Print this Article


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 11 සදහම් සිසිල ලොවට බෙදා දුන් බරණැස ඉසිපතන මිගදාය

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 11

සදහම් සිසිල ලොවට බෙදා දුන් බරණැස ඉසිපතන මිගදාය

බරණැස ඉසිපතන මිගදාය පින්බිම පිළිබඳව අදත් අපි වන්දනාවේ යෙදෙමු

ධර්මරාජික ස්ථූපය

සාරානාත් පුදබිමේ බෞද්ධ නටබුන් වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙනුයේ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති සංරක්ෂිත පුදබිම තුළය. එහි දොරටුවෙන් ඇතුළු වූ විටම නුදුරින් හමුවන්නේ බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළ ස්ථානයයි. මෙම ස්ථානයේ තනන ලද ධර්මරාජික ස්ථූපය ක්‍රි.ව. 1794 දී කඩා බිඳ දැමීමෙන් අනතුරුව අද ඉතිරිව ඇත්තේ එහි අඩිතාලම පමණි. එම ස්ථූපය මුලින්ම අශෝක අධිරාජයා විසින් තනවන ලද අතර පසුව කුෂාණගුප්ත, හර්ෂ සහ පාල රාජවංශික යුගයන්හිදී ප්‍රතිසංස්කරණය කරනු ලැබ ඇත.

අශෝක ස්ථම්භය

ධර්මරාජික ස්ථූපයට ඉතාමත් කිට්ටුව වම්පසින් අශෝක ස්ථම්භය ස්ථාපිතව තිබුණි. මුල් අශෝක ස්ථම්භය මීටර් 12 කින් යුක්ත විය. දැනට කොටස් තුනකට කැඩී වෙන් වී ඇති කුලුනේ කොටස් ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක ආවරණයක් යොදා ආරක්ෂා කර ඇත.ධර්මාශෝක මහරජතුමා විසින් පිහිටුවන ලද අශෝක ස්ථම්භයේ සිංහ මුහුණු හතරක් සහිතව අශෝක කුලුන නිර්මාණය කරන ලදී. ඊට හේතුව වන්නේ සිංහ සෙයියාවෙන් යුතුව උත්තම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් උත්තම ධර්මය බරණැස ඉසිපතන මිගදායේ දී සිව්දෙස සදහම් පණිවිඩය බෙදා දෙනලදී. ඒ බව සනිටුහන් කිරීම සඳහා විශාල ඡත්‍රයක් සහ සිංහ සෙයියාවෙන් යුතු කේසර සිංහයන් සතර දෙනෙකුගේ මුහුණු නිර්මාණය කරන ලදී. කුලුනේ මුදුනේ පැවති සිංහ ශීර්ෂය සහ ධර්ම චක්‍රයේ කොටස් සාරානාත් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත.


සම්මුඛ ස්ථූපය

පැරැණි මූලගන්ධ කුටි විහාරය

ධර්මරාජික විහාරයෙන් මීටර් 18.29 උතුරු දිශාවෙන් අශෝක ස්ථම්භයට නුදුරින් දකුණට මූලගන්ධ කුටි විහාරයේ නටබුන් දක්නට අත.මූලගන්ධ කුටි යන්නෙහි අර්ථය බුදුරජාණන් වහන්සේ මුලින්ම වැඩ සිටි කුටිය යන්නයි.ප්‍රථම වස් සමය ගත කර ඇත්තේ මෙහිදීය. අදටත් විහාරයේ මැද කොටසේ ඇති එම වැඩ සිටි ස්ථානය වන්දනා මාන කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇත. හියුං සාං ස්වකීය වාර්තාවල එම විහාර මන්දිරය සහ එහි පැවැති පිළිම වහන්සේලා පිළිබඳව සටහන් තබා ඇත.

මූලගන්ධ කුටියේ සිට ස්ථූපය දක්වා ගමන් කිරීමේ දී දකුණු පසින් ගුප්ත යුගයේ දී තනන ලද සතරැස් චෛත්‍යයක නටබුන් හමුවේ. මෙම නටබුන් ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ ආවරණයක් යොදා ආරක්ෂා කරනු ලැබ ඇත. යසකුල පුත්‍රයා සහ ඔහුගේ මිත්‍රයන් පැවිදි වූ ස්ථානය ලෙස සහ දම්සභා මණ්ඩපය එම ස්ථානයේ පැවති බවට ද විශ්වාස කෙරේ.

ධම්මික ස්ථූපය (ධමේව ස්තූපය)

ආක්‍රමණ නිසා සිදුවූ විශාල විනාශයෙන් පසුව වුවද ධම්මික ස්ථූපය අදටත් සාරානාත් පුදබිමේ විරාජමානව වැඩ සිටිනු දැකිය හැකිය.

එහි පැරැණි අදහස ධර්මචක්‍ර ස්ථූප යන්නයි. තද ගෝලාකාර කුලුනක් වැනි මෙහි විෂ්කම්භය මීටර් 28.35 ක්ද උස මීටර 39.01 ක්ද වේ. මීටර 11.20 ක් දක්වා අලංකාර ගල් පතුරින් වසා ඇත. කනිංහැම්තුමා අවුරුදු කිහිපයක් කැණීම් කළ ද ස්ථූපය පහළ කොටස තනි ගලෙන්ම නිමකර ඇති බැවින්, ධාතු ගර්භය සොයා ගැනීමට නොහැකිව ඇත. මෙම ස්ථූපය ගුප්ත රජ සමයට

අයත් බව පෙනුනද මුල් ස්ථූපය ස්ථිර වශයෙන්ම අශෝක රාජ සමයට අයත් වේ. මෙම ස්ථූපය පවතින ස්ථානය බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වෙත ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව සහ අනන්ත ලක්ඛණ සූත්‍රය දේශනා කළ ස්ථානය ලෙස සැලකේ.


ධම්මික ස්ථූපය

චෞඛණ්ඩි ස්ථූපය (සම්මුඛ චෛත්‍යය)

මෙම ස්ථූපය හමුවන්නේ ප්‍රධාන පුරාවිද්‍යා පුදබිමට ළඟා වීමට ප්‍රථම කිලෝ මීටරයකට අඩු දුරකින් යුතු ස්ථානයකය. හතරැස් පදනමක් මත ඉදිකරන ලද බැවින් මෙම නම යෙදී ඇත.

මෙම ස්ථූපයේ ඉහළ කොටසේ පැති අටකින් යුතු කුලුනකි. මෝගල් අධිරාජ්‍යයේ හුමායුං අධිරාජයා මෙම ස්ථානයේ එක් රැයක් ගතකර ඇති අතර, එය සිහිවීම සඳහා ක්‍රි.ව. 1588 දී ඔහුගේ පුත් අක්බාර් අධිරාජයාගේ නියමය මත මෙම කුලුන තනනු ලැබ ඇත.

සාරානාත් කෞතුකාගරය

සාරානාත්හි පුරාවිද්‍යා කෞතුකාගාරය, ප්‍රධාන පූජා භූමිය ආසන්නයේම මාර්ගයේ අනෙක් පැත්තේ පිහිටා ඇත. මෙම කෞතුකාගාරය තුළ බෞද්ධ සහ හින්දු මූර්ති කැටයම් විශාල සංඛ්‍යාවක් දැකගත හැකිය. ගොඩනැගිල්ලේ වම් පැත්ත බෞද්ධ පුරා වස්තූන් සඳහා වෙන්කරනු ලැබ ඇත. දකුණු පස කොටස වෙන්කර ඇත්තේ හින්දු මූර්ති හා කැටයම් වෙනුවෙනි. කෞතුකාගාරයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ විගසම දක්නට ලැබෙන්නේ කැඩුණු අශෝක කුලුනේ මුදුනේ පැවති සිංහ ශීර්ෂයයි. මෙම සුවිසල් ලාංඡනයේ ඉහළින්ම ඇත්තේ සිංහ රූප හතරකි. ධර්මය සිව් දෙස පැතිරවීම මෙයින් සංකේතවත් වේ. සිංහ රූපවලට ඉහළින් තිබූ ධර්ම චක්‍රයේ කැඩුනු කොටස් හඳුනාගෙන වක්‍රාකාරව නැවත සකසා සිංහ ශීර්ෂය පසුපස වෙනම ප්‍රදර්ශනය සඳහා තබා ඇත. සිංහ ශීර්ෂය නිදහස් ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය ලෙස ව්‍යවහාරික මුදල්වලට පවා ඇතුළත් කර ඇත.

ඉන්දීය ජාතික කොඩියේ මැදට යොදා ඇත්තේ ධර්ම චක්‍රයයි. අශෝක අධිරාජ්‍යයේ සලකුණු මෙලෙස ඉන්දීය රාජ්‍ය ලාංඡන බවට ඇතුළත් කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කර ඇත්තේ ආචාර්ය අම්බෙක්කාර්තුමාය. බෞද්ධයෙකු වූ එතුමා නිදහස් ඉන්දියාවේ බෞද්ධ ප්‍රබෝධයේ නායකත්වය ඉසිලූ අතර, ශ්‍රී ජවහර්ලාල් නේරු රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු ද විය.

දඹදිව අශෝක කුලුනු අතර සාරානාත් කුලුන විශේෂත්වයකින් නිම කරනු ලැබ ඇත. කෞතුකාගාරයේ තැන්පත් කර ඇති කුලුනු ශීර්ෂ විශේෂිත පාෂාණයකින් නිමකර ඇති අතර අදටත් එහි ඔපය නොවෙනස්ව පවතී. මෙම නිමාව කෙරෙහි මෞර්ය අධිරාජ්‍යයට සමකාලීනව යුරෝපයේ පැවැති ගී‍්‍රක රෝම අධිරාජ්‍යයන්හි පැවැති මූර්ති ශිල්පයේ ආභාෂය යම් හෙයකින් ලැබී ඇති බව පෙනී යයි.

තවත් කොටසක් ඉල් පුර පසළොස්වක පොහෝදා නොවැම්බර් 6 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 10 සදහම් සිසිල ලොවට බෙදා දුන් බරණැස ඉසිපතන මිගදාය