Print this Article


අර්ථවත් දැනුමැති මිතුරාගේ ඇසුරත් පින්කමක්

අර්ථවත් දැනුමැති මිතුරාගේ ඇසුරත් පින්කමක්

ජීවිතයේ ආර්ය මාර්ගයේ පළමු වන පියවරට ඔහු පියවර තැබූහ. තමන්ගේ හිත මිත්‍ර යහළුවාගේ ධර්ම දේශනාව අසා ඔහුට මේ තත්ත්වය උදාකර ගැනීමට හැකියාව ලැබුණි. යහපත් අර්ථවත් කරුණු කාරණා දැනුම් තේරුම් තිබෙන කෙනෙකු තමන්ගේ මිත්‍රත්වයේ ඉඳීමත් මොනතරම් පින්කමක්ද කියන කාරණාව මේ බමුණා සිතේ සතුටින් යුතුව සිහිකිරීමට පටන් ගත්හ.

රජගහනුවර වැඩ වාසය කරමින් සිටි සැරියුත් හාමුදුරුවන් උපතිස්ස නම් වූ බමුණු ගමට වැඩම කළේය. සැරියුත් හාමුදුරුවන් ඒ ගමට වැඩම කරන දවසේ ඒ ගමේ සුවිශේෂී උත්සවයක් පැවැත්විණි. එය බමුණන්ගේ පුද සිරිත් අනුව පුද පූජා අනුව කරන පින්කමකි. ඒ පින්කම ඔවුන් සිදුකරනු ලබන්නේ මරණින් පසුව බ්‍රහ්ම ලෝකයේ ඉපිද සැප සම්පත් බලාපොරොත්තුවෙනි.

ඒ පින්කම කාලයක් පුරා බමුණන් විසින් කරගෙන එන ලද පින්කමකි. එම පින්කම “යාගය” ලෙස හැඳින්විණි. යාගයේ අරමුණ බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබීමයි. එම යාගය සිදුකරනු ලබන්නේ ගවයන් ආදී විවිධ වර්ගයෙන් තෝරා ගන්නා ලද සතුන් ප්‍රමාණයක් රැගෙන ඒ සතුන් මරා එම සත්වයන්ගේ ලේ ගින්නට දැමීමෙනි. ගින්නට දමනු ලබන එම ලේ ගින්නෙන් දැවී ඉහළට යන දුම විසින් මහා බ්‍රහ්මයා සමීපයට රැගෙන යන බව බමුණන්ගේ විශ්වාසයේ පැවතිණි. මහා බ්‍රහ්මයා එම දුම ආඝ්‍රාහණය කර සතුටට පත්වේ. ඔහු මෙලෙස සතුටට පත්වීමෙන් පසුව මේ දුම,මේ යාගය සිදුකළේ කවුදැයි බලනු ලැබේ. ඒ අනුව යාගය සිදුකළ තැනැත්තා මරණින් පසුව බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලබනවා යැයි විශ්වාසයක් ඒ බමුණන් තුළ පැවතුණි. ඒ නිසයි ඔවුන් එවැනි ආකාරයේ යාගයක් සිදුකරනු ලබන්නේ. මෙසේ කාලාන්තරයක් තිස්සේ වර්ෂයක් පාසා සිදු කරගෙන යන “යාගය” සැරියුත් මහ තෙරුන් වඩින අවස්ථාවේදීත් ඒ වර්ෂයේ පින්කම සිද්ධ කළේය. සැරියුත් හාමුදුරුවන් කුඩා කල සිටම හොඳින් දන්නා හිත මිතුරු කමින් සිටිය කෙනකු බමුණකු වශයෙන් මේ යාගයට සම්බන්ධ වී යාගය සිදුකරමින් සිටියේය. තරමක හිතමිතුරු කමකුත් තිබුණි. වැඩිහිටි වූවාට පසුව සැරියුත් හාමුදුරුවන් පැවිදි බව ලබා අගසව් තනතුරට පත්වූහ. අනෙක් යහළුවා බමුණු පූජකවරයකු ලෙස කටයුතු කළේය. දෙදෙනා හමුවූයේ මෙම යාග අවස්ථාවේදී රජගහනුවරට සැරියුත් හාමුදුරුවන් වහන්සේ වැඩම කළ හෙයිනි. ඒ බමුණා බමුණු මත පිළිගෙන වැඩ කළත්, තමන්ගේ ගිහිකළ හිත මිත්‍රකම තිබුණ සැරියුත් මහ තෙරුන් වහන්සේ ගැන හොඳින් දැන සිටියේය. සැරියුත් මහරහතන් වහන්සේගේ උසස් ගතිගුණ, උන්වහන්සේ තුළ තිබෙන්නාවූ උතුම් ගතිගුණ මෙම බමුණා හොඳින් දැන සිටියේය. ඒ නිසා මිත්‍රත්වය වඩා හොඳින් වර්ධනය වූවකි. සැරියුත් හාමුදුරුවන් ඒ ගමට වැඩි අවස්ථාවේ ඒ මිත්‍ර බමුණා සොයාගෙන ජීවත්වුණු බමුණු ගෙදරට වැඩම වන ලදී. තමාගේ මිත්‍රයකු වූ සැරියුත් තෙරුන් වහන්සේ තම නිවසට වැඩමකළ සතුටත්, උන්වහන්සේ තුළ පැවතුණා වූ උසස් ගතිගුණ දන්නා නිසාත්, ඉතා ගරු බුහුමන් ඇතිව පිළිගෙන වඩා හිදුවා සතුටු සාමීචි කතාවක යෙදුණි. සතුටු සාමිචි කතාවේ යෙදී සිටි අවස්ථාවේ සැරියුත් හාමුදුරුවන් බමුණාගෙන් විමසනුයේ කොහොමද මේ දවස්වල පින්පෙත් හෙම කරනවාද? යනුවෙනි. ජීවත්ව ඉන්න කාලය තුළ කෙනෙක් කරන පින්පෙත්මයි ඔහුගේ ජීවිතයට වැදගත් වනු ලබන්නේ, ඔහු මැරෙන විට රැගෙන යන්නෙත් ඒවාය. ඒ නිසා ජීවත්ව සිටින කාලය තුළ හැම කෙනකු විසින්ම තමන්ගේ ජීවිතයේ තිබෙන දෛනික කටයුතු කාරණා කරන ගමන්ම පින්දහම් කර ගැනීමද අවශ්‍යයයි. සැරියුත් හාමුදුරුවන් තමන්ගේ මිත්‍රයාගෙන් විමසනු ලැබුවේ, ඒ කාරණාව යි. ඒ අවස්ථාවේ යහළු බමුණා සැරියුත් හාමුදුරුවන්ට ප්‍රකාශ කරන්නේ “එහෙමයි අපේ හාමුදුරුවනේ, මේ දවස්වල මම ගොඩක් පින්දහම් කරනවා” යනුවෙනි. ඒ අවස්ථාවේ සැරියුත් හාමුදුුරුවන් විමසනු ලබන්නේ ඔබ මේ දවස්වල කරනු ලබන්නේ මොනවගේ පින්දහම් ද? කරමින් සිටි යාග ධර්ම මතකයට අරගෙන සැරියුත් හාමුදුරුවන්ට ප්‍රකාශ කරනු ලැබුවේ. “බ්‍රහ්ම ලෝකයේ සැප සම්පත් ප්‍රාර්ථනා කරගෙන ගොඩක් සල්ලිය බාගය වියදම් කර මේ දවස්වල මම යාග පවත්වනවා සැරියුත් හාමුදුුරුවනේ” යනුවෙනි. ඒ වෙලාවේ සැරියුත් හාමුදුරුවන්ගේ මතකයට ආවේ මේ බමුණා වගේම බමුණන් විසින් පවත්වනු ලබන යාගය පිළිබඳවය.

එවිට සැරියුත් හාමුදුරුවන් ප්‍රකාශ කරනු ලබන්නේ, ”ඔබ බ්‍රහ්මලෝක සැප සම්පත් ලබනු තබා බ්‍රහ්ම ලෝකයේ යන පාරවත් දන්නේ නැහැනේ”යනුවෙන් තම මිත්‍රයාට දේශනා කළහ. සැරියුත් හාමුදුරුවන් තමන්ගේ හිත මිත්‍ර බමුණාට මෙහෙම කිව්වේ බමුණා වැරැදි මතයක සිටින නිසයි. බමුණා හිතාගෙන ඉන්නේ ගවයන් ආදී සතුන් සිය ගණන් මරා ඒ ලේ ගින්නට දැමූ විට ගින්න දැවි ඒ ඉහළට යන දුම් මහා බ්‍රහ්මයා ආඝ්‍රාණය කරනු ලැබේ. එම ආඝ්‍රාණය කරන පිනෙන් තමන්ට බ්‍රහ්ම ලෝකයේ උපදින්නට හැකියාව තිබෙනවාය යනුවෙනි. ඒ අදහස පැවැති හෙයින් බ්‍රහ්ම ලෝක සැප සම්පත් ලැබීම සඳහා මේ දවස්වල පින් පෙත් කරමින් සිටිනා බවට ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ. බ්‍රහ්ම ලෝකයට යන පාරවත් ඔබ නොදන්නේ යැයි කියූ කාරණාවේ බරපතළකම බමුණාට වැටහෙන්න පටන් ගත්තා. සැරියුත් මහ රහතන් වහන්සේගේ දහම් දෙසුමට පැහැදුණ එම බමුණා එක්කරගෙන විහාරයට වැඩම කළ සැරියුත් හාමුදුරුවන් තමන් වහන්සේ දේශනා කළ කරුණු කාරණා තවත් හොඳින් තේරුම් කර දුන්හ. මරණින් පසුව යහපත් ආත්මයක් ලබන්නට ජීවත්වෙන කාලයේදී පින්පෙත් කරන කෙනෙකු පින්කිරීම සඳහා කුඩා දනක් හෝ මහ දනක් අවුරුදු සියයක් මුළුල්ලෙහි දුන්නත් ඒ තමන් කරන දානය පිළිබඳව නිවැරැදි අවබෝධයක් නොතිබුණහොත්, ඒ පින්කමෙන් පින් සිදු නොවේ. ඒ වගේම මනුෂ්‍යයා වගේම හැම සත්වයාමත් ජීවත්වීමට ආසයි. ජීවත්වන්නට ආස සත්වයකු මරණයට පත්කර ඒ ලේ ගින්නට දැමීම තුළින් තමන්ට බ්‍රහ්ම ලෝකයේ උපදින්නට පුළුවන්යැයි කෙනෙකු කල්පනා කරනවා නම්, ඒ ඔහුගේ මිථ්‍යා දෘෂ්ටිය නිසයි. ඔහුගේ වැරැදි දැක්ම නිසායි. මිථ්‍යා දෘෂ්ටියත් අකුසල ධර්මයකි. සත්තු මරණ එක තවත් අකුසල ධර්මයකි. මිථ්‍යා දෘෂ්ටිය සත්තු මරණවාටත් වඩා අකුසල ධර්මයකි. මිථ්‍යා දෘෂ්ටි සහගත සිතිවිල්ලෙන් දානයක් මානයක් කළත් පිනක් දහමක් සිද්ධ නොවේ. ඒ තමන්ගේ චේතනාව මිථ්‍යාදෘෂ්ටික වන නිසාය.

තමන් බ්‍රහ්ම ලෝකයේ උපදින්නට නම්, පින් දහම් කරනවා මෙන්ම තමන්ගේ මානසික තත්වයත් දියුණු පමුණු කරගන්නට අවශ්‍යයයි. එසේ දියුණු කරගත්තේ නැත්නම්, කොතරම් දන් දුන්නත් ඒ තැනැත්තාට බ්‍රහ්ම ලෝකයේ උපදින්නට හැකියාවක් නොලැබේ. සාමාන්‍යයෙන් දානයක් දෙන එක පහසුයි. තමන්ගේ හිතේ තිබෙන ලෝභකම අතහැර දන් දෙන එක ඊටත් වඩා අමාරුයි. හිතේ තිබෙන ලෝභකම අතහැරීම තුළින් හුරුපුරුදු වන්නේ මානසික කෙලෙස් ධර්ම අඩුකර ගැනීමය. ඒ වගේම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ආදි මාර්ග ඵලවලට පැමිණි ශ්‍රාවක සංඝයාට දානයක් පූජා කරන්න හැකි නම් එහි ලැබෙන පින තවත් වැඩි වේ. මේ ආකාරයට සැරියුත් හාමුදුරුවෝ තමන්ගේ යහළු බමුණා සමඟ දහම් කරුණු පැහැදිලි කරදෙමින් කතාකරන්න පටන් ගත්තේය. මේ කරණු කාරණා ඇසීමෙන් බමුණා හරිම සන්තෝෂයට පත්විය. ඔහු සන්තෝෂයට පත්වුණේ මෙතරම් කාලයක් තමන් ගිය පාර වැරැදි පාරක් නේද? කියන කාරණාව වටහා ගැනීමත් සමඟය. ඇතැම් විට ඔහු එතරම් කාලයක් වැරැදි පාරේ ගියානේ කියන එක ඔහු හරියට දැන නොගෙන කළ දෙයක් ලෙස සිතන්නට ඇති. සැරියුත් හාමුදුරුවන් දහම් කරුණු කාරණා පැහැදිළි කර දෙන විට බමුණාට මේ කරුණු එකින් එක වැටහෙන්න පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ධර්ම කරුණු කාරණා අවබෝධ වෙන්නට පටන් ගත්තේය. තමන් මෙතරම් කාලයක් ගියේ වැරැදි පාරක නේද ? කියා ඔහු කල්පනා කරන්න පටන් ගත්තේය. ධර්මයේ තියෙන කරණු නිවැරැදියි නේද? යන අවබෝධය වැටහී ඒ අවබෝධය මනැසට ලැබීමත් සමඟම බමුණා සෝවාන් භාවයට පත් විණි.

ජීවිතයේ ආර්ය මාර්ගයේ පළමු වන පියවරට ඔහු පියවර තැබූහ. තමන්ගේ හිත මිත්‍ර යහළුවාගේ ධර්ම දේශනාව අසා ඔහුට මේ තත්ත්වය උදාකර ගැනීමට හැකියාව ලැබුණි. යහපත් අර්ථවත් කරුණු කාරණා දැනුම් තේරුම් තිබෙන කෙනෙකු තමන්ගේ මිත්‍රත්වයේ ඉඳීමත් මොනතරම් පින්කමක්ද කියන කාරණාව මේ බමුණා සිතේ සතුටින් යුතුව සිහිකිරීමට පටන් ගත්හ.