණියද ඇයට පැවරුණු වැඩ කොටස්හි ඈ අප්‍රමාදීව නිරතව සිටින බැවින් ඇය පැමිණෙන තුරු දහම් නොදෙමි’යි අධිෂ්ඨාන කළහ. ඒ බුදුරදුන්ගේ දේශනාවෙහි පිළිවෙළයි. ධර්මාවබෝධයට පත් කළ යුතු කෙනා හමු වන තුරු නිහඬව වැඩ සිටීම බුදුරදුන්ගේ සිරිත විය.

මේ අතරෙහි පේෂකාර නූල් ඔතා පැසක බහා පැස හිසෙහි තබා පේෂකර ශාලාව වෙත යන්නී පිරිස් කෙළවරට ගොස් බුදුරදුන් දැක යාමට කල්පනා කළාය. ඇය පිරිස වෙතට පැමිණි බව දත් බුදුහිමියෝ ගෙල ඔසවා ඇය දෙස බැලූහ. ඇය පැස හිසින් බිම තබා බුදුහිමියන් වෙතට පැමිණියාය. ඇයට පූර්ව කර්ම විපාකයන් ඇති බව දුටු බුදුහිමියන් එයින් ඒකාන්තයෙන් මරණයට පත්වන බවත් එහෙත් ඇය ලබන ධර්මාවබෝධයෙන් සෝවාන් වන බවත් එයින් පසුව මියව තුසිත දෙව්ලොව උපදනා බවත් බුදුහිමියෝ දුටහ. ඇයට මේ අනුග්‍රහය සදනු සඳහාම බුදුහිමියන් මේ ගමට වැඩම කළ බව පේෂකර දියණිය නොදත්තාය.

තමන් වෙතට පැමිණි පේෂකර දියණිය වෙතින් බුදුහිමියෝ ප්‍රශ්න හතරක් විමසූහ. එනම් ඔබ කොහි සිට එන්නෙහිදැයි විමසු විට ඇය කීවේ ‘නොදන්නෙමි ස්වාමීනි, යනුවෙනි. කොහි යන්නේදැයි ඇසූ විටද නොදන්නෙමි, ස්වාමීනි”යි පිළිතුරු දුනි. නොදන්නේදැයි ඇසූ විට ‘දනිමි’ ස්වාමීනි’යි පිළිතුරු දුන්නාය. දන්නේදැයි සිව්වන පැනය විමසූ විට ඇය කියා සිටියේ නොදන්නෙමියි ස්වාමීනි කියාය.

බැලූ බැල්මටම ඇය දුන් පිළිතුර ඇසූ බොහෝ දෙනාට අපභ්‍රංසයක් වූ හෙයින් බොහෝ දෙනා ඇය බුදුහිමියන්ට වැරැදි පිළිතුරු දුන්නේ යැයි චෝදනා කරමින් කෑකෝ ගසන්නට වූහ. බුදුරදුන් විමසූ සියලු ප්‍රශ්නවලට සරල පිළිතුරු නොදී මුසා වදන් පැවසුවා යැයි සිතමින් රැස්ව සිටි පිරිස කලබල කරන්නටද වූහ. එහෙත් ඇය ඉතා නිවැරැදි පිළිතුරු තමාගේ ප්‍රශ්නවලට දුන් බව ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා නැවත එවන් පිළිතුරු පළ කළේ ඇයි දැයි බුදුහිමියෝ විමසූහ.

එවිට ඇය කියා සිටියේ, කොහි සිට ආවෙහිදැයි ඇසූ විට නොදන්නෙමියි ප්‍රකාශ කළේ තමන් කවර භවයක සිට මේ භවයට පැමිණියෙහිදැයි නොදන්නා බවය. කොහි යන්නේ දැයි විමසු විට නොදන්නෙමි”යි පැවසුවේ මරණින් මතු කොහි උපදින්නේ දැයි නොදන්නා බැවිනි. දන්නේදැයි ඇසූ විට දන්නා බව කියා සිටියේ තමන් ඒකාන්තයෙන්ම මරණයට පත්වන බව දන්නා බැවිනි. නොදන්නෙහිදැයි ඇසූ විට නොදන්නෙමි”යි ප්‍රකාශ කළේ කවර වේලාවක මේ මරණය මා කරා එන බව නොදන්නා හෙයින් යැයි ඇය පිළිතුර දුන්නාය. බුදුහිමියන් සාධුකාරදී පිරිස අමතා වදාළේ යමෙකුට ප්‍රඥා ඇස ඇතිවිට ඔවුන් සැබෑ ඇස ඇත්තන් වන බවත් ප්‍රඥාව නැත්තා ඇස් ඇතත් අන්ධයෝ වැන්න’යි බුදුහිමියෝ පැහැදිලි කොට වදාළහ. මේ දෙසුම අවසන පේෂකර දියණිය සෝවාන් බවට පත්වූවාය.

අනතුරුව ඇය නූල් පැසද රැගෙන පේෂකර ශාලාවට ඉක්මනින් ගියාය. එහිදී නූල් නොමැතිව සළුව වියා ගත නොහැකිව සිටි ඇගේ පියාණන් රෙදි මසන යන්ත්‍රය අසළ නිදා වැටී සිටියේය. මේ නිසා ඇය සළුව වියා ගැනීමට සිතා නූල් පන්දුව ගෙන රෙදි යන්ත්‍රයට ළං කළ විට වැරැදි ලෙස නූල ඇමිනූ රෙදි යන්ත්‍රය කරකැවී විත් එහි තිබු ලී කූර ඇයගේ හිසෙහි පතිතව ඇය එහිම මිය ගියාය.

නින්දෙන් ඇහැරුණු පියා තම දියණිය ලේ විලක් මැද මැරී සිටිනු දැක අප්‍රමාණ, දරු ශෝකයෙන් හඬන්නට වූයේය. හඬමින්ම බුදුරදුන් වෙත පැමිණ ස්වාමීනි, මාගේ දරු ශෝකය නිවාදෙන්නැයි ඉල්ලීය. එවිට මෙම පියා සැනසූ බුදුපියාණෝ මරණයේදී ශෝක නොකරන්න. කෙළවරක් නැති මේ සසරේ මරණයේදී අප හෙළන ලද කදුළු මහා සයුරටත් වඩා වැඩි විය හැකි යැයිද වදාළහ. දරු සොව හළ පියා පැවිදිව පිළිවෙත් සපුරා අර්හත්වයට පත් වූයේය.

එබැවින් පේෂකාර සිටු දියණියගේ මරණය ඇයට පමණක් නොව ඇයගේ පියාටද සුගතිගාමී බව ලබන්නට හේතුවිය. ඒ නිසාම අපගේ ජීවිතයේ හැකි හැම විටෙකදී මරණ සතිය වැඩීමේ පුරුද්ද ඇති කර ගන්නා පුද්ගලයාගේ මෙලොව පරලොව දෙක්හිම අභිවෘද්ධිය ඇති කර දෙන අයුරු මෙම කථාවෙන් ඔබට කියා දෙයි.