UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිදිය යුත්තන් පුදමු හැමවිට

පිදිය යුත්තන් පුදමු හැමවිට

නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“සො මෙ ආචාරියො ආසි - අස්සජි නාම සාවකො
යස්සං දිසායං වසති – උස්සි සම්හි කරො මහං

කාරුණික සුපින්වතුනි,

සැරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රාඥයන් අතුරින් අග තනතුර ලද අතර ධර්ම සේනාපතින් වහන්සේද වනුයේ සැරියුත් මහරහතන් වහන්සේය. අසූ මහා ශ්‍රාවක චරිත ඔබ අපගේ ජීවන ගමන් මඟ හැඩ ගස්වා ගන්නට මහෝපකාරී වේ.

එම නිසා එම චරිතාපදානයන් දරුවන්ට මෙන්ම වැඩිහිටි ඔබ අප හැමට නිතර නිතර අසන්නට කියවන්නට අවස්ථාව ලබා ගන්නේ නම් මහත් වූ ප්‍රතිඵල රැසක් ඉන් අත්කර ගත හැකිවේ. සතර අපායෙන් මිදෙන්නටත් ශ්‍රද්ධා භක්තිය දියුණු

කර ගන්නටත් මෙබඳු උදාර චරිත හැදෑරීමට සුවිශාල පිටුබලයකි. සිල්වත් බව, ගුණවත් බව ශික්ෂාකාමී බව හික්මුණු දැමුණු බව ජීවන ගමන් මගේ ගැටලු ප්‍රශ්න රැසක් විසඳන්නට මඟ බව මජ්ක්‍ධිම නිකායේ ආකංඛෙය්‍ය සූත්‍රයෙන් විස්තර කර ඇත.

“අත්ථ දීපා විහරථ” යන්නෙන් මහා පරිනිබ්බාන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දෙසූ පරිදි තමන් තමන්ට පහනක් වී දිවයිනක් වී ගොඩබිමක් ව ක්‍රියා කරන්න යැයි දෙසූ සේක. “තමන් හිසට තම අතමය සෙවනැල්ල” යන අපේ ඉපැරැණි කියමනට අනුවද තමාගේ ගැලවුම්කාරයා වන්නේ ද තමාම ය. ඒ බව තේරුම් ගෙන වටිනා කියන චරිත තුළින් ආදර්ශ ලබා ගනිමින් තම දිවි මඟ සරසා ගන්නට අප්‍රමාදීව ක්‍රියා කළ යුතු වේ.

ශාරිපුත්ත මහරහතන් වහන්සේ දිනපතා පිණ්ඩපාතයේ වැඩම කරන්නේ අනිකුත් භික්ෂූන් වහන්සේට පසුවය. විහාර භූමියේ සියලු තැන ඇවිද බලා පිරිසුදු නොකළ ඒ ඒ ස්ථාන පිරිසුදු කොට කුටි තුළ අපිළිවෙළට දමා ඇති සිවුරු පිරිකර සකසා නවා යෑම උන්වහන්සේගෙ සිරිත විය. ගිලන්හලට වඩින සැරියුත් මහරහතන් වහන්සේ ගිලනුන්ට උපස්ථානය කිරීමේ වැදගත්කම කුඩා සාමණේර හිමිවරුන්ට කියා දී උපස්ථාන කටයුතුවල යොදවනු ලබයි. අග්‍රශ්‍රාවකයන් වහන්සේ කියා කිසිවිටෙක ඉදිරියෙන් වැඩම වීමට හෝ සෙසු අය පසුකර වඩින්නට කිසිවිටෙක උත්සුක නොවූහ. කාරුණිකව නිහතමානීව ඉවසීමෙන් හැම නිමේශයක්ම ගත කළ සැරියුත් මහරහතන් වහන්සේගේ ඉවසීමේ ගුණය රටේ එකල නන් දෙස ප්‍රකට ව පැවති බැවින් එක් බමුණෙකු එය පරීක්ෂා කරන්නට සෙනඟ රැස්ව සිටින ස්ථානයකදී උන්වහන්සේට අවමන් කළේ ය. උන්වහන්සේ එය ගණන් නොගෙනම වැඩම කළ අතර එය දුටු පිරිස බමුණා පසුපස එළවාගෙන පැමිණියේ ය. එම බමුණා සැරියුත් මහරහතන් වහන්සේගේ කුටියේ සැඟවී බේරුණේ ය. එපමණක්ද නොව සැරියුත් මහරහතන් වහන්සේ ඔහු තම ශිෂ්‍යයෙකු ලෙස ද පැවිදි කර ගන්නට තරම් කාරුණික වූහ.

සැරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වඳින විට ඒ සමඟම තම ආචාර්යයන් වහන්සේ වන අස්සජි මහරහතුන් වහන්සේට වන්දනා කරන්නට අමතක නොකළහ. උන්වහන්සේ නැතිවිට ඒ දෙසට වඳින්නට තරම් ගුරු ගෞරවයෙන් භක්තියෙන් ක්‍රියා කළහ. මෙය දුටු ඇතැම් අය බමුණු සිරිත් තාම අත්හරින්නට නොහැකි වී ඇතැයි ඇනුම් පද කීහ. එහෙත් සැරියුත් මහරහතන් වහන්සේ තම ගුරුදේවයන් වහන්සේ යම් දිසාවක ද ඒ දිසාවට වඳින එක අත් නොහළහ. අස්සජි නම් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කිසියම් දිසාවක වෙසෙත් ද මම එදෙසට හිසලා සැතපෙමි. ගුරු ගෞරවය ගුරු භක්තිය පෙර ලාංකීය ජන සමාජයේ සිසුන් තුළින් කදිමට දැකගත හැකි වූයේ ඔවුන් ආගම දහමට නැඹුරුව ක්‍රියා කළ නිසා ය. ඇතැම් විට අම්මා, තාත්තා, ගුරුවරු වැඩිහිටියන් කවුරුන්දැයි සිතන්නට තරම්වත් ඇතැම් දරුවන් මිනිසුන් ක්‍රියා නොකිරීම වේදනාවට කරුණකි. එම නිසා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද ගරු කළ යුත්තන්ට ගරු කරන්නටත්, පිදිය යුත්තන්ට පුදන්නටත් ආදර්ශයෙන්ම මඟ කියා දිය යුතු වේ. එසේ නොවන්නට සදාචාරාත්මක සිතුම් පැතුම් අපෙන් ඈත් වී යනු ඇත. උතුමන්ගේ උසස් ජීවන කතා තුළින්

ඔබ සැමගේ ජීවිත ආලෝකවත් වේවා !

 

  ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 30 වැනිදා අපරභාග 09.18 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 07.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 31 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]