Print this Article


පෙරභවය යි කර්ම විපාකය යි 07 පවෙහි විපාකයෙන් මිදීමට සමතෙක් නැත

පෙරභවය යි කර්ම විපාකය යි 07

පවෙහි විපාකයෙන් මිදීමට සමතෙක් නැත

ගියවර අපගේ අවධානයට යොමුවූයේ පිරිසක් එක්ව කළ අකුශල කර්මයක විපාකයන් ඔවුන් වෙන්වෙන් ආත්මවල ඉපදුනත්, සමානව ඇති අය විමසා බැලීමටයි. අද මෙම ලිපිය වෙන් වන්නේද තවත් තිදෙනෙක් කළ අකුශල කර්මයන් ඔවුන් විඳි අයුරු පහදා දීමටයි.

පිටිසර පළාතක බවුන් වැඩීමට ගිය භික්ෂුන් පිරිසක් නැවත බුදුරදුන් හමුවට පැමිණීමේදි එක් සැදැහැති ගමක් පසුකරන්නට විය. ඒ ගමේ පිරිස මේ භික්ෂූන් පිරිස දැක සතුටුව උන්වහන්සේලාට දනින් පැනින් උපස්ථාන කරන්නට පටන් ගත්තේය. ඒ ගම්වැසියන් වහ වහා ආහාර පිසින අතර එක් නිවසක මුළුතැන් ගෙයි මහා ගින්නක් ඇති වී එයින් නැඟුණූ ගිනිදැල්වලින් ඒ අවස්ථාවේ අහසෙහි පියාසර කරමින් සිටි කපුටෙකු දැවි පිලිස්සී මරණයට පත්විය.

“තතො එකං තිණකරළං උට්ඨභිත්වා ජලමානං ආකාසං පක්ඛන්දි තස්මිං බණෙ එකො කාකෝ ආකාසෙන ගච්ඡන්තො තත්ථ ගීවං පවෙසෙත්වා තිණවල්ලිවෙඨිතො ඣායිත්වා ගාමමජ්ඣෙපති”

මෙය දුටු භික්ෂූන් වහන්සේලා මේ නම් නියත වශයෙන් පෙර කරන ලද අකුශල කර්මයක විපාක යැයි සිතා ඒ බව බුදුරදුන්ගෙන් විමසීමට සිත්හි තබාගෙන තමාට ඇප උපස්ථාන කළ දායක දායිකාවන්ට ධර්මයෙන් අනුශාසනා කොට ඒ ගමින් පිටත්ව එන අතරමගදී මහ සයුරද තරණය කරන්නට සිදුවිය.

නැවකට නැඟී උන්වහන්සේලා එන අතර මගදි නැව මහ සයුර මැද නැවතුණ අතර ප්‍රධාන නැවියා නැව පරික්ෂා කරමින් මේ නම් නැවෙහි දෝෂයක් නොව කිසියම් අභාග්‍ය සම්පන්න පුද්ගලයෙකු නැවෙහි ඇති නිසා සිදුවූවක් විය යුතුය’ යනුවෙන් නිශ්චිත කොට කුසපත් ඇදීමකින් ඒ අභාග්‍ය සම්පන්න පුද්ගලයා තෝරන්නට විය.අවස්ථා තුනක් තේරූ අතර

ඒ අවස්ථා තුනෙහිම තමාගේ බිරිඳ අභාග්‍ය සම්පන්න පුද්ගලයා වශයෙන් පෙනෙන්නට විය. බොහෝ පිරිසකගේ දිවි බේරා ගැනීම තමාගේ වගකීම වශයෙන් ගත් ප්‍රධාන නැවියා තම පි‍්‍රය බිරිඳගේ සියලු ආභරණ ගලවා බෙල්ලෙහි වැලි කලයක් බැඳ මුහුදට දමන්නට විය.

”න සක්කා එකතිස්සා අත්ථාය මහාජනං නාසෙතුං උදකෙනං ඛීපථා “ති ආහ” “එයින් ඇය මරණයට පත් වූ අතර නැවද ගොඩබිමට සේන්දුවිය. මෙයද අකුශල කර්මයක විපාකයක් විය යුතු යැයි” සිත්හි තබා ගත් භික්ෂුන් වහන්සේලා එයද බුදුරජාණන් වහන්සේ හමුවී විමසීමට සිත්හි තබා ගත්හ.

තම ගමන අවසානයේදි බුදුරජාණන් වහන්සේ හමු වූ භික්ෂූන් වහන්සේලා දැහැමි කතා අවසන් කොට තමන් එන අතරමගදි මුහුණ දෙන්නට වූ සිද්ධි බුදුරජාණන් වහන්සේට පවසා ඒ පිළිබඳ විමසන්නට විය. ඒ සිද්ධි දෙකෙහිම ඒ පිරිස පෙර ආත්මයන්හි ඔවුන් සිදු කළ අකුශල කර්මයන්ගේ විපාක වශයෙන් විඳීමට සිදුවූ බව පවසා අතීත කර්මයන් ගෙනහැර දැක්වූහ.

කපුටා මුහුණ දුන් හදිසි මරණයට හේතුව පෙර ආත්මයක ඔහු ගොවියෙක්ව උපන් කළ ඔහුට හිමි වූ ගොනෙකුට සී සෑමට කෙතරම් පුරුදු කළත් ගොනා ඊට අකැමැතිම විය. කෙසේවත් පුරුදු කරන්නට නොහැකි විය. මඳක් දුර ගොස් බිම වැතිර නවතී. මෙයින් කෝපයට පත් ගොවියා දිනක් මෙසේ බිම වැතිරී සිටි ගොනාට ‘මුගෙන් මට පලක් නැතැයි සිතා පිදුරු ගොඩක් ගෙනැවිත් ගොනාගේ ඇඟට දමා ගිනි තියන්නට විය. එයින් වේදනාවට පත් ගොනා පිලිස්සි මරණයට පත්විය. කාලයාගේ ඇවෑමෙන් මෙසේ ගොනා මරණයට පත් කළ ගොවියාද මරණයට පත්ව නැවත උපන් ආත්ම ගණනාවක්ම මෙසේ අභාග්‍ය ලෙස පිලිස්සි මරණයට පත්වන්නට සිදු වී ඇත. මේ ආත්මයේද ඔහුට සිදු වූයේ එහි විපාක දීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

දෙවනුව නැවියා තම පි‍්‍රය බිරිඳ මුහුදට දැමීමට හේතු වූ අකුශල කර්මය ලෙස බුදුරජාණන් වහන්සේ වදාරන්නේ,පෙර අත් බවයක මේ කාන්තාව ගොවියෙකුගේ බිරිඳක්ව ඉපදී සිටියාය. ඇයට නිතර ඇය පසුපස යන සුරතල් බලු පැටියෙක් විය. ඇය තම ස්වාමියාට බත් ගෙන කුඹුරට යන කල්හිද මේ බලු පැටියා ඇය පසු පසින් යෑමට පුරුදු විය. මෙය දුටු ඇතැම් පිරිසක් අද අපි බලුමස් කමුයි කියමින් බලු පැටියාට ගල් මුල් ආදියෙන් දමා ගසන්නට විය.මෙයින් ලජ්ජාවට පත් කාන්තාව බලු පැටියා එළවා දැමීමට උත්සාහ කළත් පලක් නොවීය.මෙයින් කෝපයට පත් ඇය ස්වාමියාට ආහාර දී එන අතර මඟදි බලු පැටියා අල්ලාගෙන ඇලක් ළඟට ගොස් සැළීයෙහි වැලි පුරවා උගේ බෙල්ලේ බැඳ ඇළට දැම්මේය. බලු පැටියා ද දියෙහි ගිලි එයින්ම මරණයට පත්විය. මේ අකුශල කර්මයෙහි විපාක වශයෙන් ආත්ම ගණනාවක් ඇයට දියේ ගිලි මරණයට පත්වන්නට සිදු වූ අතර මෙයද එහි එක් අවස්ථාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ.

තවත් වරක් පිටිසර ප්‍රදේශයක භාවනාවට ගිය භික්ෂූන් වහන්සේලා හත් නමක් නැවත බුදුරජාණන් වහන්සේ හමුවට වඩින අවස්ථාවේ ගමන් මහන්සිය නිවා ගැනීම සඳහා ලෙන් විහාරයකට පිවිසි අතර ඉබේම එහි දොර වැසී නැවත දින හතකින් දොර ඉබේම ඇරෙන්නට විය. භික්ෂුන් වහන්සේලා දින හතක් ගල්ලෙන තුළ සිරවී ආහාර හෝ ජලය නොමැතිව අතිශය දුකට පත්වූහ. බුදුරදුන් හමුවූ එම භික්ෂූන් වහන්සේලා තමන්ට සිදු වූ ඒ ඇබැද්දිය විස්තර කළේය. එවිට බුදුරජාණන් වහන්සේ එය මේ භික්ෂුන් වහන්සේලා හත්නම පෙර ආත්මයක එක්ව සිදු කළ අකුශල කර්මයක විපාක යැයි වදාරමින් එම අකුශල කර්මය දේශනා කළහ.

පෙර අත් බවයක මේ සත්දෙනා එඬේර කුලයක ඉපිද එක්ව හරක් බලන්නට විය. හරකුන්ට තණ කැවීමට වනගත වන ඔවුන් සතියක් පමණ එක් පෙදෙසක තණ කවති. ඒ පෙදසෙහි තණ හිඟ වූ විට වෙනත් පෙදෙසකට හරකුන් රැගෙන යති. මෙලෙස ගවයන් රැක බලා ගන්නා ඔවුන් හවස තණ කවා ගෙදර එන ගමනේදි තලගොයෙකු දැක ඌ මරන්නට එළවූහ. ඌ පණ බේරා ගැනීමට දුවගොස් තුඹසකට රිංගුවේය. සවස්ව තිබූ බැවින් ඔවුන් සත්දෙනා පසුදින පැමිණ මූ මරමු යැයි කතිකා කොට තලගොයාට ආපසු පැමිණිය නොහැකි වන පරිදි තුඹසේ කටවල් සියල්ල වසා පිටත් වූහ. පසු දින ඔවුන් සියලු දෙනා වෙනත් තැනකට ගවයන් රැගෙන ගිය නිසා තලගොයා අමතක විය. නැවත දින හතකින් පසු එම මාර්ගයේ පැමිණෙද්දි තුඹස දැක වහා ගොස් කටවල් ඇර බැලු කල්හි ඔවුන්ට දැක ගත හැකි වූයේ ආහාර නැතිව වැහැරී ගිය යම්තම් පණ ඇති තලගොයෙකි. ඌ කෙරෙහි අනුකම්පා කළ ඔවුන් තලගොයා නොමරා ඇරියේය.

“මා නං මාරෙථ සත්තාහං ඡින්නහත්තා ජාතා” ති තස්සා පිටෙ’ඨිං පරිමජ්ජිත්වා සුඛෙණ ගච්ඡාහි” ති විස්සජ්ජෙසුං තෙ ගොධාය අමාරිතත්තා නිරයේ තාව න පච්චිංසු”

මෙසේ ඒ පිරිස තලගොයා දින හතක් සිරකොට තැබු නිසා ගල්ගෙයෙහි සිර වූ බවත් ඌ නොමරා අත්හල නිසා නිරයේ නූපන් බවත් පවසමින් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ අකුශලකර්මය ගෙනැහර දැක්වමින් මෙම ගාථාව දේශනා කළහ. ”න අන්තලික්ඛෙ න

සමුද්දජ්ඣෙ න පබ්බතානං චීවරං පවිස්ස

න විජ්ජති සො ජගතිප්පදෙසො, යත්ථට්ඨිතො මුංචෙය්‍යය පාපකම්මාති”

අහසෙහි හෝ මුහුද මැද හෝ පර්වත කුහරයක හෝ තමා කළ පාපකර්මයෙන් මිදීමට සමතෙක් මේ මුළු ලොවෙහිම නැත.මෙය ඇසු බොහෝ දෙනා ධර්මාභිසමය ලදහ.


පෙරභවය යි කර්ම විපාකය යි 06 එක්ව කළොත් අකුසල් සමව විඳිති එහි විපාකත්