වස් සමය හා භික්ෂූන් වහන්සේ කඨින චීවරයෙහි සුවිශේෂීත්වය
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
උතුරාවල ධම්මරතන හිමි
කැලණිය
චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ආයතනය
“කඨින” යන වචනය කථ ධාතුවෙන් උපන්නෙකි. කථ ධාතුවෙන් පරව ඉන ප්‍රත්‍ය
යෙදීමෙන් කථ ධාතුවෙහි ඇති ‘ථ’ හට ‘ඨ’ වී කඨින යන්න සෑදී ඇත. එසේම
විනයත්ථ මංජුසා ටීකාවේ දැක්වෙන්නේ සංගණනාර්ථ කථ ධාතුවෙන් පසු ‘ඉන’
ප්‍රත්‍ය යෙදීමෙන් පසු ‘කථ’ ධාතුවේ ‘ථ’ කාරයට ‘ඨ’ කාරය ආදේශවීමෙන් කඨින
යන්න සැදුනු බවයි. කථ ධාතුවෙහි අර්ථ දෙකක් ඇතුළත්ව ඇත. එක්රැස්වන
සංගණනාර්ථය හා කිසිකලෙක වෙනස් නොවන ස්ථිරාර්ථය ද ඇත. මෙයින් පළමුවැනි
අර්ථය මෙසේ සලකා බැලිය හැකිය. කඨින චීවරය යනු ඉහත දැක් වූ අර්ථ ද්වයම
එක්කළ අවස්ථාවකි. එහි මුල් අවස්ථාව කුසල චිත්තුප්පාදය පාදක කොට ගත් වස්
ආරාධනාවයි. එහි මධ්‍ය අවස්ථාවෙහි හා අවසාන අවස්ථාවෙහි එම කුසලය වර්ධනය
වී කාමාවචර මහාකුසල සිත්වලින්ම පිරිසුදු වීමෙන් සංග්‍රහ වන්නේ ය. එසේම
පැවිදි පක්ෂය ද වස් ශික්ෂාපද ආරක්ෂා කර කඨිනයෙන් ලබන ආනිසංස ද සංග්‍රහ
වන්නේ ය. මෙසේ ගිහි පැවිදි දෙපක්ෂයම මහා කාමාවචර කුසල් සිත්වලින්
සංග්‍රහ වන හෙයින් කථ ධාතුව එක් රැස්වන සංගණනාර්ථයෙහි යෙදෙන බව
පැහැදිලි වේ.
කඨින යන්නෙහි ස්ථිරාර්ථය ගැබ් වී ඇතිබව නාගිතාපදානයෙහි එන පහත පාලි
පද්‍යයෙන් පැහැදිලි වේ.
පඨවරිව න ජාතු කම්පතෙ
න චලති මෙරුරිවාති වායුනා
වජිරමේව න භිජ්ජතේ ඝණං
තමිධමතෝ කඨිනංති වූචචති
යනුවෙන් කඨින පූජාවේ ආනිසංස, අහේතුකව කම්පා නොවන මහා පොළොව මෙන් කිසි
බාධකයකින් කම්පා නොවී ස්ථිරව විපාක දෙන හෙයින් ද මහා සුළඟකට නොසෙල්වෙන
මහමේර පර්වතය මෙන් ස්ථිරව විපාක දෙන හෙයින් ද අවි ආයුධයකට සිදුරු කළ
නොහැකි වජ්‍ර පර්වතයක් මෙන් ස්ථිරව විපාක දෙන හෙයින් ද කඨින යැයි කියනු
ලැබේ. මෙසේ කථ ධාතුවෙන් ස්ථිර බව, නොසෙල්වෙන බව ඇතුළත්ව ඇති කඨින
යන්නෙන් කුසල විපාක සංග්‍රහ වීමද ඒවායෙහි විපාක ස්ථිරව ලැබෙන බව ද
කියවේ.
කඨින යනු සමූහ ප්‍රඥප්තිමාත්‍රයෙක පරමාර්ථ වශයෙන් එක් ධර්මකෙනෙක් කොට
ඇත්තේ’යි කියා ආ බැවින් මේ කඨින නාමය සමූහ ප්‍රඥප්ති මාත්‍රයෙක්මය.
පරමාර්ථ වශයෙන් එක් ධර්ම කෙනෙක් නොම ඇත්තේයැ’යි දත යුත්තේ ය. පෙර
දැක්වූ පරිදි ස්ථිරාර්ථයෙන් ද කඨින විය යුතුයි. පහත දැක්වෙන ආනිසංස පහ
ඇතුළත් කිරීමට සමත් වූයෙන් ස්ථිර වේ. එනම්,
1. අනාමන්තචාර
2. ආසමාදාචාර
3. ගණභෝජන
4. යාවදත්ථචීවර
5. චීවරුප්පාදය, යනුවෙනි.
එහෙයින් සාරත්ථදීපනි, විමතිවිනෝදනි, වජිරබුද්ධි යන ටීකාවල මෙසේ දැක්වේ.
“පඤ්චානිසංසෙ අනෙනාකණෙ සමනථනාය ටීනෙහි අතෙථා”
එසේම සංග්‍රහර්ථයෙන් ද කඨින වන බව දැක්වූයේ මේ හේතුව නිසාය.
“පඤ්චාහනිසංසෙ අඤ්ඤත්ථ ගන්තුං අදත්ථා
සංගහණතෙථන කඨිනතෙථන කඨිනං”
එනම් ඉහත දැක්වූ පඤ්චානිසංසයන් අන් තැනෙක්හි යන්නට නොදී සංක්ෂිප්ත
වශයෙන් ගන්නා ලද හෙයිනි.
කඨින යන්න සිවුරක් සඳහා භාවිතා වූයේ පසු කාලයේ ය. මුල් යුගයේ සිවුර
මැසීම සඳහා උපයෝගී කර ගත් උපකරණය කඨින නමින් හැඳින්විය. එකල්හි
භික්ෂූහු ඒ ඒ තැන් උල් සිටුවා බැඳ සිවුරු මසති. සිවුර නොසමවූ කොන් ඇති
බව දුටු බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
“අනුජානමි භික්ඛවේ කඨිනං කඨිනරජජුං තත්ථ තත්ථ ඕබක්‍ධිත්වා චීවරං
සිබ්ඛේතුන්ති”
එනම් ඒ ඒ තැන නමා බැඳ සිවුර මැසීමට කඨිනය හා කඨිනයෙහි බැඳි රැහැන ද
අනුදක්නා ලදී. ඒ අනුව සිවුර මැසීමට උපයෝගී කරගත් උපකරණ හා රැහැන කඨින
නමින් හඳුන්වා ඇත. මුල් යුගයේ හතර කොන උල් සිටුවා ඒවායේ රැහැන් බැඳ
වස්ත්‍ර කඩ කඩ එකට යාකර සිවුරු මසා ඇත. පාංශුකූල වස්ත්‍ර කැබලි එසේ
එකතු කිරීමේ දී සතර කොන වෙනස් වන නිසා හුල්වල නොබඳින ලද අතර වෙනස් නොවන
ආකාරයට සිවුරේ කොන් සතර දැඩිව බැඳිය හැකි ලී රාමුවක් වැනි උපකරණයක්
අනුමත කර ඇත. මුල් අවධියේ කඨින වශයෙන් හඳුන්වා ඇත්තේ එම උපකරණයටය. එම
කඨින භාවිතා කළ යුතු ආකාරය මෙසේ ය.
එම කඨිනයේ ඇතුළ දිරන්නට වූ නිසා වාටියක් යොදා ගැනීමටත් කඨිනය
ප්‍රමාණවත් නොවන විට මදි වූ සිවුර මැදින් බඳින දණ්ඩ කඨිනයට ද දණ්ඩ
කඨිනයෙහි ප්‍රමාණයට කළාලයෙහි දෙකොණ නමා අකුලා දෙපට කිරීමට විදලකය ද,
දෙපට සිවුර ඇතුළෙහි යොදන ඉරටුවද මහා කඨිනය සමඟ දණ්ඩ කඨිනය බඳින රැහැන ද
බැඳගෙන සිවුර මසන්නට දණ්ඩ කඨිනයෙහි සිවුර බඳින නූල ද යොදා සිවුර
මැසීමටත් අනුදැන ඇත. සිවුර නූල් ගසා කෙළින් ලකුණු කරන්නටත් මෙකී කඨිනය
නො සෝදන ලද පයින් හෝ තෙත් වූ පයින් නොපාගන්නටත් අනුදැන ඇති අතර කඨිනය
වැසි දිනවල තෙමෙන බැවින් එය තැබීමට ශාලාවක් ද එය ජලයෙන් යටවන හෙයින්
මණ්ඩපයක් ද කඨිනහලට පියස්සක් ද කඨින හල පිරියම් කොට ලියකම් සිතුවම්
කිරීමට ද සිවුර මසා අවසන් වූ පසු කඨිනය අකුලා ඒ මැද ලීයක් තබා බැඳ
ආරක්ෂිත තැනක තැබීමට ද උපදෙස් දී තිබේ.
මේ අනුව වස් වැස නිම කළ භික්ෂූන්ට අනුදැන කඨින චීවරය මෙම උපකරණයෙහි තබා
බැඳ වසන හෙයින් එම නම භාවිතා කරන්න ඇත. පාංශුකූල චීවරය එසේ සකස් කළ
එකකි. කඨින චීවරය හ කඨිනය අතර ඇති සම්බන්ධතාවය නිසා එම නම වස් වැසූ
භික්ෂූන්ට පුදන සිවුරට භාවිතා කිරීම යුක්ති සහගතය.
මුල් යුගයේ භික්ෂූන්ට තැනින් තැන එකතු කරගත් වස්ත්‍රවලින් සකස් කර ගත්
සිවුර පඬු පොවා ගැනීමෙන් පරිභෝග කළ අතර එය පංසුකූල චීවර නමින්
හැඳින්විය. එම වස්ත්‍රය සකස් කර ගැනීමට අනුමත වස්ත්‍ර විසිතුනක්
දැක්වේ.
1. සෝසානිකය - සොහොනෙහි දමාගිය වස්ත්‍ර
2. පාපණිකය - සල්පිල් හෙර කඩ ඉදිරියේ දමා ගිය හෝ වැටුණු වස්ත්‍ර
3. රථිය චෝලිය – පාංශුකුලික භික්ෂූන් විසින් ගනු ලැබේවායි කවුලු දොරින්
වීථියට විසිකර දමනු ලැබූ වස්ත්‍ර
4. සොත්ථිය – කතුන්ගේ ගැබ්වල පිස ඉවත දැමූ වස්ත්‍ර
5. සංකාර චෝලය – කසළ ගොඩින් සොයාගත් වස්ත්‍ර
6. නහන චෝලය – අමනුෂ්‍ය වේශයෙන් පෙළෙන්නන් යයි සම්මත කළ අය ජපකරන ලද
ජලයෙන් නැහැවීමේ දී අත්හැර දමා ගිය වස්ත්‍ර
7. තිත්ථචෝලය – නහන තොටෙහි දමා ගිය වස්ත්‍ර
8. ගනපච්චාගතය - සොහොනට ගිය අය නා අවසන් කොට ඉවත දමා ගිය වස්ත්‍ර
9. අග්ගිදඩ්ඪය – ගින්නෙන් පිලිස්සීමෙන් හැඳීම අශුභයැයි අත්හැර දමාගිය
වස්ත්‍ර
10. ගොඛායිනය – ගවයින් විසින් කන ලැබුව අත්හැර දමා ගිය වස්ත්‍ර
11. උපචිකාඛායිතය - වේයන් කන ලදුව ඉවත ලූ වස්ත්‍ර
12. උන්දුරඛායිතය – මීයන් විසින් කන ලදුව ඉවත ලූ වස්ත්‍ර
13. ධජාහමය – යුද්ධ භූමියෙහි හෝ නැව් නඟින්නන් විසින් කොඩි වශයෙන් බඳින
ලදුව ඉවත් කළ වස්ත්‍ර
14. ථූපචීවරය – බලිකර්ම වශයෙන් තුඹස්වල බඳනා ලද වස්ත්‍රය
15. සමණචීවරය – භික්ෂූන් වහන්සේ සතු වස්ත්‍රය
16. අභිසේඛීය – රජවරු අභිෂේක කළ තැන්හි ඉවත හළ වස්ත්‍ර
17. ඉද්ධිමය - සෘද්ධියෙන් ලැබුණු චීවරය
18. පන්ථිකය – අතරමඟ වැටී තිබූ හිමිකරුවෙක් නැති වස්ත්‍ර
19. වාතාහමය - සුළඟෙහි ගසාගෙන ආ වස්ත්‍රය
20. දේව දන්තිය - දෙවියන් විසින් පුදන ලද වස්ත්‍ර
21. සාමුද්දිය – මුහුදෙහි වැටි රලින් ගොඩට ගසාගෙන එන වස්ත්‍රය
මෙම වස්ත්‍රවලට වටිනාකමක් නැත. මේ වස්ත්‍ර පරිහරණයෙන් භික්ෂුවට තම
ජීවිතයේ අරමුණට හානියක් නොවේ. කෙලෙස් නො වැඩේ. එසේම ඝන හා සිනිදුවුවත්
නොයෙක් වස්ත්‍ර කැබලි එක් රැස් කර සකස් කළ හෙයින් කිසිදු වටිනාකමක්
නොමැත. විවිධ වස්ත්‍ර එක් වරණයක් ගැන්වීම සඳහා කසට වර්ණ ගැන්වීමෙන්
හෙවත් පඬු පෙවීමෙන් ද වටිනාකම හීන කර ඇත. එහෙයින් ගිහියනට එය
සොරාගැන්මෙන් කිසිදු කටයුත්තකට යොදා ගත නොහැකිය. එසේ වුවද ශරීරයේ
ආරක්ෂාවට බාහිර උවදුර වළක්වා ගැනීමට උචිත වස්ත්‍රයක් වේ. මේ වස්ත්‍රවලට
අමතරව වෙනත් වස්ත්‍ර කඨින වස්ත්‍රය බුදුන් වහන්සේ විසින් අනුමත කළහ.
“කඨින” යන පදයෙහි සම්භවය කඨින විනිච්ඡයෙහි මෙසේ සංග්‍රහ කර ඇත. කඨින
ශබ්දය තෙම රූල්හි ශබ්දනාම භූත වූ අනිෂ්පන්න ප්‍රානිපදික ශබ්දයකැයි
කියනු ලැබේ. හේ කෙසේ හැඟෙන්නේ ද යත් ත්‍රිවිධ විනයටීකාවෙහි පංචානිසංසය
ඇතුළත් කිරීම සමර්ථ බැවින් ස්ථිරයයි කියා මෙසේ වර්ණනා කළ හෙයින්
ස්ථිරාර්ථයයි කියා හැඟෙන්නේ ය. අපිව මේ කඨින ශබ්දය තෙම කථ යන ධාතු කෙරෙ
නපරව ඉන ප්‍රත්‍යයෙන් සිද්ධවන්නේය. හේ කෙසේද? “කථසංගහණෙ” යන ධාතු ‘කථ’
කියා වේ. ඕ හට “භුවාදයෝ පෙ පංචානිසංසෙ අඤ්ඤත්ථ ගන්තුං අදත්වා
සංගණ්හාති” යන අර්ථයෙහි “ජිනො ඉනසබ්බත්ථා” යන සූත්‍රයෙහි ඉන සබ්බත්ථ යන
යොග විභාගයෙන් හෝ “සුපතො ච” යන සූත්‍රයෙහි “ච” යන ශබ්ද ග්‍රහණයෙන් හෝ
ඉන ප්‍රත්‍යය කොට පරාක්ෂරයා කරා පමුණුවා කඨින ශබ්දය කෙරෙන් නම්
වත්සිවිභත්ත්‍යාසාදිය කළ කල්හි “කඨිනං” යනු සිද්ධයි. මෙම කඨින චීවරය
අනුදැනීමට පසුබිම් වූ හේතුවක් ද වේ.
ඉතිරි කොටස ඉල් පසළොස්වක පත්‍රයේ පළවේ. |