බෞද්ධ සන්නිවේදනය
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
සන්නිවේදනයේ දී ප්‍රධාන වශයෙන් සන්නිවේදකයා, සන්දේශය (පණිවිඩය)
ග්‍රාහකයා යනුවෙන් අවස්ථා තුනක් දැක්වෙන අතර එම අංශ තුන අතර පවතින
අන්තර් සම්බන්ධතාව, හා සදාචාරාත්මක වටිනාකම සන්නිවේදනයේ සාර්ථකත්වය
කෙරෙහි බලපායි. පුද්ගලාන්තර හා සමූහ සන්නිවේදනය යන ක්‍රම දෙක බෞද්ධ
සන්නිවේදන විධික්‍රම තුළ දක්නට ලැබෙන හෙයින් බෞද්ධ ධර්ම සන්නිවේදනය
සාර්ථක වී තිබේ. ධර්මය ශ්‍රාවකයාට වටහා ගැනීමට පහසුවන අන්දමින්
ඉදිරිපත් කිරීමේ දී බුදුරදුන් අනුගමනය කරන ලද උපක්‍රම බෞද්ධ සන්නිවේදනය
යනුවෙන් අදහස් කෙරේ.
බුද්ධකාලීන භාරතයේ ආගමික මෙන්ම ආගමික නොවන ඉගැන්වීම් ප්‍රචාරය කිරීමේ
දී අනුගමනය කරන ලද ප්‍රධාන සන්නිවේදන ක්‍රමවේදය දේශනා මාර්ගයයි. වාචිකව
ධර්මය ප්‍රකාශයට පත්කළ හෙයින් දේශක හා ශ්‍රාවක යනුවෙන් දෙපිරිසක්
ඇතිවිය.පාඨක හෝ ප්‍රේක්ෂක පිරිසක්ද වාසය කරන්නට ඇතැයි පිළිගත හැකි
වුවද දැනුම ලබාගැනීම උදෙසා බහුල වශයෙන් ව්‍යාප්තව පැවති ක්‍රමවේදය වූයේ
ශ්‍රවණ මාධ්‍යයි. ශ්‍රැතිය හෙවත් ඇසීම පදනම් කරගෙන ශ්‍රාවක පිරිසක් ද
එම ශ්‍රාවක පිරිස අතරින් බොහෝ දේ ශ්‍රවණය කළ අය බහුශ්‍රැත යනුවෙන්
හැඳින්විණි. බහුලව ඇසීමෙන් දැනුම අත්පත්කරගත් පුද්ගලයා බහුස්සුත සුතධර
සුත සන්නිචය යනුවෙන් විද්වත් ලෝකයේ ඇගයුමට ලක්විය. බහුලව අසා තිබීම එම
අවදියේ උගත්කම මැනීමේ ප්‍රධාන නිර්ණායකය විය. බුදුසමයට අනුව බහුස්සුත
වීම නැතහොත් සුතධර හෝ සුතසන්නිචය වීම විශේෂිත ආධ්‍යාත්මික වටිනාකමකි.
ආධ්‍යාත්මික ශක්‍යතා අතරින් සුත හෙවත් ධර්මය පිළිබඳ අවබෝධය විමුක්ති
කාර්යේ දී මෙන්ම ධර්ම විනය ආරක්ෂා කර ගැනීමේ දී ද වැදගත්කොට සැළකිණි.
සුතමය ඤාණය අත්පත්කරගැනීම සඳහා දේශක හා ශ්‍රාවක යන දෙපිරිස අනුගමනය කළ
විවිධ උපක්‍රම ත්‍රිපිටක හා අට්ඨකතාවන්හී දක්නට ලැබේ. සන්නිවේදන ලක්ෂණ
ප්‍රකට කරන මෙම උපක්‍රම බෞද්ධ සන්නිවේදනය ලෙස හඳුනාගැනීම නිවැරදිය.
බෞද්ධ සන්නිවේදන ක්‍රම කීපයක් පිළිබඳ කෙටියෙන් කරුණු දැක්වීම මෙම
ලිපියේ අරමුණ වේ. මේ පිළිබඳ උනන්දුවන පාඨකයෙකුට උපදෙස් ගත හැකි කෘති
රාශියක් දැනටමත් බෞද්ධ සන්නිවේදන මාතෘකාව යටතේ ලියැවී තිබේ. බුදුරජාණන්
වහන්සේ ධර්මය දේශනා කිරීමේ දී අනුගමනය කළ ප්‍රධාන ක්‍රමවේදය ලෙස
දැක්වෙන්නේ අනුශාසනා ප්‍රාතිහාර්යයි. යමක් පිළිබඳ හොඳ නරක එහි ආදීනව හා
ආනිසංස කළයුතු හා නොකළයුතු දේ ආදී වශයෙන් හැකිතාක් කරුණු පැහැදිලිකොට
අවබෝධය තුළින් ශ්‍රාවකයාට සත්‍ය වටහා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම
මෙම ක්‍රමයේ විශේෂත්වයයි. මහාවග්ග පාලියේ දැක්වෙන පරිදි පළමු රහත් සැට
නම අමතා කළ අනුශාසනාවෙහි සන්නිවේදන විධික්‍රම කීපයක් ඇතුළත් වී තිබේ. ඒ
අනුව පළමුව සන්නිවේදකයාගේ සුදුසුකම පිළිබඳ අවධාරණ වේ. ධර්මය දේශනා කරන
බුදුරජාණන් වහන්සේ මෙන්ම ශ්‍රාවකයෝ ද සියලු ක්ලේශ ධර්ම ප්‍රහීණ කොට
ආධ්‍යාත්මික මෙන්ම බාහිර වශයෙන් ද පූර්ණත්වයට පත් වී සිටිති. මෙනිසා
ධර්මය සන්නිවේදනය කරන දේශක පිරිස එයට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර
තිබේ. දෙවනුව සන්නිවේදනයේ අරමුණ වැදගත් වේ. ධර්මය සන්නිවේදනය කිරීමේ
අරමුණ බොහෝදෙනාට හිතසුව පිණිසය, අර්ථය හා සුවය පිණිසය (බහුජන හිතාය
සුඛාය අත්තාය හිතාය සුඛාය දෙවමනුස්සානං) තුන්වැන්නෙන් සන්නිවේදන ක්‍රම
සහ විධි භාවිතා කිරීම පිළිබඳ උපදෙස් සපයයි. දෙනමක් එක් මඟක නොයන්න (මා
ඒකෙන ද්වේ අගමිත්ථ) යැයි දැක්වීමෙන් ධර්ම සන්නිවේදකයෙකුගේ උපරිම සේවය
පිළිබඳ අදහස ඉස්මතු කෙරෙයි. මෙයින් සජීවි සන්නිවේදනයේ ලක්ෂණ ප්‍රකට
වෙයි. පුද්ගලාන්තර හා සමූහ සන්නිවේදනය පිළිබඳ වැදගත් උපදෙසක් මෙයින්
ඉදිරිපත් වේ. ඇතැම් විට එක් ග්‍රාහකයෙක් වෙනුවෙන් වුවද ධර්ම
සන්නිවේදකයා කැපවී තිබේ. එම සන්නිවේදන කාර්ය අතිශය සුහද එමෙන්ම විවෘත
වූවකි. ප්‍රතිචාර මෙන්ම ප්‍රතිපෝෂණයත් වහා සිදුවෙයි. එනිසා වඩාත්
අර්ථවත් හා ඵලදායි අන්දමින් ධර්මය සන්නිවේදනය කළ හැකි වේ. “මුල මැද අග
යහපත් අර්ථ සහිත විස්තර සහිත (ව්‍යඤ්ජන) සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මය
දෙසන්න බ්‍රහ්මචරිය ප්‍රකාශ කරන්න” යනුවෙන් කෙරෙන සිව්වැන්නෙන්
සන්නිවේදනය කරන දේ තුළ පවතින ඒකමිතික බව මෙන්ම අර්ථවත් හා පරිපූර්ණ බවද
ප්‍රකට වෙයි. “අල්පරජස්ක සත්ත්වයෝ වෙති. ඔවුහු දහම් නො ඇසීමෙන්
පිරිහීමටත් පත්වෙති. දහම වටහා ගන්නෝ වෙති” යන පස්වැන්නෙන් ග්‍රාහකයාගේ
හෝ ශ්‍රාවකයාගේ ස්වභාවය පැහැදිලි වෙයි. තමන් ඉදිරිපත්කරන දහම වටහා
ගැනීමට ශක්තියක් තිබෙන එහි ප්‍රතිඵල අත්පත්කරගන්නා ශ්‍රාවක පිරිසක්
සිටින බව ධර්ම සන්නිවේදකයෙකුට කිසියම් පූර්ව වැටහීමක් තිබිය යුතු වේ.
එවිට ඔහුගේ කාර්ය වඩාත් අර්ථවත් හා ඵලදායී ආකාරයට සිදුකළ හැකිවේ. පළමු
රහත් සැට අමතා කෙරෙන අනුශාසනය තුළ අන්තර්ගත සන්නිවේදන ක්‍රමෝපාය
සන්නිවේදන කාර්යේ නියුක්ත කවරෙකුට වුවද අතිශය වැදගත් උපදේශයකි.
සන්නිවේදන කාර්යේ දී ප්‍රධාන මාධ්‍ය වන භාෂාව භාවිතා කිරීම පිළිබඳ
කුසලතාවක් ඇතිකරගැනීම අවශ්‍ය වේ. සිතක ඇතිවෙන අදහස් හා සංකල්ප ප්‍රකාශ
කිරීම සඳහා භාෂාව යොදා ගැනේ. මේ නිසා වාචික සන්නිවේදනයේදී පැහැදිලි
උච්චාරණය (විස්සට්ඨාය සරෙන) තේරුම් ගතහැකි පරිදි ඉදිරිපත් කිරීම
(විඤ්ඤාපනීය සරෙන) සිත් ගන්නා සුළු ස්වරය (මඤ්ජු සරෙන) ශ්‍රව්‍ය ගෝචර
වීම (සවනීය සරෙන) සංක්ෂිප්ත බව (බින්දු සරෙන) නිරවුල් හේතුඵල සම්බන්ධය
(අවිසරි සරෙන) යන අංශ කෙරෙහි සැළකිලිමත් විය යුතු බව බුදුසමයේ
පිළිගැනීමයි. ඉදිරිපත් කරන තොරතුරුවල පවතින සංවිධානාත්මක බව හෙවත්
අනුපිළිවෙල (ආනුපුබ්බික කථා) විස්තරාත්මක කරුණු දැක්වීම (පරියාය
දස්සාවි කථා) ජනතාව කෙරෙහි දක්වන සානුකම්පිත බව (පරානුද්දය කථං)
ලාභාපේක්ෂාවෙන් තොරවීම (නාමිසන්තර කථා) අනුන් හෙලා දැකීමෙන් වැළකීම
(අනුපහච්ච) යන සදාචාරාත්මක බෞද්ධ ඉගැන්වීම් ධර්ම සන්නිවේදකයෙකුගේ මෙන්ම
වෙනත් ඕනෑම සන්නිවේදකයෙකුගේ ජනපි‍්‍රයත්වය කෙරෙහි හේතු වේ. සන්නිවේදන
කාර්ය යහපත්වීම කෙරෙහි ග්‍රාහකයාගේ විචාරාත්මක ප්‍රතිචාරයද වැදගත් වේ.
මෙම විචාරාත්මක ප්‍රතිචාරයේ අන්තර්ගතය කෙසේ සකස්විය යුතු ද යන්න කාලාම
සූත්‍රාගත ඉගැන්වීම් මඟින් පැහැදිලි වේ. බුදුසමයට අනුව ශ්‍රාවකයෙකු
නැතහොත් ග්‍රාහකයෙකු තමා ඉදිරියේ තිබෙන තොරතුරු සම්බන්ධයෙන් තම
විචාරාත්මක චින්තනය මෙහෙයවීමේ දී අංශ දහයක් පිළිබඳ අවධානය යොමුකළ යුතු
වේ. සන්නිවේදකයා ඉදිරිපත් කළ තොරතුරු ඇසූ පමණින් සත්‍ය සේ නොපිළිගැනීම
(මා අනුස්සව) සාම්ප්‍රදායික මතයෙහි පිහිටා තොරතුරු නොපිළිගැනීම හෝ
විශ්වාස නොකිරීම (මා පරම්පරාය) බහුතර මතය පමණක් සළකා යමක් නොපිළිගැනීම
(මා ඉති කිරාය) තොරතුරු සඳහා පදනම් වූ මූලාශ්‍ර කෙරෙහි සෑහීමට පත්නොවීම
(මා පිටක සම්පදානෙන) තොරතුරුවල පවතින තර්කානුකූල බව පමණක් නොසැළකීම (මා
තක්ක හේතු) කිසියම් න්‍යායකට හෝ සිද්ධාන්තයකට පමණක් සීමා නොවීම (මා නය
හේතු) දෘශ්‍යමාන සාධක කෙරෙහි පමණක් සෑහීමකට පත් නොවීම (මා
ආකාරපරිවිතක්ක) තම මතයට හෝ දෘෂ්ටියට එකඟ වී යැයි නොපිළිගැනීම (මා
දිට්ඨිනජඣානක්ඛන්ති) සන්නිවේදකයාගේ චර්යාව හා ස්වභාවය කෙරෙහි ආකර්ෂණය
නොවීම (මා භබ්බරූපතා) සන්නිවේදකයා සමඟ තිබෙන පෞද්ගලික පක්ෂපාතීත්ත්වය
(මා සමනෝ නො ගරු) යන අංග ස්වාධීන චින්තනයක් සහ විචාර දෘෂ්ටියෙන් යුක්ත
ශ්‍රාවකයෙකු විසින් බැහැර කළ යුතු අංග වේ. විවිධ ජනසන්නිවේදන මාධ්‍ය
මඟින් ඉදිරිපත් කරන තොරතුරු විචාර බුද්ධියෙන් තොරව පිළිගැනීමෙන් ඇති වී
තිබෙන සමාජ අර්බුද පිළිබඳ අවධානය යොමුකළ විට මෙම උපදෙස්වල වටිනාකම
තහවුරුකරගත හැකිවේ. ජනමාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන පුද්ගලයන්ද තොරතුරු
වාර්තා කිරීමේ දී කාලාම සුත්‍රාගත උපදෙස් පිළිපදින්නේ නම් නෛතික හෝ
සදාචාරාත්මක භාවය සම්බන්ධයෙන් පැන නගින ගැටලු අවම කරගත හැකිවේ. එසේම
ජනතාවට ඇති ඇත්ත දැනගැනීමේ අයිතිය සුරක්ෂිත වේ. බුදුසමයේ දැක්වෙන
සන්නිවේදන විධික්‍රම සෑම පුද්ගලයෙකුටම අනුගමනය කළ හැකි අතර එම
විධික්‍රම සදාචාරාත්මක වශයෙන් පොහොසත් ප්‍රායෝගික සන්නිවේදන
ප්‍රතිපත්තියක් සකස්කරගැනීමට ආදේශකරගත හැකිවේ. |