පෙරභවය යි
කර්ම විපාකය යි 10
ආශාව නිසා තිරිසන්
අත්බව ලත් පවුලක්
මහරැඹෑවැවේ පාලිත හිමි
ගියවර අපගේ අවධානය යොමු වූයේ ගොවියෙකුව ඉපිද කළ අකුශල කර්මයක් නිසා
නිතර ගින්නෙන් දැවෙන නාග පේ‍්‍රතයෙකු පිළිබඳ විමසා බැලීමටයි. අද දින
අපගේ අවධානය යොමුවන්නේ පින්දහමෙහි නොයෙදී ඉඩකඩම්වලට කළ ආශාව නිසා
තිරිසන් යෝනියෙහි උපන් පවුලක් පිළිබඳව විමසා බැලීමටයි.
මෙය පෙර ලක්දිව සිදු වූ සිදුවීමකි. රුහුණු ප්‍රදේශයෙහි එක් අරමක
සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් වාසය කළහ. පවුලේ පියා මව සහ මළණු
කෙනෙක්ද, නැගණි කෙනෙක්ද වූහ. දෙමාපියන් එතරම් පිනට දහමට නැඹූරු වූ අය
නොවූහ. පින්දහම් ගැන එතරම් තැකීමක් නොකළහ. පැවිදිවූ තම පුතු සමඟද එතරම්
සබඳතාවයක් නොපැවැත්වූහ. කල් යෑමේදි මව්පිය දෙදෙනාම මිය ගියහ. නොබෝ
කලකින් අසනීප වූ නැගණිය ද මිය ගියාය. ඉතිරි වූයේ මළනුවන් පමණි.
පියා මැරෙන මොහොතෙහි ඉඩකඩම්වලට ආශාව ඇතිකර ගත් නිසා ඔහු මියගොස් ඌරෙකුව
උපන්නේය. මව මැරෙන මොහොතෙහි නිවස කෙරෙහි ආශාව ඇතිකරගත් නිසා ඇය මියගොස්
ගැරඩියෙක්ව උපන්නාය. දියණිය මැරෙන මොහොතෙහි නිවසෙහි වූ පොකුණ කෙරෙහි
ආශාව ඇතිකරගත් නිසා ඇය මිය ගොස් මැඩියෙකුව උපන්නාය.
දිනක් ගැරඬියා ගොදුරු සොයමින් පෙර තම නිවසෙහි වූ පොකුණ සමීපයට
පැමිණියේය. එහි වු පෙර ජාතියෙහි තමාගේ දියණිය වූ දැන් මැඩියෙකුව ඉපිද
සිටින ඇය අල්ලාගෙන ගිල දැම්මාය. ඊට ස්වල්ප මොහොතකට පසු ගොදුර සොයමින් ඒ
ස්ථානය පසු කරන ඌරා ගැරඬියා දැක ඌ ගිල දැම්මේය. තම සොහොයුරු සිල්වත්
භික්ෂුවක් වුවත් පින් දහම් කෙරෙහි එතරම් ඇල්මක් නොදැක්වූ භික්ෂූන්
වහන්සේගේ සහෝදරයා දඩයමට හුරු පුරුදු වී සිටි අයෙකි. එබැවින් එදින දඩයමේ
යන ඔහුට අර ගැරඬියා ගිල දැමූ ඌරා හමුවිය. එම ඌරා තම පියා බව නොදත් ඔහු
විද ඌ මරණයට පත් කළේය.
දඩයම සාර්ථක වූ බැවින් සතුටු සිතින් ඌරා ද රැගෙන ගෙදර ගිය ඔහු ඌ මස්
කිරීමට පෙර තමාගේ සොහොයුරු වූ භික්ෂුව සිහිවී උන් වහන්සේට ද මස් පූජා
කරනු කැමැතිව අසල වූ උන්වහන්සේගේ අරමට ගොස් දානය සඳහා ආරාධනා කළේය.
කාලයකින් ආරාමයට පැමිණි තම මළණුවන් හදිසියේම දානයකට ආරාධනා කළේ කුමක්
නිසාදැයි රහතන් වහන්සේ නමක්ව සිටි එම භික්ෂුන් වහන්සේ දිවැසින් බලන්නට
විය. එවිට සිදු වී ඇති සියල්ල උන්වහන්සේ දැන ගත්හ. මෙය දහමට නොකැමති තම
මළණුවන්ට දහම් අවබෝධ කර දීමට මහඟු අවස්ථාවක් යැයි සිතූ රහතන් වහන්සේ
තමන් වහන්සේ වඩින තෙක් ඌරා මස් නොකරන ලෙස තම මළණුවන්ට දැන්වීය. ඔහුද එය
පිළිගෙන නැවත නිවස බලා ගියේය.
පසුදින නිවසට වැඩි රහතන් වහන්සේ තම මළණුවන්ට කතා කොට ඌරාගේ කුස තුළ
ගැරඬියෙකු ඇති බවක් ඒ ගැරඬියාගේ කුස තුළ ගෙම්බෙකු ඇති බවත් පැවසීය.
ඌරාගේ කුස පැලූ ඔහුට ගැරඬියා හමුවිය. ගැරඩියාගේ කුස පැලු තැන ගෙම්බා
හමුවිය. මෙයින් ඔහු රහතන් වහන්සේගේ කීම ගැන පුදුමයට පත් විය. ඊට පසු
රහතන් වහන්සේ ඔහුට “මේ ඌරා වෙන කවුරුත් නොව ඔබගේත් මාගේත් පියාය, ඔහු
මැරෙන මොහොතෙහි ඉඩකඩම්වලට ආශාව ඇතිකර ගත් නිසා මියගොස් මේ ඌරාව
උපන්නේය. මේ ගැරඬියා ඔබගේත් මාගේත් මවය. ඇය මිය යන මොහොතෙහි නිවස
කෙරෙහි ආශාව ඇතිකර ගත්තාය. ඒ නිසා ඇය මියගොස් ගැරඬියෙක්ව උපන්නාය. මේ
ගෙම්බා ද වෙන කවුරුත් නොව ඔබගේත් මාගේත් නැගණියයි. ඇය මැරෙන මොහොතෙහි
නිවසෙහි වූ පොකුණ කෙරෙහි ආශාව ඇතිකරගත් නිසා මිය ගොස් මැඩියෙක්ව
උපන්නාය.” යනුවෙන් ඔහුට කරුණු පහදා දුන්හ. මෙයින් අතිශය කලකිරීමට පත්
රහතන් වහන්සේගේ සොහොයුරාද මහණ විය.
මෙවන් සිදුවීම් කොතෙක් අප ජීවත් වන මේ මිහිපිට සිදුවෙනවා ඇත්ද? අප ඔබ
කී වතාවක් මේ ලෝකයේ සතුන් වශයෙන් ඉපිද ඔවුනොවුන් කා ගනිමින් සැරිසරන්නට
ඇතිද? එහෙත් අපට එය පහදා දීමට හෝ පෙන්වා දීමට රහතුන් වහන්සේලා වැඩ
නොසිටිය ද මෙවැනි කතා පුවත් අතිශය ප්‍රයෝජනවත් වනු ඇත. මෙලොවට අප
පැමිණියේ කොහේ සිටද යන්න බුදු පසේබුදු මහරහත් උතුමන් හැර කාට නම්
නිවැරදිව පැවසිය හැකිද? එමෙන්ම අප මේ අත්බවෙන් පසු යන්නේ කොහාටද? යන්නද
උන්වහන්සේලාට හැර කාට නම් පැවසිය හැකිද? එබැවින් අප ජීවත් වන කාලය තුළ
යහපතෙහි යෙදී ජීවත් වන්නේ නම් ඒ යහපත් චර්යාවන් පරලොව සඳහා හේතු වන බව
ධර්මයේ සඳහන් වෙයි.
(කල්‍යාණකාරි කල්‍යාණං) එමෙන්ම යමෙක් අයහපතෙහි යෙදෙන්නේ නම් එය ඔහුගේ
පරලොව දිවිය ද දුගතිගාමී වීමට හේතු වෙයි. (පාපකාරිව පාපකං)
තිරිසන් අත්බවක් ලැබීම යනු සතර අපායන්ගෙන් එකක ඉපදීමකි. තිරිසන් සතුන්
තුළ නිතර ඇත්තේ බියමුසු ස්වභාවයකි. අවිනිශ්චිත ස්වභාවයකි. කුඩා සතා ඊට
වඩා ලොකු සතෙකු විසින් ආහාරයට ගැනීම තිරිසන් ලෝකයේ සාමාන්‍ය ස්වභාවයයි.
එබැවින් කුඩා සතුන් තමන්ට වඩා ලොකු සතුන්ට නිතර බියෙන් පසු වෙයි. යමෙක්
තිරිසන්ගත සත්වයන් වශයෙන් ඉපදීමට හා එසේ උපන් අය අත්විඳින දුක්ඛිත
ස්වභාවයන් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරති.
තණකොළ කන තිරිසන්ගත සත්වයෝ ඇත. මොවුහු මහත්වු තණද, වියළි තණද, දත්
වලින් උලා කති. තණ කන තිරිසන්ගත සත්තු කවරහුද යත්, අශ්වයෝද, ගොන්නුද,
කොටළුවෝද, එළුවෝද, මුවෝද යන මොවුහු වෙති. මොවුන් හැර තණ බුදින තවත්
සත්වයෝද ඇත. මේ ලෝකයෙහි බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා
පව්කම් කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු යම් ඒ තණ අනුභව කරන සත්වයෝ
වෙත්ද, ඒ සත්වයන්ගේ ස්වභාවයට පැමිණෙයි. එනම් එවන් සතුන්ව උපදියි.
අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ ඇත්තාහ. ඔවුහු දුරදී අසූචි ගන්ධය
ආඝ්‍රාණය කොට මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමු කියා ඒ වෙත
දුවති. බමුණෝ යාග ගන්ධය අනුව මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව
කරන්නෙමුයි යම් සේ දුවති. එපරිද්දෙන්ම අසූචි අනුභව කරන තිරිසන්ගත
සත්වයෝ වෙති. ඔවුහු දුරදීම අසූචි ගඳ ආඝ්‍රාණය කොට ඒ වෙත දුවති. මෙහිදී
කන්නෙමු. මෙහිදී කරන්නෙමු කියායි. අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ
කවරහුද යත්, කුකුළන් , ඌරන්, බල්ලන් හා සිවල්ලු ද යන මොවුහු වෙති. මීට
අමතරව අසූචි අනුභව කරන තවත් සත්වයෝද ඇත. මේ ලෝකයෙහි ඒ බාලයා රස
තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී ලාමක අකුශල කර්ම කොට කාය
භේදයෙන් හෙවත් මරණින් මතු අසූචි අනුභව කරන යම් සත්වයෝ වෙත්ද ඔවුන්ගේ
ස්වභාවයට පැමිණෙයි. එනම් එවන් සතුන්ව උපදියි.
අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙන, තිරිසන්ගත සත්වයෝ ඇත.
අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ අඳුරෙහි මැරෙන, තිරිසන්ගත සත්වයෝ කවරහුද
යත්,ලොකු පණුවෝද කුඩා පණුවෝද ගැඩවිල්ලුද වෙති. මීට අමතරව අඳුරෙහි උපදින
දිරන අඳුරෙහි මැරෙන තවත් සත්වයෝ ඇත.
දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන, තිරිසන්ගත සත්වයෝ වෙති.
දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන, තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්
මත්ස්‍යයෝද, කැසබුවෝ’ද කිඹුල්ලුද වෙති. මීට අමතරව දියෙහි උපදින, දියෙහි
දිරණ, දියෙහි මැරෙණ තවත් සත්වයෝ වෙති. මේ බාලයා මෙලොව රස අනුභව කිරීම
සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි
දිරන, දියෙහි මැරෙන යම් ඒ සත්වයෝ වෙත්ද, ඔවුන්ගේ ස්වභාවයට පැමිණෙයි.
එවන් සතුන් බවට පත්ව උපදියි.
තවද අසූචියෙහි උපදින අසූචියෙහි දිරන අසූචියෙහි මැරෙන, තිරිසන්ගත
ප්‍රාණීහු ඇත්තාහ. අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන,
මෙවන් සත්තුද කුණුමස්වල උපදින කුණුමස්වල දිරන, කුණුමස්වල මැරෙන මෙවන්
සත්තුද කුණු ආහාරපානාදියෙහි උපදින දිරන මැරෙන සත්තුද, කුණුදිය රැස්වෙන
තැන්වල උපදින දිරන මැරෙන සත්තුද,අපිරිසුදු ජලය රැස්වෙන තැන්වල උපදින
දිරන මැරෙන සත්තුද ප්‍රාණීහු වෙති. මෙසේ මෙලොව රස අනුභව කිරීම සඳහා
බාලයා යම් යම් කාය වාග් මනෝ දුශ්චරිතයන් සිදු කොට කාය භේදයෙන් මරණින්
මතු මෙවන් සතුන් බවට පත්ව උපදිති. එබැවින් මෙසේ තිරිසන් අපායෙහි උපදින
සත්වයන්ගේ දුක්ඛ ස්වභාවයන් කියා නිම කළ නොහැක.
(බාලපණ්ඩිත සූත්‍රය – මජ්ක්‍ධිම නිකාය)
|