Print this Article


බලතල සහිතව සසර ගමනට උපකාරවත් වන කඨින පින්කම

බලතල සහිතව සසර ගමනට උපකාරවත් වන කඨින පින්කම

සිද්ධාර්ථගෞතම මහබෝසතාණෝ සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු සත් සති ගෙවා බරණැස ඉසිපතනයට වැඩම කොට, පස්වග මහණුන්ට දම්සක් පැවැතුම් සූත්‍රයෙන්, තමන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද ‘චතුරාර්ය සත්‍යය’ පදනම් කරගත් ධර්මය දේශනා කොට සැමට වැඩිමහල් කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් මඟට පත්කළ සේක. නොබෝ දිනකින් එකී පස්නම ම මහරහත් බවට ද පත්කොට ප්‍රථම දේශනාව පැවැත් වූ ඇසළ පෝයෙන් ආරම්භ වුණ පළමුවැනි වස් කාලය ඉසිපතනයෙහි ම විසූහ. ඒ අතර යසකුල පුත්‍රයාණන් ද ඔහුගේ පනස් හතර දෙනෙකුගෙන් යුත් පිරිසක් ද පැවිද්දට පත්වුහ

සිද්ධාර්ථ ගෞතම මහබෝසතාණෝ සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු සත් සති ගෙවා බරණැස ඉසිපතනයට වැඩම කොට, පස්වග මහණුන්ට දම්සක් පැවැතුම් සූත්‍රයෙන්, තමන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද ‘චතුරාර්ය සත්‍යය’ පදනම් කරගත් ධර්මය දේශනා කොට සැමට වැඩිමහල් කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් මඟට පත්කළ සේක. නොබෝ දිනකින් එකී පස්නම ම මහරහත් බවට ද පත්කොට ප්‍රථම දේශනාව පැවැත් වූ ඇසළ පෝයෙන් ආරම්භ වුණ පළමුවැනි වස් කාලය ඉසිපතනයෙහි ම විසූහ. ඒ අතර යසකුල පුත්‍රයාණන් ද ඔහුගේ පනස් හතර දෙනෙකුගෙන් යුත් පිරිසක් ද පැවිද්දට පත්වූහ. වස් කාලය තුළ බුදුරදුන් මේ සැටදෙනා වහන්සේම වත් පිළිවෙත් පිළිබඳව ධර්මදේශනා කළයුතු ආකාරය පිළිබඳව පුහුණු කරවූ සේක. අප්පසන්නානංවා පසාදාය, පසන්නානං වා භීයෝභාවාය, නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ වඩ වඩාත් ප්‍රසාදය වර්ධනය කරගනු පිණිසත්, ක්‍රියා කළයුතු ආකාරය මනාව පැහැදිලි කරමින් බහුජන හිත පිණිස මේ නවලොව්තුරා ධර්මය දේශනා කරන මෙන් උපදෙස් දුන් සේක.

මේ සැටදෙනා වහන්සේගේ ව්‍යාප්තියෙන් බුදුරජාණන් වහන්සේගේ පහළවීම පිළිබඳ ආරංචිය අංග, මගධ දේශයන් පුරා පැතිරී ගියෙන්, කෝලිත උපතිස්ස තරුණ පරිබ්‍රාජක දෙපළ දෙසිය පනසක් පමණ පිරිසකුත් සමඟ පැවිද්දට පත්වූහ. සාරිපුත්ත, මොග්ගල්ලාන නමින් පසු කලෙක අගසව් බවට පත්වූවෝ මේ කෝලිත උපතිස්ස දෙදෙනාය. බුදුරජාණන් වහන්සේ ද උරුවෙල් දනව් ප්‍රදේශයෙහි විසූ උරුවේල කාශ්‍යප නමැති තව්සෙකු දහම් මඟට යොමු කොට ඔහුගේ පන්සීයක් පමණ ශිෂ්‍ය පිරිසක් සමඟ පැවිද්දට පත්කරවූහ. ඒ උරුවේල කාශ්‍යපගේම සොහොයුරන් වූ නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තවුසන් ද ඔවුන්ගේ තුන්සීය, දෙසීය බැගින් වූ ගෝල පිරිස ද උරුවේල කාශ්‍යප ගත් මගම ගත්හ.

බුද්ධත්වයෙන් මේ පළමු වසර තුළම අංග මගධ දෙරටින් දස දහසක පමණ පැතූ පුණ්‍ය බලය ඇති තරුණ පිරිස් බුදුරදුන් වෙත පැමිණ පැවිද්දට පත් වූහ. තම පුතණුවන් රජගහනුවර බිම්බිසාර මහා රාජයාගේ වේළුවනයෙහි වෙසෙන බව අසා සුද්ධෝදන පිය මහාරාජයාණෝ ද තම පුතණුවන් කැඳවාගෙන එනු පිණිස ඇමතිවරුන් යටතේ දහස දහස බැගින් දස දහසක පිරිසක් ද රජගහනුවරට එවූහ. ඒ සියල්ලෝ ද පැවිද්දට පත්වූහ. මෙසේ බුද්ධත්වයෙන් පළමු වසර නිම වන විට විසිතුන් දහසකට ආසන්න ශ්‍රාවක පිරිසක් පැවිද්දට පත්වූවා පමණක් නොව, වැඩිදෙනා මගඵල පිළිවෙලින් රහත් බවටද පත්ව සිටියහ.

බුදුසව්වන්ට චෝදනාවක්

උන්වහන්සේලා ගමින් ගම තැනින් තැන ගමන් කරමින් ගම් දනව් බෙදාගෙන වැඩමකරවන සේක්, වැසි කාලයේ ද මේ සේවාව අපහසුවෙන් වුවද පවත්වාගෙන ගියහ. මෙය දුටු මිනිස්සු “මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණවරු වර්ෂා කාලයෙහි මෙසේ තැනින් තැන ගමන් කරන්නාහු ද? වර්ෂාව නිසා දළුලා පැළවීගෙන එන තණ පැළෑටි ද පාගා විනාස කරන්නාහුය. පණු ගැඩවිල් ආදී ශුද්‍ර ප්‍රාණීන් ද පෑගී මරණයට පත් වෙති. වර්ෂා ජලයෙන් තෙමී ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ද ලෙඩ වෙති. පරිබ්‍රාජක, නිගණ්ඨ, තීර්ථක, ආජීවක, ජටිල ආදී අන්‍යලබ්ධික ශ්‍රමණවරු මෙසේ හැසිරෙන්නේ නැත. මෙය භික්ෂූන්ට නොහොඹිනා ක්‍රියාවකැයි දෝෂාරෝපණය කරන්නට පටන් ගත්හ. මේ ආරංචිය තථාගත බුදුරජාණන් වහන්සේට ද ගිහි පැවිදි දෙපක්ෂයෙන් ම දැන ගැනීමට ලැබීම නිසා භික්ෂූන් රැස්කරවා අනුශාසනා කොට ශාසනික පැවැත්මේ ස්ථිරතාවය ඇතිකරවනු සඳහා පහත සඳහන් ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කළ සේක.

වස් විසීමට අනුදැනීම

“අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් විනය පිටකයට අයත් මහාවග්ගපාලියෙහි දැක්වෙන පරිදි “ඇවැත්නි මහණෙනි, ඔබ වහන්සේලා වස් සෘතුවට අයත් සිව් මාසය තුළ එක් තැනක විසීමේ, එනම් “ඒකට්ඨාන පටිපදාව“ සමාදන්විය යුතු ය. යනුවෙන් පනවා වදාළහ. පසුව යම් යම් කරුණු කාරණා ඉදිරිපත්වීම නිසා අනුප්‍රඥප්ති මගින් පෙරවස් හා පසුවස් සමාදන් වීමට අනුමත කළ සේක. ඇසළ පොහෝ දින වස් සමාදන්ව වප් පුර පොහෝ දින වස් පවාරණය කළ යුතු ය. එසේ සමාදන් වීම පෙරවස් විසීමයි. එසේ බැරිවුවහොත් නිකිණි පොහෝ දින පසුවස් සමාදන්ව ඉල්මස පොහෝ දින වස් පවාරණය කළ යුතු ය.

විනයානුකූලව කඨින සිවුරක් ලබාගත හැක්කේ පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලාට පමණි. එනම් ඇසළ පොහෝ දින වස් සමාදන්ව වප් (ඔක්තෝබර්) පුර පසළොස්වක් පොහෝ දා වස් පවාරණය කිරීම කරන භික්ෂූන් වහන්සේලාට ය. පසුවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේට එනම් නිකිණි පුර පසළොස්වක් පොහෝ දින වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේට කඨින සිවුරක් පිළිගැනීමට කැප නැත.

දඹදිව මධ්‍ය දේශයට සෑම වසරකම ඇසළ පොහෝ දින සිට හාර මාසයක් පුරා වර්ෂා සෘතුව උදාවෙයි. ඒ කාල සීමාව තුළ නිරන්තරයෙන් ම විටින් විට තද වැහිවළාවන් ද සාමාන්‍ය වැසි වළාවන් ද ඇතිවන අතර නිරන්තරයෙන් දිවා රාත්‍රි පොදවැස්ස අඛණ්ඩව පවතී. එනිසා ගොවිතැන් කටයුතු නිමවා ශෂ්‍ය වර්ග, ධන ධාන්‍ය තම නිවෙස්වල සුරැකිව තබාගැනීම සිරිතකි. මෙම කාලය ගොවිතැන් කටයුතු කර කියා ගැනීමට නොහැකි බැවිනි. කුඩා සතුන් පවා මේ කාලය වන විට කන බොන දේ ගුල්වල, බෙනවල සුරැකිව තබාගනිති. ගොවිතැන් කරන කාලේ කුරක්කන්, කඩල, කවුපි ආදිය පිටි බවට පත්කරගෙන පිට්ටු තම්බා ඒවා කෑලි වශයෙන් කපා තමන්ගේ රසවතියෙහි, උයන කුස්සියෙහි අර පිට්ටු කෑලි හිල් කොට දිගට එල්ලා තබති. සාමාන්‍ය උණ බම්බු ප්‍රමාණයට වූ එම පිට්ටු කෑලි දුම්වැදී සවිවූ විට වසරක් වුවද සුරැකිව තබාගත හැකිය.

වර්ෂා කාලයේ දී අර පිට්ටු කෑලි අවශ්‍ය පරිදි ගෙන වතුරෙන් හොඳට සෝදා පිරිසුදු කොට වංගෙඩියෙහි ලා කොටා කුඩු බවට පත්කරගෙන නැවත පිට්ටු වශයෙන් හෝ රොටී වශයෙන් තම්බාගෙන සුදුසු ව්‍යඤ්ජන සාදාගෙන අනුභව කරති. මෙසේ වැසි කාලවලදී අල වර්ග ද කපා කොටා වේලා තැන්පත් කොටගෙන අනුභවයට ගනිති. අටුකොස් ද එබඳු ආහාරයකි. රැකී රක්ෂාවට යාම ඒමක් හෝ ගොවිතැනක් කර කියා ගැනීමට නොහැකිවීම මෙයට හේතුවයි. ඒ ඒ රට රාජ්‍යවල මිනිසුන්ගේ පැවැත්ම මෙයින් පැහැදිලි වන්නේ ය. භික්ෂූන් වහන්සේලාට ද එක් ස්ථානයක වෙසෙමින් පහසුවෙන් පිළිවෙත් පුරාගැනීමට ද මේ නිසාම වස් කාලය ප්‍රයෝජනවත් වේ. බොහෝ භික්ෂූන් වහන්සේලා වස් කාලය ඉදිරියට තබාගෙන, වස් විසීමට සුදුසු තැනක් ලබාගෙන දායකයින් දෙන සිව්පසය ද ලබාගෙන, බණ භාවනා කොට බහුල වශයෙන් මාර්ගඵලවලට පත්වන්නෝ මේ වස්කාලයන්හිදී ය.

වස්සික සාටකය – වැසි සළුව

වස් ආරාධනා කරන දිනයෙහි දී වස්සාන සමයෙහි අඳනකඩයක් හෝ නානකඩයක් වශයෙන් පාවිච්චි කිරීමට හැකිවන පරිදි සතර පස් රියනක සුදු වස්ත්‍රයක් පූජා කිරීම ද බුදුරදුන් විසින් අනුමත කරන ලද්දකි. එය පඬු පොවා කියාගෙන ජලස්නානය කරන විට ඇඳගැනීමටත් පිනි බෑම් ආදියෙන් ආරක්ෂා වීමට හිස සහ උඩුකය වසා ගැනීමටත් ප්‍රයෝජනවත් වන හෙයිනි. මෙය විශාඛා සිටුදේවියගේ ඉල්ලීමක් උඩ බුදුරදුන් අනුමත කරන ලද්දකි.

වස් විසීම

වස් ආරාධනා කිරීමට දායක දායිකා පිරිසක් හෝ දායක දායිකා මහතෙක් හෝ මහත්මියක් ඇතත් නැතත් උපසම්පදා භික්ෂු නමක් ඇසළ පෝදා අනික් භික්ෂූන් වහන්සේලා සමඟ සීමා මාලකයකට ගොස් පොහොය විනය කර්ම කොට සෘතුව යෙදී ඇති පරිදි එදින හෝ ඊට පසුදින වස් සමාදන් විය යුතු ය. ඒ සඳහා වහලයක් ඇති කුටියක් හෝ ගෙයක් නැත්නම් මඩුවක්, එහෙමත් නැත්නම් ගල් ගුහාවක් සකස් කරවා ගත යුතු ය. කෙනෙක් නැත්නම් තමන් වහන්සේ සකස් කරගත යුතු ය. තමන් වහන්සේ ඉදිරි ඇසළ පෝදින වස් සමාදන් වීමට බලාපොරොත්තු වන බැවින් සාරමසකට පමණ සුදුසු තැනක් පිළියෙල කර දෙන්නැයි තව කෙනෙකුට දැනුම්දීමට ද භික්ෂූන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අනුමැතිය දී තිබේ.

පුරාණ කාලයෙහි භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් වශයෙන් දහ පහළොස් නමක්, තිස් හතළිස් නමක්, නැත්නම් හැට හැත්තෑ ගණන් හෝ ඊට වැඩි සිය ගණනක් එක්ව බුදුරජාණන් වහන්සේ වෙත අඩුම තරමින් සතියක් හමාරක්වත් නැවතී රහත්වීම පිණිස තමන්ගේ චරිතයට අනුකූල භාවනා ක්‍රමයක්, කර්මස්ථානයක් දැනකියාගෙන නගරයෙන් පිට නුදුරෙහි ගම්මානයක් පිහිටි විවේකී වන පෙදෙසක වස් සමාදන්ව තෙමස පුරාම කමටහන් වඩමින් එමගින් ඔවුන් වහන්සේලා මගඵල ලබාගැනීම බොහෝ සෙයින් ම සිදුවන්නකි.

තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවෙසෙන සමයෙක සමානගති පැවතුම් ඇති පි‍්‍රය මනාප මිතුරු දහමින් වැඩුණු තරුණ විය ඉක්මවමින් සිටි භික්ෂූන් වහන්සේලා සැට නමක් පැමිණ තමන් වහන්සේලාගේ චරිතානුකූලව සුදුසු කර්මස්ථානයක් ලබාදෙන මෙන් බුදුරදුන්ගෙන් ඉල්ලා සිටිමින්, භාග්‍යවතුන් වහන්ස, අපි සැටදෙනා වහන්සේ මිතුරුදමින් වැඩුණු ඇත්තෝ වෙමු. අපි සියල්ලෝම එක එක ගම්වල විසූ අය වුවද, පැවිදි බවට පත්වූවෝ රහත් බවට පත්ව නිවන් අවබෝධ කරගනු සඳහාය. පැවිද්දට පත්ව උපසම්පදාව ද ලබා දැනට අවුරුදු හත අටක් ගතවී ඇත. සාරිපුත්ත මොග්ගල්ලානාදී මහරහතන් වහන්සේලාගෙනුත්, බුදුපියාණන් වහන්සේගෙනුත් බණ අසා අපේ දැඩි උත්සාහය හැකිතාක් ඉක්මනින් සසර ගමන කෙළවර කර ගැනීමට ය. ඒ සඳහා අපට යෝග්‍ය භාවනා ක්‍රමයක් වදාරනු මැනව යි ඉල්ලා සිටියහ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාගේ චරිතානුකූලව ඒ ඒ අයට යෝග්‍ය භාවනා ක්‍රම කියාදුන් සේක.

උන්වහන්සේලා සියල්ලෝම බුදුරදුන් චරිතානුකූලව දෙවා වදාළ කමටහන් ගෙන “වස් කාලය තුළ ම තම අදහස් මුදුන්පත් කරගනිමු”යි අදිටන්කොට ගෙන සැටදෙනා වහන්සේ එක්ව පිටිසර සුදුසු ගම්වරයක් සොයාගෙන වඩින්නෝ එක්තරා දිනෙක කොසොල් රාජ්‍යයට ම අයත් අල්ලගාම හෙවත් ඇලගමුව නම් ගම්වරයකට පිවිසියහ. මේ පිටිසර ගමෙහි උන්වහන්සේ සැටනම සංසුන්ව වඩින ආකාරය දැක ගම් ප්‍රධානී මාතික මාතා නම් කාන්තාවක් මේ භික්ෂු පිරිස දැක, තම නිවසට වැඩම කරවා, අහළ පහළ අසල්වාසි ගෙවල්වල කීපදෙනෙකුත් සමග වහා ආහාර පිස දවල් දානය පූජා කරන ලදී. අනතුරුව උන්වහන්සේලාගෙන් මෙසේ ප්‍රශ්න කරන්නී, “ස්වාමීනි ඔබ වහන්සේලා, මේ කොහි වඩින සේක්ද?” “උපාසිකාවෙනි, ඇසළ පුර පසළොස්වක පොහෝ දිනට තව සතියකට වඩා නැත. බුදුරජාණන් වහන්සේ මේ දිනවල සැවැත්නුවර වෙසෙන සේක. උන්වහන්සේගෙන් බණ අසා ටික කලක් සැවැත්නුවරම වාසය කොට අපි අපට ගැළපෙන භාවනා ක්‍රමයක් ද අසා ඉගෙන කියාගෙන කමටහන් වඩා ඉදිරි වස් කාලය තුළදීම මාර්ගඵල අවබෝධ කරගන්නෙමු’යි යන අදහසින් අපි මේ වස් විසීමට සුදුසු ගම්මාන දෙක තුනක් අසළ පිහිටි වන ලැහැබක් සොයා යන්නෙමු” යි පිළිතුරු දුන්හ. එවිට මාතික මාතා නමැති සසර කරන ලද පින් ඇති කාන්තාව ගම්වාසීන් සමඟ කුටි සැටක් සාදවා උන්වහන්සේලාට පූජා කොට වස් සමාදන් කරවන ලදහ. ගම්වාසීන්ට රැස්වී බණ දහම් ඇසීමට සුදුසු ශාලාවක් ද ඉදිකර ගත්හ.

එතැන් පටන් හීල් දානය දවල් දානය පිළිගන්වා, සවසට සුදුසු ගිලන්පසක් පූජාකොට බණ ඇසීමට ද දේශනා වසානයේ දී දෙනු ලබන බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ මරණානුස්සති ආදී භාවනාවක් කිරීමට ද පුරුදු වූහ. මාතිකමාතා උපාසිකාතොමෝ තම පිරිසක් සමඟ දවල් කාලයේ උන්වහන්සේලා දකින්නට ගියා ය. හැම කුටියක් ම හිස් ය. කිසිදු භික්ෂූන් වහන්සේ නමක් නො සිටියහ. මාතික මාතාව භික්ෂූන්ගේ ආවතේවයට නවතා සිටි කැපකරුවාගෙන් මේ ගැන විමසන්නී, “භික්ෂූන් වහන්සේලා කොහි වැඩසිටිත් දැයි” ඇසීය. “මහෝපාසිකාවෙනි, උන්වහන්සේලා මේ වන ලැහැබෙහි ගස් යට වාඩි වී භාවනා කරති. දවල් දානයට නියමිත වේලාවට වැඩම කරති යි කීය. “පින්වත දැන් උන්වහන්සේලා දැකීමට කුමක් කළයුතුද? “මෑණියෙනි අර ගහේ එල්ලා තිබෙන ලී බම්බුවට මේ පොල්ලෙන් වාර දෙකක් ගසා ශබ්ද කරනු මැනවි. එවිට උන්වහන්සේලා වඩිනු ඇතැයි කීය. මාතිකමාතාව ඔහු ලවා ම ගෙඩිය ගැසූ පසු සියලුදෙනා වහන්සේම ශාලාවට රැස්වූහ. “ස්වාමීනි ඔබ වහන්සේලා භාවනා වැඩීමට කැලයේ රුක්මුල්වලට වැඩිය බව උපස්ථායක පින්වතාගෙන් දැනගතිමි. ස්වාමීනි, දන්දීම් ආදියෙන් පමණක් සෑහීමට පත් නොවී අපටත් ඉඩකඩ ඇති පරිදි කමටහනක් වඩා මගඵල ලැබිය නො හැකිද? “උපාසිකාවෙනි, පිළිවෙත් ගරුකව කමටහන් වඩතොත් පෙර පින් තිබෙන කවර කෙනෙකුට වුවද මග ඵල ලැබීමට අපහසුවක් නැතැයි පෙන්නා දුන්හ. උපාසිකාව ද කමටහනක් උගන්වන්නැයි ඉල්ලා සිටියා ය. තථාගතයන් වහන්සේ විසින් තමන්ට උගන්වා වදාළ භාවනා ක්‍රමය උපාසිකාව ඇතුළු පිරිසට ද කියා දුන්හ. ඒ අනුව භාවනා කළ මාතික මාතාව නොබෝ කලකින්ම අනාගාමී ඵලයට පත්වූවා ය.

බලවත් සේ සතුටට පත් ඕ තොමෝ භාවනා කිරීමෙන් ලද ප්‍රතිඵල අනුව දිවැසින් වස්වසන ලද ස්වාමීන් වහන්සේලා මගඵල අවබෝධ කොට ඇද්දැයි බැලුවා ය. “අහෝ පුදුමයක්! කිසිම හාමුදුරුනමක් මාර්ග ඵලයක් තබා ධ්‍යානයක්වත් උපදවාගෙන නැත. එයට හේතුව කුමක්දැයි බලන්නී! ඒ ඒ භික්ෂූන් වහන්සේලා පි‍්‍රය කරන, ඒ ඒ ශරීරවලට ගුණදායී ආහාර නොලැබෙන නිසා බව දැන, යෝග්‍ය කැමති කැමති ආහාර පාන සපයා දුන්නීය. මෙසේ වස් සමයෙහි අන්තිම මාසය තුළ කටයුතු කිරීම නිසා වස් පවාරණයට පෙර සැමදෙනා වහන්සේට සෘද්ධිබල සහිතව කෙලෙසුන් නසා උතුම් වූ රහත් ඵලයට පත්වුහ. මග ඵල ලබාගැනීමට සුදුසු පරිසරයක්, යෝග්‍ය ආහාරපාන, කලණමිතුරු ඇසුර ලබාගත යුතු බව ඉහත සඳහන් කතා පුවතින් පැහැදිලි වන්නේ ය.

කඨින පින්කම් දින අලුයම ගම්වාසීහු සාධුකාර පවත්වමින් මහා පෙරහරකින් උඩුවියන් සහිතව, හිස මතුපිටින් කඨින වස්ත්‍රය එළිය වැටෙන වේලාවට වෙහෙරට පමුණුවා, සැටදෙනා වහන්සේම ශාලාවට වැඩම කරවා වඩා හිඳුවා, පංච ශීලයෙහි පිහිටා මේ වාක්‍යය කියමින් කඨින වස්ත්‍රය මහතෙරුන් ප්‍රධාන මහ සඟනට පූජා කළෝ ය.

“මයං භන්තේ කම්මං ච කම්මඵලං ච සද්ධහිත්වා සංසාරවට්ටදුක්ඛතෝ නිත්ථරණත්ථාය ඉමං කඨින දුස්සං භික්ඛු සංඝස්ස දේම” යන වාක්‍යය දුතියම්පි, තතියම්පි දෙවැනි තුන් වැනි වරටත් කියා සියල්ලෝ ම අතගසා මහා සාධුකාර මැද සඟසතු කොට පූජා කළහ. ඉන් පසු අර මහාසංඝයා වහන්සේ විනයානුකූලව දොළොස්රියනක රෙද්ද භික්ෂු නමකගේ උස මහතට ගැළපෙන පරිදි නූල් ගසා, වස් අත්ත, ඇල අත්ත, හුවා, ජංගෙය්‍ය ගීවෙය්‍ය ගණ්ඨිපාසාදී වශයෙන් කඩ කඩ කොට කපා අතින් ම ගෙත්තම් කිරීමට පටන්ගත්හ. ඒ පිළිබඳ දන්නා කියන තරුණ ගිහි ළමයි ද මේ සිවුර ගෙත්තම් කිරීමට සම්බන්ධ වූහ.

එනිසා ම උදේ දානය පමණක් නොව දවල් දානය ද පිළියෙල කොට සිවුරුකම් කරන භික්ෂූන් වහන්සේලාට දායක දායිකාවෝ දන් දුන්හ. ඉර අවරට යත්ම සිවුර මසා නිමකරන ලද හෙයින් කොස් ගස්වල මුල් පොතු, නුග පොතු ගෙන තම්බා තිබූ රස්නය සහිත කහට (පඬු) වතුරෙන් පොඟවා පොඩිකර නිසි පරිදි දෙතුන් වරක් පඬු පොවන ලදී. ඉන් අනතුරුව තරමක් වේලාගත් සිවුර බෝඹු කොළ සහ පොතු තැම්බූ රස්නය සහිත කහපාට වතුරෙන් ද සෝදා මිරිකා වේලා පිළියෙල කරගත් සිවුර, එදින රාත්‍රියෙහි ප්‍රථම යාමය ඉක්මෙන්නට කලින් එනම් රාත්‍රී දහය වීමට පෙර අද වේලාවෙන් නම් රාත්‍රී අටට පමණ වන විට එම සිවුරම ඇඳගෙන මහතෙරුන් වහන්සේ සියල්ලන්ට ම කඨිනානිශංස ධර්මදේශනාව පවත්වන ලදහ.

විනය කර්මයක්

ඉන්පසු සැමදෙනා වහන්සේගෙන් මහතෙරුන් වහන්සේ ප්‍රධානව තව දොළොස් නමක් වස් විසූ වනෝද්‍යානය අසළ පිහිටි ගලාබසින ඔයට ගොස් ලොකු අඟුලකට නැග වැලි පොල්කට්ටක් ගෙන විනයධාරී තෙරනමක් හතර දිසාවට වැළි ඉස තාවකාලික සීමාවක් දියෙහි ඇතිකර ගත්හ. අනතුරුව කඨින වස්ත්‍රය පැවරීමට යෝග්‍ය ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් මහතෙරුන් වහන්සේම නම නියම කරගෙන එහි සිටි විනයධාරී භික්ෂු නමක් පළමුව නමස්කාරය කියා විනය වාක්‍යයෙන් මහතෙරුන් වහන්සේට කඨින චීවරය පැවරූහ.

සතිකරණය

වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ ප්‍රධාන වශයෙන් ආරක්ෂා කරගත යුතු ප්‍රතිපත්ති දෙකකි. එයින් පළමුවැන්න සති කරණයයි. සතිකරණය යනු තමා වස්විසූ ස්ථානය පිළිබඳව වස්සාන සමය නිමවනතුරු දැඩි බැඳීමකින් යුතුව විසීමය. තමන් වහන්සේ වස් වසන දවසෙහි සවස බුදුන් වැඳ වත් පිළිවෙත් කොට වතපිරිත දේශනා කොට ගෙන එහි වෙසෙන අනිකුත් භික්ෂූන් වහන්සේලා වෙතොත් එබඳු උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් සමඟ ඇවැත් දෙසාගෙන තැනක තැන්පත්ව වාඩි වී “ඉමස්මිං විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි ඉධ වස්සං උපේමි” යන වාක්‍යය දුතියම්පි, තතියම්පි වශයෙන් තුන් යලක් කියා වස් අධිෂ්ඨාන කරගත යුතු ය. එයින් අදහස් කරන්නේ මෙම වස් තුන්මාසය මෙම විහාරස්ථානයෙහි ම වෙසෙමි” යන අදහසය. එවිට ඒ ආරාමය හෝ පන්සලේ විහාරාංගවලින් සමන්විත ආරාමභූමිය සීමාව වශයෙන් අධිෂ්ඨාන කරගත යුතු ය.එම ආරාමයේ ගේට්ටුවෙන් පිටතට යන විට සෑම අවස්ථාවකදීම “මේ මං වස් විසූ ස්ථානය යි නැවත වහා මෙම ආරාමයට පැමිණිය යුතුය” යන අධිෂ්ඨානයෙන්ම පිටත්විය යුතු ය.

වරු පිරිතකට, මතක වස්ත්‍ර පූජාවකට පැය භාගයකින් නැවත එන ගමනකට වුවද පන්සලේ ඉඩමේ දොරටුවෙන් පිටවන විට මම නැවත මෙතැනට එන්නෙමියි යන අදහස ම සිත තබාගත යුතු ය. දවසකට දහ පහළොස් වතාවක් ආරාම භූමියෙන් පිටතට ගිය ද නැවත එන්නෙමි, යන අදහසින් ම යා යුතු ය. බුදුරදුන් මෙසේ අනුදැන වදාරා ඇත්තේ ඒ වස් සමය තුළ ස්ථානය පිළිබඳව දැඩි ඇල්මක් ඇතිකරවනු පිණිසය. භික්ෂූන් වහන්සේලාට බොහෝ විට අමතක විය හැකි බැවින් “අයං වස්සාන කාලෝ” යනුවෙන් ලොකු අකුරෙන් ලෑල්ලක ලියා පන්සලේ ආවාස ගෘහයෙන් පිටවෙන විටම ඉදිරියට පෙනෙන ප්‍රමාණයක ගහක හෝ බිත්තියක එල්ලා සවිකොට තිබීම සිරිතයි. එවිට වස්සාන සමය සති කරණය ගැන නිතැනින්ම මතකයට එන්නේ ය.

ඉතිරි කොටස ඉල් පුරපසළොස්වක පත්‍රයේ පළවේ.