Print this Article


බුදුදහම සහ පුද පූජා

බුදුදහම සහ පුද පූජා

“පූජා” යනු පාලි සංස්කෘත උභය භාෂාවන්හිමැ යෙදී ඇති පදයකි. වඩාත් පැරණි යැයි පිළිගනු ලබන බුද්ධ දේශනාවන්හිද නොයෙක් තැන පූජා යන්න යෙදී තිබේ. පිදිය යුත්තන් පිදීම මංගල කරුණකි. සත්වැනි හා අටවැනි සමාපත්තීන් ලබාගත් බෝසතුන්ට ආලාරකාලාම උද්දකාරාමපුත්ත යන දෙපළ විසින් උදාර වූ පූජාවකින් පුජාකරන ලද්දේය.

මහා ප්‍රජාපති ගෝතමිය විසින් බුදුරදුන්ට පිදීමට ගෙනා සඟළ සිවුර පිළිනොගත් බුදු හිමියෝ, ගෝතමිය සංඝයාට දෙන්න. ඔබ විසින් සංඝයාට දුන් විට මටද පූජා කළාවේ යැයි වදාළහ. පිරිනිවනට ආසන්න සමයෙහි අනද හිමියන් අමතා පිරිනිවීමෙන් පසු තථාගත ශරීරය අරබයා ක්‍රියා කළ යුතු සැටි දක්වමින්” ආනන්දය ඔබලා තථාගත ශරීරයට පූජා පැවැත්වීම නොකළ යුතුය. නුවණැති බමුණූ ගැහැවියන් තථාගත ශරීරයට පූජා පවත්වන්නාහයි වදාළහ. සියලු පූජාවන්ට සුදුසු වන, ශෝක වැළපීම් නැතිකළ බුදුරදුන්ට හා ශ්‍රාවකයන්ට යමෙක් පූජා පවත්වයිද කෙලෙස් ගිනි නිවූ කිසිදු බියක් නැති එබඳු උතුමන්ට පූජා කරන්නාට ලැබෙන පින මෙපමණයැයි කිව නොහැකි බවද බුද්ධ වචනයෙහිම දැක්වෙයි. පුදන්නා අන් අය විසින්ද පුදනු ලැබේ. මේ තවත් බුදු වදනකි. සකුළුදායි පිරිවැජි බුදුරදුන් හමුව බුදුරදුන්ගේ ශ්‍රාවකයන් උන්වහන්සේට සත්කාර ගරුකාර මානන පූජනන කරන්නේ කවර කරුණූ අනුවදැයි විමසූ බවද සඳහන් වෙයි. මෙකී නොකී බොහෝ තැන්වල පෙළ දහමෙහි 'පූජා' යන්න යෙදී තිබේ. එහෙත් එම පදයෙන් එම අවස්ථාවන්හිදී අදහස් කර ඇත්තේ නූතනය වන විට බෞද්ධයන් විසින් කරනු ලබන ආකාරයේ පුද සිරිත් පැවැත්වීමක් යැයි කිව නොහැකිය. එසේම බුද්ධ කාලීනව වෛදික බ්‍රාහ්මණ පසුබිමෙහි සිදුවු ආකාරයේ පුද සිරිත් හෝ විවිධ ආගම්වල දක්නට ලැබෙන ආකාරයේ පුද සිරිත්ද එම ව්‍යවහාරයෙන් අදහස් කර ඇතැයි කිසිසේත්ම කිව නොහැකිය. ගෞරව දැක්වීම, සැළකීම යන අර්ථයෙහි පෙළ දහම තුළ එම පදය භාවිතා වූ බව පෙනේ. බුදු දහමෙහි මූලික අරමුණ අනුවත් එහිලා ඉගැන්වෙන විමුක්තිගාමි ප්‍රතිපදාව අනුවත් බෞද්ධ චින්තන ක්‍රමයේ ස්වභාවය අනුවත් කිව හැක්කේ විවිධ විචිත්‍ර සංකීර්ණ අභිචාරවිධි සංස්කාර විධි සහිත වූ පුද පූජාවන් බුදුසමයට අභිමත නොවන බවය.

බෞද්ධ පූජා, චාරිත්‍රාදිය වර්තමානයේ පවත්නා තත්වයට ගොඩනැංවීමෙහිලා ශාස්ත්‍රිය පුරෝගාමිත්වය සපයන ලදැයි සැලකිය හැකි පාලි අටුවාවන්හි උක්ත දේශනා පාඨ අර්ථකථනය කර ඇති අයුරු සලකා බැලීමද මෙහිදී අවශ්‍ය වෙයි. ශාරීරික, පාරිභෝගික, උද්දේසික යැයි චෛත්‍ය ත්‍රිවිධාකාර වන බව පෙළෙහි නොදැක්වෙතත් අටුවාවෙහි දැක්වෙයි. එකී ත්‍රිවිධ චෛත්‍යය ගැන බුදුරදුන් විසින්ම වදාළ බව අටුවා සඳහනය.”පූජාච පූජනීයානං” යන්නට අර්ථකථන සපයන අටුවාචාරීහු එහි පූජනීය පුද්ගලයෝ නම් සියලු දොසින් විරහිත වූ ද සියලු ගුණයෙන් සමන්විත වූද භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාය. එසේම පසේ බුදු උතුමන් හා ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා යැයි සඳහන් කරති. උන්වහන්සේ උදෙසා අල්ප වූ පූජාවක් සිදුකළද එය බොහෝ කලක් හිත සුව පිණිස පවත්නේ යැයිද එහිම දක්වා තිබේ. ධම්ම පදට්ඨ කථාවෙහිද දැක්වෙන සුමන මාලාකාර වස්තුව එහිලා නිදසුන් කොට දැක්වෙයි. එකී සුත්ත නිපාත අටුවාව අනුව සුමන මල්කරු බුදුන් පුදා ඇත්තේ ප්‍රතිපත්තියෙන් නොවේ. සුවඳ මලිනි.

සුමන මල්කරු එකී පූජාවේ ආනුභාවයෙන් සිය දහස් ගණන් කල්පයන්හි දෙව්ලෝ මිනිස් ලෝ සැරිසරා කෙළවර මුනිස්සර නම් වූ පසේ බුදුවන්නේ යැයි අප බුදුන් වදාළ බවද අටුවාව කියයි. මේ ආමිස පූජාවයි. එය එසේ නම් ප්‍රතිපත්ති පූජා ගැන කියනුම කවරේදැයි අටුවාව ප්‍රශ්න කරයි. සැබවින්ම එය උතුම් පූජාව යැයි අටුවාව සඳහන් කරන නමුදු ආමිස පූජාව බැහැර කොට නැති බවද සැලකිය යුතුය”. එම පූජාවෙහි අනුසස් ඉහළින්ම වර්ණනා කර තිබේ. අරියපරියේසන සූත්‍රයෙහි සඳහන් ආලාරකාලාමාදීන් විසින් බෝසතුන් උදාර වූ පූජාවකින් පුදනු ලැබීම අර්ථකථනය කරන අටුවාව, එකී තවුසන්ගේ උපස්ථායක වූ ස්ත්‍රී පුරුෂයන් විසින් ගෙන එන ලද ගන්ධමාලාදිය,” යව මහා පුරුෂයන් වෙත පූජා කරවයි”යි බෝසතුන් වෙතම යැවූ බව කියයි. එහිදී මහාර්ඝ වූ ඇඳ පුටු ආදිය පවා පූජා කරන ලදැයි ද සඳහන් වෙයි. සංසෙතෙ දින්නෙ අහං ච පූජිතො භවිස්සාමි” යන දේශනා පාඨයට අර්ථකථන සපයන අටුවාව දානය හා පූජාව අතර වෙනසක් නොදකියි. එහිදීම පූජාර්ථයෙන්ම සලකාගෙන තිබේ. පූජාරහෙ පූජයතෙ” යන්නට අර්ථකථන සපයන අටුවාව වැඳීම් ආදියෙන්ද සිව්පසයෙන් ද බුද්ධාදීන් පිදීම එයින් අදහස් කෙරෙන බව දක්වයි. විමානවත්ථූව ද එහිදී උපුටා දක්වන අටුවාව ඒ බුද්ධාදීන් වැඩ සිටියද, පිරිනිවන් පෑවද සම සිතින් පුදන්නාට සමඵළ ලැබේ’ යැයිද, චිත්ත ප්‍රසාදයම හේතු කොටගෙන සත්වයින් සුගතියට යන්නේ යැයිද පවසයි”. මේ අනුව අටුවාකරණයේදී පූජා යන්න ආමිස පූජාව යැයි අරුත් ගන්වා ඇති බවද ප්‍රතිපත්ති පූජාවටද නිසි ගෞරවය දෙමින් ආමිස පූජාව වර්ණනා කරන ලද බවද පෙනී යයි.

බුදුරදුන් ධරමාන අවදියේදීම උන්වහන්සේටත් ශ්‍රාවක භික්ෂූන්ටත් සිවුපස දන්දීම සිදුවිය. ඒ සඳහා අපමණවත් නිදසුන් සූත්‍රාන්තයන්හි දක්නා ලැබේ. පසුකාලීනව එකී දානය පූජාර්ථයෙන් ගෙන ඇති බව පෙනේ. සිවුපසය දන්දීම, සිවුපසය පූජා කිරීම බවට පත්විය. එය පින්කමක් වූයේය. වීතරාගී උතුමනට දුන් දෙය මහත්ඵල වන්නේ යැයි ධම්මපද පෙළද උගන්වයි. පූජා පැවැත්වීම පැවිද්දනට නොව ගිහියනට අදාළ වන්නේ යැයි මහා පරිනිර්වාණ සුත්‍රයද කියයි. පින්කම වු කලී සසර ලෞකික සැපයම පතන ගිහියන්ට අදාළ පිළිවෙතෙහි ඇතුළත් වන්නේය. පැවිද්දන් විසින් සසර දුකින් මිදීම පිණිස ම වෑයම් කළ යුතු යැයිද එම සූත්‍රය පැහැදිළිවම පෙන්වා දෙයි. පින්කමක් වූ දානය දෙයාකාරයැයි පසුකාලීනව සලකා ගන්නා ලදී. අනුග්‍රහ බුද්ධියෙන් දීම හා පූජා බුද්ධියෙන් දීම යනුවෙනි. දුගි මගී යාචකාදීන්ට උපකාරයක් ලෙස දන්දීම අනුග්‍රහ බුද්ධිය මුල්වූ පින්කමකි. බුද්ධාදී රහතුන්ට හා ශ්‍රාවක භික්ෂූන්ට පූජාවේවා’යි දීම පූජා බුද්ධියෙන් දීමය. මෙයින්ද පැහැදිලි වන්නේ දානයට පසුකාලීනව පූජාව ලෙස දක්වන ලද බවය. දික් සඟියේ මහා පිරිනිර්වාණ සූත්‍රය අනුව සප්ත අපරිහාණිය ධර්ම යම්තාක් වජ්ජින් විසින් පිළිපදිනු ලැබේ.’ද ඒතාක් ඔවුන්ගේ දියුණුවම කැමති විය යුතුය. පිරිහීමක් අපේක්ෂා නොකළ යුතුය. එකී අපරිහානීය ධර්මයන්හි සවැන්නද මෙහිලා අවධානයට ලක් කිරීම වටී.

ආනන්දයෙනි, නුවර ඇතුළතත්, පිටතත් වජ්ජි රජුන්ගේ යම් වජ්ජි චෙතිය කෙනෙක් වෙත්නම්, එයට වජ්ජි රජ දරුවෝ යම්තාක් සත්කාර බහුමාන පූජා කරන්නාහු නම් , එයට දුන් විරූ දැහැම් බලි (පුද පූජා) නොපිරිහෙළන්නාහු නම් ඒතාක්ම වජ්ජින්ට වැඩි දියුණුවම කැමති විය යුතුය. පිරිහීම කැමති නොවිය යුතුය”.

රාජ්‍ය පාලනයෙහි ලා පාලකයන් ගේ බලය වර්ධනය වනු පිණිස පිරිහීම වළකාගනු පිණිස උපකාරි වන අගනා පිළිවෙතක් වශයෙන් බුදුරදුන් විසින් සප්ත අපරිහාණීය ධර්මයන්හි ලා ඉහත කී කරුණද අනුදක්නා බවද බව පෙනේ. ඒ අනුව එම පිළිවෙතද බෞද්ධ දේශපාලන දර්ශනයෙහිමැ ඇතුළත් කොට ගැනෙයි.එම සවැනි අපරිහාණීය ධර්මයට අටුවා සපයන අටුවාචාරිහු මෙසේ කියති.’ වජ්ජින්ගේ වජ්ජි චෛත්‍ය යනු වජ්ජි රජුන්ගේ වජ්ජි රටෙහි ගෞරව කරන ලද්දා වූ චේතිය නම් ලද ,යකුන් අරක්ගත් ස්ථානයෝය. ඇතුළු නුවර ද පිටි නුවරද එබඳු චේතිය ස්ථාන විය. පෙර කරන ලද බලි කඩ නොකරන කල්හි දේවාරක්ෂාව ලැබෙයි. නූපන් දුක් නූපදී. උපන් රෝග පීඩාදිය දුරු වෙයි. යුද බිමෙහි දෙවියන්ගේ උපකාර ලැබේ. මෙසේ පිරීහීම නොවේ’. දියුණුවම වේ. මෙකී පිළිවෙත බුදුරදුන් විසින් පිළිගැනීම නිසා පුද පූජා පැවැත්වීම පසුකාලීනව සංවිධානාත්මකව ගොඩනැගීමට යම් අනුබලයක් ලැබිණිදැයි සලකා බැලීමද සුදුසුය. පූර්වෝක්ත පරිදි පූජා පැවැත්වීම අරබයා පැරණි පෙළ දහෙමි ආ සඳහන්ද ඒ අරබයා අටුවාචාරින් කළ අර්ථකථනද එකී සංකල්පයට පසුකාලීනව කිසියම් ශාස්ත්‍රීය යුක්තියක් ආරෝපණය වීමට හේතු වී යැයි සැලකිය හැකිය.

පෙළ දහම පසුබිම් කොටගෙන අටුවා යුගයේදී යුක්ති යුක්ත කරන ලක්දිව බෞද්ධ පුද පූජාවන් වර්තමාන තත්වයට සංවර්ධනය වෙද්දී වෙනත් බාහිර ආභාෂයන්ද, ලබා ඇති බව පැහැදිලි කරුණකි. මහායාන ආභාෂය හා හින්දු ආභාෂය මෙහිදී විශේෂයෙන් සඳහන් කළ හැකිය. වංශකථාව අනුව වළගම්බා රජු දවස උපන් ශාසනික අර්බුදයෙක ප්‍රතිඵලයක් වශයෙන් අභයගිරි විහාරය ආරම්භ වූයේය. වඩාත් විවෘත සමාජශීලී දෘෂ්ටියකින් ක්‍රියා කළ එම ආයතනය පොදු ජනයාගේ බුද්ධි මට්ටමට හා අපේක්ෂාවන්ටද ගැලපෙන පරිදි බෞද්ධ සංස්කෘතිය තුළ නව නැමියාවන් ඇති කිරිමෙහිලා පුරෝගාමි වූ බව සැලකෙයි. මෙරට සමාරම්භක පැරණි බෞද්ධ මූලස්ථානය වූ අනුරපුර මහා විහාරයට සාම්ප්‍රදායික ආකල්පවල එල්බ ගනිද්දී අභයගිරිය පොදු ජනයා සමඟ එක් වූයේය. වෙනස්වන සමාජයත් සමඟ වෙනස් විය. ඔවුහු විටින් විට මෙහි පැමිණි මහායාන බෞද්ධ ඉගැන්වීම් සමඟ එක්වූහ. අනතුරුව මහසෙන් රජ දවස උපන් ජේතවනයටද එලෙසින්ම ක්‍රියා කළේය. අනේකවිධ වූ පුද පූජා, ඇදහිලි, විශ්වාස වත් පිළිවෙත් ,අභිචාර විධි අභයගිරියේද ජේතවනයේද නායකත්වය ඇතිව මෙරට පැතිර ගියේය. එබඳු ඇතැම් පුද පූජා ක්‍රම මහායානයේ ආභාසය ඇතිව ලක්දිවට ආවේණික පරිදි සකස් විය. යන්ත්‍ර මන්ත්‍රාදියද බෞද්ධ මුහුණුවර ගත්තේය. පින්කම් උත්සව ඒ අනුව මහායාන ආභාෂය පිළිබිඹු කළේය. මහායාන බෝධිසත්ව සංකල්පය, බුද්ධ සංකල්පය, ත්‍රිකාවාදය මෙරට බෞද්ධයන් අතරට පැමිණියේ ථෙරවාදී අදහස් සමඟ එක්වූයේය. බුදුරදුන් හා බෝසතුන් මුල්කොටගත් ආමිස පූජා ජනපි‍්‍රය විය. වළගම්බා දවස අච්චගල්ල විහාරයේදී නැටුම්, ගැයුම්, වැයුම් සහිතව පවත්වන ලද බුද්ධ පූජා උත්සවය එහි සමාරම්භක අවස්ථාවකි. එය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

මෙම ලිපියේ ඉතිරි කොටස ඉල් අව අටවක පෝදා (මෙම 14 වනදා ) පත්‍රයේ පළවේ.