Print this Article


මෙත් සිත වඩමින් රැකගත යුතු පින

මෙත් සිත වඩමින් රැකගත යුතු පින

අපගේ ජීවිතයට සැපය, සතුට, සොම්නස, ලබා දෙන්නේ අප රැස්කරන පිනෙන්. දීර්ඝ ආයුෂ, නිරෝගී බව, ලස්සන හැඩරුව, ධනය, භෝග සම්පත්, දෙව්ලොව ඉපදීම, ආදී ලෞකික සැප සම්පත් පමණක් නොව කලණ මිතුරන්ගේ ආශ්‍රය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, පතිරූප දේස වාසය, සිත. දියුණු කිරීමේ හැකියාව, ප්‍රඥාව ආදී නිර්වාණාවබෝධයට උපකාර වන සියලු දේත් අපට ලැබෙන්නේ පිනෙන්. මනුස්ස ලෝකයේ ඉපදුනු අපට පින් රැස් කිරීමට පුළුවන් අවස්ථා බොහෝ තිබෙනවා.

සංඝයා උදෙසා දන්පැන් පූජා කිරීම, නැතිබැරි අයට උදව් උපකාර, කිරීම, සිල්වත් ජීවිතයක් ගත කිරීම, සතර පෝයට උපෝසථ සිල් රැකීම, මෛත්‍රිය, බුද්ධානුස්සතිය ආදී භාවනාවන් වැඩීම, මව්පියන්ට උපස්ථාන කිරීම, ආගන්තුක සත්කාර, තුන් ලෝකයේම අග්‍ර වූ උත්තමයන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ උදෙසා පුදපූජා පැවැත්වීම ආදී පින් රැස් කරගන්න පුළුවන් ක්‍රම බොහෝ තිබෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ මිනිස් ලොව ඉපදුනු පුද්ගලයා විසින් දක්ෂ මල් කරුවෙක් මල් ගොඩකින් බොහෝ ලස්සන මල්මාලා ගොතනවා වගේ බොහෝ පින් කුසල් රැස්කර ගන්න කියා.

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය කියා දීලා= ලෝක සත්ත්වයා සසරින් එතෙර කරන්නයි. ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම අප හිතන තරම් ලේසි දෙයක් නොවේ. ඒකට විශාල පිනක් අවශ්‍යයි. මහා බලගතු පින් තිබුණ උත්තමයන් ඒ ධර්මය අවබෝධ කර මේ සසරින් නිදහස් වුණා. තවත් බොහෝ පිරිසක් ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා වන සේඛබල ධර්ම වඩා මරණින් මතු දෙවියන් අතර ඉපදුණා. ඒ අය ඒ දිව්‍ය ලෝකය තුළදී ඒ ධර්මය අවබෝධ කරන්න, මාර්ගඵල ලබන්න නැවතත් අවස්ථාවක් ලැබෙනවා.එහෙමත් බැරිවුණ සමහර අය බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන, රහතන් වහන්සේලා පිඬුසිඟා යද්දී සිත පහදවාගෙන ඉතා සුළු දෙයක් පූජා කරගෙන මරණින් මතු දෙවියන් අතර ඉපදුණා. අපේ පින්වල අඩුවක් නිසා අපට ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ ජීවමානව වැඩසිටි අවුරුදු හතළිස් පහක කාලය තුළවත්, උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මාර්ගඵල ලාභී ශ්‍රාවකයන්ගෙන් බුදු සසුන බැබළෙමින් තිබුණු අවුරුදු දාහක කාලය තුළවත් බුදු සසුනේ ඵලනෙලා ගන්නට බැරිවුණා.

කුමක් හෝ පිනක් නිසා අපට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු 2555 කටත් වඩා දීර්ඝ කාලයක් ගතවෙලා තිබෙන මේ යුගයේදී නැවත වතාවක් ඒ චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මය පැහැදිලිව පිරිසුදුව අසන්න ලැබී තිබෙනවා. ප්‍රමාද වෙලා මේ අවස්ථාව මඟහැර ගත්තොත් අපට නැවත සතර අපායට වැටෙන්න වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි කරගෙනයි. ඒ නිසා අපේ ඉලක්කය විය යුත්තේ මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නයි. අප කරන හැම පිනක්ම “මේ පින මට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට උපකාර වේවා”! කියන අදහසින්ම කරන්න ඕන.

ඒ වගේම අප මේ මනුෂ්‍ය ලෝකය ගැන තිබෙන ඇල්ම නැති කරගන්නත් ඕන. මැරුණට පස්සේ නැවතත් මේ මනුස්ස ලෝකෙම, මේ රටේම, මේ දරුවෝම දරුවෝ වෙලා, මේ දෙමව්පියෝම දෙමව්පියෝ වෙලා, මේ බිරිඳම බිරිඳ වෙලා, මේ ස්වාමියාම ස්වාමියා වෙලා උපදින්න ඕන කියන අදහස අත්හැර ගන්න ඕන. මොකද ඒ? මේ මනුෂ්‍ය ලෝකයේ තත්ත්වය එන්න එන්නම බරපතලයි. සංකීර්ණයි. ධර්මයට පිනට කුසලයට අවස්ථාව අඩුවෙනවා. මිනිසුන් තුළ ගුණධර්ම පිරිහිලා අකුසල් බලවත් වෙනවා. සමහර විට ඊළඟ ජීවිතේ මනුෂ්‍ය ලෝකයට එනවිට මිථ්‍යා දෘෂ්ඨික පවුලක ඉපදුණොත් සියල්ලම අවසන් වෙනවා.

බුදුරජාණන් වහසේගේ කාලයේ එක ස්වාමින් වහන්සේ නමකට සිවුරකට වස්ත්‍රයක් සැදැහැවතුන් පූජා කළා. ඒක උන්වහන්සේ තමන්ගේ අක්කට දුන්නා “මේක අරන් තියන්න පස්සේ සිවුරක් අවශ්‍ය වූ විට මම ඉල්ලා ගන්නම්” කියා.

ඉතින් අක්කා ඒ වස්ත්‍රය ගෝරොසු වැඩි නිසා කෑලි කෑලි වලට කපා වංගෙඩියේ දා කොටා පුළුන් කළා. ඒ පුළුන් වලින් නූල් වියා නැවතත් බර අඩු සිනිඳු වස්ත්‍රයක් සකස් කළා. දිනක් අර ස්වාමින් වහන්සේ ඉදිකටු නූල් අරගෙන සිවුරක් මහන්න අර වස්ත්‍රය ඉල්ල ගන්න ආවා. අක්කා සියලුම විස්තරය කියා තමන් හදපු වස්ත්‍රය පූජා කළා. මේ ස්වාමින් වහන්සේ එයින් අලුත් සිවුරක් මහලා පඬු ගහලා නමලා “මම මේක හෙටම පොරවනවා” කියා අරන් තිබ්බා. රාත්‍රියේ වාත රෝගයක් නිසා මේ හිමියන් අපවත් වුණා. මේ සිවුරට අයිතිකාරයෙක් නැති නිසා අනෙක් හිමිවරු මේ සිවුර සංඝයාට දෙන්න සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් එව්වා “මේ සිවුර දවස් හතක් යනතුරු එතැනම තියන්න කාටවත් දෙන්න එපා” කියා.

ඉතින් දවස් හතකට පස්සේ භික්ෂූන් වහන්සේලා පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණාව ගැන විමසුවා. එවිට උන්වහන්සේ වදාළා “මහණෙනි, ඔබ සිවුරේ අයිතිකාර භික්ෂුව සිවුරට තිබුණ ආශාව නිසා අපවත් වෙලා ඒ සිවුරේම කාවෙක් වෙලා ඉපදුණා. ඔබලා ඒ සිවුර අරගෙන සංඝයාට දෙන්න සූදානම් වූ විට මේ කාවා “මා සතු දේ පැහැර ගන්නවා. . . මා සතු දේ පැහැර ගන්නවා” කියා කෑගසමින් එහාට මෙහාට දුවන්න ගත්තා.

ඒ සිවුර සංඝයාට දුන්නානම් ලැබෙන්න තිබුණේ රහතන් වහන්සේලාට යි. එවිට අර කාවා ඒ රහතන් වහන්සේලා ගැන හිත දූෂිත කරගෙන මැරිලා නිරයට යන්න තිබුණා. නමුත් දවස් හතක් යනතුරු සිවුරට මුකුªත් කළේ නැති නිසා ඒ කාවා ආයුෂ අවසන් වෙලා දැන් දිව්‍ය ලෝකයේ ඉපදී ඉන්නවා කියා වදාළා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය නිසා ඒ භික්ෂුව බේරුණා. ඒ භික්ෂුව හොඳට සිල්ගුණදම් රැකපු කෙනෙක්. නමුත් අර පොඩි දෙයටත් තිබුණ ආශාව නිසා දුගතියට වැටුණා.

ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක ගෙදරක නැන්දම්මා හා ලේලිය වාසය කළා. දවසක් මේ නැන්දම්මා කැවුමක් මේසය උඩ තිබ්බා. එදා රහතන් වහන්සේ නමක් ඒ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. ලේලි මේ රහතන් වහන්සේ දැක හිත පැහැදී පූජා කරගන්න දෙයක් බලද්දී අර කැවුම දැක බොහෝම ශ්‍රද්ධාවෙන් රහතන් වහන්සේට එය පූජා කළා. නැන්දම්මා හවස ගෙදර ඇවිත් කැවුම කෝ කියා ලේලිගෙන් ඇසුවා. 'අනේ නැන්දේ අද ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මම උන්වහන්සේට ඒ කැවුම පූජා කළා. නැන්දත් ඒ පින අනුමෝදන් වෙන්න' කිව්වා.

නැන්දම්මට හොඳටම තරහ ගියා. “නුඹ මම ගෙනා කැවුම කොහේවත් යන මුඬු මහණෙකුට දුන්නාද? කියා ළඟ තිබුණ මෝල් ගහ අරගෙන ඔළුවට ගැහුවා. ඇය ඔළුව පැලී මියගොස් තව් තිසා දෙව්ලොව දිව්‍යාංගනාවක් වී උපන්නා. මේ ලේලිය නැන්දම්මා කෙරෙහි තරහක් ඇති නොකරගෙන තමන් කළ පින ගැනම සිහි කරමින් මෙත් සිත රැකගත් නිසා සුගතියේ ඉපදුනා.

නමුත් ධර්මාශෝක රජතුමා එසේ නොවේ එතුමාගේ පුතා රහතන් වහන්සේ නමක්. දුවත් රහත් මෙහෙණින් වහන්සේ නමක්. වුණා. මුණුපුරත් රහත් වුණා. ජම්බුද්වීපයේ යොදු නෙන් යොදුන විහාර හැදුවා. තුන්වන ධර්ම සංඝායනාවට අනුග්‍රහ කළා. දඹදිව අවට රටවල්වලට ධර්ම දූතයන් පිටත් කළා. බුද්ධ ශාසනය බැබළෙව්වා. නමුත් මරණාසන්න මොහොතේ දාසියක් වටාපතින් පවන් සලද්දී වටාපත මුහුණේ වැදීම හේතුවෙන් තරහ සිතක් ඇතිව මරණයට පත්වෙලා පිඹුරෙක් වී ඉපදුනා. එතරම් මහ පින් කළ ධර්මාශෝක රජතුමාට එසේ වෙන්නත්, කැවුමක් පූජා කළ තරුණිය සුගතියේ උපදින්නත් හේතුව මොකක්ද? ඒ තමා ධර්මාශෝක රජතුමාට මෙත් සිත රැකගන්න බැරි වීම.

ඒ නිසා අර පින්වල විපාක යටපත් කරගෙන අකුසල් විපාක ඉදිරියට ආවා. නමුත් අර ලේලිය මෙත් සිත රැකගත්තා. ඒ නිසා පින්වල විපාක ඉදිරියට ආවා. නමුත් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ උපායෙන් අර පිඹුරෙක් වුණ ධර්මාශෝක රජුු නැවැත මිනිස් ආත්මභාවයක් ලැබ ඉපදී පැවිදිවී රහත්වෙලා පිරිනිවන් පෑවා.

මේ සිදුවීම් දෙක අපේ ජීවිතවලට ලොකු පාඩමක්. එහෙනම් අපටත් රැස්කරගත් පින රැක දෙන්නේ මෙත් සිතෙන්. ඒ නිසා නිතරම පින් රැස් කරමින් මෙත් සිත රැකගෙන කටයුතු කරන්න අප උත්සාහ කරන්න ඕන.

නයනා නිල්මිණි