Print this Article


බුදු දහමෙන් පෝෂිත ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය

බුදු දහමෙන් පෝෂිත ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය

සැදැහැයෙන් සසුන් බිමට පත් භික්ෂූන් වහන්සේලාගේ ආයති සංවරය සහ සාමාජික යහපැවැත්ම පිණිස පනවන ලද විනය ප්‍රඥප්ති භික්ෂූන් වහන්සේලා ගිහි සමාජයෙන් වෙන් කොට හඳුනා ගත හැකි අනන්‍යතාව ලෙස හැඳින්විය හැකිය. යම්කිසි සංස්ථාවක් හී සමාජයක් ආරම්භ කිරීම පහසු වුවත් එය සාර්ථකව ඉදිරියට ගෙන යාම පහසු කටයුත්තක් නොවේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500 ට අධික කාලයක් අනුප්‍රාප්තිකයෙකුගෙන් තොරව සඟසසුන පවත්වා ගන්නට යෙදුනේ ධර්මය විනය ගුරුතන්හි තබාගත් නිසාය. දඹදිව මෙන්ම ලංකාවේද විනය දිවිහිමියෙන් ආරක්ෂා කළ සඟ පිරිසක් විසූ බව දඹදිව සිදුකෙරුණු ධර්ම සංගායනාවන්ට මූල බීජ විනය ගැටලු පාදක කොටගෙන වීමත් ලංකාවේ මුලින්ම අරිට්ඨ හිමි ප්‍රමුඛව විනය සංගායනාවක් පැවැත්වීම ආදි සිදුවීම්වලින් පෙනී යයි.

විනය තුළින් බලාපොරොත්තු වන්නේ භික්ෂුවගේ ශීලය හෙවත් ආයති සංවරයයි. ශීලය නිර්වචනය කොට ඇත්තේ කය වචන දෙකෙහි සංවරය හෙවත් හික්මීම ලෙසයි. මෙම සිල්වත් බව නොපැහැදුනුවන්ගේ පැහැදීමත් පැහැදුනුවන්ගේ පැහැදීම වැඩිදියුණු කිරීමටත් හේතු වේ. ශීලය යනු ක්‍රමානුකූල පටිපදාවකි. ශීලයේ මූලික අවස්ථාව වතාවත් පූරණයයි වත් නොපුරන්නා තුළ ශීලය නොපිහිටන බව සඳහන් වේ.

මව්පියන් ඇතුලු ඥාතීන් හැර දා පැවිදි බිමට පත් භික්ෂූන්ට පිළිසරණ පිණිස සිටින්නේ, ආචරිය, උපාධ්‍යාය, සද්ධිවිහාරික,අන්තේවාසික යන භික්ෂූන් වහන්සේලායි. භික්ෂුවගේ චිරපැවැත්ම පහසු විහරණය රැකවරණය ආරක්ෂාව රැඳී පවත්නේ අන්‍යෝන්‍ය වශයෙන් පවතින සුහදත්වය ගෞරවය හා වතාවත් මතයි. එහෙයින් බුදුරදුන් භික්ෂූන්ට අනුදක්නා ලද වත්පිළිවෙත් විනය පිටකයේ චුල්ලවග්ගපාලියේ වත්තක්ඛන්ධකයේ දැකිය හැක.

මෙම වතාවත් භික්ෂූන් වහන්සේලාට මෙන්ම ගිහියන්ටද එක ලෙසින් වැදගත් වේ. භික්ෂු සමාජය ප්‍රතිපත්ති ගරුක විනයානුකූල හික්මුණු සමාජයක් බවට පත් කිරීමෙහිලා මෙම වතාවත් බෙහෙවින් ඉවහල් වී ඇත.

භික්ෂුව විහාරයෙහි වැඩ සිටියද මහ මඟෙහි වැඩම කළ ද ගොදුරු නිවසකට වැඩම කළද දැමුණු පසිඳුරන් සහිතව කටයුතු කරයි. චුල්ලවග්ග පාලියේ ඉතා සූක්ෂ්ම ලෙස පැවිදි ජීවිතයේ සෑම අංශයක්ම ආවරණය වන පරිදි ඉදිරිපත් කොට ඇති වතාවත් මාලාව ඕනෑම සමාජයක සදාචාරවත් බව චිර පැවැත්ම හා ස්වයං සංවරයට හේතුවේ.

වත්තක්ඛන්ධකයේ විහාරස්ථානයකට පැමිණෙන ආගන්තුක භික්ෂුවක් සිදු කළ යුතු වතාවත්, එසේම විහාරවාසී භික්ෂුව ආගන්තුක භික්ෂුව කෙරෙහි සිදු කළ යුතු කෘත්‍ය, විහාරය සතු බඩුභාණ්ඩ පරිහරණය, දන්හලක හැසිරිය යුතු අන්දම, පිණ්ඩපාත වඩින ආකාරය, වනය, සේනාසනය, ගිනිහල්ගෙය, වැසිකිළිය යන ස්ථානයන්හි හැසිරිය යුතු ආකාරය ඉතා මැනවින් පරිපූර්ණව ඉදිරිපත් කොට ඇත. එසේම උපාධ්‍යයන් වහන්සේ ආචාර්යයන් වහන්සේ සද්ධිවිහාරික අන්තේවාසික යන භික්ෂූන් වහන්සේලා කෙරෙහි පැවැතිය යුතු ආකාරය පැහැදිලි කරයි.

මේවා එකිනෙක සාකච්ඡා කිරිම එක් ලිපියකින් අපහසු හෙයින් වත්තක්ඛන්ධකයේ පළමුවෙන් එන බෞද්ධයන් වන අපට හුරුපුරුදු ආගන්තුක සත්කාරය පිළිබඳ කියැවෙන ආගන්තුක වත් පිළිබඳ අදහස් පළ කර සිටිමු. ඈත අතීතයේ සිට හෙළයා ආගන්තුක සත්කාරයට දෙස් විදෙස්හි ප්‍රසිද්ධ වන්නට බුදු දහමේ අභාෂයද හේතු වන්නට ඇත. බුදුරජාණන් වහන්සේ කෙනෙකු අභිමුඛයට පැමිණි කල්හි සුහද පිළිසඳරක යෙදුණූ බව නිකායාගත කරුණුවලින් පෙනී යයි.

විනය පිටකයේ නම් කිසිම ශික්ෂා පදයක් හේතුවක් රහිතව බුදුන් වහන්සේ විසින් පණවා නොමැත. එලෙසම ආගන්තුක වත බුදුන් වහන්සේ විසින් පැනවීමට හේතු වී ඇත්තේ එකල ඇතැම් භික්ෂූන් වහන්සේලා ආගන්තුක සත්කාරයෙහි නොයෙදුනු නිසාය.

අතීතයේ භික්ෂුව සංචාරක ජීවිතයක් ගත කළ අයෙකි. මෙම හේතුව නිසා ඈත අතීතයේ විහාර ආරාම පූජා කළේ සතර දිගින් වඩින මහා සංඝයාට බව ගල්ලෙන්හි අදටද දිස්වෙයි.

මෙලෙස භික්ෂුව ගම් දනව්හි වැඩම කිරීමේදි රාත්‍රිය ගත කරන ලද්දේ අතරමග හමුවන විහාරාරාමවලය. මෙහිදී ආගන්තුකව පැමිණෙන භික්ෂුවට සත්කාර කිරීමට ආවාසික භික්ෂුව සැදී පැහැදි සිටිය යුතුවේ. මේ බව ආවාසික වතෙහි ඉතා මැනවින් විවරණය කොට ඇත. ආගන්තුක භික්ෂුවක් තම අරමට එන බව දුටු ආවාසික භික්ෂුව සුදුසු අසුනක් පැණවිය යුතුය.

තවද පා දෝවනය කිරීමට පැන් ද සූදානම් කටයුතු වන්නේ එකල භික්ෂුව පා ගමනින් වැඩම කරද්දි මඩ ගොහොරු කැලිකසළ දූවිලි මතින් වැඩම කරන්නට සිදු වු හෙයින් අපිරිසුදු පා පිරිසුදුකර ගැනීමටයි. ඉන්පසු ඉදිරියට වැඩම කොට උන්වහන්සේගේ පාත්‍රාචීවර ආදිය පිළිගත යුතු වේ. මෙය ආගන්තුකව වැඩම කරන භික්ෂුවට තමන්ගේ ගෞරවය ලෙන්ගතුකම පෙන්වීමට හේතු වේ. පා ගමනින් වැඩම කොට වෙහෙස වී සිටින හෙයින් පානීය ජලය අවශ්‍යදැයි විමසිය යුතුය.

තවද ආගන්තුක හිමි පාවහන් පැළැඳ සිටීනම් එම පැළැඳි පාවහන් පිසදැමිය යුතුය. පළමුව වියළි රෙදි කඩකින් ද පසුව තෙත රෙදි කඩකින් ද පිස දැමිය යුතුය. මෙම ඉතා සුළු කරුණූ කෙරෙහි පවා අවධානය යොමු කිරීමේ මෙම ආගන්තුක සත්කාරය කෙතරම් හෘදයාංගම එකක් වීද යන්න පෙනී යයි. ඉන්පසු ආගන්තුක භික්ෂුව තමාට වඩා පැවිදි බවින් වැඩිමහළු නම් වැන්ද යුතු, විහාරස්ථානයන්හිද අද ද ආගන්තුක භික්ෂූන්ට වෙන් වූ කාමරයක් ඇත. එම කාමරය ආගන්තුක හිමි නමට දිය යුත්තේ පි‍්‍රයමනාප ලෙස පිරිසුදු කිරීමෙන් අනතුරුවයි. ආගන්තුක හිමි නමට මෙම ආරාමය හුරුපුරුදු ස්ථානයක් නොවන හෙයින් ආරාමය පිළිබඳ හඳුන්වා දීමක්ද සිදුකළ යුතුය.

එසේ සිදු කරන්නේ ආගන්තුක භික්ෂුව යම් අපහසුතාවයකට පත් නොවනු පිණිය. වැසිකිළි කැසිකිළි ඇති තැන් පෙන්වා දිය යුතුය. පානීය ජලය සහ පරිභෝග ජලය ඇති තැන් පෙන්වා දිය යුතුය සැරයටි ඇති තැන්ද පෙන්වා දිය යුතුය.

එසේම පිණ්ඩපාතය ආදි කටයුතු සඳහා ඇතුලු ගමට පිවිසිය යුතු වෙලාව හා පිටවිය යුතු වේලාවන් පිළිබඳ ආවාසික භික්ෂූන් වහන්සේලා පෙර තබා ගත් කතිකාවක් පිළිබඳ දැනුවත් කළ යුතුය. එසේම පිණ්ඩපාතය සඳහා ගෝචර (සුදුසු) ස්ථාන සහ අගෝචර ස්ථාන පිළිබඳව ද දැනුවත් කළ යුත්තේ එම කරුණු පිළිබඳ නොදැනුවත්කමින් ආගන්තුක භික්ෂූන් වහන්සේ යම් අපහසුතාවයකට පත් නොවනු පිණිසය. තම ආරාමයට පැමිණෙන භික්ෂුවට මෙය පිට තැනක් නොව තමන්ගේම ස්ථානයක් යැයි හැඟෙන පමණට මෙම අගන්තුක සත්කාරය ප්‍රබල විය යුතුය.

මෙලෙස ආගන්තුක සත්කාර ලබන භික්ෂුව විසින් ආරාමයකට පිවිසෙන කල්හි පිරිය යුතු ය.තවත් බොහොමයක් ඇත.

එය ආගන්තුක වතෙහි ඉතා මැනවින් පෙන්වා දී ඇත. මෙම කරුණු කෙරෙහි කෙතරම් තීක්ෂණ නුවණකින් අවධානය යොමු කොට ඇති ද යන්න මෙම කරුණු අධ්‍යයනය කරන කල්හි පෙනී යයි.ආගන්තුක භික්ෂුව පයලා සිටි පා සඟල මුදා ඉසලා සිටි කුඩය හැකිලිය යුත්තේ විහාරයට මද දුරක් ඈතිනි.

මෙමගින් ආවාසික භික්ෂුවට හා ආරාමයට ගෞරවයක් ඇති බව හඟවනු ලැබේ’. ඉන්පසුව ආවාසික භික්ෂුව හමු වී උන්වහන්සේ තමන්ට වඩා වයසින් වැඩිමහළු නම් වැඳිය යුතුය. ආගන්තුක භික්ෂුව පා දෝවනය කරන කල්හි එක් අතකින් පැන් ගෙන අනිත් අතින් පා දෙවිය යුතුය . එකම අතින් දිය ගැනීමත් පාදෙවීමත් නොකළ යුතු වන්නේ පැන් අපිරිසුදු වීමත් ආගන්තුක භික්ෂුව පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් ආවාසික භික්ෂුවට ඇති නොවනු පිණිසත්ය.

ආගන්තුක භික්ෂුවක් වශයෙන් ආරාමයට ගිය පමණින්ම එහිදී සියලු ආගන්තුක සත්කාර බලාපොරොත්තු නොවිය යුතුය.අනුන්ට සත්කාර කරනු ලබන්නා සත්කාර ලැබීමටත් අනුන් පුදනු ලබන්නා පුජා ලැබීමටත් පාත්‍ර වන බව මිත්තානිසංස සූත්‍රයේදි සඳහන් කොට ඇත. (සක්කත්වා සක්කතො හොති, පුජකො ලභතේ පූජං)

මෙම අදහස් තුලින් ජනිත වෙන්නේ බුදුරජාණන් වහන්සේ විනය පිටකය තුළින් අර්ථවත් කොට ඇත්තේ සැම දෙනාම තම යුතුකම් කොටස මැනවින් සිදු කරනු ලබන කල්හි තමන්ගේ අයිතිවාසිකම් මැනවින් සුරක්ෂිත වන බවයි.

තම යුතුකම් පක්ෂය ඉටු නොකොට අයිතිවාසිකම් වෙනුවෙන් සටන්වදින වර්තමාන සමාජයටද මෙය කදිම ආදර්ශයකි. ආවාසික භික්ෂුවත් ආගන්තුක භික්ෂුවත් තම යුතුකම් කොටස මැනවින් ඉටුකරනු ලබන කල්හි දෙදෙනා වහන්සේගේම පැවැත්ම සුරක්ෂිත වනු ඇත. ඕනෑම සමාජයක පැවැත්ම තීරණය වන්නේ අන්‍යෝන්‍ය සුහදතාව ගෞරවය හා විශ්වාසය මතයි. මෙය පළුදු වූ කල්හි එම සමාජය පිරිහීමට පත්වේ. එහෙයින් විනය පිටකාගත චුල්ලවග්ගපාලියේ වත්තක්ඛන්ධකයේ අන්තර්ගත ආවාසික වත්ත හා ආගන්තුක වත්ත මගින් අන්‍යෝන්‍ය ගෞරවය, සුහදතාවය ආචාර ධර්ම , සනීපාරක්ෂාව හා ස්වස්ථාව වර්ධනය වන බව මැනවින් පෙනී යයි.