Print this Article


සත්පුරුෂ ඇසුර

සත්පුරුෂ ඇසුර

මිනිසාගේ පිරිහීමට හේතුවන කරුණු අතර දෙවැනි තැන ගන්නේ සත්පුරුෂයන් පි‍්‍රය නොකර අසත්පුරුෂයන් පි‍්‍රය කිරීමයි. එම තැනැත්තා සත්පුරුෂ ධර්මය පි‍්‍රය නොකරයි, අසත්පුරුෂ ධර්මය පි‍්‍රය කරයි.

සත්පුරුෂ ධර්මය යනු කුමක්දැ?යි යම් අයකුට ප්‍රශ්නයක් පැන නැඟිය හැකියි. අන්‍යයන්ට කිසිදු ආකාරයක හිරිහැර, කරදර නොකර දිවි ගෙවීම සත්පුරුෂ ධර්මයයි. සරලව කියන්නේ නම් පංචශීලය ආරක්ෂා කරන්නේ නම් එතැන සත්පුරුෂ ධර්මය රඳා පවතිනවා. යම් අයකු පංචශීලය රකින්නේ නම් ඔහු සත්පුරුෂයෙක්. ඔහු පි‍්‍රය නොකරන්නා පිරිහෙයි. එම පවුලම පංචශීලය රකින්නේ නම් එම පවුලම සත්පුරුෂ පවුලක් වනවා. එම පවුල පි‍්‍රය නොකරන්නන් පිරිහෙනවා. මේ ආකාරයට යම් ගම්මානයක්, නගරයක්, පළාතක්, රටක් සත්පුරුෂ ධර්මය රකී නම් සත්පුරුෂයන් පි‍්‍රය කරමින් දිවි ගෙවන්නේ නම් සත්පුරුෂ ධර්මය අනුගමනය කරන්නේ නම් එතැන සාමය රඳා පවතිනවා. එම ගම රට හෝ නගරය දියුණුව කරා යනවා. කුමන හෝ ආපදාවකදී හෝ ධර්මය විසින්ම ඔවුන්ට රැකවරණය ලබා දෙනවා. එසේ සත්පුරුෂ ධර්මය අනුගමනය නොකර අසත්පුරුෂ ධර්මය පි‍්‍රය කරන පුද්ගලයා නිසා පවුල මෙන්ම සමාජයද පිරිහීමට ලක්වෙනවා.

සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කළ ලිච්ඡවී රජදරුවන් කිසිවකුටවත් යටත් කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කරුණු දෙස බලමින්.

මේ අපරිහානීය ධර්ම මොනවාද? අපට රැකීමට අපහසු ධර්මයන්ද? එයින් පළමුවැන්න නිතර සමඟියෙන් රැස්වීමයි. නිවෙසක හෝ වේවා කාර්යාලයක හෝ වේවා සමිතියක හෝ වේවා නිතර සමඟියෙන් රැස්වීමෙන් සිදුවන්නේ සෑම දෙනා අතර හොඳ හිත පැතිරීමයි. ඒ සඳහා මුදලක් වැය නොවේ. සම්පත් වැය නොවේ. වෙනත් කිසිවක් වැය නොවේ. සියල්ල තිබිය යුත්තේ තම සිතෙහිය. සෑම විටම සැවොම මම සමඟිව මේ සඳහා පැමිණෙමි යන්න සිත්හි තබා ගන්නේ නම් අපට සැම විටම සමඟිය රඳා පවත්වා ගත හැකි ය. සමඟිය තිබෙනතාක් කිසිවකුට හෝ ඔවුන් යටත් කළ නොහැකි ය.

බුදුදහමේ දැක්වෙන වටු වැද්දාගේ කතාව මේ සඳහා අපට ගත හැකි හොඳම උදාහරණයයි.

විහාරස්ථානයෙන් අපට මේ සඳහා ආදර්ශ ලබා දුන්නත් අපට සමඟිය මතක් වන්නේ, සමඟිය තිබෙන්නේ එතැන සිටිනතාක් කල් පමණයි. විහාරස්ථානයෙන් පිට වූ පසු අපට සමඟිය මතක නැහැ. ස්වාමීන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ එක් එක් පිරිසට වෙන් වශයෙන් නොවේ. පන්සිල් ලබා දෙන්නේ එක් එක් පිරිසට වෙන වෙනම නොවෙයි. මේ නිසා සමඟියේ අගය අපට වටහා දී ඇතත් අප ඒ සඳහා කටයුතු නොකරන බව පෙනෙනවා.

බුදුරජාණන් වහන්සේ සෝපාක, සුනීත වැනි අයට මෙන්ම අනේපිඬු සිටුතුමාටත් රජ්ජුමාලා, අම්බපාලි ගණිකාවට මෙන්ම විශාඛාවටත් සැලකුවේ එකම අයුරින්. ඒ සියලු දෙනාගේ දානය පිළිගත්තේ එකම සිතින්. මේ නිසා බුදු සසුන තුළ නිරතුරුවම සාමය සමඟිය ඇතිවුණා. යම් හෝ ගැටලු ඇති වූයේ නම් ලාභ සත්කාර ලබාගැනීමට උත්සාහ දැරූ වෙනත් ආගමික දාර්ශනික පිරිස් නිසයි. සප්ත අපරිහානීය ධර්ම අතර නොපැන වූ නීති නොපැනවීම මෙන්ම තිබෙන නීති නිසි පරිදි රැකීම, වැඩිමහලු පිරිසට සැලකීම මෙන්ම කාන්තාවන්ට ආරක්ෂාව සැලසීම මෙන්ම රටට ගමට නොපැමිණි මහණ බමුණන් ගෙන්වා ගැනීම මෙන්ම ආගමික ස්ථාන සුරැකීම වැනි කරුණුත් අඩංගු වුණා.

රටක නීති නිසි පරිදි අනුගමනය කිරීම සත්පුරුෂ ලක්ෂණයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. අප විසින් කළයුත්තේ එම නීති රැකීම පමණයි. මාර්ගයේ ගමන් කරද්දී දකුණෙන් ගමන් කළයුතු බවට නීතියක් තිබෙනවා. මාර්ගය හරහා යාමේ දී කහ ඉරකින් පාර මාරුවිය යුතු බවට නීතියක් තිබෙනවා.නමුත් අප හොඳටම දන්නවා. හොඳට පෙනෙනවා නීති රීති කිසිවක් බොහෝ දෙනෙක් ගණන් නොගන්නා බව. යතුරු පැදියේ ගමන් කරන්නා ‘හෙල්මට්’ එක අතේ අරගෙන යන්නේ. එය දමා ගන්නේ පොලිස් නිලධාරියකු දුටු විටයි. එයින් ආරක්ෂාව සැලසෙන්නේ තමන්ට බව ඔහු හොඳින්ම දන්නවා. වසා ඇති රේල් ගේට්ටු අතුරින් ගියොත් වන්නේ කුමක්දැයි හොඳින්ම දන්නවා.දැන දැනත් මේ ආකාරයෙන් අනතුරුවලට ලක්ව දිවි ගෙවූ පිරිස කෙතරම්ද? ඔවුන් නිසා යැපුණු පිරිස් අසරණ වෙනවා. එයින් එම පවුලේ පිරිහීම ඇති වීමටත් පුළුවන්.

වරක් තම බිසවට දියණියක උපන් බව අසා මහත් සේ දුක් මුසුව බුදුරජාණන් වහන්සේ හමු වූ කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේට ඒ බව සැලකළා. එම දියණිය මහත් වූ රත්නයක්, ඇය අනාගතයේ දී වාසනාවන්ත දූ පුතුන් බිහි කරනු ඇති. ඇය ආරක්ෂා කර රැක ගන්න යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

මේ සියලු ධර්මතා සත්පුරුෂ ධර්මයන් බව අප තේරුම් ගත යුතු වෙනවා. ඒ සියල්ලට ගරු කරන්නා සැමවිටම දියුණුව කරා යනවා. සත්පුරුෂ ධර්මය පි‍්‍රය නොකරන්නා සැම විටම පිරිහෙනවා. සමාජයේ සාමාන්‍ය දිවි පෙවෙත ගෙන බලන්න. කාර්යාලයක මත්වතුර පානය නොකරන පිරිස වැඩිනම් මත්වතුරට ඇබ්බැහි වූ ගිජු වූ එක් අයෙක් හෝ දෙදෙනෙක් පමණක් සිටීනම් ඒ තැනැත්තා හෝ තැනැත්තන් දෙදෙනා සැම විටම එක්වයි සාකච්ඡා කරන්නේ. කුමක් සඳහාද? කුසල කර්මයකට නොවේ. සැම විටම පාපකර්ම සඳහායි. එවන් සියලුදෙනා සත්පුරුෂ ධර්මය පි‍්‍රය නොකරන්නන් බව අපට පැහැදිලියි.

බුද්ධ දේශනාව වන්නේ,

තමෝ තමා පරායන
තමෝ ජොති පරායන
ජෝති තමා පරායන

ජෝති ජෝති පරායන යන්නයි. එහිදී පුද්ගලයන් සතර කොට්ඨාසයකට බෙදා වෙන් කර තිබෙනවා. අඳුරෙන් අඳුරට යන්නා ඉන් පළමුවැන්නායි. හෙතෙම පිරිහෙයි.

දෙවැන්නා අඳුරෙන් එළියට එන්නායි. ඔහු සත්පුරුෂ ධර්මය දැක ඒ සඳහා ගරු කිරීමට හා ඒ අනුව කටයුතු කිරීමට සූදානම් වූවෙක්. තුන්වැන්නා අඳුරෙන් එළියට යන්නෙක්. හෙතෙම සත්පුරුෂයන් ඇසුරින් ඈත් වන්නෙක්. සත්පුරුෂයන් ඇසුරු කළ ද අසත්ධර්මය කරා යමින් අසත්පුරුෂයන් කරා යමින් සත්පුරුෂයන් ඈත් කරන්නෙක්. හෙතෙමද පිරිහෙයි. සිව්වැන්නා එළියෙන් එළියටම යන සත්පුරුෂයන් වඩාත් ඇසුරු කර සපුරුෂ ධර්මයම සොයමින් ලෝකයේ සියලු ගුණධර්ම රැක ගැනීමට උත්සාහ දරන්නෙක්. සමාජය යහමඟට යන්නේ එවන් පුද්ගලයන් සිටියහොත් පමණයි.

මේ අයුරින් බලන කල පිරිහෙන පුද්ගලයා අපට පහසුවෙන් දැක ගැනීමට හැකි වෙයි. එමෙන්ම දියුණුවන පුද්ගලයාද අපට පහසුවෙන් දැක ගැනීමට හැකිවෙයි. පිරිහීමට පත් නොවී ඇසුරු කළ යුත්තේ කවුරුන්ද යන්න අංගුත්තර නිකායේ දුක නිපාතයේ පැහැදිලිව දක්වා තිබෙනවා.

නිහීයති පුරිසො නිහීන සේවි
නව භායෙථ කදාවි තුල්‍ය සේවී
සෙට්ඨමූපනමං උදේති ඛිප්පං
තස්මා අත්තනො උත්තරීතං භඡේථ

තමන්ට වඩා ගුණ නුවණින් අඩු අය ඇසුරු කරන පුද්ගලයා පිරිහෙයි. ගුණ නුවණින් සමාන තත්ත්වයේ සිටින අය ඇසුරු කරන අය තමන් සිටින තත්ත්වයෙන් නොපිරිහෙයි. උසස් අය ඇසුරු කරන තැනැත්තා වහා දියුණුවට පැමිණෙයි. එම නිසා තමන්ට වඩා ගුණයෙන් උසස් අය ඇසුරු කරන්න.

එසේම, සද්පුරුෂ ගුණයෙන් පිරි උතුම් පුද්ගලයන් තමන්ගෙන් අනුන්ට වැඩක් නොවේ නම් දෙව්ලොව වුවත් නිරයක් මෙන් සලකා එහි වාසය නොකරන අතර අනුන්ට වැඩක් වෙයිනම් මහා භයානක නරකාදියෙහි වුවත් දෙව්ලොව මෙන් සලකා නිතරම සුවසේ කල් ගෙවනු ලබයි. මේ සුභාෂිතයේ දැක්වෙන පද්‍යයක අර්ථයයි.

තිරසර ගුණැති උතුමෝ පරවැඩ නැති ද
වරසර පුරෙහිවත් නොවසති නිරය ලෙද
ගොරතර නිරෙහිවත් පරනට වැඩ ඇති ද
පරපුර ලෙසට සලකා හැසිරෙත් නිබඳ

(88 පද්‍ය)

එසේනම් සමාජයක පිරිහීම ළඟා කර ගැනීම හෝ දියුණුව රඳා පවතින්නේ සත්පුරුෂ හෝ අසත්පුරුෂ ඇසුරෙන් බව මෙයින් අපට පැහැදිලිවනවා. වර්තමානයේ දරුවන් පැහැර ගැනීම් මෙන්ම වෙනත් අපරාධයන්ට මුල් වී ඇත්තේ අසත් ධර්මය රුචි පුද්ගලයන් බිහි වීමයි. සත්පුරුෂ ඇසුරින් ඈත් වීමයි.

සමාජයේ කුඩාම ඒකකය වන පවුල මඟින්ම මෙම සත්පුරුෂ ධර්මයට රුචිකත්වය ඇති කිරීම මෙන්ම සත්පුරුෂ ඇසුර ළඟා කර දිය යුතු වනවා. අසත්පුරුෂ ඇසුර නිසා මිනිසා පිරිහෙන ආකාරය දරුවන්ට පහදාදීම අසීරු නැහැ.

කෙතරම් ගුණ ගරුක මවුපියන්ට වුවත් පිරිහෙන ලක්ෂණයෙන් පිරි දරුවන් සිටින්නේ සත්පුරුෂ ඇසුරට දරුවන් කුඩා කල සිටම යොමු නොකිරීම නිසයි.

සාකච්ඡා කෙළේ - තාරක වික්‍රමසේකර