Print this Article


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 9

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 9

බුද්ධ භූමි වන්දනාවේ 9 වන කොටසයි මේ. අද එතැන් සිට ...

බුද්ධගයාවට සමීප වැදගත් ස්ථාන

බුද්ධගයාවේ සිට නේරංජනා ගඟෙන් එගොඩ වී සේනානි ගමට පිවිසුන විට ප්‍රථමයෙන් “සුජාතා සිටු මාලිගය” පිහිටි ස්ථානය හමුවේ. එහි දැනට ගුප්ත යුගයට අයත් චෛත්‍යයක් සොයා ගනු ලැබ ප්‍රතිසංස්කරණය කර ඇත.

එම ස්ථානයෙන් ඔබ්බට නියරවල් දිගේ කෙටි දුරක් ගියවිට සුජාතා සිටුදේවිය කිරිපිඩු පිළිගැන්වූ ස්ථානය හමුවේ. අද එම ස්ථානයේ දඹදිවෙන් බෞද්ධාගම තුරන්වීමෙන් අනතුරුව හින්දු ආගමික ශාස්තෘවරයෙකු වූ සංඛරාචාර්ය විසින් ඉදිකළ හින්දු කෝවිලක් හමුවේ. එම කෝවිල ඇතුළේ ඇති පාෂාණ පා සටහන කිරිපිඩු පූජා කළ මුල් ස්ථානය ලෙසට බෞද්ධයන් තුළ විශ්වාසයක් පවතී.

එම කෝවිලටම සම්බන්ධ අළුතින් තනා ඇති කුඩා විහාර දෙකක් ඇති අතර ඉන් එකක් තනා ඇත්තේ බුරුම බෞද්ධයින් විසිනි. කිරිපිඩු දානය පිළිගැන්වීමේ අසිරිමත් අවස්ථාව සංකේතවත් වන අයුරින් අලුතෙන් ප්‍රතිමා ඉදිකර ඇත.

නියර දිගේ ගමන් කිරීමේදී බෝධි සත්ත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළ ප්‍රාග් බෝධී නොහොත් දුර්ගේශ්වරි කන්ද ද මැනවින් දිස්වේ. එම කඳු මුදුනේ ටිබෙට් ජාතික ලාමාවරයෙකු වැඩ සිටින විහාරස්ථානයක් ඇත. එම විහාරස්ථානය තුළ ඇති ගුහා කුටි දෙකක දුෂ්කර ක්‍රියාව පිළිබිඹු වන සෙල් පිළිම දකින්නට ඇත.කිරිපිඬු පූජා කළ ස්ථානයේ සිට ආපසු හැරී නැවත නියර දිගේ පැමිණ සේනානි ගම මැදින් නේරංජනා නදී තීරයට පිවිසි විට “සොත්ථිය” බමුණා කුස තණ පූජා කිරීම සංකේතවත් කිරීමට තැනූ කුඩා විහාරයක් දැකිය හැකිය. මෙම ස්ථානයේ සිට ගඟට උඩින් කෙළින් බැලු විට බුද්ධගයා මහා බෝධි විහාරය දිස්වේ.

බුද්ධගයාව සම්බන්ධ වෙනත් කරුණු

බුද්ධගයාවේ සිට බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන පැට්නා වෙත දුර කිලෝ මීටර් 115 කි. සමීප නගරය වන ගයාවට කි.මී. 16 කි. රජගහනුවරට කි.මී. 80 කි.

බුද්ධගයාවේ කලින් පැවති අභ්‍යන්තර සේවා ගුවන් තොටුපළ දැන් අන්තර් ජාතික ගුවන් තොටුපළක් ලෙස වැඩි දියුණු කර ඇත. කොළඹ සිට බුද්ධගයාව දක්වා සතියට දෙවරක් මිහින් ලංකා ගුවන් සේවයද, බැංකොක් දක්වා නිරන්තරයෙන් ගුවන් සේවාද පවත්වා ගෙන යයි.

ගයා දුම්රිය ස්ථානය බිහාර් ප්‍රාන්තය හරහා දිවෙන ශීඝ්‍රගාමී දුම්රිය නවත්වන ප්‍රධාන දුම්රිය ස්ථානයකි. මෙම දුම්රිය සේවාවලින් ප්‍රධාන වන්නේ කල්කටාවේ හව්රා දුම්රිය ස්ථානයේ සිට සහ ඔරිස්සාවේ බුවනේෂ්වර් සිට දිල්ලිය දක්වා ගමන් කරන ශීඝ්‍රගාමී රාජධානි දුම්රියන්ය. මේ හැර දිල්ලිය හා ගයාව අතර දිනපතා මහාබෝධි ශීඝ්‍රගාමී දුම්රිය ක්‍රියාත්මක වේ.

ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ සත් සතියක් ගත කිරීමෙන් අනතුරුව නැවතත් අජපල් නුග රුක වෙත වැඩි සේක. එහිදී උන් වහන්සේගේ සිතේ පහළ වූයේ මා අවබෝධ කර ගන්නා ලද මේ ගැඹුරු ධර්මය මිනිසුන්ට සුවයක් සේ ඉක්මනින් දැකිය නොහැකිය. සුවයක් සේ අවබෝධ කළ නොහැකිය. මා අවබෝධ කරගත් ධර්මය ශාන්තය, ප්‍රණීතය. තර්ක මාත්‍රයෙන් මැන ගත නොහැකිය. එම නිසා මනා අවබෝධයක් ඇති නුවණැත්තන් විසින්ම දැන ගත යුතුය. මා ඉතා පරිශ්‍රමයයෙන් අවබෝධ කරගත් ගැඹුරු ධර්මය දෙසීමට තවම යෝග්‍ය නොවේ. රාගයෙන් හා ද්වේෂයෙන් පිරි මිනිසුන් මේ ධර්මය කෙසේ අවබෝධ කර ගන්නද, එම නිසා මා අවබෝධ කරගත් මේ ගැඹුරු ධර්මය දේශනා කරන්නේ කා හටද ?

ධර්මය ගැඹුරු බවත්, සත්වයන් දැඩි කෙලෙස් බැඳුම්වලින්, බැඳී සිටින බවත්, ඔවුන් සාංසාරික ජීවිතයට දැඩි ලෙස ඇලුම් කරන බවත්, ඔවුන් ඉන් මුදා ගැනීම සඳහා දහම් දෙසීම නිෂ්ඵල බවත් සිතිමි වශයෙන් භාග්‍යවතුන් වහන්සේට ඇති වූ මන්දෝත්සාහ දුටු සහම්පති මහා බාහ්මයා පැමිණ දස දහසක් සක්වල දෙවියන්, බඹුන්, බණ අසන්නට කැමැත්ත ඇත. එම නිසා ඔවුන් ධර්මය අවබෝධ කර ගන්නට උනන්දුවක් ඇති කරගෙන පැමිණ දහම් අසන්නට දැඩි උනන්දුවක් දක්වයි. ඔවුන්ට දහම් දේශනා කරන්න මගධ රටෙහි කෙලෙස් සහිත පුද්ගලයන් සිත නිපැදුවු අශුධ ධර්මත් පෙර පහළ විය. ඒ බැවින් ඔබ වහන්සේ මේ ධර්මය විවෘත කළ මැනවි. නික්ලේශීන් වහන්සේ අවබෝධ කළ මේ ධර්මය සැම දෙනාම අසත්වා සර්වඥයන් වහන්සේ සෙල් පව්වක් මුදුනේ සිට හාත්පස පහත පෙදෙස දක්නාසේ ඔබ වහන්සේ ධර්ම ප්‍රසාදයට නැඟි පහවු ශෝක ඇති සේක.

ජාති, ජරා, දුකින් මැඬුණු සත්වයන් සමූහයා බලා ධර්මය දේශනා කරන සේක්වා මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේ මාර සංග්‍රාමයෙන් ජයගත් මහෝත්තමයන් වහන්ස, සසර කතරින් සත්වයන් එතෙර කරන තථාගතයන් වහන්ස, කාමච්ඡන්ද නමැති ණය නැති නිදහස් ශ්‍රේෂ්ඨයන් වහන්ස නැඟී සිටිනු මැනවි. ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය සකළ ලෝවාසීන්ගේ අවබෝධය පිණිස දේශනා කරනසේක්වා. භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බැලු සේක. ඇසූ පමණින් ධර්මය අවබෝධ කර ගැනීමට තරම් නුවණ මේරූ පුද්ගලයන් ඒවේලෙහි ඉතා අඩුය. ධර්මය ඇසූවද එහි විස්තර පැහැදිලි කරදීම අපහසුය.බුද්ධ වචනය විස්තර ලෙස දැන ඉගෙන නුවණින් සලකමින් සද්පුුරුෂාශ්‍රය කිරීමෙන් ධර්මාවබෝධය කිරීමට තරම් ශක්ති ඇත්තන්ද කිසි ලෙසකින් මේ ජාතියේ දි ධර්මාවබෝධයට පොහොසත් නොවූවන්ද යන පුද්ගලයන් බුදු ඇසට යොමු විය.

පුද්ගලයන් දහම් ඇසීමට සූදානම් බවත් ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය ඇසීමට ශ්‍රද්ධාව ඇති ඔවුන් සිටින බවත් ආර්ය මාර්ග ද්වාරයෝ හැර තබන ලදහ. එම නිසා ඔබ වහන්සේ අවබෝධ කරගත් ප්‍රණීත ධර්මය දේශනා කරන ලෙස සහම්පති බඹුත් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන ලදී. බඹුන්ගේ ආරාධනාව උන්වහන්සේ පිලිඟත් අතර සහම්පති බඹුන් බුදුන් වහන්සේ පැදකුණු කොට පිටත්ව ගයේය.

ධර්ම දේශනා කිරීමට ශ්‍රාවකයන් සෙවීම

ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේ මම අවබෝධ කරගත් මේ ගැඹුරු ධර්මය දේශනා කරන්නේ කා හටද? තමන් සත්‍ය සොයා යන කල තමන්ට මුණ ගැසුණු “ආළාර” තවුසා ඉඳීනම් ඔහු ධර්මාවබෝධයට සමත් තැනැත්තෙකි. එම නිසා ඔහු කොහි ඉඳී දැයි දිවැසින් බලා සිටි අතර ඒ වන විට ඔහු මිය ගොස් සතියක් ගතවී ගොස් ඇත. අන් කවරෙක් මේ ධර්මාවබෝධය ලබා ගන්නට තරම් නුවණැත්තෙක් වේද? එවිට “උද්දකාරාම” තවුසා සමත් යැයි හෙතෙම කොයි ඇද්දැයි බැලූ සේක. ඔහු පෙරදින රාත්‍රියේදි මිය ගොස් ඇති බව දැනගත් අතර යළි මේ ධර්මය අවබෝධ කරගැනීමට සමත් වන්නේ කවුරුන් දැයි සොයා බැලූ අතර තමන්ට දුෂ්කර ව්‍රත අනුගමනය කරන ලද කාලයෙහි පිහිට වූ තවුසන් පස්දෙනා සිහි විය. ඔවුහු කොයි සිටීදැයි බුදු නුවණින් විමසා බලා ඔවුන් බරණැස සිටින බව දැන බුදුපියාණන් වහන්සේ ඔවුන් හමුවීම සඳහා බරණැස බලා වැඩම කරන්නට අදහස් කළ සේක.

උරුවේල් දනවුවෙන් පිටවීම සහ උපක හමුවීම

භාග්‍යවතුන් වහන්සේ දින කිහිපයක් ඇසතු බෝමැඩ ගතකර තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීම සඳහා බරණැස බලා වැඩම කරන්නට විය. බරණැසට වඩින අතරෙහි ගයා ප්‍රදේශයේදි උපක නම් ආජීවකයෙක් හමුවිය. ඔහු බුදුරජාණන් වහන්සේ දැක පැහැදී ආයුෂ්මතාණෙනි ඔබගේ ඇස් ආදී ඉන්ද්‍රියයෝ ප්‍රසන්නය. ශරීර වර්ණය පිරිසුදුය. ඔබ කිනම් ශාස්තෘවරයෙක් උදෙසා පැවිදි වූයේද? ඔබගේ ශාස්තෘවරයා කවුද ? ඔබ දේශනා කරන්නේ කාගේ ධර්මයද?

එවිට ඔහුට පිළිතුරු ලෙස භාග්‍යවතුන් වහන්සේ මා මේ තුන්ලොවට අයත් සියලු ක්ලේශ මැඬලුවෙමි. සියල්ලම මම දනිමි. භවයට අයත් සියල්ලෙහිම නොඇලුණෙමි. රත් පලස නමැති විමුක්තිය ලැබ සසර දුකින් මිදුණෙම් වෙමි.එසේම මා අවබෝධ කරගත් ධර්මය මා විසින්ම අවබෝධ කර ගත්තෙමි. මට ගුරුවරයෙක් නැත. මම මාගේ උත්සාහයෙන්ම සත්‍යය අවබෝධ කරගත්තෙමි. මට ඇදුරෙක් නැත. එබැවින් දෙවියන් සහිත ලෝකයේ මට සම කළ හැකි පුද්ගලයෙක් නැත. මම දැන් ලොව සිටින එකම රහත් පුද්ගලයා වෙමි. මම එකම නිරුත්තර ශාස්තෘවරයා වෙමි. එම නිසා මම සම්මා සම්බුද්ධ වෙමි. මම දැන් අවිද්‍යා නින්දෙහි වැටී සිටින පිරිසකට ධර්ම ලාභයේ ප්‍රබෝධය ඇති කිරීම සඳහා ධර්මය දේශනා කිරීමට බරණැස බලා වඩිමි.මම මේ ලෝකයේ සියලු පාපයෝ මා විසින් දිනන ලද හෙයින් මම අනන්තජින වීමට සුදුසු වෙති. උපක ආජීවක තෙම බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් දක්වා පාරෙන් ඉවත් විය. භාග්‍යවතුන් වහන්සේ උතුරු දෙසට වැඩිය සේක. ගයා ප්‍රදේශය පසුකර රෝහිත වාස්තු, උරුවිල්වාකල්ප,අරුණාලය, සාරතිථපුර ආදි ග්‍රාමයන් පසුකර ගංගා නදියෙන් එතෙර වී බරණෑස් නුවරට වැඩම කරන ලදී.

වර්තමානයේ බරණැස උත්තර ප්‍රාන්තයට අයත් වන අතර ලොව පැරැණිම නගරයක් බවට පත්ව ඇත. බුද්ධගයාවේ සිට කිලෝමීටර් 215 ක් පමණ දුරක් බරණැසට තිබෙන අතර බරණැස සිට සාරානාත් පූජා භූමියට කිලෝ මීටර් 10 ක් පමණ දුරක් ඇත.

තවත් කොටසක් වප් අමාවක පොහෝදා ඔක්තෝබර් 23 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 8