Print this Article


පෙරභවය යි කර්ම විපාකය යි 08 ස්වර්ණවර්ණ සූඛරමුඛ ප්‍රේතයා

පෙරභවය යි කර්ම විපාකය යි 08

ස්වර්ණවර්ණ සූඛරමුඛ ප්‍රේතයා

දස පාරමී සම්පූර්ණ කළ බෝසතාණන් වහන්සේ කිසිදු අත් භවයක බොරුවක් කියා නොමැත. සම්බුද්ධත්වයට පත්ව උන්වහන්සේ දෙසු ධර්මය අද දක්වාම තෙදවත් වීමට, බලවත්වීමට, බොහෝ කාලයක් පැවතීමට ප්‍රබල සාධකයක් බවට පත්ව ඇත්තේ ඒ පාරමී ධර්මයන් තුළ ඇති වු සත්‍යවාදී ගුණයයි

වප් පුර පසළෙස්වක පෝදා පුවත් පතේදී අපගේ අවධානයට යොමුවුයේ යමෙක් කළ අකුසල කර්මයක විපාක ඔහු අහසේ සිටියත්, මහ මුහුදේ සිටියත්, පර්වත කුහරයක සිටියත් විඳීමට සිදුවන බව කතා කිහිපයක් ඇසුරින් පහදා දීමටයි. අද අපගේ අවධානය යොමුවන්නේ මිනිස් ලොව ඉපිද සිටියදී සිදුකළ අකුශල කර්මයක විපාක පේ‍්‍රතව ඉපිද විඳින සූඛරමුඛ පහදා දීමටයි.

ගිජුකුළු පව්වෙහි වැඩවාසය කළ නාරද තෙරුන් වහන්සේ දිනක් සිවුරු හැඳ පොරවා පිණ්ඩපාතයපිණිස පාත්‍ර සිවුරු ගෙන ගිජුකුළු පව්වෙන් බසින්නේය එම පර්වත පාමුල සා පිපාසාවෙන් පෙලෙන අමුතුම වර්ගයේ පේ‍්‍රතයෙක් දුටුවේය. මේ පේ‍්‍රතයාගේ ගෙලෙන් පහළ කොටස මිනිස් රුවකට සමානය. එහෙත් ගෙලෙන් ඉහළ කොටස ඌරකුගේ හිසක් වැනිය. ඔහුගේ ශරීරයෙන් නැගෙන වර්ණය දීප්තිමත්ය. දිශාවන් බබුළුවයි. එහෙත් මුඛයෙන් නැගෙන්නේ ඉවසිය නොහැකි දුර්ගන්ධයයි. මේ පේ‍්‍රතයාගේ ස්වභාවය ගැන අනුකම්පා වු නාරද හිමියන් මෙසේ දැකීමට පවා අපි‍්‍රය පේ‍්‍රතයෙක් ඉපදීමට හේතු කුමක්දැයි ඔහුගෙන් විමසීය.

කායො තෙ සබ්බසොවණ්ණො සබ්බා මහාසතෙ දිසා
මුඛං තෙ සුකරස්සෙවං කිංකම්මකරි පුරෙ

ස්වර්ණවර්ණ වු ඔබගේ ශරීරය සියලු දිශාවන් ආලෝකවත් කරයි. එහෙත් ඔබගේ මුහුණ ඌරෙකුගේ වැනිය. සා පිපාසාවෙන් පීඩිතව දුක් විඳින ඔබ පෙර කළ අකුශල කර්මය කුමක්ද?

නාරද හිමියනි, මම පෙර කස්සප බුදුරජාණන් වහන්සේගේ දවස භික්ෂුවක්ව සිටියෙමි. එසේ වු මම කයින් සිල්වත් වූයෙමි. ප්‍රාණඝාතය, අදත්තාදානය,අබ්‍රහ්මචරියාව ආදි කයින් සිදුවන්නා වු වැරැදි නොකළෙමි. එහෙත් වචනයෙහි සංවර නොවූයෙමි. කිපෙන ස්වභාව ඇති වූ මා තරහ ගත්තෙමි. පරුෂ වචනයෙන් කතා කළෙමි.බොරු කීවෙමි. කේලාම් කීවෙමි. හිස්වචන කීවෙමි. සංවරයෙන් තොරව ගති පැවතුම් ඇත්තේ වුණෙමි. බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නිරයෙහි ඉපිද නොයෙක් දුක් විඳ කර්ම විපාක ක්ෂය නොවු හෙයින් තවම ඒ අකුශල කර්මයන්හි විපාක විඳිමි.

කායෙන සඤ්ඤාතො ආසිං වාචායාසිමසඤ්ඤතො
තෙන මෙතාදිසො වණ්ණො, යථා පස්සසි නාරදා

එකල මා භික්ෂුවක්ව සිල්වත්ව සිටි බැවින් මාගේ ශරීරය රන්වන් පාටින් දීප්තිමත්ව බබලයි. එහෙත් වචනයෙන් සංවර නොවූ හෙයින් මෙලෙස සූඛරමුඛව (ඌරු මුහුණැතිව) ඉපිද සා පිපාසාවෙන් පීඩිතව දුක් විඳිමි. යනුවෙන් ඒ පේ‍්‍රතයා නාරද හිමියන්ට පිළිතුරු දුන්නේය.

සූඛරමුඛ පේ‍්‍රතයා සමඟ වූ මෙම සංවාදයෙන් පසුව පිණ්ඩපාතයේ වැඩිය නාරද තෙරණුවෝ පිණ්ඩපාතය වැළඳීමෙන් පසු දම්සභාවට වැඩම කළහ. එහි දී මේ සූඛරමුඛ පේ‍්‍රතයා පිළබඳව එහි රැස් වු භික්ෂූන් වහන්සේලාට දැනුම් දුන්හ. භික්ෂූන් වහන්සේලා ඒ පිළිබඳ දහම් කතාවෙහි යෙදී සිටින අතරතුර බුදුරජාණන් වහන්සේ ද සම්සභා මණ්ඩපයට වැඩම කළහ. තමන් වහන්සේලා යෙදී සිටි කතාව භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සැළ කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

තං ත්‍යාගං නාරද බූමි, සාමං දිට්ඨමිදං තයා
මාකාසි මුඛසා පාපං මා ඛො සූකරමුඛො අහු

නාරදය, ඔබ පවසන ඒ සූඛරමුඛ පේ‍්‍රතයා මා විසින්ද දක්නා ලදිමි. ඔහු පැවසූ පරිද්දෙන්ම කාශ්‍යප බුදුන් දවස ඔහු කළ අකුශල කර්මයේ විපාක ඔහු තව බොහෝ කාලයක් විඳියි යනුවෙන් වදාරා එයම තේමා කොට ගනිමින් දම්සභා මණ්ඩපයට රැස් වු භික්ෂූන් වහන්සේලාට දහම් දෙසු සේක.

සිත, කය, වචනය යන තිදොරින් සිදුවන අකුශල කර්ම දහයකි. අවිද්‍යා (නොදැනීම) ව්‍යාපාද (තරහව) මිත්‍යාදෘෂ්ටි (වැරදි වැටහීම) යන මේ අකුසල තුන සිදුවන්නේ සිතිනි. කයෙන් සිදුවන්නේ ප්‍රාණඝාතය, අදත්තාදානය හා කාම මිථ්‍යාචාරයයි. වචනයෙන් සිදුවන වැරැදි හතරකි. එනම් බොරු කීම (මුසාවාද) කේලාම් (පිසුනාවාච) කීම, නොගැලපෙන නපුරු වචන කීම, (පරුෂාවාච) හා වැඩකට නැති හිස් වචන කීම (සම්ප්‍රප්ඵලාප) යනුවෙනි.

යමෙක් අපව වංචා කරනවාට අප කැමැති නැත. එමෙන්ම අන් අයට තමා වංචා කරනවාට කැමැති නැත. බොරු කීමෙන් මිනිසුන් අතර අප්‍රසාද ඇතිවීමට මෙන් ඔහු සමාජයෙන් පිළිකුල් කිරීමට හේතු වේ. බොරු කියන අය සමාජයේ පිළිගන්නේ නැත. පිරිහීමට ලක් වෙයි. පෙර ඍද්ධි සම්පන්න වූ රජෙක් බොරුකීම හේතු කොටගෙන ඔහු සතුව තිබූ ඍද්ධිබලය නැති වී නිරයෙහි උපන් බව ලෝවැඩ සඟරාවෙහි සඳහන්ව ඇත.

දස පාරමී සම්පූර්ණ කළ බෝසතාණන් වහන්සේ කිසිදු අත් භවයක බොරුවක් කියා නොමැත. සම්බුද්ධත්වයට පත්ව උන්වහන්සේ දෙසු ධර්මය අද දක්වාම තෙදවත් වීමට, බලවත්වීමට, බොහෝ කාලයක් පැවතීමට ප්‍රබල සාධකයක් බවට පත්ව ඇත්තේ ඒ පාරමී ධර්මයන් තුළ ඇති වු සත්‍යවාදී ගුණයයි.

කේලාම් කීමද වචනයෙන් සිදුවන බරපතල වරදකි. නොසිදූ වු නොවිරූ යම් යම් දේ පවසා අන් අය භේද කිරීම, කෙටවීම, තරහ කිරීම, සමාජ විරෝධී මෙන්ම සදාචාරවත් නොවන ක්‍රියාවකි. එයින් සිදුවන්නේ නිකරුණේ දෙදෙනෙක් හෝ බොහෝ දෙනෙක් භේද බින්නව එකිනෙකා කෙරෙහි ද්වේෂයෙන් තරහවෙන් කටයුතු කිරීමයි. මෙසේ කේලාම් කියා අන් අය භේද බින්න කරන අය මිනිසත් බවක් ලද හොත් විරූපීව උපදින අතර හීන පිරිවර ඇතිව හුදකලාව කටයුතු කිරීමට සිදුවෙයි. කේලාම් කියා භික්ෂූන් දෙනමක් භේද කළ අයෙක් නිරයේ විරූපව ඉපිද දුක්විඳින අයුරු ලෝවැඩ සඟරාවේ මෙසේ සඳහන් වෙයි.

පිසුණු කියා සඟ දෙනමක් වෙනස් කොට
පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට
මුහුණු කුණුව තව පේ‍්‍රතව විඳ ගැහැට
පිසිණු බසක් නොකියව් අද පටන් සිට

සියලු සත්වයෝම පි‍්‍රය වචන ඇසීමට කැමැති වෙති. ඔබ ගේ දොර ඇති කරන සුරතල් සතා පවා ඔබේ පි‍්‍රය වචනයට අනුගත වෙයි. කැමති වෙයි. සතුටු වෙයි. නන්දිවිසාල ජාතකයෙන්ද අපට කියා දෙන පණිවුඩය වන්නේ එයයි. සිත් පිත් නැති ගහ කොළ පවා පි‍්‍රය වචනයට කැමැති වෙයි. එය නූතන පරියේෂණ තුළින්ද තහවුරු කරගෙන ඇත. අප පි‍්‍රය දේට ආශා කරන්නේ යම් සේද එසේම අන් අයද පි‍්‍රය දේට ආශා කරති. එමෙන්ම අප අපි‍්‍රය වචනයම අකැමැති වන්නේ යම් සේ ද, අන් අයද අපි‍්‍රය වචනයට අකැමැති වෙති. පි‍්‍රය වචන කතා කරන අයට සමාජය ගරු කරයි. ආදරය කරයි. පි‍්‍රය වෙයි. අපි‍්‍රය වචන කතා කරන අය සමාජය පිළිකෙව් කරයි.ආදරය නොකරයි. අපි‍්‍රය කරයි. පෙර එක් භික්ෂුවක් අපි‍්‍රය නපුරු වචන ඇතිව ක්‍රියා කිරීමේ ප්‍රතිඵල වශයෙන් නිරයේ දුක්විඳින අයුරු ලොවැඩසඟරාව පෙන්වා දෙන්නේ මෙසේය.

පෙර මහණෙක් සඟ ගණයට බැණ නපුරු
නිරයේ වැටී බිම සත්ගව් වැඩෙ තුරු
ගොරදුක් විඳි තව පේ‍්‍රතවැ සිටැ කුරිරු
පරහට එයින් නොකියව් බස් නොපිය කරු

හිස් වචන කතා කිරීම බුදුදහම අගය නොකරන්නකි. බුදුදහම අගය කරන්නේ සිදුවූ සත්‍යයෙන් යුත්, අර්ථවත් පි‍්‍රයමනාප වූ වචන කතා කිරීමයි. වරක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතමින් දේශනා කරන්නේ කතා කරනවානම් දැහැමි කතාවන්හි නිරතවන ලෙසත් එසේ නැතිනම් නිශ්ශබ්දව සිටීම වඩාත් යහපත් බවයි. (සන්තිපතිතානං වො භික්ඛවේ ද්වයං කරණීයං ධම්ම වා කතා අරියෝ වා තුණ්හීභාවෝති) මිනිසුන් වශයෙන් උසස් මනසකින් යුතු උපන් අය කතා කළ යුත්තේ යහපත් දේවල්ය. මුසාවාදයෙන් පිසුණාවාචයෙන් හා ඵරුසාවාචයෙන් වෙන් වු තැන ඇත්තේ අර්ථවත් වචනයන්ය. අර්ථශූන්‍ය හිස් දේවල් කීමෙන් නිකරුණේ ගත වන්නේ වටිනා කාලයයි. මිනිසත් බව ලැබීමේ දුර්ලභකම ඔබ දන්නවානම් කිසිවිටක හිස් වචනයන්හි නිරත වී කාලය නිකරුණේ ගත නොකරනු ඇත. එය අර්ථවත් දෙයක් සඳහා යොදවනු නොඅනුමානය. හිස් වචන කතා කරමින් නිකරුණේ කාලය ගතකරමින් අන් අයගේ දොස් සොයමින් කටයුතු කරන අය මරණින් මතුවද මහත් දුක්ඛයන්ට ලක්වන අයුරු ලෝවැඩසඟරාවේ මෙසේ සඳහන් වෙයි.

කීවොත් වැඩක් නැති බස් බොරු නිරා ගැබේ
මහත් කුරිරු දුක්විඳැ යළි අවෙත් මොබේ
කීවොත් සැබෑ නොගනිති ඔහුගෙ බස් සබේ
ගෙවත් සසර දුක් මෙම නොකියතොත් සැබේ


පෙරභවය යි කර්ම විපාකය යි 07 පවෙහි විපාකයෙන් මිදීමට සමතෙක් නැත