Print this Article


අන්‍යෝන්‍ය යුතුකම

අන්‍යෝන්‍ය යුතුකම

බුද්ධ දේශනාවේ සඳහන් වන ආකාරයට ජීවිතයක් සාර්ථක කරගැනීම සඳහා නිරෝගීකම, මානසික සතුට වගේම සමාජමය සෞඛ්‍ය වැදගත් වේ. සමාජයක ජීවත්වන පුද්ගලයකුට මෙන්ම සතා සිවුපාවටද හුදකලාව ජීවත් විය නොහැකි වන්නේ අප එකිනෙකාට සාපේක්ෂව සම්බන්ධතාවයක් තිබෙන බැවිනි. ගල් යුගයේදී පවා මිනිසුන් සාමූහිකව ජීවත් වූවා මිස හුදකලා ජීවිත ගතකළේ නැත. සමාජ සම්බන්ධතා ආරක්ෂාකර නොගතහොත් ජීවිතය හරිම අසරණ තත්ත්වයට පත්වේ. සිය දිවි නසාගැනීමට පවා බොහෝදුරට පෙළඹෙනුයේ සමාජ සම්බන්ධතා නැතිකමිනි. උදාහරණයක් වශයෙන් තරුණ ජීවිත තරුණ කාලය තුළ ආදරය තුළින් බැඳෙනවා. ඒ පිරිසට පවතින පළවන බාධකය සමාජ සම්බන්ධතාවයයි. අම්මා තාත්තා, ඥාතීන්, සහෝදර, සහෝදරයින්, ආගම දහම බාධක ලෙස සළකමින් මේ සියල්ලම අතහරිනු ලබයි. බැඳීම් වලින් ඉවත්ව හුදකලාව ගතකරන ජීවිතය තුළ ගැටලුකාරි වාතාවරණයක් නිර්මාණය වූ විට එයට ඔරොත්තු දීමට ශක්තියක් වීම සඳහා සමාජ සම්බන්ධතා වර්ධනය වී නැති නිසා සියදිවි නසා ගනී. සියදිවි නසා ගැනීමේ මූලික සිද්ධාන්තය පැවැත්මට සාධකයක් නොමැතිකමයි. පැවැතීමට නම් කුමක් හෝ ආධාරකයක් අවශ්‍ය වේ. සියලු සම්බන්ධතා බිඳ දමමින් එක සම්බන්ධතාවයක් පැවැත්වුවහොත් එය බිඳීගිය විට පැවැත්මක් නැතිවෙයි. මිනිස් ජීවිතයක පැවැත්මට සම්බන්ධතා තිබිය යුතුමයි.

මාතා පිතූ උපට්ඨානං
පුත්ත දා රස්ස සංගහෝ

අම්මා , තාත්තා, බිරිඳ, ස්වාමියා දරුවන් යන කුටුම්භය තුළින්, මූලිකම සම්බන්ධතා ගොඩනැගිය යුතුයි. දියුණු රටවල පවතින ප්‍රධානම දුර්වලතාවය තනිකමයි. පෞද්ගලිකත්වය ට මුල්තැනදීම නිසාම තනිවීමෙන් මානසික ආතතිය වැඩිවේ. දියුණු රටවල දරුවකු අවුරුදු පහළොවක් සම්පූර්ණ වු විට හුදකලාව ජීවත්වීමට හුරුකිරීමෙන් සමාජ සම්බන්ධතා නැතිවීමේ ප්‍රතිඵලය නිසාම මානසික ආතතිය ඉහළ මට්ටමක පවතී. බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී දේශනා කර, ඇත්තේ ආර්ථිකය ගොඩනඟාගෙන දෙමාපියන්ට , ගුරුවරුන්ට අඹුදරුවන්ට ඥාතීන්ට දැසිදස්සන් ට යුතුකම් ඉටුකරන ආකාරයයි. ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ සමාජ යුතුකම් ඉටුකිරීමට බව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් කරයි. පුද්ගලයා නිතරම කණ්ඩායම් හයකට සම්බන්ධව පවතී. තමන් ඇතිදැඩි කිරීම පැත්තෙන් දෙමව්පියන්ද, නිවැරැදි මඟ පෙන්වීම පැත්තෙන් ගුරුවරුන්ද, තමාගේ පවුලේ පැවැත්ම වෙනුවෙන් අඹුදරුවන්ද තමාගේ සහායට මිතුරන් සහ ඥාතීන්ද, තමාගේ වැරැදි නිවැරැදි කරමින් ආධ්‍යාත්මික අංශය දියුණුකිරීම සඳහා ආගමික නායකයන්ද,තමාගේ ආර්ථිකය දියුණුකර ගැනීමට දැසි දස් කම්කරුවන් යන පිරිස සමතුලිතව පවත්වා ගෙන යාමට අපොහොසත් වුවහොත් කෙනෙකුට සාර්ථක ජීවිතයක් ගත කළ නොහැකිය. අප සියලු දේ සිදු කරණු ලබන්නේ මෙම යුතුකම් කොටස ඉටුකරගැනීම සඳහායි. සමාජ සම්බන්ධතා ආරක්ෂා වී නොමැති වු විටක මුදල් කෙතරම් තිබුණත් පලයක් නැති වෙයි. මඟුල් ගෙදරට, මළගෙදරට අසනීප අවස්ථාවකදී විපත්ති අවස්ථාවලදී, තමන් වැරදිකාරයෙකු වී නඩු මාර්ගයට වැටුණු විටදී හෝ සොහොන තුළ යන අවස්ථාවලදී කෙනෙකු අතනොහැර සිටී නම් ඔහු ඥාතියෙකු වනු ඇත. එවැනි අවස්ථාවලදී පිහිටට නොඑන තැනැත්තා ඥාතියෙකු නොවන බව සඳහන් වේ. සමාජ ජීවිතයේදී ඇතිවන දුක් කරදර කම්කටොළු ආපදාවලදී බෙදා හදා ගැනීම සඳහා කවුරුන් හෝ සිටිය යුතුයි. එසේ නෙසිටියහොත් ඔහුට හෝ ඇයට එම අවස්ථාව දරාගත නොහැකිය. ‘දුක’ මිනිසකුට සැමදාම පවතින දෙයකි. මානසික පීඩනය, ශාරීරික පීඩනය, ආර්ථික පීඩනය තුළින් මිනිසා සැමවිටම පීඩනයට හසුව සිටී. දුක්වේදනා පමණක් නොව සැපයද බෙදාගත යුතු වෙයි.අපගේ දුක සැප බෙදාගැනීමට නම් මෘදු මොළොක් සංවේදි පිරිසක් අප සමඟ සිටිය යුතුයි. දුක සැප බෙදාගැනීමට අප තෝරාගන්නා පිරිස නිවැරැදි අධ්‍යනයකින් නිවැරැදි අවබෝධයකින් යුතුව සමීප කරගත යුතුය. එසේ නොවූ විට අපට සමීප වු පිරිසම අපගේ ජීවිත තුළට ගැටලු, අර්බුද, ප්‍රශ්න නිර්මාණය වන තැනට කටයුතු සම්පාදය කරනු අත. මෘදු මොළොක් පිරිසක් අප අතර සිටීමෙන් අපගේ දුක සැපබෙදා හදා ගැනීමට හැකිවීමෙන් එය ඉවසිය හැකි වේදනාවක් බවට පත්වේ. එසේ නොවූවිට එම වේදනාව දරාගත නොහැකිව සියදිවි නසාගැනීමට හෝ උමතු වූවකු බවට පත් වේ. එවැනි තත්ත්වයන් ඇතිවනුයේ බෙදා හදා ගැනීමට කෙනකු නොමැති වූ විටයි. බුදුපියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ආරාමවලට වනාන්තර ගත පෙදෙස්වලට වරින්වර වඩිමින් භික්ෂුන් වහන්සේලාගේ දුක සැප විමසනු ලැබුවා. ප්‍රධාන භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට වැඩම කළ බුදුපියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් විමසුවේ කොහොමද දානය එහෙම ලැබෙනවද? කියලා අපි කවදාවත් ආහාර පාන පිළිබඳව කතා කරලත් නැහැ. ඒ පිළිබඳව කතා කරන්නේත් නැහැ. අප ආරාමය පවිත්‍ර කටයුතු හෝ පිණ්ඩපාතය පිළිබඳව කතා කරන්න අවශ්‍ය නැහැ. කවුරුන් හෝ දාන ශාලාවට වැඩම කළ විට එම ස්ථානය පිරිසුදු කිරීමට අවශ්‍ය නම් ඒ අවස්ථාවේ වැඩම කළ භික්ෂූන් වහන්සේ එය කරනු ලැබේ’. කවුරු හෝ භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වැඩියා නම් එම භික්ෂූන් වහන්සේ ඒ පිණ්ඩ පාතය අනෙකුත් භික්ෂූන් වහන්සේලාටත් බෙදා දෙනු ලැබේ. තනිවම කරන්න බැරි වැඩක් තිබෙනවා නම්,අප කතා කරන්නේ නැහැ. කවුරු හෝ භික්ෂූන් වහන්සේ නමක් අතක් ඉස් වු විට අනෙකුත් භික්ෂූන් වහන්සේලා එම ස්ථානයට වඩිනු ලැබේ. නැවතත් බුදුපියාණන් වහන්සේ විමසන්නේ ඔබ වහන්සේලා අතර සමඟි සම්පන්න බව කොහොමද? යනුවෙනි. මම ජීවත් වෙන්න උත්සාහ කරන්නේ අනෙක් භික්ෂූන් වහන්සේට අවශ්‍ය ආකාරයටය. එම භික්ෂුන් වහන්සේ ජීවත් වෙන්න උත්සාහ කරන්නේ මට අවශ්‍ය ආකාරයට අප හැමෝම ජීවත් වෙන්න උත්සාහ කරන්නේ අනෙක් භික්ෂූන් වහන්සේට අවශ්‍ය ආකාරයට මිස තමන්ට අවශ්‍ය ආකාරයට නොවෙයි. බුදුහාමුදුරුවනේ අපි ශරීරවලින් වෙනස් වුණාට සිතින් එක සමානයි යනුවෙනි. ශරීරවලින් වෙනස් වුණාට මානසික වශයෙන් තනි පුද්ගලයෙක් පමණයි. මෙත්තා , කරුණා , මුදිතා ,උපේක්ඛා යන බුදු දහමේ සඳහන් තත්ත්වයද එයයි. සියලුම සත්ත්වයන්ට මෛත්‍රිය දැක්වීම මෙත්තාවයි. දුකට පත්වෙච්ච පිරිසට උපකාර කිරීම කරුණාවයි. සැපෙන් සිටින පිරිසට ආශිර්වාද කිරීම මුදිතාවයි. මධ්‍යස්ථ බව උපේක්ෂාවයි. මෙම තත්ත්වය මනැස මධ්‍යස්ථව තබාගැනීමයි. සමඟිසම්පන්න බවේ ආදර්ශය සංඝ සභාවයි. කිසිම භික්ෂුන් වහන්සේ නමකට තමන් පෞද්ගලිකව කිසිවක් පිළිනොගන්නා ලෙසත් එය සාංඝිකව පිළිගන්නා ලෙසත් බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සිවුරක් මසා ගෙනවිත් බුදුපියාණන් වහන්සේට පූජා කරන්නට ගිය අවස්ථාවේ එය සංඝයාට පූජා කරන ලෙස දැන්වීය. සාමූහික පැවැත්ම සියයට සියයක්ම තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළාවූ සංඝ සමාජය තුළයි. එහි පෞද්ගලිකත්වයක් ඇත්තේම නැත. මාර්ග ඵල ලෙස සෝවාන් තුළින් සක්ඛාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස නැතිවේ. සැකය නැතිවේ. මමත්මය යන හැඟීම නැතිවේ. බැඳීම් නැතිවේ. බෞද්ධ මාර්ගයේ ගමන් කිරීම තුළින් ලබාගන්නා ඉහළම තත්ත්වයේ පළමු පියවර සෝවාන් ඵලයයි. සෝතාපන්න යනු සැඩ පහරට වැටීම මිස ආපසු ඒමක් නැත. සෝවාන් ඵලයේදී ගෝත්‍රභූචිත්තය පහළ වේ. ගෝත්‍ර භූ චිත්තය යනු ගෝත්‍රය නැතිකරන සිතක් පහළ වීමයි. එම අවස්ථාවේදී සිංහලද, දෙමළද,මුස්ලිම් ද යන වර්ගකිරීමකින් තොරව පොදු පුද්ගලයකු බවට පත්වේ. පොදු සාමූහික අදහස නැති කිසිවකුට බුදුදහමේ අර්යය මාර්ගය කරා ගමන් කළ නොහැකිය.පෞද්ගලිකත්වය නැතිකළ අවස්ථාව ආර්යය මාර්ගයට ප්‍රවේශවීම් වේ .සියල්ලම කරනු ලබනුයේ අනෙකකු සඳහා මිස පෞද්ගලික අරමුණු උදෙසා නොවේ.අප අන්‍යෝන්‍ය වශයෙන් බැඳෙමින් අපගේ යුතුකම් කොටස ඉටුකළ යුතුය.