Print this Article


ලබන්නාගේ සහ පිරිනමන්නාගේ සිත ප්‍රසාදජනක විය යුතුය

ලබන්නාගේ සහ පිරිනමන්නාගේ සිත ප්‍රසාදජනක විය යුතුය

බුදුරජාණන් වහන්සේ විසින් වදාළ පරිදි අප විසින් යමක් පිළිගැන්විය යුත්තේ පිරිනැමිය යුත්තේ ලබන්නා එය පිළිගන්නේ නම් පමණයි. මේ සඳහා හොඳම උදාහරණය ලෙසින් “අක්කෝසක” භාරද්වාජ විසින් බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කර බැන වැදීම දක්වන්නට පුළුවන්. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ. එම බැන වැදුණු කිසිදු බැනවැදිල්ලක් තමන් වහන්සේ බාර නොගත් බවත් තමන්ටම එම දෝෂාරෝපණ බාර ගැනීමට සිදුවන බවත්ය. එම දේශනාවට පෙර බුදුරජාණන් වහන්සේ විමසා සිටියේ ‘ඔබගේ නිවසට යම් ආගන්තුකයකු පැමිණි කළ ඔවුන්ට ලබා දෙන ප්‍රණීත ආහාරපාන ඔවුන් පිළිනොගතහොත් ඔබ කුමක් කරන්නේද? යන්නයි .

බමුණා පිළිතුරු දුන්නේ ‘අප එකතුව ඒ ආහාර භුක්ති විඳිනවා” යන්නයි. මෙයින් අපට පැහැදිලි වන්නේ යම් දෙයක් ලබන්නා විසින් පිළිගන්වන තෙක් එය ලබා දුන් බවට හෝ බාරගත් බවක් එයින් සිදු නොවන බවයි.

මේ සම්බන්ධව බුද්ධ දේශනාව දෙස විමර්ශනාත්මකව බැලීමෙන්ද අපට මේ සංකල්පය පැහැදිලි වෙනවා. බුද්ධ දේශනාවට අනුව දීම හෙවත් දානය ගැන අප නොදන්නා එහෙත් අප විසින් අවබෝධ කරගත යුතු ප්‍රධානම කරුණක් දානය තුළින් ඉස්මතු කරනවා.අප කතා කරනු ලබන “පිළිගැනීම” යන සංකල්පයයි එයින් ඉස්මතු වන්නේ.

ඔබ විසින් ලබාදෙන දානයක් නැත්නම් ඔබ ලබා දෙන ආහාර වේලක් කවර හෝ නමකින් ලබා දුන්නද එහි උසස්ම ගුණාංගය වන්නේ පිළිගැනීමයි. අපට දන්සලකින් ආහාර ලබා දීමට පුළුවන්. එසේම මංගල්‍යකදී ආහාරපාන ලබා දීමට පුළුවන්. එමෙන්ම අවමංගල නිවසකදී ‘මල බත’ වශයෙන් හෝ ආහාර පාන ලබා දෙනවා.

මේ ආහාර ලබාදීම ඇතැම් විට හිඟන පුලන ආදීන්ට වන්නට පුළුවන්. ඇතැම් විට වැඩිහිටි නිවාසයකට වන්නට පුළුවන්. අනාථයන් සිටින කඳවුරකට වන්නට පුළුවන්.

මේ කුමන ස්ථානයකට ලබා දුන්නත් ආහාර වශයෙන් ලබාදෙන දේ පිරිනැමීම හා පිළිගැනීම යන සංකල්ප දෙක එක් විය යුතුයි. ලබන්නා සැම විටම ගෞරවයෙන් යුතුව පිළිගැනීමත්, ලබා දෙන්නා ගෞරවයෙන් යුක්තව ලබා දීමත් යන ගුණාංගයන් තුළ පමණක් මේ පරිත්‍යාගය සිදු වෙනවා.

සෑම විටම අප විසින් යමක් ලබා දිය යුත්තේ අත්හැරීමෙන් පසුවයි. එමෙන්ම ලබන්නා තුළ අනිවාර්යයෙන් කරුණාව, මෛත්‍රිය පෙරදැරි කරගත් පිළිගැනීමක් ඇති විය යුතු වනවා. එසේ නොවුවහොත් “පිළිගැන්වීම” සහ “පිළි ගැනීම” යන සංකල්පය ප්‍රායෝගිකව සිදු වන්නේ නැහැ.

නිවසක යම් කිසි අයෙක් අමනාප වුවහොත් පළමුව සිදු කරන්නේ ආහාර පාන නොගෙන සිටීමයි. එසේම කතාබහෙන් වැළකී සිටීමයි. එසේ නොමැතිව අපිරිසුදු වස්ත්‍ර පරිහරණය , වැසිකිළි කැසිකිළි යාමෙන් වැළකී සිටීම මෙන්ම මුහුණකට සේදීමෙන් වැළකී සිටීම වැනි දේ සිදු කරන්නේ නැහැ.

ආහාර වර්ජනයෙන් කතා බහ සීමාවෙන් පිළිගැනීම පසෙක දැමීමක් සිදු කරනවා. මඳක් සිතා බලන්න අප විසින් යම් අයකු පිළිගැනීම උදෙසා පළමුව සිදු කරන්නේ කතා බහ කිරීම සහ ආහාර පානයෙන් සංග්‍රහ කිරීමයි.

බුදු දහමට අනුව යමක් පිළිගැන්වීමේදී කිසිදු විටක ලබන්නාගේ තත්ත්වයන් ගැන නොසෙවිය යුතු වනවා. අප දන්සලක් පවත්වා ආහාර පාන ලබා දෙනවා නම් ඒ ආහාර පාන ලබා ගැනීමට පැමිණෙන තැනැත්තා මත්ලෝලියකු හෝ හොරෙක් වංචනිකයකු දැයි නොසොයා ඔහුට අපේ පිළිගැනීම සෙස්සන්ට මෙන්ම ලබා දිය යුතු වනවා. මක් නිසාද? අප එම අවස්ථාවේදි කිසිවකුගේ වතගොත සොයමින් ආහාර පාන ලබා නොදෙන නිසා, මේ නිසා අප හොඳින්ම දනිතත් සමාජයට අවැඩදායක පුද්ගලයකු වුවත් අප ඒ ගැන නොසොයා ඔහු ගෞරවයෙන් පිළිගෙන ඔහුටත් අනෙක් අයට මෙන්ම අප විසින් ලබා දෙන පොදු සැලකිල්ල ලබා දිය යුතු වනවා. ඇගැයීම කින් යුක්තව එම තැනැත්තාද පිළිගත යුතු වනවා.

ලබා දෙන්නා මේ අනුව කුසල සිතින් යුක්තව කටයුතු කරද්දි ලබන්නා කෙසේ කටයුතු කළ යුතුද? අපට යමක් ලැබෙන විට ඒ කෙරෙහි දක්වන ප්‍රසාදය පි‍්‍රයශීලි බව එකම ආකාරයකින් විය යුතුයි. යමක් වැඩියෙන් ලැබෙන විට වැඩි ප්‍රසාදයකුත් අඩුවෙන් යමක් ලැබෙන විට අඩු ප්‍රසාදයකුත් ලබාදීම ලබන්නා විසින් නොකළ යුතු වෙනවා. ලබා දෙන දෙයෙහි ප්‍රමාණය නොව ලබා දෙන්නාගේ සිතිවිල්ල දෙස පමණක් අප අවධානය යොමු කළ යුතු වෙනවා. ලබා දෙන්නාගේ සිත එම කාර්යයට කාරුණික ලෙස නැමීම ගැන අප සැලකිල්ලෙන් යුතුව සලකා බලා ඊට ගෞරවය පුද කළ යුතුද වෙනවා.

මවට පියාට පවා අප විසින් නිසි සැලකිල්ලක් ලබා දීම කෙරෙහි දැක්වුවහොත් පමණයි, අපටත්, මවුපියන්ටත් නිසි සතුටක් ලැබෙන්නේ, ඇතැම් දූ දරුවන් තමන්ට මවුපියන් කොතරම් අවශ්‍යතා ඉටු කරත්, කොතරම් ආරක්ෂාව සලසා දුන්නත් හැමවිටම බලන්නේ තවත් අඩුපාඩු ගැනයි. නැත්නම් මවුපියන් විසින් එය කළ යුතුම යැයි නීතියක් ලෙසින් හදා ගන්නවා.

එය .තමන්ගේ උරුමයක් ලෙසින් සලකනවා. එවිට සිදුවන්නේ තමන් නොදැනුවත්වම මවු පියන් කෙරෙහි නොපිළිගැනීම ඇති කරගෙන අකුසල් රැස් කර ගැනීමයි.

අපේ බෞද්ධ දරුවන්ගේ ඇතැම් වත් පිළිවෙත් දිහා බලන්න. කෑම මේසයට අසුන් ගත් සැණින් ඔවුන්ගේ මුහුණ වෙනස් වෙනවා.”අයියෝ අද මේවද කන්න තියෙන්නෙ?” ඕනවට එපාවට මෙන් ආහාර ගෙන මේසය පුරාවටම ආහාර හළමින් ජලය තැන් තැන්වල ඉසිරවමින් මවුපියන්ගේ සිත් පාරමින් ඔවුන් කෑම මේසයෙන් පිටවන්නේ. 'පින් සිද්ධ වේවා' යන වචනයක් අපේ දරුවන් ගේ කටින් පිටවන්නේ නැහැ. ඇතැම් විට එය පැවසීම මහත් මදිකමක් ලෙස ඔවුන් සිතනවා වන්නටත් පුළුවන්.

සමාජයේ දක්නට ලැබෙන අසන්නට ලැබෙන දෙයින් හෝ අප යමක් ඉගෙන ගත යුතු වනවා. ස්වාමින් වහන්සේ දානමය පින්කමකට වඩමවාගෙන පැමිණෙද්දි දක්වන පිළිගැනීම ගැන බලන්න.

උඩු වියන් පාවාඩ එසේම හේවිසි හඬ මධ්‍යයේ හිමිවරුන් වැඩම කරවන්නේ. නිවසට පය තැබීමට පෙර පා දෝවනය කර පිරිසුදු ලෙසින් පිළියෙල කර ගත් දානය පිරිනමන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තැබීමෙන් පසුවයි.පිළිගැනීමට ස්වාමින් වහන්සේත් පිළිගැනීම් සිදු කරනවා. පළමුව කෙටි අනුශාසනාවක් පවත්වා දානය පිළිගෙන පසුව අවසානයේ මිය ගිය ඥාතින්ටත් පින්දී, දෙවියන් ඇතුළු සියලු දෙනාට පින් පමුණුවා දානය පිරිනැමු හා ඔවුන්ගේ ඥාතීන්ටත් පින් ලබා දීමෙන් පසුවයි ස්වාමින් වහන්සේ ආපසු වැඩම කරන්නේ.

මේ දෙස බලා හෝ අපට සමාජයේ ලබා දෙන සියලු දේ සඳහා ලැබෙන සියලුදේ සඳහා පින් ලබාදි හෝ ස්තුති කිරීමකින් හෝ එය පිළිගැනීම කට ලක් කළ යුතු වනවා.

දරුවකු වඩාගෙන සිටින කාන්තාවකට එසේත්, නැත්නම් ගැබිණි මවකට අසුනක් ලබා දුන් අවස්ථාවේදී අඩුම වශයෙන් ‘ස්තුතියි’ යනුවෙන් හෝ පවසන්නේ කීයෙන් කීදෙනෙක්ද ? යන්න නිතර පොදු වාහනවල ගමන් කරන ජනතාව හොඳින්ම දන්නවා. අසුන ලබා දුන් තැනැත්තාට පෙර තමන් බස්රියෙන් හෝ දුම්රියෙන් බැස යන්නේ නම් එය ලබා දුන් තැනැත්තාට ආපසු ලබා දීමට උනන්දු වන්නේ කීදෙනෙක්ද යන්න මනාව සොයා බලන්න. මෙතැනදී අප අසුන පිළිගැනීම සිදු කර තිබෙන්නේ අයිතියක් ලබන්නාක් මෙන් පමණයි. එය යහගුණ පිරි සමාජයකට සුදුසු වන්නක් නොවෙයි.

හැම විටම ලබන්නා සහ පිරිනමන්නාගේ සිත ප්‍රසාදජනක විය යුතුයි.

බොහෝ දෙනෙක් එතරම් සැලකිල්ලක් නොදැක්වුවත් පිළිගැනීම යන සංකල්පය සමාජයට කෙතරම් අවශ්‍ය එමෙන්ම පිළිගැනීම නොමැති තැන ඇතිවන ස්වභාවයකෙබඳුද ? යන්න ගැන මෙයින් අපට මනාව වටහා ගන්න පුළුවන්.