Print this Article


ජීවිතය ජයගන්න මඟ

ජීවිතය ජයගන්න මඟ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අක්කෝධේන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානේන
සච්චේන අලිකවාදිනං
කාරුණික පින්වතුනි

අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත් ගාථා ධර්මය මෙලොව ජීවිතය සුවසේ ගෙනයාමට අවශ්‍ය දහම් කරුණු කීපයක් ඇතුළත් ගාථා ධර්මයකි.

ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන්ද
නුගුණ නැත්තා තුළ ගුණ ඇති කිරීමෙන්ද
නොදෙන්නා දීමෙන්ද
බොරු කියන්නා ඇත්ත කථා කිරීමෙන්ද

ජයග්‍රහණය කරන බව එම ගාථාවෙන් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ මෙම ගාථා ධර්මය දේශනා කිරීමට හේතුවූ කථා පුවත ඉතා වැදගත්ය. බුද්ධ කාලයේ රජගහ නුවර “සුමන” නමින් සිටුවරයෙක් වාසය කළේය. ඔහුට බැල මෙහෙවරකම් කරන දුප්පත් පවුලක්ද ඒ අසල විය. එම දුප්පත් පවුලේ මව්පියන්ට රූමත් 'උත්තරා' නමින් දියණියක්ද සිටියාය.ඇය තෙරුවන් කෙරෙහි ඉමහත් ශ්‍රද්ධාවෙන් යුතු කාන්තාවක වූවාය. දිනක් මෙම දුප්පත් පවුලේ සියලු දෙනා එක්ව සාරිපුත්ත මහ රහතන් වහන්සේට දානයක් පිරිනැමීය. එහි ආනිසංස බලයෙන් එම දුප්පත් පවුල ධනවත් වී සිටු පවුලක් බවට පත්වූ අතර “පුණ්ණ” නමින් සිටු තනතුර ද ලැබීමට හැකිවිය. මෙම සිටු පව්ලේ සියලු දෙනා එක්ව බුදුරජාණන් වහන්සේට ද දානයක් පූජා කළේය. පසුව බුදු බණ අසා පවුලේ තිදෙනාම සෝවාන් ඵලයට පත් වූහ. පසු කලෙකදී රජගහ නුවර “සුමන” සිටුවරයා තම පුතාට “පුණ්ණ” සිටුවරයාගේ “උත්තරා” දියණිය විවාහ කර දීමට සාකච්ඡා කළේය. එහෙත් සුමන සිටුවරයාගේ පුත්‍රයා මිථ්‍යා දෘෂ්ඨික වූ නිසා ඔහුට තම දියණිය විවාහ කරදීමට පුණ්ණ සිටුවරයා අකැමැති විය. නමුත් නිතර නිතර ඒ පිළිබඳ ඇවිටිලි කළ නිසා පුණ්ණ සිටුවරයා තම දියණිය වූ උත්තරාව සුමණ සිටුවරයාගේ පුත්‍රයාට විවාහ කර දුන්නේය.

මිථ්‍යා දෘෂ්ටිකයෙකු වූ සුමන සිටු පුත්‍රයා තම ස්වාමි දියණි වූ උත්තරාවන්ට දන්දීමට හෝ බණ ඇසීමට යාමට කිසිදු අවසරයක් නොදුන්නේය. එනිසා ඇයට විවාහ ජීවිතයද එපාවී සිටියේය. ඇය තම පියාට මෙලෙස ලිපියක් ලියා යැව්වාය.

“පියාණෙනි, මට විවාහ කරදුන් මේ සිටු පුත්‍රයා මට දන් දීමට හෝ බණ ඇසීමට අවසර නොදෙයි. පන්සලට යාමට අවස්ථාවක් නොදෙයි. ඒ නිසා මේ ජීවිතය මට කරදරයකි. ඉක්මනින් පැමිණ සතියකට හෝ මා කැඳවා ගෙන යන්න එලෙස ලියූ දියණියගේ ලිපිය බැලූ පියා ඉක්මනින් දියණිය සිටි ආසන්න නිවසට ගියේය. සුමන සිටු පුත්‍රයාට සිරිමා නම් ගණිකාව පාවාදී තම දියණිය නිවසට කැඳවාගෙන ගියේය. උත්තරා දියණිය තම මව්පියන්ගේ නිවසට පැමිණි දා සිට බුදු පාමොක් මහ සඟනට දිනපතාම දන් පිරිනැමීය.

දිනක් තම සැමියා සමඟ සිරිමා උඩුමහල් තලයේ සිට අවට සිරි නැරඹීමට ගිය අතර එහිදී ආසන්න නිවසේ උත්තරාව බුදුරදුන්ට පිදීමට කැවුම් පිසිණු දුටුවාය. එහිදී උත්තරා දියණිය සිරිමාව දෙස බලා සිනාසුනාය. ඒ දුටු සිරිමාව තමාට උපහාස පිණිස උත්තරාව සිනාහසුනේ යැයි සිතා වෛර සිතක් ඇති කරගෙන ඊට පළිගැනීමට සිතා පහත මාලයට බැස උත්තරාව කැවුම් පිසින නිවසට ද ගියාය. ගිනිහල්ගේ ඇතුළු වූ සිරිමාව කැවුම් පිසින උණුතෙල් බඳුන වෙත ගොස් හැන්දක්ගෙන එම බඳුනේ උණු තෙල් හැන්දකින් ගෙන උත්තරාගේ හිසට දැමීය උත්තරාව එහිදී සිරිමා කෙරෙහි මෛත්‍රිය පැතිර වූ නිසා එම උණු තෙල්වලට හිසේ එක් කෙස් ගසක් හෝ නොපිළිස්සුනේය. මවිතයට පත් සිරිමාව බියට පත් වූවාය. තමන් සිදු කළේ මහත් වරදක් බව වටහාගත් සිරිමාව උත්තරාවට වැඳ සමාව ඉල්ලුවාය. එහිදී උත්තරාව සිරිමාව අමතා සිරිමාවනි, මගෙන් පමණක් සමාව ගැනීම ප්‍රමාණවත් නොවේ. මගේ බුදුරජාණන් වහන්සේගෙන්ද සමාව ගන්න යැයි පැවසුවාය. සිරිමාව ඊට අකැමැති වූවත් උත්තරාවගේ බලවත් ඉල්ලීම නිසා බුදුරජාණන් වහන්සේගෙන් ද සමාව ඉල්ලුවේය. එහිදී බුදුරජාණන් වහන්සේ දෙදෙනා කැඳවා තොරතුරු විමසා ඉහත ගාථා ධර්මය මාතෘකා කර ගනිමින් ධර්මය දේශනා කළේය. ඒ අසා සිටි සිරිමාවත් තවත් පන්සියයක් කාන්තාවෝද සෝවාන් ඵලයට පත් වූහ. පින්වතුනි, මේ කථා පුවතින් අපට පැහැදිලි වෙනව නිවසක හෝ වෙනයම් ස්ථානයක අප ජීවත් වෙනකොට අප කවුරුත් සුහදව සමගියෙන් ජීවත් විය යුතු බව . පිරිසක් එක්ක ජීවත් වෙනකොට නුරුස්සනාකම්, සිත් රිදවීම්, අඩුපාඩුකම්, අසමගිකම් ඇති වෙන්න පුළුවන්. ඒවා තාවකාලික වශයෙන් සුළු මොහොතක් පමණක් විය යුතුයි. තරහ සිතට ආපසු කිසිදු දෙයක් අපට නිවැරදිව දකින්න. සිතන්න බැහැ. විරුද්ධවාදියා කෙසේ හෝ විනාශ කර දමන්නයි බලන්නෙ. නමුත් එදා උත්තරා නම් කාන්තාව මෛත්‍රියෙන් ක්‍රියාකළ නිසා සිදුවීමට ගිය මහ විපතක් වැළකුණා. පසුව සිරිමා නම් කාන්තාව පසුතැවිලි වුණා තමා කළ නපුරු ක්‍රියාව ගැන. නමුත් තමන් කළ වරදට තමා සමාව අරගෙන යහපත් කෙනෙක් වෙන්න හැකි නම් ඒක මේ ලෝකෙ උතුම් මානුෂීය ක්‍රියාවකි.

එදා බුදුරජාණන් වහන්සේ තමන් වෙත පැමිණි අංඟුලිමාල, නාලාගිරි ,ආලවක, ආදී දරුණු පුද්ගලයන් දමනය කළේ මෛත්‍රියෙන්. කරුණාවෙනි. මෛත්‍රියට කරුණාවට මේ සමාජයේ කළ නොහැකි දෙයක් නැහැ. ඒනිසා යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමේදී මෛත්‍රිය ,කරුණාව, දයාව, ඉවසීම යන ගුණාංග අප සතුව තිබිය යුතුයි. එබඳු යහගුණ නැතිවෙලා දුර්ගුණ අපේ ජීවිතයේ ඉස්මතු වුණොත් අපේ ජීවිතය අවාසනාවන්ත වෙනවා. මනුෂ්‍ය ජීවිතය කියන්නෙ කෙටි කාලීන ජීවිතයක්. පෙණ පිඬක් හෝ පිනි බිඳුවක් වගේ තාවකාලිකයි. ඒ ජීවිතය අර්ථවත්ව ගත කළ යුතු ආකාරය බුදු දහමේ ඉගැන්වෙනවා. ඉහත සඳහන් අයුරින් උපතේ සිට අවුරුදු සියය දක්වා දශක දහයක් අනුව ජීවිතේ වර්ග කොට ඇති අතර ඒ ඒ යුගයේදී ක්‍රියා කරන අයුරු බුදු දහම විග්‍රහ කර ඇත්තේ මනෝ විද්‍යානුකූලවයි. එම නිසා නිරතුරුව බුදුරදුන් පෙන්වාදී ඇති මෛත්‍රිය, කරුණාව, දයාව, ඉවසීම, යුතුකම් ඉටු කිරීම, පින් දහම් කිරීම ආදී යහපුරුදු ජීවිතයේ ඇති කරගෙන අර්ථවත් ජීවිතයක් ගොඩ නගාගෙන මෙලොව දිනා පරලොව සැනසීමට උත්සාහ කළ යුතුය.

ඔබ සැමට තෙරුවන් සරණයි